ජීවන තත්වයන් පහත වැටීම හමුවේ ප්‍රකෝටිපතියෝ වාසි ලබති

Billionaires gain as living standards fall

11 January 2013

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකය අනුව ලෝකයේ පොහොසත් ම පුද්ගලයන් 100දෙනා 2012දී ඔවුන්ගේ ඒකාබද්ධ ධනයට ඩොලර් බිලියන 241ක් එකතු කර ගත්හ. ලෝක කොටස් වෙලඳපොල මිල ගනන් මත දෙසැම්බර් 31දා ගනනය කෙරුනු ආකාරයට ඉහල ම 100දෙනා, එක් අයෙකු සාමාන්‍ය වශයෙන් ඩොලර් බිලියන 20 බැගින් ඩොලර් ට්‍රිලියන 1.9ක් පාලනය කලහ.

ඉහල ම 100දෙනා වෙන ම රාජ්‍යයක් වූයේ නම් ඔවුන්ගේ ඒකාබද්ධ ධනය (ධනවත් ම) රටවල් අටක් හැරුනු කල සෙසු කවර හෝ රටක සමස්ත දල ජාතික නිෂ්පාදිතය ඉක්මවනවා ඇත. එම රාජ්‍යය ඉතාලියට පිටුපසින් ශ්‍රේනිගත කෙරෙනු ඇති නමුත් ඉන්දියාවට හා රුසියාවට ඉදිරියෙන් සිටිනවා ඇත. සත්තකින් ම ප්‍රකෝටිපති ධනපතීන් වශයෙන් ඉහල ම 100දෙනා කිසි දෙයක් නිෂ්පාදනය නොකරති. අන්‍යයන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ අත්කරගෙන ඔවුහු ඒවා භුක්ති විඳිති.

සුපිරි පොහොසතුන්ගේ වැඩි වන ධනයේ ප්‍රධාන ධාවකයා වූයේ ගෝලීය කොටස් වෙලඳපොල තුල නැගීම යි, එම්සීඅයිසී ලෝක දර්ශකය අනුව වැඩිවීම සියයට 13.2කි; එස්ඇන්ඩ්පී 500 ගනනය කල පරිදි එක්සත් ජනපදය තුල සියයට 13.4ක වැඩිවීමකි. ග්‍රීක නය අර්බුදය යුරෝ කලාපයේ ක්ෂනික බිඳවැටීමකට හේතු නොවනු ඇතැයි ආයෝජකයන් තක්සේරු කල අවස්ථාවේ ස්ටොක්ස් යුරෝප් 600 දර්ශකය ජූනියේ සිට සියයට 19.6කින් ඉහල ගියේ ය.

ඉහල ම ප්‍රකෝටිපතියන් 12 දෙනාගෙන් 9 දෙනෙකු ම ද, ඉහල 100දෙනාගෙන් 37දෙනෙකු ද එක්සත් ජනපදයෙනි. මුල් සිය දෙනා සතු ඒකාබද්ධ දේපල වටිනාකමින් අඩක් ඇමරිකානුවන් සතු ය. එම සිය දෙනාගෙන් 34ක් සතු රුසියාව ද ඇතුලත් යුරෝපය ඊට පසුපසිනි. 14ක් සතු ආසියාව ද 11ක් සතු ලතින් ඇමරිකාව ද ඊටත් පසුපසිනි.

ඉහල ම 100දෙනා අතර විශාල ම වාසි හිමි කර ගත්තේ ස්පාඤ්ඤයේ ඇමන්සි ඔටීගා ය, ඉන්ඩිටෙක්ස් එස්ඒ සිල්ලර වෙලඳාමේ නිර්මාතෘ ද ෂාරා ඇඳුම් පැලඳුම් දාමයේ ව්‍යාපාර මෙහෙයවන්නා ද වන 76වියැති ඔහුගේ ධනස්කන්ධය ඩොලර් බිලියන 35.3 සිට බිලියන 57.5 දක්වා ඉහල ගියේ ය. එමඟින් ඔහු ලෝක දර්ශකයේ තුන්වන ස්ථානයට පැන ගත්තේ ඇමරිකානු ආයෝජක වොරන් බුෆේ පසු කරමිනි. ඔහු දැන් සිටින්නේ වසර ගනනාවක් දර්ශකයේ මුදුනේ සිටි මෙක්සිකානු බැංකු, විදුලි සන්දේශ හා මාධ්‍ය බලවතෙකු වන කාලොස් ස්ලිම්ට හා මයික්‍රොසොෆ්ට් ප්‍රධානී බිල් ගේට්ස්ට පමනක් පසුපසිනි.

ඔටීගා ප්‍රවනතාවක කොටසක් විය. වසරේ විශාලත ම වාසි, සියයට 20 දක්වා, හිමි කොට ගත් ප්‍රකෝටිපතියන් වූයේ සිල්ලර වෙලඳ ව්‍යාපාර හිමියන් ය. අයිකේඊඒ නිර්මාතෘ 86 හැවිරිදි ලෝකයේ පස්වැනි ලොකු ම පොහොසතා වන ඩොලර් බිලියන 42.9ක හිමිකරු ඉන්ග්වාර් කැම්ප්‍රාඩ් ද; ඇමේසන් ඩොට් කොම්හි ජෙෆ් බෙසෝස් ද; වොල් මාට් ආරම්භක සෑම් වෝල්ටන්ගේ උරුමකරුවන් හතරදෙනා ද අනෙකුත් සිල්ලර වෙලඳ ව්‍යාපාර හිමිකරුවන්ට ඇතුලත් වෙති.

2008 වෝල් වීදියේ බිඳවැටීමේ සිට පාරිභෝගික වියදම් සාරභූතව ම එක තැන පල් වී ඇති හෙයින් මෙම වැඩිවීම සැලකිය යුතු ලෙස වැදගත් ය. සිල්ලර හාම්පුතුන් ඔවුන්ගේ ධනය වැඩි කර ගනිමින් සිටින්නේ වැඩි වශයෙන් අලවිය වැඩිවීම නිසා නො ව විශාල ම සමාගම්වලට ඒකාධිකාරී ලාභ ගෙන දෙමින් ඔවුන්ගේ කුඩා තරඟකරුවන් අර්බුදය මගින් විනාස කෙරෙමින් පවතින නිසා ය. උදාහරන වශයෙන්, රැකියා 20,000ක් අහෝසි කෙරෙමින් තරඟකාරී බෝඩර්ස් සමාගම ඇදවැටීමෙන් අනතුරුව 2012දී බෙෂෝස් තම ශුද්ධ වටිනාකමට ඩොලර් බිලියන 6.9ක් එකතු කර ගත්තේ ය.

ප්‍රකෝටිපතියන්ගේ වැඩිවෙන ධන සම්පත් හා මහජනතාවගේ පිරිහෙන ජීවන තත්වයන් අතර අපසරනය ගෝලීය ධනවාදයේ සාරභූත ලක්ෂනයකි. මෙම විලක්ෂනය, ඉන්ඩිටෙක්ස් හා එහි සාරා වෙලඳසැල් 1,600 නිර්මාතෘ සෙනොර් ඔටීගා 2012 අතරතුර ඩොලර් බිලියන 22.2න් තම ධනය වැඩි කර ගත් ස්පාඤ්ඤයේ දී තරම් විශද ලෙස පෙනී යන තැනක් තවත් නැත.

ධනවාදයේ අර්බුදය ස්පාඤ්ඤ කම්කරු පන්තියට විනාසය ගෙනැවිත් ඇත. කුටුම්භ වත්කම් පහත වැටීමේ සාමාන්‍යය සියයට 8 ක් වන අතර එය යුරෝපීය රටවල් අතරින් අවපාතයෙන් විනාශ මුඛයේ සිටින ග්‍රීසියට පමනක් දෙ වැනි වූ අගයකි. සමස්ත විරැකියාව හා තරුන විරැකියාව පිලිවෙලින් සියයට 26.6ක් හා සියයට 56.5ක් වන වාර්තාගත මට්ටම් වලට නැඟුනි. අගමැති මරියානෝ රජෝයි නායකත්වය දරන දක්ෂිනාංශික ආන්ඩුව පොදු අධ්‍යාපනය හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් විනාස කරමින් රජයේ වියදම්වල දැවැන්ත කප්පාදුවක් ප්‍රකාශ කර ඇත.

එහෙත් මහා අවපාතයේ සිට නරක ම ආර්ථික කොන්දේසි යටතේ ස්පාඤ්ඤ කම්කරු පන්තිය විඳවන අතර රජෝයි ආන්ඩුව නිවේදනය කල කප්පාදුවල සමස්ත එකතුවට වඩා එක් ස්පාඤ්ඤ ප්‍රකෝටිපතියෙකු පෞද්ගලික ධනසම්පත් භුක්ති විඳි යි. ඩොලර් බිලියන 57.5ක ඔටීගාගේ ධනසම්පත්, ස්පාඤ්ඤ ජාතික අයවැය කඩා බිඳ දැමීමට හේතුභූත වූ පසුගිය මාසයේ ස්පාඤ්ඤ බැංකු පද්ධතියේ ඩොලර් බිලියන 52ක ඇප බැඳීම් සඳහා උර දීමට ද, තවත් බිලියන ගනනාවක් ඉතුරු කර ගැනීමට ද ප්‍රමානවත් විය.

මෑත මාසවල දී ස්පාඤ්ඤය ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට්වාදයේ අගාධයෙන් පසු මෙතෙක් නො ඇසූ විරූ සමාජමය ඛේදාන්තයක රංග පථය බවට පත් විය. උකස් සින්න කර ගැනීම්වලින් විපතට පත් වූවන්ගේ හා රැකියා විරහිත වූ කම්කරුවන්ගේ සිය දිවි නසා ගැනීම් ද, වැඩිහිටියන් ආහාර සොයා කුනුකසල බඳුන් ඇවිස්සීම් ද එහි දසුන් අතරට ඇතුලත් විය.

මිනිස් සිරුර තුල කුඩා සෛල පන්තියක්, අනෙකුත් සෛලවල හා සමස්තයක් ලෙස ජීවියාගේ ද වියදමින් අසීමිත ව බෝ වෙමින් වර්ධනය වන්නට වූ කල්හි එම ප්‍රපංචය හැඳින්වීමට නිශ්චිත යෙදුමක් වෛද්‍ය විද්‍යාවේ ඇත: එය පිලිකාවක් ලෙස හඳුන්වනු ලැබේ. 21වන සියවසේ ධනවාදයේ සමාජ ජීවියා තුල සුපිරි ධනවත්හු මූලිකව මෙකී අනර්ථකාරී හා විනාශකාරී කාර්යභාරය ඉටුකරති.

මානව සත්වයා රැක ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂක ක්ෂේත්‍රය තුල නිර්දිෂ්ට ප්‍රතිකර්මය වන්නේ විවිධ ප්‍රතිකර්ම රැසක් මගින් පිලිකාව විනාස කිරීම ය. කෙසේ නමුත්, ධනේශ්වර සමාජය තුල සුපිරි පොහොසතුන්ගේ වැඩීම සියලු ප්‍රගතියේ උල්පත ලෙස වර්නනා කෙරෙයි, සමාජ පිලිකාවට "රැකියා නිර්මාපකයා'' යැයි පටබැඳ ඇති අතර සමස්ත දේශපාලන පද්ධතිය ම එය ඉදිරියේ දන නමස්කාර කර යි.

පැට්‍රික් මාටින්

Share this article: