අධිරාජ්‍යවාදය අප‍්‍රිකාව තුල ”දසක ගනනාවක යුද්ධයක්” සැලසුම් කරයි

Imperialism plans “decades of war” in Africa

23 January 2013

ඇල්ජීරියාව තුල කල ලේවැකි මිලිටරි වැටලීමෙන් පසුව මාලි රට තුල ප‍්‍රන්සයේ මැදිහත්වීම අපි‍්‍රකාව සඳහා නව අධිරාජ්‍යවාදී පොරයක හැරුම් ලක්ෂ්‍යයක් නියෝජනය කරයි. ලිබියාවේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම සඳහා කෙරුන එක්සත් ජනපද-නේටෝ යුද්ධයත් සිරියාව තුල වොෂින්ටනය පිටුබලය සපයන නිකායවාදී සිවිල් යුද්ධයත්, දැන් මෙම සිද්ධීනුත් මගින් මනුෂ්‍ය වර්ගයා අත්දකිමින් සිටින්නේ, ලෝකය, එහි දේශසීමා, වෙලඳපොලවල් සහ සම්පත් යලි බෙදීමට ප‍්‍රධාන බලයන් විසින් සිදුකරන ප‍්‍රචන්ඩ ධාවනයකි.

යලි පෘතුවියෙන් වැඩි කොටසක් විජිතකරනය කිරීමේ මෙම ව්‍යාපාරය, අප‍්‍රිකාව පලමුවෙන් විජිතකරනය කලාටත් වඩා ලේවැකි හා මර්දනකාරී එකක් වන බව සිතීමට හැම හේතුවක් ම තිබේ.

ලිබියාව තුල යුද්ධයේ දී මෙන්ම, ප‍්‍රන්සය, ප‍්‍රහාරක බෝම්බකරුවන් හා යුද්ධයේ දඩ බල්ලන් වන ප‍්‍රන්ස විදේශ හමුදා බලඇනිය මුදා හැර තිබේ. එහෙත්, තමන් පසෙකට වී නොසිටින බව සෙසු අධිරාජ්‍යවාදී බලයන් පැහැදිලිව පෙන්නුම් කර ඇත.

එක්සත් රාජධානිය තමන්ට තිබෙන "සියලුම මාධ්‍යයන් යොදා ගනිමින්” වයඹ අප‍්‍රිකාව තුල තිබෙන "අපාලිත අවකාශයන් වසා දැමීමට සෙසු අය සමග වැඩ කරන” බවට බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරොන් සපත කලේ ය. මාලි හා අසල්වැසි රටවල වර්ධනයන් "ගෝලීය තර්ජනයක්” ලෙස නම් කරමින් ඒවා මාස ගනනක නොව වර්ෂ, නැතහොත් දසක ගනනාවක පවා ප‍්‍රතිචාරයක් ඉල්ලා සිටින” බව කැමරොන් ප‍්‍රකාශ කලේ ය.

ඔබාමා ආන්ඩුව මාලි සම්බන්ධයෙන් මුලදී ගත්තේ ප‍්‍රවේශම් සහගත ප‍්‍රවිෂ්ටයකි. නිසැකව ම, එසේ කලේ මාලි ආක‍්‍රමනයට සහයෝගය දීම තවත් අධිරාජ්‍යවාදී තරගකරුවෙකුට උදව් කිරීමත් අප‍්‍රිකාව තුල ස්වකීය කොල්ලකාරී අරමුනුවලට වලකැපීමට හේතුවනු ඇතැයි සිතාගෙන ය. එහෙත්, ඇමරිකානුවන් තිදෙනෙකු ඇතුලු 80 දෙනෙකුගේ ජීවිත බිලිගත් ඇල්ජීරියානු ප‍්‍රාන ඇපකරුවන් සම්බන්ධ සිද්ධියත් සමග ආක‍්‍රමනකාරී ලෙස ඊට මැදිහත්වීමට අදහස් කරන බව වොෂින්ටනය පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියෝ පැනෙට්ටා පසුගිය සිකුරාදා මෙසේ සදහන් කලේ ය. "ඔවුන් කොහි සිටියත් අල් කයිඩාවරුන් හඹායාමට අපට වගකීමක් තිබේ. පාකිස්තානයේ ෆාටා (පෙඩරල් ගෝති‍්‍රක පාලන ප‍්‍රදේශ) වලදී අපි ඔවුන් හඹා යන්නෙමු. සෝමාලියාවේදී සහ යේමනයේ දී අපි ඔවුන් හඹා යන්නෙමු. එමෙන් ම, අල් කයිඩාව උතුරු අපි‍්‍රකාවේ සහ මාලිවල මෙහෙයුම් මධ්‍යස්ථානයක් නො පිහිටුවන බව සහතික කිරීමේ වගකීමක් අපට තිබේ”.

පනිවුඩය නොවරදින සුලු ය. එක්සත් ජනපදයේ ගෝලීය ඝාතන සවාරියේ නව පෙරමුනක් බවට මාලි සහ කලාපය පත් කරනු ලැබිය යුතුය. පලමු මොහොතේ ම ඩ්‍රෝන් (නියමුවන් රහිත ගුවන් යානා ප. ව) සහ හෙල්ෆයර් මිසයිල් ප‍්‍රහාර එල්ල කලයුතු ය.

අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයක සහායක හමුදා බල ඇනියක් ලෙස බටහිර අපි‍්‍රකානු රාජ්‍යය ආර්ථික ප‍්‍රජාව (එකොවාස් ) විසින් එකට පුරුද්දනු ලබන අප‍්‍රිකානු හමුදාවක් සඳහා හමුදා බල ඇනි සම්පාදනය කරනු ලබන නයිගර්, නයිජීරියා, බුර්කිනා ෆසෝ, සෙනෙගාල්, ටෝගෝ සහ ඝානා යන රටවල් හයට "පුහුනු කරුවන්” සහ "උපදේශකයන්” ලෙස එක්සත් ජනපද විශේෂ බලකායේ සාමාජිකයන් යවන බව ද එක්සත් ජනපදය නිවේදනය කලේ ය.

අප‍්‍රිකාව තුල දසක ගනනාවක යුද්ධය මේ දැන් පටන් ගත්තා පමන යයි කැමරෝන් අනතුරු අඟවා හරියට ම දවසකට පසු සඳුදා පැවති ඔහුගේ පදවි ප‍්‍රාප්ති වාචාල කතාවේ දී ඔබාමා ඒ ආකාරයට ම "දසකයක යුද්ධය දැන් අවසන් වෙමින් තිබේ” යයි ප‍්‍රකාශ කලේ ය.

අප එලඹ සිටින්නේ එක යුද්ධයක් ඊලඟ යුද්ධයට ආරම්භයක් පමනක් වන යුගයකට ය. වසර දෙකකටත් අඩු කාලයක් තුල ලිබියාව, සිරියාව සහ දැන් මාලි වලට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කර තිබේ.

හැම නව අර්බුදයක් ගැනම හුස්මක් කටක් නැතිව වාර්තා කරන මාධ්‍යවලට මේවා අතර සම්බන්ධය හඳුනා ගැනීම උගහට ය. ඔවුන්ට අනුව මාලි සටන්වල සිට ඇල්ජීරියාවේ ගෑස් සංකීර්නයේ ප‍්‍රාන ඇපකරුවන් දක්වා සිද්ධීන් තේරුමක් නැති ආන්තික ප‍්‍රචන්ඩත්වයකි. ඒවා විස්තර කල හැක්කේ ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය මෙන් හොඳ හා නරක අතර දිග හැරෙන සටන් ලෙස පමනි.

ජාල ප‍්‍රවෘත්ති සංවර සමාගම "බ්ලෝබැක්” (අනපේක්ෂිත ප‍්‍රතිවිපාක) යන වචනය ගැන කිසිවක් සඳහන් නොකරයි. එහෙත් නිශ්චිතව ම සිදුවන්නේ මෙයයි. ලිබියාව තුල පාලන තන්ත‍්‍ර වෙනස සඳහා වූ එක්සත් ජනපද-නේටෝ යුද්ධය මුලු කලාපයම අස්ථාවර කලේ ය. එයට ටුවරෙග්වරු (දකුනු අප‍්‍රිකාවේ සහරා දේශසීමාවේ මුල් පදිංචි කරුවෝ ප.ව) යැවීමේ බලයක් තිබුනි. මොවුන්ගෙන් බහුතරය ගඩාෆිගේ ආරක්ෂක හමුදාවල සේවය කල අතර නේටෝවේ පිටුබලය ලත් ලිබියාවේ "විප්ලවවාදීන්” විසින් කලු හම සහිත මිනිසුන් හඹාගොස් මරන නිසා ඔවුහු මාලිවලට යලි පලායමින් සිටිති.

සහරා කාන්තාරයේ අද්දර පිහිටි සහෙල්වල නෝමැඩික් ජන කන්ඩායමක් වන ටුවෙරෙග්වරු මාලිවල මෙන්ම, නයිගර්, ඇල්ජීරියා, මොරොක්කෝ, ලිබියා සහ බුර්කිනා ෆසෝ වල සිටිති.

මාලි තුල මධ්‍යම ආන්ඩුවේ මර්දනය හා වෙනස්කම් කිරීම නිසා 1960 නිදහසෙන් පසු ප‍්‍රධාන කැරලි හතරක් ඇති විය. ඒ හා සමාන කැරලි අසල්වැසි නයිගර්වල ද ඇති විය. විශාල ප‍්‍රමානයක් ආයුධ සහිතව ලිබියාවේ සිට ටුවරෙග් වරුන්ගේ පැමිනීම හා මාලි හමුදාවේ සිටි ටුවෙරෙග් සොල්දාදුවන් හා නිලධාරීන් තොග පිටින් ඔවුන්ට එකතුවීම නිසා මෑත කැරැල්ල හට ගැනුනි.

එහෙත්, අනාගමික ටුවරෙග් ජාතිකවාදීන් හොඳින් සන්නද්ධ හා අරමුදල් සහිත ඉස්ලාම්වාදී හමුදා විසින් විස්ථාපනය කර ඇත. ලිබියාවේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ දී ගඩාෆිට විරුද්ධ සහායක පාබල හමුදා ලෙස වොෂින්ටනය විසින් සන්නද්ධ කල හා පිටුබලය ලත් ඔව්හු දැන් එයාකාරයෙන් ම සිරියාවේ පාලන තන්ත‍්‍ර වෙනස සඳහා වූ යුද්ධය තුල කම්පන බලකායන් ලෙස සන්නද්ධ කරනු හා අරමුදල් සපයනු ලබයි. අල් කයිඩාවට සම්බන්ධ හමුදා සමග ඇත්ත වසයෙන් ම සන්ධානයක් පවත්වාගෙන යන බව තේරුම් ගැනීමකින් තොරව, මැද පෙරදිග හා අප‍්‍රිකාව තුල එක්සත් ජනපදයේ පිලිවෙත තේරුම් ගැනීමට අපහසු වී තිබේ.

ඉස්ලාම්වාදී මැග්රෙබ් (අකිම්) තුල අල්කයිඩාව, එනම් "ත‍්‍රස්තවාදී (පඹයාට) එරෙහි නව යුද්ධය” ඇෆ්ගනිස්තානය තුල එහි පුර්වගාමියා මෙන්ම බටහිර අධිරාජ්‍යවාදයේ ෆ‍්‍රැන්කන්ස්ටියානු රාක්ෂයෙකි. (ඉංගීසි නවකතාකරු මාරි ෂෙලීගේ නවකතාවේ ප‍්‍රබන්ධ චරිතයකි. ප.ව). සෝවියට් පිටුබලය ලත් කාබුල් තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා 1980 ගනන්වල කෙරුන සටනේ දී එක්සත් ජනපදයේ සහයෝගය ඇතිව ඇෆ්ගනිස්තානයට ගිය හමුදාවන්ගෙන් අල්කයිඩාව මතු වූ අතර අනතුරුව ඉස්ලාම්වාදී ගලවා ගැනීමේ පෙරමුන මැතිවරනයෙන් තේරී පත්වීම වැලැක්වීම සඳහා ඇල්ජීරියානු මිලිටරිය විසින් බලය අල්ලා ගැනීමට එක්සත් ජනපද හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදීන් සහයෝගය දෙනවිට, 1990 ගනන්වල ලේවැකි ඇල්ජීරියානු සිවිල් යුද්ධය තුල සටන් කිරීම සඳහා සිය රටට පැමිනියේ ය. එම මර්දනයේ දී 100,000 ට වැඩි ජනයා මරනයට පත් වූ හ.

එක්සත් ජනපද පිටුබලය ලත් සිරියාවේ "කැරලිකරුවන්” මෙන්ම වොෂින්ටනයේ සගයෙකු වන කටාර් රජය විසින් අකිම් සංවිධානයට අරමුදල් සපයනු ලබන බවට ඇල්ජීරියානු ආන්ඩුව විසින් චෝදනා කර තිබේ. එමෙන් ම වර්තමාන ගැටුමට පෙර, අකිම් හා සමාන කන්ඩායම්, ටුවරෙග්වරුන්ට එරෙහිව ඉස්ලාම්වාදීන් ප‍්‍රයෝජනවත් ප‍්‍රති බලයක් ලෙස දුටු එක්සත් ජනපද හා ප‍්‍රන්ස පිටුබලය ලත් මාලි මධ්‍යම ආන්ඩුවෙන් හොඳ අනුමැතියක් ලැබූ බව ප‍්‍රසිද්ධ කාරනයකි.

මෙම හමුදාව ම "මව් බිමට” ඕනෑම මොහොතක පහර දිය හැකි "ගෝලීය” තර්ජනයක් බවට පත්ව ඇතැයි විශ්වාස කරන ලෙස දැන් අපට කියනු ලබයි.

ඇල්ජීරියාව තුල තීව‍්‍ර කෙරෙන යුද්ධය ත‍්‍රස්තවාදය හෝ අල් කයිඩාව සම්බන්ධ යුද්ධයක් නොවේ: මාලි තුල කෙරෙන යුද්ධයේ සැබෑ අරමුනු මොනවාදැයි ටයිම්ස් සඟරාව සංක්ෂිප්තව පෙල ගස්වයි: "දැවැන්ත තෙල් සම්පත් සහිත සුවිශාල සහෙල් ප‍්‍රදේශය තුල තෙල් නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීමට බටහිර සමාගම් ආකර්ෂනය කර ගැනීමත් සමග අන්තරායන් හැමතැනටම ව්‍යාප්ත වෙයි. ප‍්‍රන්සයේ ඉතා වැදගත් න්‍යෂ්ටික බලාගාරවලට යුරේනියම් සපයන ලෝකයේ හතර වන විශාලතම යුරේනියම් නිධිය පිහිටි අතිශයින් ම දුප්පත් කාන්තාර රටක් වන නයිගර්, ඇල්ජීරියාවට හා මාලිවලට දකුනෙන් පිහිටා ඇත. ලිබියාව පිහිටා ඇත්තේ ඇල්ජීරියාවට නැගෙනහිරිනි. ලිබියාව තුල කි‍්‍රයාත්මක බටහිර සමාගම් ගනාවක් විසින් අප‍්‍රිකාවේ සමහර විශාලතම තෙල් සම්පත් සූරාකනු ලබයි.”

කලින් අපි‍්‍රකාව යටත් කරගෙන සිටි එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය මෙම සම්පත් අල්ල ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. අපි‍්‍රකාවේ තනි විශාලතම වෙලඳ පාර්ශවකරු බවට චීනය පත්වීම සහ විදේශ ඍජු ආයෝජනවල දී බෙයිජිනයට බෙහෙවින් පිටුපසින් සිටින වොෂින්ටනය සහ යුරෝපීය බලවත්හු ආර්ථික බිඳවැටීම සමනය කිරීමේ මාධ්‍යයක් ලෙස මිලිටරි ආක‍්‍රමනයට නැඹුරුව සිටිති.

ශතවර්ෂයකට පෙර අප‍්‍රිකාව සඳහා පොර වැදීම මගින් නිර්මිත අන්තර්-අධිරාජ්‍යවාදී සතුරුකම් නිසා මහාද්වීපය මත ආධිපත්‍යය සඳහා වූ වර්තමාන ගැටුම නව යුද්ධයක් මතුවීමේ දිශාවට යොමුවී තිබේ.

බිල් වැන් ඕකන්

Share this article: