ධවල මන්දිරය, කොංග‍්‍රස් මන්ඩලය පොලිස්-රාජ්‍ය එෆ්අයිඑස්ඒ නීතිය පුලුල් කරයි

White House, Congress extend police-state FISA law

29 December 2012

මුලුමනින්ම පාහේ කිසිදු මාධ්‍ය අවධානයකින් තොරව සිදු කෙරුනු, සිකුරාදා උදය වරුවේ එක්සත් ජනපද සෙනෙට් මන්ඩලයේ එක පැත්තකට බර ඡන්ද විමසුම, එක්සත් ජනපදය තුල හා ලොව වටා කෝටි සංඛ්‍යාත ජනයාගේ ඊ-මේල් හා අන්තර් ජාලය හරහා හුවමාරු කෙරෙන සෙසු පනිවිඩ නීතිවිරෝධී ලෙස රහසිගතව කියවීමේ බලය අතීතයටත් බල පවත්වන පරිදි ජාතික ආරක්ෂක ඒජන්සියට (එන්එස්ඒ) ලබා දෙමින් 2008 දී ප‍්‍රථම වතාවට සම්මත කෙරුනු නීතියක්, යලි අලුත් කලේය.

2012 එෆ්අයිඑස්ඒ සංශෝධිත පනත පක්ෂව ඡන්ද 73ක් හා විපක්ෂව ඡන්ද 23ක් ලෙස සම්මත වූයේ, ඩිමොක‍්‍රැටික් (31-20) හා රිපබ්ලිකන් (42-3) දෙපාර්ශ්වයේම විශාල බහුතරයන්ගේ සහයෝගය සහිතවය. එන්එස්ඒහි ඔත්තු බැලීම් මත සීමාවන් පනවන හෝ සිය මෙහෙයුම් සම්බන්ධයෙන් වගවීමට එය බන්ධවන සංශෝධන හතරක් බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා පැවති නම අඬගසා කෙරුනු ඡන්ද විමසීමේ දී පරාජය කෙරුනි.

රිපබ්ලිකන්වරුන්ගේ පාලනය යටතේ පවත්නා නියෝජිත මන්තී‍්‍ර මන්ඩලය සැප්තැම්බරයේ දී පනත සම්මත කල අතර, වසර අවසානයට පෙර එය ජනාධිපතිගේ අත්සන සඳහා ධවල මන්දිරයට යැවීම සහතික කරගනු පිනිස, කිසිදු සංශෝධනයකින් තොරව සෙනෙට් මන්ඩලය ද එම පනතම සම්මත කල යුතු යයි ඔබාමා පාලනාධිකාරයත් සෙනෙට් ඩිමොක‍්‍රැටික් නායකයෝත් අවධාරනය කලහ.

දැවැන්ත ප‍්‍රසිද්ධියක් ලබා දුන්, නව වසර උදාවන දින කි‍්‍රයාත්මක වීමට නියමිත බදු වැඩි කිරීම් හා අයවැය කප්පාදු පිලිබඳ හිරවීම (”මූල්‍ය ප‍්‍රපාතය”) මෙන් නොව, ඇමරිකානු ඔත්තු සේවා යන්ත‍්‍රයේ පොලිස්-රාජ්‍ය බලතල පවත්වා ගෙනයාමේ පනත සම්මත කරනු පිනිස එකට වැඩකිරීමේ කිසිදු අපහසුතාවක් පක්ෂ දෙකට නොවීය.

සියලු සංශෝධන ප‍්‍රතික්ෂේප කිරීම, හුදු පරිපාටිමය කාරනාවක් නොවීය. එමගින් පෙන්නුම් කෙරෙන්නේ, "ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” කඩතුරාව යටතේ ගොඩනගනු ලැබ ඇති දැවැන්ත ඔත්තු බැලීමේ හා ප‍්‍රකෝපකරන යන්ත‍්‍රයේ මෙහෙයුම් මොනයම් හෝ පාලනයකට නතු කල යුතු නැති බවට පවත්නා ද්වි-පාක්ෂික ඒකමතිකභාවයයි.

එක සංශෝධනයකට අනුව, ඇමරිකානු පුරවැසියකුගේ අන්තර්ජාල පනිවිඩ නිරීක්ෂනය කරනු පිනිස එන්එස්ඒ වරෙන්තුවක් ලබාගත යුතුය. තවත් සංශෝධනයක් යලි බලය දීමේ කාල පරිච්ඡේදය වසර පහේ සිට තුන දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටී. තෙවන සංශෝධනයකට අනුව, එන්එස්ඒ නිරීක්ෂනය කරන පනිවිඩවල විෂය පථය දක්වන, විදේශ ඔත්තු ප‍්‍රවීක්ෂන පනත යටතේ ස්ථාපිත කෙරුනු, රහස් එෆ්අයිඑස්ඒ අධිකරනයේ පරිපාටිමය නිගමනයන් ප‍්‍රසිද්ධ කල යුතුය.

සිවු වන සංශෝධනය, එන්එස්ඒ ඇමරිකානු පුරවැසියන්ගේ පනිවිඩ හුවමාරු කටයුතු නිරීක්ෂනය කරන පරිමාව එලිදරව් කිරීම ඉල්ලා සිටී. එම සංශෝධනය ඉදිරිපත් කල ඔරෙගන් ප‍්‍රාන්තයේ සෙනෙට් සභික රොන් වයිඩන් එන්එස්ඒ බි‍්‍රතාන්‍ය විජිත පාලකයන්ට සමාන කලේය. එකල බි‍්‍රතාන්‍ය විජිත පාලකයන් පුද්ගලික නිවාස සෝදිසි කිරීමට කල කඩාපැනීම් වරෙන්තු නැතිව ආන්ඩුවේ සෝදිසි තහනම් කල සිවු වන සංශෝධනය සම්මත කිරීමට තුඩු දුන්නේය. "විජිත පාලක යුගයේ දී කොස්තාපල්වරු හා රේගු නිලධාරින් එසේ කටයුතු කිරීම සුදුසු නොවීය. අද ජාතික ආරක්ෂක ඒජන්සිය එය කිරීම සුදුසු නැත” යයි ඔහු පැවසීය.

යලි බලය පැවරීමේ පනතට එරෙහි සියලු විරුද්ධතා ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල දීමක් ලෙස හෙලා දුටු, සෙනෙට් ඔත්තු සේවා කමිටුවේ ඩිමොක‍්‍රැටික් සභාපතිනි කැලිෆෝනියාවේ ඩියනේ ෆීන්ස්ටයින් ඔහුට පිලිතුරු දුන්නාය. ඇය "තවත් 9/11ක්” පිලිබඳව අනතුරු අඟවමින්, කියා සිටියේ, එන්එස්ඒහි ඔත්තු බැලීම් මත මොන යම් හෝ සීමාවන් පැනවීම සඳහා ඡන්දය දෙන අය "අපට කිසිවෙක් පහර දෙන්නේ නැතැයි විශ්වාස” කරන බවයි.

එන්එස්ඒ විසින් සිදු කෙරෙන ඔත්තු බැලීමේ කටයුතු අතීතයට බලපාන පරිදි නීතියුක්ත කරනු පිනිස, 2011 සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාර කඩතුරාවක් ලෙස යොදාගනිමින්, එෆ්අයිඑස්ඒ සංශෝධන පනතේ 2008 අනුවාදය කොංග‍්‍රස් මන්ඩලය තුලින් ලහිලහියේ සම්මත කර ගැනුනි. එන්එස්ඒ විදේශිකයන් "ඉලක්ක කිරීම” අවශ්‍ය වුවත්, එය භාවිතයේ දී සීමාවක් නොවීය. ඒ මක් නිසාද කියතොත්, එන්එස්ඒ හා එෆ්අයිඑස්ඒ උසාවිය විසින් එම නීතිය අර්ථදක්වනු ලැබ ඇත්තේ, විදේශීය ඉලක්කයකට මොන යම් ආකාරයකින් සම්බන්ධිත විය හැකි කිසියම් හෝ පනිවිඩ හුවමාරු කටයුත්තකට රහසේ සවන්දීමට බලය පවරන එකක් ලෙසය.

එනයින් ගත් කල, නිදසුනක් ලෙස, විකිලීක්ස් වෙබ් අඩවියට සහයෝගය පිනිස සංවිධානය කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් පිලිබඳව දේශපාලන කි‍්‍රයාකාරින් දෙදෙනෙකු අතර හුවමාරු වන ඊ-මේල් පනිවිඩයක් අතරමගදී ඩැහැගෙන ගබඩා කරගත හැකිය. ඒ මක් නිසාද කියතොත්, අදාල පුද්ගලයන් දෙදෙනාම ඇමරිකානුවන් වුවත් ඔවුන් එම සංවිධානයට සෘජු සම්බන්ධයක් නොතිබුනා වුවත්, විකිලීක්ස් එක්සත් ජනපද ආන්ඩුව විසින් ඉලක්ක කරගනු ලැබ ඇති විදේශ-පාදක කන්ඩායමක් වන බැවිනි.

මෙම නිදසුන තව දුරටත් පෙන්නුම් කරන පරිදි, විදේශීය ඉලක්කය අවශ්‍යයෙන් ම ත‍්‍රස්තවාදී සංවිධානයක් හෝ අල් කයිඩා ජාලයේ කොටසක් විය යුතු නැත. එය එක්සත් ජනපද විදේශ පිලිවෙතට විරුද්ධ දේශපාලන අදහස් දැරීම හෝ කි‍්‍රයාකාරකම් හේතු කොටගෙන එක්සත් ජනපද ආන්ඩුව විසින් නම් කරන ලද ඕනෑම පුද්ගලයෙකු හෝ කන්ඩායමක් විය හැකිය.

2007 දී, ඉලිනොයිස් ප‍්‍රාන්තයේ ඩිමොක‍්‍රැටික් ලිබරල් සෙනෙට් සභිකයෙක්, අන්තර්ජාල හා විදුලි සංදේශ ක්ෂේත‍්‍රයන්හි මහා පරිමානයෙන් ඔත්තු බැලීමේ බුෂ් පාලනාධිකාරයේ පිලිවෙත් හෙලා දුටු අතර නීති පනත් හරහා එවැන්නකට බලය පැවරීමේ මොනයම් හෝ ප‍්‍රයත්නයකට ද එරෙහි විය. කෙසේවෙතත්, 2008 ජූනි මස වන විට, බරක් ඔබාමා ඩිමොක‍්‍රැටික් ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගෙන සිටි අතර ඔහු ප‍්‍රධාන අන දෙන නිලධාරි තනතුරේ උරුමක්කාරයා ලෙස අනුමාන කල හැකි විය. එෆ්අයිඑස්ඒ සංශෝධිත පනතේ 2008 අනුවාදය සෙනෙට් සභාව හමුවට පැමිනි කල ඔහු එයට ඡන්දය දුන් අතර ඔහුගේ පාලනාධිකාරය එහි බලතල උපරිම මට්ටමින් යොදා ගෙන තිබේ.

සෑම දිනක දී ම එන්එස්ඒ පනිවිඩ -- ඊ-මේල්, දුරකතන ඇමතුම් හා සෙසු පනිවිඩ -- බිලියන 1.7ක් ගබඩා කර ගන්නා බව, වොෂිංටන් පෝස්ට් 2010 දී පල කල වාර්තාවක තක්සේරු කලේය. එන්එස්ඒ දත්ත ගබඩාව ඇමරිකානුවන් අතර හුවමාරු වූ පනිවිඩ ටි‍්‍රලියන 20කට වඩා එකතු කරගෙන සිටින බව, එන්එස්ඒ පිලිබඳ එවන් තොරතුරු එලිදරව් කරන්නෙක් චෝදනා කර තිබේ.

සත්‍යය කාරනාව නම්, ඇමරිකානු ජනතාවගේ ජීවිතවලට හා නිදහසට පවතින දැවැන්තම තර්ජනය නම් එක්සත් ජනපද ආන්ඩුව සහ එහි මිලිටරි-ඔත්තු සේවා යන්ත‍්‍රය -- මේ ග‍්‍රහලොවමත පවත්නා විශාලතම රාජ්‍ය මර්දන යන්ත‍්‍රය -- වන බවයි.

එන්එස්ඒ සෑම ඇමරිකානුවකුගේ ම පාහේ පනිවිඩ හුවමාරු කටයුතු ඩැහැගැනීමට තාක්ෂනය යොදා ගන්නා අතර, ෆෙඩරල් ආන්ඩුවේ සෙසු ඒජන්සි වඩා සම්ප‍්‍රදායික ආකාරයේ සුපරීක්ෂක හා සංවිධාන තුලට විනිවිදීමේ භාවිතාවන්හි යෙදෙයි. නිව් යෝර්ක් ටයිම්ස් මේ සතියේ වාර්තා කල පරිදි, එෆ්බීඅයි ත‍්‍රස්ත-විරෝධී කි‍්‍රයාකාරින් වෝල් වීදිය වාඩිලාගනු උද්ඝෝෂක කන්ඩායම් 2011 පතන සෘතුවේ දී වීදි විරෝධතා ආරම්භ කිරීමට පෙර පවා, එම කන්ඩායම් තුලට විනිවිද තිබුනි.

මිලිටරියම, උතුරු ඇමරිකානු ප‍්‍රධාන භූමියේ මිලිටරි කි‍්‍රයාකාරකම් සඳහා පිහිටුවන ලද ප‍්‍රථම මූලස්ථානය වූ, උත්තර අන දෙන මධ්‍යස්ථානය වැනි නව ව්‍යුහයන් හරහා ද එක්සත් ජනපද දේශසීමාව තුල දහස් ගනනින් යොදවා ඇති ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා භාවිතා කරමින් ද ඇමරිකානු ජනතාවට එරෙහිව එල්ල කෙරුනු දේශීය මෙහෙයුම්වල වඩවඩා යෙදී සිටී.

මෙම මර්දන කි‍්‍රයාකාරකම්වල ගාමක බලය ත‍්‍රස්තවාදය පිලිබඳ භීතිය නොව, සමාජ සේවාවන් හා වැඩ කරන ජනතාවගේ ජීවන මට්ටම් විනාශ කිරීම පිනිස කි‍්‍රයාවට දමමින් පවතින කප්පාදු පිලිවෙත්වලට එරෙහිව මහජන විරුද්ධත්වය පැනනැගීම ද එක්සත් ජනපදය තුල වැඩෙන අපාලිත සමාජ ප‍්‍රතිවිරෝධතාවන් ද පිලිබඳ භීතියයි. අවසාන විග‍්‍රහයේ දී, පොලිස්-රාජ්‍ය බලතල වර්ධනය කිරීම සමාජවාදීන් විසින් බොහෝ කලක් තිස්සේ පිලිගනු ලැබ ඇති සත්‍යයක් පිලිබඳ දෙස්දෙයි: එනම්, ධනවාදය තුල සමාජ අසමානතාවයේ වර්ධනය, එනම්, ඉහල සිටින මූල්‍ය වංශාධිපති පැලැන්තිය සහ ජනගහනයේ සෙසු කොටස් අතර නිරන්තරයෙන් වැඩෙන පරතරය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පවත්නා මොන යම් හෝ පදනමකට වල කපයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ඉල්ලා සිටින්නේ, ලාභ ගරන පද්ධතිය අවසන් කොට, මූල්‍ය පරපුටුවන් හා මහා සංගත අස්වාමික කොට, සමාජයේ ධන සම්පත් පොදු අයිතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තැබීමයි, එනයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ ජීවිතයේ මූලික පදනම වන ආර්ථික පද්ධතිය දක්වා පුලුල් කිරීමයි.

පැටි‍්‍රක් මාටින්

Share this article: