ශ්‍රී ලංකාව: සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් මුස්ලිම්-විරෝධී වාර්ගික ප‍්‍රකෝපකරනයන් උත්සන්න කරයි

By G.Karunasena and Wasantha Rupasingha, 7 January 2013

දිනෙන් දින වේගයෙන් වැඩෙන උග‍්‍ර ආර්ථික හා දේශපාලනික අර්බුදයකට ද ඒ අර්බුදය නිසාවෙන් කලකිරීමට හා අසහනයට පත් මහජනතාවගේ වෛරයට ද පාත‍්‍රවෙමින් පවත්නා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යලි වතාවක් සුලුතර ජනවර්ගයන්ට එරෙහිව, ක්ෂනික වසයෙන් මුස්ලිම් ආගමිකයන්ට එරෙහිව වාර්ගික හා ආගමික වෙනස්කම් කිරීමට උඩගෙඩි දෙමින් සිටී.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙනගිය ලේ වැකි වර්ගවාදී යුද්ධයෙන් අනතුරුව සිංහල වර්ගවාදීන් මෙලෙස ප‍්‍රකෝපකරනයට තල්ලු කරමින් සිටින විවිධාකාර ප‍්‍රතිගාමී සංවිධානවල පෙරමුනේ රාල වන්නේ බෞද්ධ භික්ෂූන් විසින් මෙහෙයවන ෆැසිස්ට් පන්නයේ බොදුබල සේනා (බොබසේ) සංවිධානය යි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය කරපින්නා ගත් තවත් අන්තවාදී පක්ෂයක් වන ජාතික හෙල උරුමය (ජාහෙඋ)ට සමානව බොබසේ ද එහි අරමුන ලෙස දක්වා ඇත්තේ "ඇතිව තිබෙන ශාසනික පරිහානිය නැති කොට...සංඝයා ශක්තිමත් කරමින් ‘පිරිසිදු’ බුදුදහම අරක්ෂා කර ගැනීම”යි. වාර්ගික බෙදීම් පරයා වැඩකරන ජනතාවගේ එකමුතුව බිඳීම සඳහා එල්ල වූ මෙම ප‍්‍රතිගාමී අරමුන වෙනුවෙන් දැන් මෙම සංවිධානය ආරම්භ කර ඇති නවතම ප‍්‍රකෝපකරනය එල්ල කර ඇත්තේ දිවයිනේ වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව ය.

කොලඹ ආන්ඩුව හා ධනපති මාධ්‍ය හරහා ද ගම්වල පන්සල් හා සමීප සම්බන්ධතා සහිතව ද කරගෙන යන වාර්ගික ප‍්‍රකෝපකරනයන්හි මෙම සංවිධානය යෙදී ගෙන සිටී. එවන් එක් සිද්ධියක් පසුගිය දෙසැම්බර් 26 දා මධ්‍යම පලාතේ උඩුනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයෙන් වාර්තා විය. මෙම ප‍්‍රදේශය බහුතර මුස්ලිම් ජනතාවක් පදිංචිව සිටින්නකි.

බූවැලිකඩ ප‍්‍රදේශයේ පල්ලිය ආසන්නයේ පිහිටි මුස්ලිම් නිවසක් අසල නවතා තිබූ වෑන් රථයක් මහපාරට අවහිර වූවේයැයි යාබද ගමක් බලා දිවෙන පෞද්ගලික බස් රථයක සිංහල තරුනයින් පිරිසක් වෑන් රථයේ මුස්ලිම් හිමිකරු සමග බහින් බස් වීමක් ඇතිකරගෙන තිබේ. එම සිද්ධිය ගැටුමක් බවට පරිවර්තනය වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ කීප දෙනෙක් පේරාදෙනිය මහ රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධියෙන් අනතුරුව රාජපක්ෂ ආන්ඩුව වහාම කුප‍්‍රකට විශේෂ කාර්ය බලකා සෙබලුන් ප‍්‍රදේශයෙහි යොදවා ඇත.

සිද්ධිය පිලිබඳ වැඩිදුර සොයා බැලීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ පිරිසක් ප‍්‍රදේශයට ගියහ. අප එහි යනවිටත් මුස්ලිම් නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවලට ඉහලින් ලෙල දෙමින් තිබූ බෞද්ධ කොඩි හා බූවැලිකඩ බස්නැවතුමකට යාකර ඉදිකර තිබූ බුදුපිලිරුවක් සහිත බුදු කුටිය ම මෙම ආගමික ප‍්‍රකෝපකරනය පිලිබඳ අදහසක් ලබා දුන්නේ ය. වසර දෙකකට ඉහතදී බෞද්ධ භික්ෂූන් හා සිංහලවර්ගවාදීන් මැදිහත්ව ඇටවූ මෙම බුදුකුටිය ප‍්‍රදේශයේ වාර්ගික ආතතීන් ඇවිලවීමට මූලික හේතුකාරනාවන්ගෙන් එකක් බව ප‍්‍රදේශවාසීහූ අප වෙත සඳහන් කලහ.

බූවැලිකඩ බස්නැවතුමට යාකර ඉදිකර ඇති බුදු ගේ හා බෞද්ධ කොඩියක්

ගැටුමින් දින කීපයකට පසු, දෙසැම්බර් 30 දින ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් ගොඩනැගිල්ලක බලහත්කාරයෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර සවිකර ප‍්‍රදේශය පුරාම පිරිත් හා බන ප‍්‍රචාරය කර තිබෙන අතර දැන් එය දිනපතා සිදුවෙන බව ප‍්‍රදේශවාසීහු අපට කීහ. වෙනදා සංගීත ප‍්‍රසංග ආදිය සංවිධානය කල තරුනයින් දැන් එවැනි දේවල් වෙනුවට ප‍්‍රකෝපකාරී බෞද්ධ වැඩසටහන් සංවිධානය කරන බව ඔවුහු සඳහන් කලහ.

අප හා කතා කල මුස්ලිම් තරුනයෙක් කලකිරීමෙන් යුතුව මෙසේ කීවේ ය: "මේ ගොල්ලො කවදාවත් මේ විධියට බෞද්ධ කොඩි එල්ලලා තිබ්බෙ නෑ. අපට ඊයේ පල්ලියේ වන්දනා කිරීමට පවා අපහසු වුනා. මේ අය ශබ්ද විකාශන යන්ත‍්‍ර දා ගෙන අපට බාධා කරනවා. මේ හැමතැනම ඉන්නේ අපේ අය [මුස්ලිම් ජාතිකයන්]. මේ බුදු කුටිය හදනකොට අපිත් උදව් කලා. ඒත් දැන් ඒ අය අපට විරුද්ධව වැඩකරනවා.”

එදින ම මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ප‍්‍රකෝපකාරී පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබූ අතර අප එහි සංචාරය කරන දිනයේ ඒවා ඉරා ඉවත් කර තිබින. "ඔටුවෝ සිංහයෝ වෙන්නේ නෑ බොලව්”, යැයි පෝස්ටරයේ සඳහන්ව තිබූ බව ප‍්‍රදේශවාසියෙක් අපට කීවේ ය.

"සිංහල අයයි අපියි බොහොම සමගියෙන් ඉඳියා. ඒත් දැන් මේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්නත් බෑ,” තවත් වික්ෂිප්ත අයෙක් කීය.

දෙසැම්බර් 29 දා, සිංහල තරුනයින් සිව්දෙනෙකු මුස්ලිම් කඩයකට පැමින දුම්වැටි ලබාගෙන මුදල් නොදී යාමට උත්සාහ කල අවස්ථාවේ ඇවිලී ගිය බහින්බස්වීමක් ගැටුමක් ආසන්නයට ම ගොස් පසුව සන්සිඳුන බවත් තවත් නම් සඳහන් කිරීමට අකමැති වූ මුස්ලිම් තරුනයෙක් අපට කීවේ ය.

තවදුරටත් කතා කරමින්, "මේ අය අපට ජීවත් වෙන්න දෙන්නේ නෑ වගේ. මේ ප‍්‍රදේශය පුරා ම ඉන්නේ අපේ අය. වැඩිපුර කරදර කලොත් මොනවා වෙයිද කියන්න බෑ. අනික් එක අපි කොහෙ කියලා යන්නද?” ඔහු කීවේ ය. ඔහුගේ ආවේගය පවසන්නේ බෞද්ධ අන්තවාදීන් වාර්ගික ආතතිය කොතෙක් උත්සන්න කර තිබේ ද යන්න යි.

නම් සඳහන් නොකරන්නැයි ඉල්ලීමක් කල ප‍්‍රදේශවාසියෙක් අපට සඳහන් කලේ, මේ ප‍්‍රකෝපකරනයන් මෙහෙයවන්නේ බොබසේ සාමාජිකයන් ද වන ප‍්‍රදේශයේ පන්සල්වල ප‍්‍රධාන භික්ෂුන් බවයි. මුස්ලිම්වරුන් සිංහල මිනිසුන්ගේ "ඉඩම් කොල්ලකෑම” ගැන නිරන්තරව බනවලට කියමින් මෙකී භික්ෂූහු මිනිසුන් ප‍්‍රකෝප කරමින් සිටින බව ඔහු කීවේ ය. බොබසේට බැ‍ඳෙන්නැයි එක් භික්ෂුවක් ඔහුට ආරධානා කල බවත් තමන් එය ප‍්‍රතික්ෂේප කලවිට එම ස්ථානයේ සිටි ඇතමුන් තමන්ට විරෝධය පෑ බවත් ඔහු තවදුරටත් කීවේ ය.

බොබසේ ගෙන යන මුස්ලිම්-විරෝධී ව්‍යාපාරයේ සැබෑ අරමුන පිලිබඳ ඉඟියක් සිංහල ජාතික ත‍්‍රීරෝද රථ රියැදුරෙකු අපට පැවසූ දෙයින් මොනවට ඔප්පු විය. "අපි මේක ලේසියෙන් අරින්නේ නෑ. අපි ආයේ ඔවුන්ගේ කඩවල්වලට යන්නේ නෑ. තේ බොන්නෙ නෑ. බඩු ගන්න යන්නෙ නෑ,” ඔහු කීවේ ය. සංවිධානයට අයත් වෙබ් අඩවියේ පෙල ගස්වා ඇති එහි "අභිමතාර්ථවලින්” එකක් වන්නේ "බෞද්ධ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකත්වය ගොඩනැගීම හා අරක්ෂා කිරීම” යි. මොවුන් මෙහෙයවන සිංහල සුලුධනේශ්වරයේ අවශ්‍යතා බව ඉතා පැහැදිලිව මෙකී පේලි ඔස්සේ පැහැදිලි වේ.

පසුගිය නොවැම්බර් 19 දින කොලඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් බොබසේ කැඳවුම්කරු වන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, "හලාල්” (අරාබි භාෂාවෙන් "අනුමත” යැයි තේරුම දෙන) ප‍්‍රමිති සහතිකය ලැබූ බවට ලාංඡනය සහිත භාන්ඩ වර්ජනය කරන්නැයි කැඳවුම් කලේ ය. පාරිභෝගික භාන්ඩවල ගුනාත්මක බව පිලිබඳව ලබා දෙන මෙම සහතිකය ලබා දෙන්නේ ශ‍්‍රී ලංකා ඉස්ලාමික විද්වතුන්ගේ සම්මේලනයට අනුබද්ධිත සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසිනි.

බොබසේ විසින් ම පවත්වාගෙන යතැයි පෙනී යන, "අන්තවාදී මුසල්මානු ම්ලේච්ඡත්වයට එරෙහි සිංහල බෞද්ධ එකමුතුව” නම් ෆේස්බුක් පිටුවක් හරහා අතිශය නින්දිත ආකාරයෙන් ඉස්ලාම් ආගමික කටයුතුවලට හා මුසල්මානුවන්ට අවමාන කරමින් ප‍්‍රකෝපකරනයක් අවුලුවමින් තිබේ. එය මේ වනවිට "ලයික්” කිරීම් 6,500ක් පමන ලබා ඇත. ප‍්‍රමිති සහතික නිකුත් කිරීමෙන් ලැබෙන "කෝටි සංඛ්‍යාත” මුදල් "ත‍්‍රස්තවාදී සංවිධානවලට” යොදවන බවට පදනම් විරහිත චෝදනා ඔවුහු එල්ල කරති. 2012.12.19 වෙනි දින පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් උලමා සංවිධානය මෙකී චෝදනා ප‍්‍රතික්ෂේප කලේ ය. මෙවැනි චෝදනාවන් පිටුපස පවතින්නේ අතලොස්සක් වූ සිංහල ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා බව පැහැදිලි ය.

බොබසේ දියත් කර තිබෙන මෙම මුස්ලිම්-විරෝධී ව්‍යාපාරයේ තවත් නවතම පියවරක් වන්නේ, නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය දෙමල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි මුස්ලිම් ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වාසිවෙන ආකාරයෙන් වංචා කර ඇත යි යන අභූත චෝදනාව යි. ජාතික විද්වත් සංගමයේ සභාපති වන බන්දුල චන්ද්‍රසේකර පලමුවරට මෙම චෝදනා නැගුවේ ය. මෙවර නීති විද්‍යාලය සඳහා මුස්ලිම් ජාතික ශිෂ්‍යයන් 78 දෙනෙකු සමත් වී තිබීම "අසාමාන්‍ය” බැව් ඔහු චෝදනා කරයි.

රාජපක්ෂ ආන්ඩුවේ අධිකරන අමාත්‍ය හා මුස්ලිම් කොන්ග‍්‍රසයේ (මුකො) නායකයා ද වන රාවුෆ් හකීම් නීති ක්ෂේත‍්‍රය "මුස්ලිම්කරනය” කිරීමට වෑයම් දරා ඇතයි යන්න ඔහුගේ තවත් චෝදනාවකි. දෙසැම්බර් 28වෙනි දා අමාත්‍යවරයා මෙකී චෝදනා සවිස්තරාත්මක පුවත්පත් නිවේදනයක් හරහා ප‍්‍රතික්ෂේප කර සිටියේ ය.

1980 ගනන් මුලදී මුකො ගොඩනැගුනේ එවක ආන්ඩුව දියත් කරමින් සිටි දෙමල-විරෝධී යුද්ධය අනුමත කරමින් මුස්ලිම් ධනපති කොටසට කොලඹ ආන්ඩුවෙන් වරප‍්‍රසාද ලබා ගැනීම සඳහා ය. මේ වනවිට කන්ඩායම් ගනනාවකට බෙදී ඇති මෙම පක්ෂය තවමත් රාජපක්ෂ ආන්ඩුවේ කොටස්කරුවෙකු ලෙස වර්ගභේදවාදය උත්සන්න කිරීමේ වැඩවලට ම සහය සලසා දෙයි.

බොබසේ සමග පෙලගැසුනු විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ (යූඇන්පී) හා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මන්ත‍්‍රීවරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් මේ පිලිබඳ පරීක්ෂනයක් පවත්වන්නැයි ඉල්ලා සිටියෝ ය.

මුස්ලිම්-විරෝධී ව්‍යාපාරයේ තවත් අලුත් ප‍්‍රකෝපකරනයක් වන්නේ මෙම වර්ෂයේ පෝය නිවාඩු දිනයන් වෙලඳ නිවාඩු දිනයක් ලෙස නම් කර නැති බවත් එහෙත් මුස්ලිම්වරුන්ගේ ආගමික කතෘවරයෙකු වන නබිතුමාගේ උපන් දිනය යෙදී තිබෙන දිනය එසේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බවත් ය.

පසුගිය අපේ‍්‍රල් මාසයේදී ද ඉනාමලුවේ ශ‍්‍රී සුමංගල භික්ෂුවගේ ප‍්‍රධානත්වයෙන් දඹුල්ල විහාරයට අයත් යැයි කියා පෑ ඊනියා "ශුද්ධ” භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියක් අදාල ස්ථානයෙන් කඩා ඉවත් කරන්නැයි ඉල්ලා දහසක පමන ජනකායක් සහිතව ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනයක් පැවැත්වූයේ ආන්ඩුවේ පූර්න ආශිර්වාදය සහිතව ම ය.

මේ අයුරින් ම පසුගිය නොවැම්බර් මාසයේ දී කිසියම් පිරිසක් අම්පාර ප‍්‍රදේශයේ දාගැබක් ඩෝසර් යොදා හාරා තිබීම මුල්කරගනිමින් විශාල උද්ඝෝෂනයක් ගෙන ගිය මෙම සංවිධානය එය ද මුස්ලිම්වරුන් පිටින් යැවීමට වෑයම් කරන ලදි. දෙසැම්බර් 02 වෙනි දා දිවයින ඉරිදා පුවත්පතට කතා කරමින් ඥානසාර ප‍්‍රකාශ කලේ, "ලංකාවේ ජාතික උරුමයන් ආරක්ෂා කරන නිල නොවන පොලිසිය” ඔවුන් බවයි. නැගෙනහිර පලාතේ "මුස්ලිම් අන්තවාදීන් ක‍්‍රියාත්මක වන” බවත් ඔවුන් "බෙදුම්වාදයක් ක‍්‍රියාත්මක කරන්නට උත්සාහ කරන” බවත් පදනම් විරහිත ලෙස ඔහු කියා පෑවේ ය.

ඥානසාර භික්ෂුව, පසුගිය දෙසැම්බර් 09 දින ඉරිදා ලංකාදීප පුවත්පතට කීවේ, "ව්‍යවස්ථා-විරෝධී” සර්ව ආගමික සංගම්වලට විකල්පව දිවයිනේ සෑම පන්සලක්ම කේන්ද්‍ර කරගනිමින් "බෞද්ධාරක්ෂක කමිටු” ගොඩනගන බව යි. මේවා නිසැකව ම එලැඹෙන කාල පරිච්ඡේදයේදී ධනපති ක‍්‍රමයට එරෙහි වැඩකරන ජනතාවන්ගේ පන්ති අරගලයට විරුද්ධව ක‍්‍රියාත්මක වන ෆැසිස්ට් කල්ලි ලෙස පරිවර්තනය වීමට හොඳට ම ඉඩ තිබේ.

මුස්ලිම් හා දෙමල ජනයාට එරෙහිව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් දියත් කර තිබෙන මෙම වාර්ගික හා ආගමික ප‍්‍රකෝපකරනයන් නියත ලෙස ම බැඳී ඇත්තේ, රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයට සම්බන්ධිතව ය. මේ අර්බුදය, දිග් ගැස්සී යන හා වඩාත් ගැඹුරු වන ලෝක අවපාතයක තතු යටතේ උග‍්‍රවීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය කොන්දේසි ඉටු කිරීම සඳහා ආන්ඩුව ඉත සිතින් ම කැපවී සිටින අතර ඒවාට එරෙහිව පැන නගින ගම්බද ගොවීන් හා දිලිඳු ජනයාගේ සහ නාගරික කම්කරු පන්තියේ අරගල මැඩීමට මිලිටරිය හා පොලීසිය නිරන්තරව යොදා ගැනේ. ෆැසිස්ට් පන්නයේ බොදු බල සේනා වැනි සංවිධාන ක‍්‍රියාත්මක වන්නේ, මිලිටරි ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් සඳහා රාජපක්ෂ ආන්ඩුවේ ක‍්‍රියාකාරකම්වලට අනුපූරකව ය.

Share this article: