ඔබාමා හා වධ බන්ධන

Obama and torture

4 January 2013

එහි ලිබරල් හා "වාම” ක්ෂමාලාපකයින් ප්‍රගතිශීලී පියවර පිලිබඳ අපේක්ෂා මත සමපේක්ෂනයේ යෙදී සිටින අතර ඔබාමා පාලනය එහි දෙවන වාරය ආරම්භ කිරීමට සූදානම් වීමත් සමග සිදුවීම් නැවත වතාවක් පැහදිලි කර ඇත්තේ ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා ඔහුගේ පූර්වගාමියාගේ අපරාධ ඉදිරියට ගෙන යමින් හා ගැඹුරු කරමින් සිටින බව යි.

නිලයේ පලමු වසර හතරේ දී ඔබාමා හා ඔහුගේ නීතිපති එරික් හෝල්ඩර් ආක්‍රමනකාරී ලෙස වැඩ කලේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් කරන ලද සීඅයිඒ වධ හිංසා හා අපරාධ පිලිබඳ සියලු පරීක්ෂන යට ගැසීමට ය. නඩුකරයකට පසු නඩුකරයක දී එය මැදිහත් වී ඇත්තේ නීති විරෝධී ලෙස පුද්ගලයන් දහස් ගනනක් පැහර ගෙන හා වධ බන්ධනයට ලක් කර තිබූ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට උත්සාහ කල නඩු නිෂ්ප්‍රභ කිරීමට ය. මෙම අපරාධ ගැන තොරතුරු නිරාවරනය කර ගැනීමට උත්සාහ කල නීතිමය පියවර රාජ්‍ය රහස්‍යතාවේ පිහිට පැතීම මගින් නිෂ්ප්‍රභ කිරීමට එය උත්සාහ කලේ ය.

මෙම අධම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වන්නේ සීඅයිඒ ප්‍රශ්න විචාරකයන්ගේ සිට ධවල මන්දිරය දක්වා වන ධුරාවලියේ වධ දීම හා ඒවාට අන දුන් අය සම්පූර්න නිදහස භුක්ති විඳීම යි. මෙම අප්‍රසන්න දේශපාලන වාතාවරනය තුල ගම්‍ය ලෙසම වධ බන්ධන යුක්තිසහගත කරන හා සමස්ත ඇමරිකානු ජනතාව ම මෙම අපරාධයට පටලවන සීරෝ ඩාර්ක් තර්ටි බඳු ෆැසිස්ට්වාදී චිත්‍රපට බොහෝ සම්මාන හා විචාරාත්මක ප්‍රීති ඝෝෂා ලැබිය හැක.

එහෙත් මෙම සතියේ වොෂින්ටන් පෝස්ට් වාර්තාවක් පැහදිලි කරන පරිදි ඔබාමාගේ ධවල මන්දිරයේ ක්‍රියාවන් හුදෙක් යොමු වී ඇත්තේ අතීතයේ අපරාධ ආවරනය කිරීම හා වරදින් නිදහස් කිරීමට පමනක් නොව ගුනාත්මකව නව මට්ටමක දී ඒවා ඉදිරියට ගෙන යාමේ හැකියාව සහතික කිරීමට යි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ස්වීඩන ජාතිකයන් ද තුන්වැන්නා දීර්ග කාලයක් බ්‍රිතාන්‍යයෙහි පදිංචිකරුවෙකු ද වන උපතීන් සෝමාලි පුද්ගලයන් තිදෙනෙකුගේ ඉරනම පිලිබඳව පෝස්ට් පත්‍රය විස්තරයක් කර යි. ඔවුන් අප්‍රිකානු රටක් වන ජිබොටි හරහා ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන හිර මැදිරිවලට දමන ලද අතර, එහි දී මාස කීපයක් තිස‍්සේ එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්තයින් විසින් නැවත නැවතත් ප්‍රශ්න කිරීම්වලට යටත් කරන ලදහ.

මෙම රහස් රැඳවියන් තිදෙනාගේ උපකල්පිත අපරාධය වනුයේ දකුනු සුඩානයේ විශාල තීරුවක් පාලනය කර ඇති ඉස්ලාමීය මිලීෂියා කන්ඩායමක් වන අල්-ෂබාබ් කන්ඩායමට සහයෝගය දීම යි. මෙම සංවිධානය එක්සත් ජනපදයට එරෙහි ප්‍රහාරකට හසු කර ගෙන නැතත් වොෂින්ටනය විසින් එය විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අතර අල්-ෂබාබ් නායකයන්ගේ හිස්වලට ත්‍යාග නියම කර ඇත.

මෙම නම් කිරීම යටින් පවතින්නේ සෝමාලියාව මත ඇමරිකානු පාලනය දැඩි කිරීමට "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කඩතුරාව ගසා කෑමේ එක්සත් ජනපද උත්සාහය යි. මූලෝපායිකව වැදගත් ප්‍රදේශයක් වන සෝමාලියාවේ වෙරල තීරය ලෝකයේ තෙල් සැපයුමෙන් වැඩි ප්‍රමානයක් ප්‍රවාහනය කෙරෙන මධ්‍යධරනී මුහුද හා ඉන්දියානු සාගරය සම්බන්ධ කෙරෙන බාබ් අල්-මන්ඩාබ් සමූද්‍ර සන්ධිය යා කර යි.

"නියමිත පටිපාටියේ අවශ්‍යතාවයන් නොතකා ඔබාමා යටතේ රඳවා ගැනීම් ඉදිරියට” යන ශීර්ෂපාඨයෙන් පෝස්ට් පත්‍රය මෙසේ කිය යි: "2001 සැප්තැම්බර් 11න් පසු වසරවල මෙම උපක්‍රමය පිලිබඳව පුලුල් ව පැතිරුනු හෙලා දැකීම නොතකා ඔබාමා පාලනය රඳවා ගැනීම් - නියමිත පටිපාටියෙන් තොරව ත්‍රස්තවාදී සැකකරුවන් වෙනත් රටවල රඳවා ගැනීම හා ප්‍රශ්න කිරීම- වැලඳ ගෙන ඇත්තේ කෙසේ ද යන්න පිලිබඳ අලුත් ම උදාහරනය මේ මිනිසුන් ය. ”

පසුගිය අගෝස්තුවේ දී අත්අඩංගුවට ගැනුනු මෙම පුද්ගලයන් නිව් යෝර්ක් ෆෙඩරල් උසාවියට ඉදිරිපත් කෙරුනේ යන්තම් දෙසැම්බර් 21වැනි දා ය. අතරතුර හාර මාසයේ දී ඔවුන්ට සිදුවූයේ කුමක් දැ යි ෆෙඩරල් පැමිනිලිකරුවන් විසින් පැහදිලි නො කෙරුනි.

එක්සත් ජනපද ප්‍රශ්න කිරීම් සඳහා නයිජීරියාවේ බන්ධනාගාරයක රැඳවුනු තවත් චූදිත අල්-ෂබාබ් උදව්කරුවෙකු වන එරිත්‍රියන් ජාතිකයෙකුට එරෙහිව 2011 පැවති නඩුවක් ගැන වාර්තාව සඳහන් කර යි. ඔහුගේ නඩුවේ ප්‍රශ්න අසන්නෙකුගේ සාක්ෂිය අනුව එම පුද්ගලයා පලමුව එක්සත් ජනපද ඒජන්තයින්ගේ "කසල කන්ඩායම” (ඩර්ටි ටීම්) විසින් නීති විරෝධී ක්‍රමවේදයන්ට භාජනය කරන ලදී, ඊට පසු "පවිත්‍ර කන්ඩායමට”(ක්ලීන් ටීම්) භාරදුන් අතර එය ස්වයං-දෝෂාරෝපනයට එරෙහිව ඔහුගේ මිරන්ඩා අයිතිය (ස්වයං අපරාධාරෝපන ප්‍රශ්නවලට උත්තර නොදීමේ අයිතිය) ඔහුට කියවා එක්සත් ජනපද උසාවියක දී ඉදිරිපත් කිරීමට පාපොච්චාරනයක් ලබා ගැනීමට උත්සාහ කලේ ය.

මෙහි වචනයට නගා ඇත්තේ හිටපු උප ජනාධිපති ඩික් චේනි වරක් විස්තර කල රඳවා ගැනීම්, වධ බන්ධන හා නීතිය ඉක්ම වූ ඝාතන වෙලා ගත් මෘදු තෙපලක් වන "අඳුරු පැත්තට” යාම ය.

අල්-ෂබාබ් ආධාරකරුවන් ලෙස චූදිත පුද්ගලයන් තිදෙනාගේ වාර්තාව එලි දැක්වුනේ ආසන්න වශයෙන් වසර නවයකට පෙර මැසිඩෝනියාවේ දී සීඅයිඒ ඒජන්තයින් විසින් අල්ලා ගැනුනු ඛාලෙල් එල්-මාසි පැහැර ගැනීම, රඳවා ගැනීම හා දිග් ගැස්සුනු "අස්වාභාවික අතුරුදහන් වීම” වධ බන්ධන වලට එකතුවේ යැයි තීන්දු කරමින් මානව හිමිකම් පිලිබඳ යුරෝපීය අධිකරනය තියුනු තීරනයක් නිකුත් කලාට පසුව ය.

ඔහු හුදකලාව රඳවා ගැනුනු කාලය තුල දී එල් මාසි අස්වාභාවික මෛථුන්‍යය, සංවේදන නැති කිරීම, ශාරීරික පහරදීම්, බලෙන් කැවීම හා වෛද්‍ය ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරීම ඇතුලු බොහෝ වධ හින්සාවලට ගොදුරු කෙරුනි. රඳවාගැනීම හා රහස් අත්අඩංගුවට ගැනීමේ අභිප්‍රාය නම් රැඳවියා "බිඳවැට්ටීමට” කොන්දේසි නිර්මානය කිරීම යි. බුෂ් යටතේ වූ තත්වය මෙය යි. එය ඔබාමා යටතේ ද එසේ ම පවතී.

වෙනස් වී ඇත්තේ මොනවා ද? පෝස්ට් ලිපියට අනුව කියුබාවේ ගුවන්තනාමෝ හමුදා සිර කඳවුරේ ඉරනම පිලිබඳව කොන්ග්‍රසය සමග "අවුල” හා චූදිත ත්‍රස්තවාදීන්ට එරෙහිව එක්සත් ජනපද උසාවි තුල නඩු ඇසීමට වන ඔබාමා පාලනයේ යෝජනාවලට ඇති බාධක සැබෑ ප්‍රතිපත්තියකට මග පාදා ඇති අතර එය යටතේ ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයන් මගින් ත්‍රස්තවාදී සැකකරුවන් ඝාතනය පහසු බව පාලනය හදුනා ගන්නා අතර විදේශිකයන් රඳවා ගැනීම පෙරටත් වඩා වැදගත් වී ඇත.

2011දී යේමනයේ දී ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කෙරුනු නිව් මෙක්සිකෝවේ උපන් පූජකයෙකු වන අන්වර් අව්ලාකි ඇතුලු ව එක්සත් ජනපද පුරවැසියන් ඝාතනයට ඇති අයිතිය ප්‍රකාශ කිරීම සඳහා ඔබාමා පාලනයේ නීත්‍යානුකූල යුක්තිසහගත කිරීම විස්තර කෙරෙන සටහනක් එක්සත් ජනපද ආන්ඩුව ප්‍රසිද්ධ කල යුතු යයි ඉල්ලන පැමිනිල්ලක් නිව් යෝක් ෆෙඩරල් විනිශ්චයකාරවරියක විසින් ප්‍රතික්ෂේප කරන ලදැ යි එදිනම පෝස්ට්> පත්‍රය වාර්තා කලේ ය.

දශකයක් තිස්සේ දිගට ඇදෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ගේ හා විධායකයේ අමු සාපරාධිත්වයේ අවධිය තුල දී විනිශ්චයකාරිනී කොලීන් මැක්මැහෝන්ගේ තීන්දුව අධිකරන අංශයේ බෙලහීනතාවයේ ප්‍රකාශකයකට සමාන විය.

"ඔවුන්ගේ නිගමනය සඳහා වූ කාරනා රහසක් ව තබා ගන්නා අතර, ඒවායේ මතුපිටින් අපගේ ව්‍යවස්ථාව සමග නොපෑහෙන බව පෙනෙන සමහර පියවර සපුරා ම නීත්‍යානුකූල බව ප්‍රකාශ කිරීමට අපගේ ආන්ඩුවේ විධායක අංශයට ඵලදායි ලෙස ඉඩ දෙන නීති හා පටිපාටි ගොන්න හාත් පස මට මගක් සොය ගත නොහැක” යි ඈ සඳහන් කලා ය.

නැවත වතාවක්, ව්‍යවස්ථාදයක ප්‍රතිපත්ති හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා ඇමරිකානු පාලක සංස්ථාපිතය තුල කිසිදු සැලකිය යුතු කන්ඩායමක් නැති බව හෙලිදරව්වේ. ඔවුහු රාජ්‍යයේ හතුරෝ ය යන ඔහුගේ තනි ප්‍රකාශය මත එක්සත් ජනපද පුරවැසියන් දින නියමයක් නොමැති හමුදා අත්අඩංගුවට යටත් කිරීමට හා චෝදනා හෝ නඩු විභාගවලින් තොර ව ඝාතනය කිරීමට අනදීමේ අයිතිය එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා තමාට ම අයුතු ලෙස ආරෝපනය කර ගෙන ඇත. එමෙන් ම, අධිකරනය හෝ ප්‍රධාන පක්ෂවල හෝ සංගත පාලිත මාධ්‍ය තුල හෝ කිසිදු ප්‍රමුඛ පුද්ගලයෙකු මෙම ඒකාධිපති ප්‍රතිපත්තියට අභියෝග කිරීමට සූදානම් නැත.

අවසාන විග්‍රහයේ දී, මෙම දේශපාලන ගමන් මග මුල් බැස ගන්නේ ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය සහ මූල්‍ය ප්‍රභූව ද ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරු පංතිය ද බෙදාලන විශාල පරතරය පිලිබඳ එහි දුෂ්ට ප්‍රකාශනය තුල ය. සමාජ අසමානතාවයේ පෙර නො වූ විරූ වර්ධනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති ශක්‍ය නොවන්නට ඉඩ හරි යි.

අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය මත පටවන පාලනයේ ප්‍රතිපත්ති පිලිබඳ දැනුම විප්ලවවාදී නැගිටීම් පොලඹවනු ඇති අතර පාලක සංස්ථාපිතය පොලිස් ඒකාධිපතිත්වයක් සඳහා රාමුව සකස් කරමින් සිටී. කම්කරු පන්තිය සූදානම් විය යුතු ය. අද සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම ධනවාදය අවසන් කිරීමේ අරගලයක් තුල කම්කරු පන්තිය තම ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම මත රැඳේ.

බිල් වෑන් ඕකන්

Share this article: