ස්වර්නමය උදෑසන ෆැසිස්ට් කල්ලියට එරෙහි අරගලයෙන් මතුවන දේශපාලන ප්‍රශ්න

Political issues in the fight against the fascist Golden Dawn

19 January 2013

ෆැසිස්ට් ස්වර්නමය උදෑසන (ක්‍රයිසි අව්ගි) කල්ලියට හා එය විසින් සංක්‍රමිකයන්ට, වාමවාදීන්ට සහ සමලිංගිකයන්ට එරෙහිව සිදු කරන ප්‍රහාර වලට එරෙහිව තම විරුද්ධත්වය දැක්වීම සඳහා 19 දින ඇතන්ස්හි සින්ටගම් (syntagma) චතුරස්‍රයේදී දස දහස් ගනනක් රැස්වනු ඇත.

එහෙත් මෙම විරෝධතාවයේ සංවිධායකයින්, කම්කරුවන් හා තරුනයන් දක්කනු ලබන්නේ ආවෘත අන්තරයකටය. ඔවුන් අනුග්‍රහය දක්වන්නේ ෆැසිස්ට්වාදීන් ශක්තිමක් කරවන වැඩ පිලිවෙලකටය. ස්වර්නමය උදෑසන කල්ලියේ නැගීමට මූලික වගකීම දරන්නාවූ සංවිධානයන් පුනරුත්ථාපනය කිරීම හා එම පක්ෂ සමග තමන්ට ඇති සන්ධානය ශක්තිමත් කර ගැනීම එහි අරමුන යි.

ජාත්‍යන්තර කම්කරුවන්ගේ වම (ඩීඊඑෆ්) හා ක්සිනිමා වැනි ව්‍යජ-වාම කන්ඩායම් ගනනාවක් ෆැසිස්ට් තර්ජනයට එරෙහිව "වමේ එක්සත් පෙරමුනක්” හෝ "වමේ එකමුතුවක්” අයැදිමින් සිටිති. ඔවුන් යොදාගන්නා ආකාරයට මෙම දේශපාලන සූත්‍රයේ සාරය නම්, ස්වර්නමය උදෑසනට එරෙහි කම්කරු පන්තියේ අරගලය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක්, වෘත්තීය සමිති හා සිරිසා (විකල්ප වමේ සාභාගය) වැනි සංවිධාන වලට යටත් කිරීමයි.

ග්‍රීසිය තුල සමාජ ප්‍රතිවිප්ලවය කෙලින්ම ක්‍රියාත්මක කිරීම සඳහා හෝ, සිරිසා පිලිබඳ ප්‍රශ්නයේදී නම් ග්‍රීක ධනවාදය ආරක්ෂා කිරීම සහ යුරෝපීය සංගමයේ පැවැත්ම සඳහා මෙම පක්ෂවල දායකත්වය වෙනුවෙන් ගෙවීමට සිදුවන වන්දිය නම් ස්වර්නමය උදෑසෙනහි නැගීමයි.

2009 සිට 2012 දක්වා ග්‍රීසිය පාලනය කල පැසොකය, ග්‍රීසියේ හා ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ත්‍රිත්වයේ - යුරෝපියානු සංගමය, යුරෝපියානු මහ බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල - නිර්දේශිත ප්‍රහාර කම්කරු පන්තිය මත පටවන ලදි. 2012දී එයට ලැබුනු සහාය කඩාවැටුනු විට, කප්පාදු වැඩ පිලිවෙල තියුනු කරමින් ඉදිරියට ගෙන යැම සඳහා, දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සභාගයක කනිෂ්ඨ සහකරුවා ලෙස වැඩ කිරීමට පැසොකය එකඟ විය.

පැසොකය සමඟ "වාමේ එකමුතුව” යනු නව ප්‍රජාතන්ත්‍රවාදය හා ධනපතියන් සමඟ එකමුතුවයි. පැසොක් නායක ඉවැන්ජෙලෝස් වෙනිසිලෝස්, නව ප්‍රජාතන්ත්‍රවාදී අගමැති ඇන්තෝනිස් සමරාස් හා (සිරිසාවෙන් කැඩී පාලන සභාගයේ තෙවන පක්ෂය බවට පත්ව සිටින) ප්‍රජාතන්ත්‍රවාදී වමේ ෆෝටිස් කොයිවිලිස් විරෝධතාවය වැලඳගැනීම තුලින් මෙය පැහැදිලි වෙයි. කොයිවිලිස් ප්‍රකාශකලේ "ප්‍රජාතන්ත්‍රවාදයට පහරදෙන්නන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් ආරක්ෂක පවුරක් ගොඩ නැඟිය යුතු ය” යන්නයි.

වෘත්තීය සමිති සම්බන්ධව කියන්නේ නම්, ග්‍රීක කම්කරු පන්තිය පසුගිය සිව් වසර පුරා, තම රැකියා, වැටුප් හා ජීවන තත්වයන් විනාශ කිරීමට එරෙහිව ජෙනරල් ස්ට්‍රයික් 19 හා ලක්ෂ ගනන් ජනතාව අලලා ගත් නිමක් නැති අනෙකුත් ස්ට්‍රයික් සහ විරෝධතාවයන් දියත් කලේය. නමුත් මෙම විරෝධතාවන් ආන්ඩුවට කරන ආයාචනා වලට සීමා කිරීම මඟින් හා හුස්ම හිර කරන සමිතිවල පාලනෙයන් මිදීමේ තර්ජනය මතු කල වරාය කම්කරුවන්ගේ ස්ට්‍රයිකය වැනි අරගල හු‍දෙකලා කර විනාශ කිරීමට උදවු කිරීම මඟින්, ඒවා ව්‍යාර්ත කිරීමට සමිති නායකයන් වෙහෙස නොතකා ක්‍රියාකර ඇත.

කප්පාදුවේ, දරිද්‍රතා‍වයේ හා බඩගින්නේ අනුක්‍රමික ආන්ඩු පෙරලා දැමීමට කම්කරු පන්තිය මොනයම්ම හෝ ආකාරයකට බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කරන වෘත්තීය සමිති, සිරිසා සහ අනෙකුත් ව්‍යාජ-වාම සංවිධානයන්ගේ සහාය ලබමින් පැසොකය සමඟ තම සන්ධානය පවත්වාගෙන යයි.

සිරිසා සමග, ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (කේකේඊ) හා පෙරලාදැමීම සඳහා වූ ධනපති විරෝධී වාම සහයෝගිතාවයේ (ඇන්ටාස්යා) සමන්විත විවිධාකාර කන්ඩායම් වල මූලික ඉලක්කය නිල වෘත්තීය සමිති ආරක්ෂා කිරීම යි.

කප්පාදු පියවරයන් කෙරෙහි සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම මඟින් සිරිසා ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වුනි. එහෙත් කම්කරු පන්තියේ ජීවන තත්වයන් කප්පාදු කිරීම මගින් ග්‍රීක ධනවාදය ආරක්ෂා කිරීමේ ඉදිරි දර්ශනය සමග මූලිකව එකඟවන අතර කප්පාදුවේ කාලය හා පරිමාව සම්බන්ධව සංකේතාත්මක සහනයන් ඉල්ලා සිටින සුලු-ධනපති ස්තරයන්ගේ ප්‍රකාශකයා මෙම පක්ෂය යි. එහි මූලික කටයුත්ත නම් කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් මතුවීම වැලැක්වීම ය.

පසුගිය ජූනි මහ මැතිවරනයට ක්ෂනික ඉක්බිත්තෙහි, පක්ෂ නායක ඇලෙක්සිස් සිප්රාස් "අප රටට ආර්ථික, සහ දේශපාලන ස්ථාවරත්වය ගෙන දිය හැකි ග්‍රීසියේ පවතින එකම දේශපාලන ව්‍යාපාරය සිරිසා” යයි කටමැත දෙඩීය. තවද ඔහු කියා සිටියේ, මෙය "යුරෝපීය සංගමයට වැඩදායක වන අතර පොදු මුදල ආරක්ෂා කරන” බවයි. නව ප්‍රජාතන්ත්‍රවාදය නායකත්වය දෙන සභාගය එහි අලුත් කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම ආරම්භ කල විට "ආන්ඩුවේ වැටීමට උදව් කලයුතු කාලය නොවේ” යයි සිප්රාස් ප්‍රකාශ කලේය.

මාස ගනනක් යුරෝපීය අගනුවරවල් ගනනාවක සංචාරය කරමින්, ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්, ප්‍රන්ස අගමැති ප්‍රන්සුවා හොලන්දේ හා අ‍නෙකුන් හමුවූ සිප්රාස්, සිරිසාව ආර්ථික හා සමාජ රටාවේ බලයක් ලෙස යලි සහතික කලේය.

මෙම ව්‍යාජ-වාම කන්ඩායම් හා විශේෂ‍යෙන්ම සිරිසාවේ අන්ත අවස්ථාවාදය මගින් ඇතිකර තිබෙන කම්කරු පන්තියේ දේශපාලන හිරිවැටීම නිසා පමනකි ස්වර්නමය උදෑසනට ශක්තිමත්වීමට හැකිව ඇත්තේ. දක්ෂිනාංශික ආන්ඩුවලට මුක්කු ගසමින් හා බැංකුකරුවන්ගේ සංගමය ලෙස ප්‍රකට යුරෝපීය සංගමයට සහාය දෙන ව්‍යජ "වම්මුන්”ගේ ක්‍රියාකලාපය, ෆැසිස්ට්වාදීහු ගසාකති. "පැසොක් අංක 2” හා සංස්ථාපිතයේ පක්ෂය ලෙස සිරිසාව හෙලා දකින මොවුන්, පුරුද්දක් ලෙස තෙමේ විප්ලවවාදී විකල්පය ලෙස පෙනී සිටියි. සිරිසාව තමන්ගේ ආන්ඩුවක් බලයට පත්කිරීම සඳහා දොර විවෘත කරන බවට ස්වර්නමය උදෑසන කයිවාරු ගසයි.

නීති විරෝධී සංක්‍රමිකයන් ලෙස සැක කරන 66,000ක් දෙනා අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා පිටුවහල් කිරීම ඉලක්ක කල “Xenios Zeus” (සිනියෝස් සීයුස්) වැනි ආන්ඩුවේ පක්ෂ වල ජාතිකවාදී හා විදේශික විරෝධී උද්ඝෝෂනයන්ගෙන් ස්වර්නමය උදෑසන තවදුරටත් වාසි ලබයි. පැහැදිලිව තහවුරු වූ කරුනක් නම්, ස්වර්නමය උදෑසනෙහි ප්‍රහාරක කන්ඩායම් මූලිකවම සමන්විත වන්නේ නිල ඇඳුම ගලවා සිටින පොලිස් නිලධාරීන්ගෙන්ය. අඩුම ගනනේ ඇතන්ස් නගරයේ පොලීසියෙන් බාගයක් ෆැසිස්ට් පක්ෂයට ඡන්දය දී ඇත.

මේ තත්වය තුල, සංස්ථාපිතයේ පක්ෂයන්ට "ප්‍රජාතන්ත්‍රවාදී” යයි කියන මොනයම්ම හෝ අක්තපත්‍ර ප්‍රදානයක් විකාර ප්‍රෝඩාවක් වන අතර අව්‍යාජව ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යායාමය පාවාදීමකි. ග්‍රීක කම්කරුවන්, පුලුල් විරැකියාව හා දරිද්‍රතාවය අැති කිරීමට වැඩ කරන සහ අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කරන බැංකුකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නොනිල අඥාදායකත්වයක් ය‍ටතේ පීඩාවට පත්ව ඇත.

තමන් දැන් මුහුන දෙන තත්වයෙන් පමනක් නොව, අතීතයේ උගත් තිත්ත පාඩම්වලින්ද කම්කරුවන් හා තරුනයන් නිගමන උකහා ගත යුතුය. 1930ගනන් හා 1940ගනන් වල කේන්ද්‍රීය පාඩම නම්, ෆැසිෆ්ට්-විරෝධී "එකමුතුව” යන්න යටතේ, ස්ටැලින්වාදී හා ප්‍රතිසංස්කරන පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වරය යයි කියන ලද අයට කම්කරු පන්තිය යටත් කිරීම, එක් රටකට පසුව අනෙක වශයෙන් ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයට මඟ පෑදූ අතර අවසන් වූයේ යුරෝපයේ සහ ලෝකයේ සෑහෙන කොටසක භයංකර ප්‍රතිවිපාක ඇති කල යුද්ධයන්ගෙනි.

පලමුව ෆැසිස්ට් ඉතාලියත් හා ඉන්පසු නාසි ජර්මනිය සහ බල්ගේරියාවත් විසින් ආක්‍රමනය කිරීමට පෙරාතුව, 1936 සිට ග්‍රීසිය පාලනය කලේ මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් විසිනි. ආක්‍රමනිකයෝ තම සහකරුවන් සොයාගත්තේ ධනපති පන්තිය තුලිනි. යුද්ධයට පසුවත් ආරක්ෂා වූ මොවුන්ගෙන් බොහෝදෙනා, පසුව ප්‍රමුඛ දේශපාලන හා ව්‍යවසාය චරිතයන් ලෙස ඉස්මතු වූ අතර සීඅයිඒ ඒජන්තයකු වූ කර්නල් පැපඩොස් පවුලොස් ගේ "කර්නල්වරුන්ගේ තන්ත්‍රය”ට නායකත්වය සැපයූහ.

ධනපතියන් ගැන හෝ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් ගැන අද දිනයේ තබන මොනම හෝ විශ්වාසයක ප්‍රතිවිපාක ඒආකාර‍යෙන්ම ඛේදජනක වනු ඇත.

ඒ වෙනුවට, සෑම කම්කරු හා සංක්‍රමික නිවහන් ප්‍රදේශයකම ආරක්ෂක කමිටු ගොඩනැගීම ඇතුලු තම කොන්දේසි හා විධික්‍රමයන් මගින්, ග්‍රීක කම්කරුවන් සහ තරුනයන්, ස්වර්නමය උදෑසනට එරෙහි තම අරගලය ඉදිරියට ගත යුතු ය. ඔවුන් මෙය කල යුත්තේ, තම අරමුන, ග්‍රීක ධනවාදය ආරක්ෂා කිරීම අරුත් ගන්වන "ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම නොව, සමාජ විප්ලවය තුලින් අව්‍යජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානතාවය තහවුරු කිරීම බව වටහාගැනීම මගිනි.

බැංකු හා සමාගම් වල සම්පත් අල්ලාගෙන, ග්‍රීසියේ සම්පත්, රැකියා, අධ්‍යපනය, නිවාස සහ සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන හා කාර්මික ප්‍රහාරය සංවිධානය කල යුතු ය.

මෙය හුදෙක් ග්‍රීක කම්කරුවන්ගේම කර්තව්‍යයක් නොවේ. එම අරගලය, යුරෝපා සංගමයට හා එහි පාර්ශව ආන්ඩු වලට එරෙහිව, එක්සත් යුරෝපීය සමාජවාදී සංගමයක රූපය ගන්නා කම්කරු බලයක් තහවුරු කිරීම එල්ල කරගත් යුරෝපීය කම්කරු පන්තියේ පලල් දේශපාලන මැදිහත්වීමක් ලෙස සවිඥානිකව දියත් කල යුතු ය. එම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ලෙස නව, අව්‍යජ සමාජවාදී පක්ෂ ගොඩ නැගීම අවශ්‍ය වේ.

ක්‍රිස් මාර්ස්ඩන්

Share this article: