නීතියට ඉහලින්

Above the law

14 December 2012

ප්‍රධාන බැංකුවල සාපරාධී කටයුතු සම්බන්ධ මෑත ම සෝලිය තුල, මැක්සිකානු හා කොලොම්බියානු මත්ද්‍රව්‍ය කාටලයන් සඳහා අයථා ලෙස මහා පරිමානයෙන් කලු සල්ලි මාරු කිරීමේ චෝදනා මත බ්‍රිතාන්‍යයේ එච්එස්බීසී බැංකුව සමග එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව ඩොලර් බිලියන 1.9ක බේරුම් කිරීමක් දෙසැම්බර් 04දා නිවේදනය කලේ ය.

ගනුදෙනුව විශේෂයෙන් ම සැලසුම් කෙරුනේ යුරෝප‍යේ විශාල ම හා ලෝකයේ තුන්වැනි විශාල ම බැංකුව හෝ එහි ඉහල විධායකයන් කිසිවෙකුට එරෙහිව අපරාධ නඩු විභාගයක් වැලැක්වීමට ය. මත්ද්‍රව්‍ය වෙලෙන්දන් සඳහා ඩෙලර් ප්‍රකෝටි ගනන් ආයථා ලෙස මාරුකිරීම මෙන් ම ඉරානය, ලිබියාව, කියුබාව හා බුරුමයට (මියන්මාරය) එරෙහිව එක්සත් ජනපදය පැන වූ මූල්‍ය තහංචි උල්ලංඝනය කල බව බැංකුව පිලිගත්ත ද ඔබාමා පාලනය "පමා කල අභිචෝදනා ගිවිසුමක්” මගින් අධිකරන චෝදනාවක් මග හැරියේ ය.

2008 මූල්‍ය පද්ධතියේ බිඳවැටීමට තුඩුදුන් හා ගෝලීය අවපාතයට දොර විවර කල නීති විරෝධී කටයුතු සදහා මොනයම් හෝ වගකීමකින් ඉහල බැංකුකරුවන් ආවරනය කිරීමේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය සමග මෙම ගිවිස්නාව එකඟ ය. රැකියා මිලියන ගනනාවක් විනාශ වීමට සහ එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා කම්කරු පන්තියේ ජීවන තත්වයන් වැනසීමට මග පාදමින් වර්තමාන අර්බුදය ඇවිල වූ වංචාකාරී ගනුදෙනු වෙනුවෙන් ප්‍රධාන බැංකුවක එක ඉහල විධායකයෙකුට හෝ චෝදනා ඉදිරිපත් කර නැත. හිරේ දැමීම ගැන කියනුම කවරේ ද?

ආන්ඩුවේ ආරක්ෂාව යටතේ බැංකු සඳහා වාර්තාගත ලාභ හා ඉහල බැංකු කරුවන් සඳහා කවදාවත් නො වූ ඉලක්කම් හතේ විශාල සහන පැකේජවලට රුකුල් දෙමින් උමතු සමපේක්ෂනය හා රැවටිල්ල බාධාවකින් තොර ව ඉදිරියට යයි.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය 04දා මුල් පිටුවේ පල කල ලිපියක් තුල එච්එස්බීසී බැංකුවට නඩු නොදමීමේ තීරනයට තුඩු දෙමින් ඔබාමා පාලනය තුල පැවැත්වුනු අභ්‍යන්තර සාකච්ඡාව සාරාංශ කෙරුනි. අයථා මුදල් මාරු කිරීම සඳහා නොව, බැංකු රහස්‍යතා පනත උල්ලංඝනය කිරීමේ ලිහිල් චෝදනාවකට බැංකුවට නඩු දැමිමට ඉඩ ඇති සම්මුතියක් සඳහා අධිකරන දෙපාර්තමේන්තුවේ හා නිව් යෝක් දිස්ත්‍රික් නීතිපති දෙපාර්තමේන්තුවේ පැමිනිලිකරුවන් අනුබල දුන් බව ටයිම්ස් වාර්තා කලේ ය.

කෙසේ නමුත් මෙය ද ඔබාමා පාලනයට ඔරොත්තු නොදෙන තරම් ය. හිටපු නිව් යෝක් ෆෙඩරල් මහ බැංකු සභාපති ති‍මෝති ගීත්නර් ප්‍රධානත්වය දරන භාන්ඩාගාර දෙපාර්තමේන්තුව හා එච්එස්බීසී ඇතුලු ප්‍රධාන බැංකු පාලනය භාර ෆෙඩරල් නියාමන ඒජන්සිය වන මුදල් පාලකයාගේ කාර්යාලය එච්එස්බීසියට එරෙහි දැඩි නීතිමය පහරක් එල්ල කිරීම මූල්‍ය පද්ධතිය අනතුරේ හෙලනු ඇතැ යි යන පදනම මත මොන යම් හෝ නඩුවකට එරෙහිව නිෂේධ බලය යෙදූහ.

මෙයින් අදහස් කරන්නේ කුමක් ද? එච්එස්බීසීය එහි ලාභ හඹායාමේ දී ඊනියා "මත් ද්‍රව්‍ය යුද්ධයේ” ඉලක්කය වී ඇති මත් ද්‍රව්‍ය කාටලවල ක්‍රියාකාරකම්වලට පහසුකම් සැපයූ බවය. වොෂින්ටනයේ සහයෝගය හා නියෝගය මත මැක්සිකානු හමුදාව විසින් ගෙන යන ලද මෙකී යුද්ධයේ දී පුද්ගලයන් 60,000ට වඩා මියගොස් ඇත.

2011 සඳහා එහි ලාභවලින් සියයට 10ත් අඩු මුදලක් හා මත්ද්‍රව්‍ය හාම්පුතුන්ගේ ලේ වැකි මුදල් අයථා ලෙස මාරු කිරීමෙන් උපයාගත් මුදලින් ඇබිත්තක සංකේතාත්මක දඩයක් ගෙවීමට බැංකුවට ඉඩ දෙන ලදී. මේ අතර බොහෝ විට ජනගහනයේ ඉතාමත් දරිද්‍ර හා පීඩිත කොටස් අතර සිටින සුලු මත්ද්‍රව්‍ය වෙලෙන්ඳන් හා ඒවා පාවිචිචි කරන්නන් පුරුද්දක් ලෙස අත්අඩංගුවට ගෙන වසර ගනනාවක් ඇමරිකානු ශ්‍රම සිර කඳවුරුවල හිර කෙරෙති.

ගෝලීය මත්ද්‍රව්‍ය වෙලඳාම ක්‍රියාශීලීව මෙහෙයවන හා එයින් නිර්මානය කරන සමාජ විනාශයෙන් උපයන මුදලේ විශාල පංගුව භුක්ති විඳින මූල්‍ය පරපුට්ටෝ නීතයට ඉහලින් සිටිති. ටයිම්ස් සඳහන් කරන ආකාරයට, "අතිවිශාල ලෙස වර්ධනය වූ ද එමෙන් ම එකිනෙකට සම්බන්ධ වූ ද සමහර ආයතන නඩු දැමීමට තරම් විශාල වැඩි ය.”

කෙටියෙන් කියතොත්, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ පට්ටා ගැසුනු සැරසිලි පිටුපස බලපවත්වන අද දවසේ කතිපයාධිකාර ප්‍රතිපත්තිය මෙහි පවතී. අද දවසේ මූල්‍ය කොල්ලකාරී ප්‍රභූහු නීති රීති නොසලකති. උත්තර බැඳීමේ බියකින් තොරව ඔවුන්ට හොරකම්, පැහරගැනීම් හා අභිමතය පරිදි මිනීමැරිම් පවා කල හැක. ඔවුන්ගේ වස්තුවේ ආරක්ෂාව හා අපරාධකාරී නඩුවලින් ගැලවී සිටීම තහවුරු කර ගැනීමට ඔවුහු ඔවුන්ගේ දැවැන්ත වස්තුවෙන් කොටසක් දේශපාලඥයන්, විමර්ශකයන්, විනිශ්චයකාරයන් හා පොලීසියට, එනම් වොෂින්ටනය තුල බලයේ ඉහල ම තැන්වල සිට ප්‍රාදේශීය පොලිස් සීමාව දක්වා, අල්ලස් දීම සඳහා කැප කරති.

ෆෙඩරල් මහ බැංකුව, සුරකුම්පත් හා විනිමය කොමිසම (එස්ඊසී) හා මුදල් පාලනාධිකාරිගේ කාර්යාලය වැනි ඊනියා "නියාමකයන්ගේ ” කාර්යභාරය වනුයේ නිතිපතා බැංකුකරුවන් වෙනුවෙන් මැදිහත්වීම යි. දෛනික පදනමක් මත අපරාධ සිදුවෙමින් පවතින බව හොඳින් දන්නා අතර ඔවුහු ඒවා නොදුටුවාක් සේ සිටිති. මක්නිසා ද යත්, වෝල් වීදියේ කටයුතු වලට හා එය උපයන ලාභවලට අපරාධ ඓන්ද්‍රීයවම බැඳී තිබෙන බැවිනි.

එච්එස්බීසී හා අනෙකුත් ප්‍රධාන බැංකු, මත්ද්‍රව්‍ය කාටල හා අනෙකුත් අපරාධකාරී කන්ඩායම් සඳහා අයථා මුදල් මාරුකිරීම්වලට ඉදිරිපත් වුයේ, සැබවින් ම 2007 දී පටන් මතුවී එමින් තිබූ හා ලෙහ්මන් බ්‍රදර්ස් බිඳවැටීමත් සමග 2008 සැප්තැම්බරයේ දී පිපුරුනු මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් බවට සාක්ෂි තිබේ.

වැකෝවියා බැංකුව සම්බන්ධ 2010 වසරේ මත්ද්‍රව්‍ය කලු සල්ලි ගනුදෙනුව පිලිබඳව ඒ ආකාරයේ "පමා කල නඩු විභාගයකින්” පසු මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ එවකට ප්‍රධානී ඇන්ටෝනියෝ මාරියා කොස්ටා පැවසුවේ, අර්බුදයේ උච්ඡ අවස්ථාවේ දී අපරාධ ව්‍යාපාර සමූහයේ මුදල් සංසරනය, බැංකුවලට ලබා ගත හැකි එක ම "හුවමාරු කල හැකි ආයෝජන ප්‍රාග්ධනය” නියෝජනය කලේ ය යන්න යි. "අන්තර් බැංකු නයවලට අරමුදල් සැපයුනේ මත්ද්‍රව්‍ය වෙලඳාමෙන් ඉපදවුනු මුදල්වලිනි” යි ඔහු පැවසුවේ ය.

තමන්ගේම උමතු මුල්‍ය සමපේක්ෂන සැනකෙලියේ ප්‍රතිවිපාකවලින් වෝල් වීදිය ගලවාගැනීමේ තදියමෙහි කොටසක් ලෙස එක්සත් ජනපද නියාමකයන් හා දේශපාලන නායකයන් මෙම මෙහෙයුම්වලට තමන්ගේ නිහඬ එකඟත්වය ලබාදුන් බවට සැකයක් පැවතිය නො හැක.

මෑතක සිදුවූ තවත් බැංකු සෝලියක් තුල දී බැංකු නියාමකයන් හා බැංකු අතර ව්‍යභිචාරී සම්බන්ධතාව සම්පූර්නයෙන් ම දර්ශන පථයට පැමිනියේය. වංචා සහගතව ඩොලර් බිලියන 12ක පාඩු වසංකල 2007 හා 2009 අතර කාලයේ සිදුවීම් පිලිබඳව ඩොයිෂ් බැංකුවේ සේවකයන් තිදෙනෙකු පසුගිය සතියේ දී සුරැකුම්පත් හා විනිමය කොමිසමට පැමිනිල්ලක් කරමින් එම බැංකුවට එරෙහිව චෝදනා කලහ.

ඒ අතරතුර ෆෙඩරල් ඒජන්සියේ තනතුර භාර ගැනීමට පෙර 2004 සිට 2009 දක්වා ඇමරිකාව වෙනුවෙන් ඩොයිෂ් බැංකුවේ ප්‍රධාන උපදේශකයා වූ බැවින් සුරකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති රොබට් කුෂාමි පරීක්ෂනයේදී තෙමේ ආරක්ෂාව සලසා ගත් බව ෆයිනෑන්ෂල් ටයිම්ස් සටහන් කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, රහස් තොරතුරු අනාවරනය කරන්නන්ට අනුව බැංකුව ගිනුම් වංචාවේ පැටලුන අවස්ථාව වන විට එය නීත්‍යානුකූලව ආරක්ෂා කිරීම භාරව සිටියේ ඔහු ය.

ඩොයිෂ් බැංකුව හා අනෙකුත් ප්‍රධාන බැංකු දූෂිත උකස් -ඇප බැඳුම්කර ගනුදෙනු හරහා ලෝක මූල්‍ය පද්ධතිය දූෂනය කරමින් ඩොලර් ප්‍රකෝටි ගනන් උපයමින් සිටි කාලය යි මේ. මූල්‍ය බිඳවැටීම කෙරෙහි ඩොයිෂ් බැංකුවේ වංචාකාරී කටයුතුවල බලපෑම ගැන, විමර්ශන පිලිබඳ ස්ථීර සෙනේට් උපකමිටුවක් පසුගිය වර්ෂයේ දී තම විශාල වාර්තාවේ පිටු 45ක්ම මිඩංගු කලේ ය.

සුරැකුම් ඇප තැබූ නය හිමිකම් පිලිබඳව එම බැංකුවේ ලොකු ම ගනුදෙනු කරුවා, ඒ වන විට බැංකුව විකුනමින් සිටි බැඳුම්කර "ලටපට” හා "ජරාව” ලෙස සඳහන් කර ඇති අතර, බැංකු කර්මාන්තයේදී එම සීඩීඕ යන ගනුදෙනු ක්‍රමය "ප්‍රෝඩාකාරී යෝජනාක්‍රමයක්” ලෙස හැඳින්වීය යි වාර්තාකරු සටහන් කලේ ය.

කුෂාමි වැනි පුද්ගලයෙකු බැංකු රැකවරනය භාරව තැබීම සැබවින් ම ක්‍රියාමාර්ගයට උචිත ය. ඔබාමා පාලනය කුෂාමිට රැකියාව දිය යුතු යයි නිර්දේශ කල ඩොයිෂ් බැංකුවේ වර්තමාන ප්‍රධාන උපදේශක රිචඩ් වෝකර් ම ද සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු බලාත්මක කිරීමේ ප්‍රධානියා ය.

පසුගිය ජූනියේ දී ජේපීමෝගන් චේස් ප්‍රධාන විධායක ජැමී ඩිමොන්, අඩු වශයෙන් ඩොලර් බිලියන 5ක වාර්තා නොකල පාඩුවක් පිලිබඳව සෙනේට් සභාව ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේ දී ඔහුට පිටුපසින් වාඩි වී සිටි බැංකුවේ ප්‍රධාන නීති උපදේශක ස්ටෙෆන් කට්ලර්, එම කොමිසමේ ප්‍රධානියා වශයෙන් සේවය කිරීමෙන් පසු එම තනතුරට උසස් කර තිබුනි.

ඇමරිකානු ධනවාදයේ සියලු ම ආයතන පැටලුනු අපරාධයේ හා දූෂනයේ මෙම අශ්වගාල ප්‍රතිසංස්කරනය කල නොහැක. ආර්ථික ජීවිතය මත මූල්‍ය කතිපයාධිකාරයේ ග්‍රහනය අවසන් කල හැක්කේ බැංකුකරුවන් අස්වාමික කිරීමට හා ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතන මහජන අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීමට කම්කරු පන්තිය දැවන්ත ලෙස බලමුලු ගැන්වීම හරහා පමනි.

බැරී ග්‍රේ

Share this article: