2013දී ආසියාව

Asia in 2013

18 January 2013

ආසියාවේ කම්කරු පන්තිය හා පීඩිත ජනතාව ගැඹුරුවන ආර්ථික හා සමාජ අර්බුදයකටත් නැගී එන යුද්ධයේ අන්තරායකටත් මුහුනපා සිටිති. පාලක පන්තීන් ජාතිකවාදයේ හා මිලිටරිවාදයේ වස විස මත වාරුවීමත් සමග සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තිය එක්සත් කිරීමේ හදිසි අවශ්‍යතාවය මතුව එයි.

නව ලෝක යුද්ධයක් පිලිබඳ විභේදන රේඛා ආසියාවේ තරම් වෙන කොහේවත් මෙතරම් පැහදිලි නැත. ඔබාමා පාලනය පැරනි මිලිටරි සම්බන්ධකම් ශක්තිමත් කිරීම, නව මූලෝපායාත්මක හවුල් ඇටවීම, නව කඳවුරු ස්ථාපිත කිරීම හා මිලිටරි පහසුකම් ස්ථානගත කිරීමත් සමග- මේ සියල්ල ඉලක්ක වන්නේ චීනය වෙතට ය- එහි "ආසියා ශාන්තිකරයට හැරීම” කලාපය පුරා භූ-දේශපාලනික ආතතීන් තියුනු කර යි.

තම උත්සුකයන් ආක්‍රමනකාරී ලෙස ක්‍රියාවේ යෙදවීමට සහචරයින් පෙලඹවීම මගින් එක්සත් ජනපදය, කලාපයේ ගැටුම් සහගත තැන් ගිනියම් කර ඇත. වොෂින්ටනය විසින් පොලඹවන ලදුව පිලිපීනය හා වියට්නාමය, චීනය සමග දකුනු චීන මුහුදේ භූමිභාගයන් පිලිබඳ ආරවුල් වලදී තම තමන්ගේ තත්වය සවිමත්කර ගැනීම පිනිස ගිනිකොනදිග ආසියානු රටවල පෙරමුනක් පිරියම් කිරීමේ උත්සාහයක නිරතව සිටියි. කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උනුසුම් වීමට කොන්දේසි සකසමින් එක්සත් ජනපදයේ සහාය ඇතිව දකුනු කොරියාව, උතුරු කොරියාව සමග සම්බන්ධකම් වැඩි කිරීම ඉලක්ක කරගත් මුල් හිරුරැස් ප්‍රතිපත්තිය අත්හැර දැමීය.

නැගෙනහිර චීන මුහුදේ මතභේදාත්මක සෙන්කාකු/ ඩයෝයූ දූපත් සම්බන්ධයෙන් පුපුරා ඇති මතභේදයන්හි දී එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ අපරීක්ෂාකාරී බව විශේෂයෙන් ම ප්‍රකට ය. සැප්තැම්බරයේ සිට, එනම් ටෝකියෝව එම ගල්පර ප්‍රදේශය "ජාතිය සතු” කල අවස්ථාවේ පටන්, ජපාන හා චීන නාවික යාත්‍රා හා දැන් ගුවන් යානා ඒ ආසන්න මුහුදේ හා ගුවනේ අවදානම් නිරීක්ෂන හා ප්‍රති නිරීක්ෂනයන්හි නියලී ඇත. ඕනෑ ම සිද්ධියක් ලෝකයේ විශාලත ම ආර්ථිකයන් තුන, එනම් එක්සත් ජනපදය, චීනය හා ජපානය පැටලෙන ගැටුමක් ඇවිලීමේ තර්ජනය මතු කර යි.

ඔබාමා පාලනයේ කුහකත්වය සීමාවන් නොදනී. "දිවයින් ආරක්ෂාව” යන ජපාන පිලිවෙත ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය ජපානය සමග ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස පවත්වන අතරතුරම එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් කැම්බෙල් 17දා කියා සිටියේ දූපත් ආරවුලේදී "තැන්පත් සිත් සතන් තිබීම ” අවශ්‍ය බව ය. භූමිභාග මතභේද වලදී වොෂින්ටනයේ අපක්ෂපාතිත්වය ප්‍රකාශ කරන අතරම ඇමරිකානු නිලධාරීන් නැවත නැවතත් අවධාරනය කර ඇත්තේ දිවයින් පිලිබඳ ඕනෑ ම ගැටුමක දී එක්සත් ජනපදය මිලිටරිමය වශයෙන් ජපානය පසෙකින් සිටින බව යි.

ටෝකියෝව බීජීනය හමුවට තල්ලු කිරීම මගින් එක්සත් ජනපදය ජපාන ජාතිකවාදය හා මිලිටරිවාදය පුනර්ජීවනය කිරීමට උදව් කරන අතර එය පසුගිය මාසයේ මැතිවරන ව්‍යාපාරය තුල ආධිපත්‍යය දැරීය. එහි ප්‍රතිඵලය වශයෙන් අගමැති ෂින්සෝ අබේගේ නායකත්වය යටතේ දක්ෂානංශික ආන්ඩුවක් බලයට පත් විය. සතියක් ඉක්ම යාමටත් පෙර ආන්ඩුව දශකයක් තුල පලමු වතාවට මිලිටරි වියදම් වැඩි කරන බව ප්‍රකාශයට පත් කරමින්, මතභේදයට තුඩුදී ඇති දූපත වටා ජපාන හමුදා තර කල අතර ගිනකොන දිග ආසියාවේ ආර්ථික හා මූලෝපායාත්මක බැඳීම් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරය ආරම්භ කලේ ය.

ජපන් අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ක්‍රියාවට නැඟීමට හැකි වන පරිදි එරට ආත්මාරක්ෂක හමුදා "සම්මත මිලිටරියක්” බවට පරිවර්තනය කිරීම පිනිස ජපානයේ පශ්චාත් යුද ව්‍යවස්ථාවේ ඊනියා සාමවාදී වගන්තිය සංශෝධනය කිරීමට අබේ බලාපොරොත්තු වෙයි. පිලිපීන ආන්ඩුව ජපානය සමග කිට්ටු සහයෝගිතාව හා චීනයට ප්‍රතිතුලනයක් ලෙස "මිලිටරිමය ශක්තිමත් ජපානයක්” සඳහා ප්‍රසිද්ධියේ සහයෝගය පල කිරීමත් සමග ජපාන මිලිටරිවාදය යලි හිස එසවීම මේ වන විටත් කලාපීය පෙල ගැසීම වෙනස් කරමින් තිබේ.

ඔබාමාගේ ආසියාව වෙත "හැරීමේ” ගාමක බලය, නරකිනුත් නරක අතට හැරෙන ලෝක ආර්ථික අර්බුදය යි. විශේෂයෙන් ම නිෂ්පාදනයේ ගෝලීයකරනයට කේන්‍ද්‍රය වන ආසියාව තුල සිය ගෝලීය ආධිපත්‍යය පවත්වාගෙන යාමට මිලිටරි බලය යොදා ගනිමින් එක්සත් ජනපදය එහි ආර්ථික බිඳවැටීම පසු බැස්සවීමේ උත්සාහයක යෙදී සිටියි. කෙසේ නමුත්, ආර්ථික වර්ධනයේ ස්වාධීන එන්ජිමක් වීම වෙනුවට ආසියානු ආර්ථිකයන්, එහි අපනයන සඳහා ප්‍රමුඛ වන යුරෝපීය හා ඇමරිකානු වෙලඳපොලවල අවපාතයේ ප්‍රහාරයට ලක්ව තිබේ. 2012දී චීනයේ වර්ධන අනුපාතය සියයට 10.4 සිට සියයට 7.7 දක්වා තියුනු ලෙස වැටුනි. ඉන්දියාවේ රේට්ටුව සියයට 8.9 සිට 5.5 දක්වා වැටුනි. ජපානය නැවතත් අවපාත‍යේ ගිලී ඇත.

සිය යුරෝපිය හා ඇමරිකානු අනුචරයින් මෙන්ම ආසියාවේ පාලක පන්තීන් ද සතුව ඉහල යන ආර්ථික ගැටලුවලට ඇත්තේ එක ම විසඳුමකි. එනම්, සිය රටේ කම්කරු පන්තිය හා විදේශයන්හි සිය තරඟකරුවන් මත ආර්ථික බර පැටවීමට උත්සාහ ගැනීම යි. ඔවුන්ගේ කප්පාදු පියවර මගින් උත්පාදනය කෙරෙන නැගෙන සමාජ ආතතීන් විදේශීය "හතුරෙකුට” එරෙහිව පිටතට යොමු කිරීමට උත්සාහ ගැනීමත් සමග කලාපය පුරා අහිතකර ජාතිකවාදී ගිනිදැල් නැගෙමින් පවතී.

චීනයේ හා ජපානයේ පාලක ප්‍රභූව අවුස්සන ජාතිකවාදී ඝෝෂාව මුල් බැස ගන්නේ, ආර්ථිකයන් හැකිලීමත් සමග එලඹෙන සමාජ නැගිටීම කෙරෙහි ඔවුන් දක්වන භීතිය තුල යි. ඒ ආකාරයෙන් ම, නව දිල්ලිය හා ඉස්ලාමාබාදය ද ඔවුන්ගේ අභ්‍යන්තර අර්බුද වෙතින් අවධානය ඉවතට හැරවීම පිනිස වර්ගවාදී වෛරය ඇවිස්සීමත් සමග මේ වන විට යුද්ධ දෙකකට පැටලී ඇති, ඉන්දියාව හා පකිස්තානය අතර කාෂ්මීරයේ දේශ සීමා ආරවුල නැවත වතාවක් ඇවිලී ඇත.

ජාතිකවාදයේ පිටාර ගැලීම වර්ධනය වන ආයුධ තරඟය සමග අත්වැල් බැඳගනී. වොෂින්ටනය චීනයේ ආරක්ෂක වියදම් හුවාදක්වද්දී කලාපය පුරා මිලිටරි වියදම් පුලුල් වෙමින් ඇත. මූලෝපායික අධ්‍යයනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයට අනුව පසුගිය වසරේ දී මිලිටරි වියදම් අතින් යුරෝපය පසුබැස්සවීමට ආසියාව සූදානම් වෙමින් සිටියේය. 2011 චීනයේ, ජපානයේ හා ඉන්දියාවේ ආරක්ෂක වියදම් පිලිවෙලින් ඩොලර් බිලියන 89.9, 58.2 හා 37ක් විය. ගිනිකොන දිග ආසියාතික රටවල් සාමූහිකව බිලියන 24.5 දක්වා සියයට 13.5කින් ඔවුන්ගේ වියදම් වැඩි කලහ. ඩොලර් බිලියන 670ක් වන එක්සත් ජනපද ආරක්ෂක අයවැය මේ දක්වා ම සියලු විභව ප්‍රතිවාදීන් අඟටුමිට්ටන් බවට පත්කර ඇත.

පැහැදිලි වෙනස්කම් තිබෙන නමුදු, යටත් විජිත ජය ගැනීම මගින් ආර්ථික අවපාතයෙන් ගැලවීමට ජපන් අධිරාජ්‍යවාදය උත්සාහ කල 1930 ගනන්වල පූර්ව යුද්ධ කාලපරිච්ඡේදයේ දෝංකාරය වර්තමාන තත්වය හමුවේ ද නැඟී එයි. ජපානය චීනය තුල මිලිටරි වාඩිලාගැනීම මගින් එරට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග යුද ගැටුමකට ඇද දැමූ අතර එය ආසියාව හා ශාන්තිකරය පුරා යුද්ධයකට තුඩු දුන්නේය. පසුගිය දශක දෙක තුල සෝවියට් සංගමයේ ඇදවැටීම, චීනයේ ධනේශ්වර පුනුස්ථාපනය හා ඉන්දියාව වෙලඳපොල ගැති ප්‍රතිපත්ති කරා හැරීම කලාපීය ප්‍රතිවිරෝධතා හා විනාශකාරී න්‍යෂ්ටික ගැටුමක අනතුර විශාල ලෙස වැඩි කරමින් අධිරාජ්‍යවාදී පර්යාය තුල තමන්ගේ ස්ථානය පතන උන්නතිකාමි ධනේශ්වර ප්‍රභූවක් නිර්මානය කර ඇත.

එම ක්‍රියාදාමය ම ලෝක ජනගහනයෙන් අඩකට වාසස්ථානය වූ ආසියාව තුල කම්කරු පන්තියේ දැවන්ත ව්‍යාප්තියකට ද මග පාදා ඇත. ලෝකය වටා එහි පන්ති සහෝදර සහෝදරියන් සමග එක්ව, වැඩිවෙන සමාජ දුර්දශාව හා යුද්ධයේ ම්ලේච්ඡත්වය කරා ඇද වැටීමේ මූලික හේතුව වන ධනවාදය තුරන් කිරීම මගින් පමනක් වැලක්විය හැකි, සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ හැකියාව ඇති එක ම සමාජ පන්තිය මෙය යි. සියල්ලටත් වඩා ඒ සඳහා අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරව කම්කරු පන්තිය එක්සත් කිරීම පිනිස සියලු ම ආකාරයේ ජාතිකවාදයන් හා වර්ගවාදයන්ට එරෙහි දේශපාලන සටනකි. ඒ අනුව ස්ටැලින්වාදය ද, විශේෂයෙන් ම, ජාතික ධනේශ්වරයට කම්කරු පන්තිය යටත් කිරීම මගින් එකක් පසු පස තවත් එකක් වශයෙන් සිදුකල විනාශකාරී පාවාදීම් වලට වගකිව යුතු මාඕවාදී ප්‍රභේදය ද සමග දේශපාලන ගනුදෙනු බේරා ගත යුතු ය.

මෙහි අර්ථය, 20වැනි සියවස පුරාම වාගේ ස්ටැලින්වාදයට එරෙහිව ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන ගිය දිග්ගැස්සුන අරගලයෙන් අවශ්‍ය පාඩම් උකහා ගැනීම හා ආසියාව පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනඟමින් ඉදිරි විප්ලවවාදී අරගල මෙහෙයවීම යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: