2013 වර්ෂයේ ආරම්භයත් සමඟ පාලක කවයන් තුල අසහනකාරී මනෝ ගතියක් ප්‍රකට වෙයි

As 2013 begins: A mood of anxiety in ruling circles

By Nick Beams, 3 January 2013

නව වසර ඇරඹීමත් සමඟ ලෝක ආර්ථිකයේ තත්වය ද වැඩෙමින් පවත්නා භූ දේශපාලනික ආතතීන් හා ප්‍රධාන පෙලේ සමාජ පිපිරීම් හටගැනීමේ හැකියාව පිලිබඳව ද පාලක කවයන් තුල අසහනයක් පවතී. බ්‍රිතාන්‍ය සඟරාවක් වන ඉකොනොමිස්ට් එකී තත්වය මෙලෙස ඉදිරිපත් කලේ ය: "න්‍යෂ්ටික සැලසුම් මුල්කොටගෙන ඉරානය සමඟ සංග්‍රාමාවතීර්න වීමේ සිට යුරෝ කලාපය කඩාවැටීමේ ව්‍යසනයක් දක්වා වන 2013 වසරේ ලෝකය කලඹනු ඇති විනාශයන් පිලිබඳව සිතාගැනීම අසීරු නොවේ."

කනස්සල්ට හේතු වන මූලික ම කාරනාව වන්නේ ගෝලීය ධ‍නේශ්වර ආර්ථිකයේ තවත්වය යි. මූල්‍ය අර්බුදයේ ප්‍රථම සලකුනු ප්‍රකාශයට පත් වීමෙන් මුලුමනින් ම පාහේ වසර හයක් ද 2008 වසරේ මූල්‍යමය පිපිරීමෙන් වසර හතරක් ද ගතවෙන තැන ගෝලීය ආර්ථිකයේ ''ප්‍රකෘතිමත්වීම" අන්කවරදාටත් වඩා දුරස්ථ දෙයක් බවට පත් ව තිබේ.

යලි වතාවක් ඉකොනොමිස්ට් සඟරාවේ වචනවලින් කිවහොත්, "ගෝලීය මූල්‍ය අර්බුදයේ පලමු පිපිරීමේ තැන් පටන් අප ආර්ථික පසුබැම ඉක්මවා ගෙස් ඇතැයි ද ආර්ථිකය මුලුමනින් ම සොඳුරු සර වයන්නේ යැයි ද ඔබ සිතනවා විය හැක. එහෙත් ඇත්ත වසයෙන් පෙනෙන්නට තිබෙන්නේ, ලෝකයේ විශාල පදාස, දීර්ඝ-කාලීන එක තැන පල්වීමක් තුලින් ගමන් කරන ජපාන-වර්ග‍යේ අත්හදා බැලීමක් දියත් කරමින් සිටින අයුරකි."

යුරෝ කලාපයේ ආර්ථිකය හැකිලෙමින් තිබේ. එක්සත් රාජධානිය එකක් පසුපස එන තවත් පසුබැමක් අත් දකිනු ලැබ වසර සියයකින් මෙපිට සිදුවූ නරක ම "ප්‍රකෘතිමත්වීමෙන්" අනතුරුව යලිත් ගිලාබැසීමකට මුහුන දීමේ සම්භාවිතාව දරා සිටී. ජපානය පසුගිය කාර්තු 15න් කාර්තු 7ක් ම සෘන වර්ධනයක් අත්විඳී ය. අර්බුදයේ පරිමාව පිලිබඳ මිනුමක් බවට පත්ව තිබෙන, වර්ධනය යන්තම් සියයට 2ක් සහිත එක තැන පල්වීමේ තත්වයකට ආසන්න එක්සත් ජනපදය, ප්‍රධාන ආර්ථිකයන් අතර සැලකෙන්නේ කිසියම් ''ආලෝක පුංජයක්" වසයෙනි.

ඒ සමග ම චීනය, ඉන්දියාව හා අනෙකුත් "නැගී එන වෙලඳපොලවල්" වර්ධනය සඳහා නව වේදිකාවක් සම්පාදනය කරනු ඇතැයි යන බලාපොරොත්තු පසුගිය මාස 12තුල බොඳවී ගොස් තිබේ.

ලෝක ආර්ථිකයේ තත්වය හා 2013 වසර සඳහා බලාපොරොත්තු පිලිබඳ සාකච්ඡා කරමින්, ෆිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත සටහන් කලේ, වර්ධනය සඳහා වන තරඟයේ දී ප්‍රමුඛත ම මර්මස්ථාන දෙක ලිබියාව හා දකුනු සූඩානය මඟින් ද තුන්වැනුව සම්පත්-බහුල මොන්ගෝලියාව විසින් ද පුරවාලනු ඇති බවක් පෙනී යන බව යි.

"ගෝලීය අන්ධකාරයෙන්" තම සිත් සතන් ඉවතට හැරවීමට අවශ්‍ය නම් සියයට 14ක වර්ධන රේට්ටුවක් බලාපොරොත්තු වන මැකාවු සූදු මධ්‍යස්ථානය දෙස නෙත් යොමුකල හැකි බව දි ඉකොනොමිස්ට් තම පාඨකයන්ට පැවසුවේ ය. මෙම ප්‍රකාශය ඇනුම්පදයක් එල්ල කිරීම අරමුනු කරන නමුත් ගෝලීය ධනවාදය තුල සමපේක්ෂනය ඉටුකරන කේන්ද්‍රීය භූමිකාව සම්බන්ධයෙන් එය මොනවට ගැලපේ.

පසුගිය වසර නිමාවට පත්වූයේ, ලෝක ආර්ථිකයෙන් සියයට 60ත් වඩා ආවරනය කරන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය හා ජපානයේ මහ බැංකු, "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" එක් හෝ තවත් ආකාර පියවරක් ගනිමිනි. එනම්, කෙලවරක් නැතිව මුදල් අච්චු ගැසීමේ සූදුව මගින් මූල්‍ය අර්බුදයක් පමා කිරීමට හැකි වෙතැයි සලකාගෙන ය.

එහෙත් මෙකී පියවරයන්, ආර්ථික වර්ධනය ප්‍රකෘතිමත් කිරීම කෙසේ වෙතත්, වඩාත් ගැඹුරු මූල්‍ය අර්බුද හා ගෝලීය විනිමය හා වෙලඳ ඝට්ටන උත්සන්න කිරීම සඳහා පදනම සකසමින් සිටිනවා පමනි. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ පිලිවෙත් විශේෂ වැදගත් කමක් දරයි. ගෝලීය මූල්‍ය පද්ධතියේ පදනම සකසන සංචිත මුදල නියෝජනය කරන මහ බැංකුවක් එහි මුදලේ අගය පහලට තල්ලු කිරීම ලෝක ධනවාදී ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක සිදු වී නැත.

ගෝලීය ආර්ථිකයේ ගැඹුරුවෙමින් පවත්නා ගැටලු පෙරලා භූ-දේශපාලනික ආතතීන් උත්සන්න කරනු ඇත. ප්‍රධාන ගනයේ දේශපාලනික සහ සිදුවීමට බෙහෙවින් ඉඩකඩ ඇති මිලිටරි ඝට්ටනවලට වේදිකාව සැකසීමේ ශක්‍යතාව සහිත පිපිරුම් සහගත තැන් ගනනාවක් තිබේ.

ඔබාමා පාලන තන්ත්‍රයේ ඊනියා "ආසියාවට හැරීමේ" කේන්ද්‍රය බවට පත්ව ඇති චීන-විරෝධී තල්ලුව වේගවත් වීම හේතුවෙන් සමස්ත නැගෙනහිර ආසියානු කලාපයේ අතතීන් පසුගිය වසරේ දී සීග්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කලේ ය. එක්සත් ජනපදය විසින් දිරිගන්වන ලදුව, පිලිපීනය හා වියට්නාමය චීනයට එරෙහිව දකුනු දිග චීන මුහුදු ප්‍රදේශයේ සිය අයිතිවාසිකම් පෙරට ගනිමින් සිටිති.

චීනයේ හා ජපානයේ දේශපාලන නායකත්වයන් නරක අතට හැරෙමින් පවත්නා ආර්ථික කොන්දේසිවලට ප්‍රතිචාර දක්වන්නේ සමාජ කලබගෑනි යටපත් කරලීමට වෑයම් කරමින්, යලි වතාවක් ජාතිකවාදයට ආවඩමිනි. සෙන්කාකු/ඩයේයු දූපත් සඳහා එම දෙරට ම අයිතිවාසිකම් කියාපෑම මෙකී ආතතීන්හි කේන්ද්‍රය වී තිබේ. පාර්ශවකරුවන් මේ දක්වා සෘජු මිලිටරි ගැටුම් වලක්වාගෙන තිබේ. එහෙත් විශේෂයෙන් ම ජපානයේ මිලිටරියට ප්‍රහාරයක් එල්ලවුවහොත් තමන් ජපානයට පිටුබලය දෙන බව එක්සත් ජනපදය ප්‍රකාශයට පත් කර ඇති කොන්දේසි යටතේ, ඇතිවිය හැකි ඕනෑම ගැටුමක් සීග්‍රයෙන් පැතිර යාමේ ශක්‍යතාව පවතී.

බියකරු "ඓතිහාසික එදිරිවාදිකම්" පිලිබඳ සඳහන් කරමින්, ෆිනෑන්ෂියල් ටයිම්ස් මෑතකදී අනතුරු ඇඟවූයේ, ඊශාන දිග ආසියාව වසර ගනනාවක් තිස්සේ මේ සා බියකරු වී නැති" බවයි.

මැදපෙරදිග සම්බන්ධයෙන් සලකන කල, සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී-පිටුබලය ලබන ප්‍රහාරයක් සමස්ත කලාපයේ ම ආතතීන් උග්‍රකරනවා පමනක් නොව ගෝලීය වසයෙන් ද එම ආතතීන් පතුරුවා හරිනු ඇත. ඊස්රායලය, එක්සත් ජනපදය නැතිනම් මේ දෙරට ම ඒකාබද්ධව ඉරානය වෙත සෘජු ප්‍රහාරයක් දියත් කිරීම සඳහා සැලසුම් ඉදිරියට ගැනීම අනිවාර්ය ය.

ඒ අතර ම, ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අප්‍රිකානු මහද්වීපයේ සම්පත් මත ඔවුන්ගේ අධිකාරිය සහතික කරගැනීමත් එනයින් මහද්වීපයෙහි වැඩෙමින් ඇති චීනයේ මූලෝපායික අධිකාරියට එදිරිව ක්‍රියාත්මක වීමත් සමඟ අප්‍රිකාව කේන්ද්‍ර කරගත් නව කාකොටා ගැනීම් වර්ධනය වෙමින් ති‍බේ.

ඇත්තවසයෙන් ම ඉතිහාසය එනයින් ම පුනර්කරනය වන්නේ නැත. එහෙත් එහි අනුනාදයන් දැකගත හැකි ය. වත්මන් කාලපරිච්ඡේදය වඩ වඩාත් සමානකම් දරන්නේ ශතවර්ෂයකට ඉහත දී එනම් 1914දී ලෝක ආර්ථිකයේ ප්‍රධාන කඩාවැටීමක් සමග සම්පාත වෙමින් මහ බලවතුන්ගේ එදිරිවාදිකම් පලමු ලෝක යුද්ධය පුපුරායාමට තුඩු දුන්නාවූ කාලපරිච්ඡේදයට ය.

සෑම රටකම කම්කරු පන්තියේ තත්වයන්ට එල්ල කෙරෙන උග්‍ර අතට හැරෙන ප්‍රහාරයන්හි ප්‍රතිපලයක් ලෙස වසර 2013 ප්‍රධාන සමාජ හා පන්ති අරගල ද ඉස්මත්තට ගෙන එනවා ඇත.

ආර්ථික කඩාවැටීම විසඳාලීමේ කිසිදු ප්‍රතිපත්තියක් පාලක පන්තීන් සතුව නැත. එහෙත් ඔවුන් නිර්දය ලෙස යොදාගනිමින් තිබෙනා ඉතාම නිශ්චිත මූලෝපායක් තිබේ. එහි එල්ලය කම්කරු පන්තියේ සමාජ තත්වය වලපල්ලට යවමින් ලාභ පද්ධතියේ වියලී ගිය නහර වැල් තුලට නව ධනය පොම්ප කිරීම යි.

එය කවර නම් යටතේ ඉදිරියට යමින් තිබුන ද --එක්සත් ජනපදයේ ''බදු ආදායම් ප්‍රපාතය" මගහරවා ගැනීම, යුරෝපයේ ආර්ථික "ප්‍රතිසංස්කරන" හා "ප්‍රතිව්‍යුහකරනය" නොඑසේ නම් ඕස්ට්‍රේලියාවේ "ආසියානු ශතවර්ෂයේ'' අභියෝගයන්ට මුහුන දීම-- මෙම මූ‍ලෝපායෙන් අරමුනු කෙරෙන්නේ පශ්චාත් දෙවන ලෝක යුද කාල පරිච්ඡේදයේ සමාජ ජයග්‍රහන සියල්ල විනාශ කිරීම ය.

සමාජ ව්‍යසනයේ මෙම වැඩසටහන හා ඒ සමඟ බැඳී ඇති යුද්ධයේ අනතුර කිසියම් ආර්ථික උත්පාතයකින් තත්වය වෙනස් වනු ඇතැයි කල්පනා කරන අර්ධ-පියවර මඟින් හෝ බොඳවූ බලාපොරොත්තු වලින් පරාජය කල නොහැකි ය. ඒ සඳහා සටන් වැදිය යුත්තේ ධනවාදයට ‍එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධ කරන විප්ලවවාදී සමාජවාදී වැඩසටහනක පදනම මත ය.

Share this article: