කීර්ති බාලසූරියගේ අභාවයේ සිට 25 වසරක්
20වැනි සියවසේ දෙවැනි භාගයේ දකුනු ආසියාවේ ප්‍රමුඛ මාක්ස්වාදියා
දෙවැනි කොටස

25 years since Keerthi Balasuriya’s death
South Asia’s foremost Marxist of the second half of the 20th century - Part two

By Wije Dias ,28 December 2012

පහත පලවන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය සඳහා කල අරගලය පිලිබඳ කොටස් දෙකක ලිපි මාලාවක දෙවැනි කොටස යි. පලමුවැනි කොටස ඊයේ පලවුනි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස 1968දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවන ලදී. ඊට පසු වසර තුනකටත් අඩු කාලයක දී, 1970 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයේ සභාග ආන්ඩුවට එරෙහිව සුලු-ධනේශ්වර ජනතා විමුක්ති පෙරමුන විසින් දියත් කෙරුනු ග්‍රාමීය සිංහල තරුනයන්ගේ නැගිටීමක් මගින් ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන අර්බුදයක් තුලට ඇද දැමුනි.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වූ සටනේ කොටසක් ලෙස, ජවිපෙ සිංහල ජනතාවාදී දේශපාලනය හා "සන්නද්ධ අරගලය” වෙනුවෙන් එහි පෙනී සිටීම පිලිබඳ ව කීර්ති දීර්ඝ විවේචනයක් ලිවූ අතර එය විකොස පුවත්පත වූ කම්කරු පුවත් තුල කොටස් වසයෙන් පලකරන ලදී. ජවිපයේ මෙන් ම, පසුව දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) වැනි නොයෙකුත් දෙමල බෙදුම්වාදී කන්ඩායම්වල ද මතුවීම, ලංකා සම සමාජ පක්ෂය නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය සඳහා සටන අතහැර දැමීමේ අතුරු ඵලයක් විය.

ජවිපෙ සමග ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල වෙනස්කම් නොතකා විකොස එය පසු පස ආ රාජ්‍ය මර්දන රැල්ලට එරෙහිව තරුනයන් ආරක්ෂා කලේ ය. සභාග ආන්ඩුව විකොස ප්‍රකාශන තහනම් කල අතර පක්ෂයට රහසේ වැඩ කිරීමට බල කෙරුනි. ලක්ෂ්මන් වීරකෝන් හා එල්.ජී. ගුනදාස යන පක්ෂ සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුනු අතර පොලිස් භාරයේ දී ඔවුහු ඝාතනයට ලක් වූහ. එසේ ද වුවත්, ලසසප හා කොමියුනිස්ට් පක්ෂවලට ධනපති ආන්ඩුවෙන් වෙන්වීමට බල කරමින් ඒවා හෙලිදරව් කිරීමට විකොස කම්කරු පන්තිය තුල බලගතු උද්ඝෝෂනයක් දියත් කලේ ය.

මුලු ඉන්දියානු උප මහාද්වීපයම කැලඹුමකට ලක්ව තිබුනි. වර්තමාන බංග්ලාදේශය වන නැගෙනහිර පකිස්තානය තුල පකිස්තාන් ආන්ඩුවට එරෙහිව 1971දී විමුක්ති අරගලයක් පැන නැගුනි. කීර්ති වහා ම ප්‍රකාශනයක් කෙටුම්පත් කල අතර, එය තුල ඔහු පැහැදිලි කලේ අර්බුදය දේශීය ධනේශ්වරය සමග වංචා සහගත ව හවුල් ව 1940දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ස්ථාපිත කෙරුනු අවිචාරී හා පසුගාමී ජාතික රාජ්‍ය පද්ධතියේ ඵලයක් වූ බව යි. වාර්ගික බෙදුම් රේඛාවන් ඔස්සේ මුස්ලිම් නැගෙනහිර පකිස්තානය හා ඉන්දියාවේ කොටසක් ලෙස හින්දු බෙංගාලය යනුවෙන් බෙංගාලය කැබලිවලට වෙන් කර තිබුනි.

ඉන්දීරා ගාන්ධිගේ කොන්ග්‍රස් ආන්ඩුව විසින් බෙංගාලය තුල කරන ලද ප්‍රතිගාමී ඉන්දීය හමුදා මැදිහත්වීමට විකොස ප්‍රකාශනය විරුද්ධ විය. "තමන් නැගෙනහිර බෙංගාලයේ විමුක්තිකාමීන් යැයි ඉන්දීය ධනපති පන්තිය විසින් කෙරෙන කියාපෑම ප්‍රතික්ෂේප කරන ලෙස අපි ඉන්දියානු කම්කරුවන්ගෙන් ඉල්ලමු. ට්‍රොට්ස්කිවාදීන් ප්‍රකාශ කරන්නේ නැගෙනහිර බෙංගාලය තුල ඉන්දීය සන්නද්ධ මැදිහත්වීමට ඇත්තේ එක ම එක අරමුනක් පමනක් බව යි. එනම්, බංග්ලාදේශය සඳහා අරගලය සමස්ත බෙන්ගාලය ම විප්ලවවාදී පදනමක එක්සත් කිරීම සඳහා අරගලයක් බවට වර්ධනය වීම වැලක්වීම ය” යි එය ප්‍රකාශ කලේ ය.

දකුනු ආසියාවේ ධනේශ්වර පාලනය පිලිබඳ පසු ගිය 25 වසරේ ශේෂ පත්‍රයක් සකසමින් විකොස මෙසේ පැවසී ය: "ඓතිහාසික කර්තව්‍යයන් අභිමුවෙහි ඔවුන්ගේ (ඉන්දියානු ධනේශ්වරයේ) සම්පූර්න බංකොලොත්කම ඔප්පු කරන්නේ සමාජවාදී විප්ලවයේ කර්තව්‍යයන්ගේ කොටසක් ලෙස මෙම ප්‍රශ්න විසඳිය හැක්කේ පීඩිත ග්‍රාමීය මහජනතාව තමා වෙත ආකර්ශනය කොට ගෙන තමා පසුපස පෙල ගස්වා ගත් කම්කරු පන්තියට පමනකි යන ට්‍රොට්ස්කිගේ නොනනවතින විප්ලවයේ කේන්ද්‍රීය ප්‍රවාදය යි.”

විකොස නො දැන, බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු සංගමයේ (සකස) නායක එම්.බන්ඩා ඉන්දියානු හමුදා මැදිහත්වීමට සහාය දක්වමින් ප්‍රකාශනයක් ලියා තිබුනි. සකස පුවත්පත වන වර්කස් ප්‍රෙස් කොලඹට ලඟා වූ විට, ඉන්දියානු මැදිහත්වීම නැගෙනහිර හා බටහිර බෙංගාලයේ කම්කරුවන්ගේ එක්සත් අරගලයක් මර්දනය කිරීමට උත්සාහ කරන අතර 1947-48 තුල දී ස්ථාපිත කල ප්‍රතිගාමී රාජ්‍ය පද්ධතිය ආරක්ෂා කරන බව පෙන්වා දෙමින් එකී ආස්ථානයට විරෝධය දැක්වූ කීර්ති වහා ම හජාජාක ලේකම් ක්ලිෆ් ස්ලෝටර්ට ලිපියක් යැවී ය. කෙසේ නමුත්, පරිපූර්න ජාත්‍යන්තරවාදියෙකු ලෙස කීර්ති ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පිලිගත් අතර විකොස ප්‍රකාශනය ඉල්ලා අස් කර ගත්තේ ය."ලෝක පක්ෂය තුල පැහදිලි කර ගැනීම ඉතාමත් වැදගත් දෙය යි” ඔහු සඳහන් කලේ ය. නමුත් සකස කවර දා වත් ප්‍රශ්නය ගැන සාකච්ඡාවක් සංවිධානය නො කලේ ය. එය එහි දේශපාලන පසුබෑමේ තවත් ඇඟවුමක් වූ අතර එහි නොවතින විප්ලව න්‍යාය අතහැරීම තුල එය විශේෂයෙන් ම ප්‍රදර්ශනය වුනි.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ද සකස සැලකිය යුතු දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කලේ ය. සභාග ආන්ඩුවේ දෙමල විරෝධී අසාධාරනකම් නිසා දිවයිනේ දෙමල සුලුතරය අතර පුලුල්ව පැතිරුනු විරෝධයක් ජනිත කෙරුනු අතර ඒ හා අනුබද්ධ ව සන්නද්ධ බෙදුම්වාදී කන්ඩායම්වල මතුවීම සිදු විය. 1972දී කොලඹ පැමිනි අතරතුර ක්ලිෆ් ස්ලෝටර් දැඩිව කියා සිටියේ විකොස පීඩිත දෙමල ජනයාගේ ස්වයංනීර්න අයිතියට සහායදීම ඉල්ලා අස්කර ගත යුතු බව යි. ස්ලෝටර්ගේ විරෝධය ගලා ආවේ සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමේ අවශ්‍යතාවෙන් නො ව 1948 පිහිට වූ ශ්‍රී ලංකා රාජ්‍යයේ "ප්‍රගතිශීලී ස්වභාවයක්” පැවැතිනැයි යන සාවද්‍ය ආස්ථානයෙනි. 1948දී ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයයේ (බීඑල්පීඅයි) ට්‍රොට්ස්කිවාදීන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල ප්‍රදානය කරන ලද ව්‍යාජ නාමික නිදහසට විරුද්ධ වී තිබුනි.

1970 ගනන්වල අග දී, සකස අනුප්‍රාප්තික කම්කරු විප්ලවවාදී පක්ෂය මැද පෙරදිග ධනපති ආන්ඩුවලට හා පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) වැනි කන්ඩායම්වලට එලිපිටම අනුගත වුනි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අංශක 180කින් හැරුනු කවිප නායකත්වය ජාත්‍යන්තර කමිටුව තුල මොනයම් හෝ සාකච්ඡාවකින් තොර ව විකොසට උපදෙස් දුන්නේ “ දෙමල විමුක්ති අරගලයට” හා එල්ටීටීඊයට අවිවිවේචනාත්මක සහාය දෙන ලෙස යි. ස්ලෝටර්ගේ මුල් ආස්ථානය පිලිබඳ සිද්ධියේ දී මෙන් ම මෙහිදී ද කවිප දිශානතිය නැඹුරු වූයේ ධනේශ්වර කොටස් වෙතට ය.

කවිපයේ අවස්ථාවාදය විකොසට දේශපාලන දුෂ්කරතාවන් ඇති කල නමුත් පක්ෂයේ ක්‍රියාමාර්ගය හැම විට ම කම්කරු පන්තිය වෙතට යොමු වුනි. විකොස නිර්භීතව දෙමල ජනයා මුහුන දුන් අසාධාරනකම් හා මර්දනයට ද 1983 පිපුරුනු සිවිල් යුද්ධයට ද විරුද්ධ වූ අතර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හා සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන තුල පීඩිත මහජනතාවගේ පෙරමුනේ කම්කරු පංතිය ස්වාධීනව බලමුලු ගැන්වීම තුල එක ම විසඳුම පවතින බව අවධාරනය කලේ ය.

1985-86 කවිපයේ අවස්ථාවාදී නායකත්වය සමග බෙදීම තුල කීර්තිගේ ජාත්‍යන්තරවාදී දෘෂ්ටිකෝනය පෙරට පැමිනියේ ය. මැද පෙරදිග ධනේශ්වර තන්‍ත්‍රයන්ට සම්බන්ධව එහි නොනවතින විප්ලව න්‍යාය අතහැරීම ඇතුලු ව කවිප දේශපාලනය පිලිබඳව වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝත් විසින් වර්ධනය කරන ලද විවේචනය සමග ඔහු වහාම එකඟ විය. පැබ්ලෝවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙනගිය අරගලය තුල අන්තර්ගත ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ දී විකොස වර්කර්ස් ලිගය හා ජර්මානු, ඕස්ට්‍රේලියානු ශාඛාවන් ද සමග එක්වි ය.

බෙදීමෙන් පසු, එම කාලපරිච්ඡේදය ඔහුගේ දේශපාලන ජීවිතයේ ඉතාමත් ඵලදායි හා ප්‍රීතිමත් කාලපරිච්ඡේදයක් ලෙස විස්තර කරමින් කීර්ති ප්‍රතිශක්තිමත් වූයේ ය. ඔහුට නිදහසේ ඔහුගේ ජාත්‍යන්තර සමචින්තකයන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට හැකි වූ අතර දේශපාලන ලියවිලි කෙටුම්පත් කිරීමේ දී ඔහු නෝත් සමග කිට්ටුවෙන් වැඩ කලේ ය. කවිපය ජාත්‍යන්තර කමිටුවේ ආධිපත්‍යය දැරූ කාලයේ මෙම හැකියාවන් තිබුනේ නැත. දෙමල ප්‍රශ්නය මත කවිපයේ අවස්ථාවාදී පැටලීම් හා හැරීම් ද විකොස විනාස කිරීම එල්ල කර ගැනුනු එහි දේශපාලන ප්‍රකෝපකරනයන් ද පිලිබඳව ඔහු විස්තරාත්මක විශ්ලේෂනයක් ලිව්වේ ය.

ශ්‍රී ලංකාව තුල, සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ගැඹුරු වූ අර්බුදයකට මුහුන දුන් ආන්ඩුව සහාය පතා ඉන්දියාව දෙසට හැරුනි. 1987දී අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුම දිවයිනේ උතුරේ සටන් විරාමය අධීක්ෂනය සඳහා නාමිකව " සාම සාධකයන්” ලෙස ඉන්දියානු හමුදා රිංගවීමට පාර කැපුවේ ය. බංග්ලාදේශ් සිද්ධියේ දී මෙන් ම ඉන්දියානු මැදිහත්වීම මගින් උත්සාහ කලේ දකුනු ඉන්දියාව තුල අසහනය ඇවිලවීමට තර්ජනය කල දෙමල අරගලය කුඩු කර දමා, කොලඹ (පාලනය ) තුල ඉන්දියාවේ බලපෑම ශක්තිමත් කර ගැනීමට ය.

නෝත් සමග කීර්ති කර ගෙන ගිය අවසාන ජාත්‍යන්තර කමිටු ප්‍රකාශනය, දෙමල අරගලයේ මතුවීමට මග පෑදූ හා ඉන්දියානු හමුදා මැදිහත්වීම පිටුපස පැවති ධනපති පාලනයේ පෙර නො වූ විරූ අර්බුදයේ මූලයන් විස්තර කලේ ය. එය ජාතික ප්‍රශ්නය පිලිබඳ නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී මාවතක් හා දකුනු ආසියානු එක්සත් සමාජවාදී ආන්ඩුවේ කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමූහාන්ඩුවක් සඳහා අරගලය තුල සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කලේ ය.

කීර්තිගේ වියෝවට යන්තම් මාසයකට පෙර ලියන ලද මෙම ප්‍රකාශනය, අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව පුලුල් සටනකට විපරීතව ජාතික හා වාර්ගික සුවිශේෂතාවාදයන් මත තමන් වඩවඩාත් පදනම් කර ගත් නොයෙකුත් "ජාතික විමුක්ති” සංවිධානයන් තුල ජාත්‍යන්තරව සිදුවන පරිවර්තනය පෙන්වා දුන්නේ ය. ජාතීන්ගේ ස්වයංනීර්න අයිතියට මාක්ස්වාදී ව්‍යාපාරය මුලින් දෙන ලද සහයෝගය පිලිබඳ ව හජාජාක විසින් ප්‍රවේසමෙන් යලි සලකා බැලීමකට ප්‍රකාශනය ආරම්භක ලක්ෂ්‍යයක් විය.

කීර්තිගේ අකාල වියෝව විකොසට හා හජාජාකට බලවත් පහරක් වුවත් ඔහුගේ උරුමය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැඩි දුර වර්ධනයට මිල කල නො හැකි සම්පතක්ව පවතී. මැද පෙරදිග තුල, ආසියාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ නව පරම්පරාවක් දැන් අරගලයට පිවිසෙමින් සිටින තතු තුල, ඔහුගේ ජීවිතය හා වැඩ කටයුතු බංකොලොත් ලාභ පද්ධතිය තුරන් කිරීමට කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටන තුල උකහා ගත යුතු උරුමයක කොටසකි. සියල්ලට ම ඉහලින්, නොනවතින විප්ලවය න්‍යාය පිලිබඳ කීර්තිගේ නොනැමෙන ආරක්ෂාව බැරෑරුම් විප්ලවවාදීන් විසින් උකහා ගත යුතු ප්‍රගාඪ පාඩම් අන්තර්ගත කර ගනි යි.

Share this article: