ඇෆ්ඝනිස්ථානය: 21 වන සියවසේ නව-විජිතවාදය සඳහා ආදර්ශයක්

Afghanistan: A model for 21st Century neo-colonialism

5 January 2013

ඇෆ්ඝනිස්ථානයේ නැටෝ මෙහෙයුම් අවසන් කිරීම සඳහා වන 2014 කාල සීමාව සමීප වන විට, ඔබාමා පාලනාධිකාරය දින නියමයක් නැතිව එක්සත් ජනපද මිලිටරි බලකායන් එරට තුල දිගටම පවත්වා ගෙන යාමට කටයුතු සූදානම් කරමින් සිටී. නිව් යෝර්ක් ටයිම්ස් විසින් වාර්තා කරන ලද මෙම සැලසුම, ඇමරිකානු නායකත්වයෙන් පවත්වා ගෙන යන මිලිටරි වාඩිලෑමේ කොල්ලකාරී, නව-විජිතවාදී ස්වභාවය අවධාරනය කරයි.

ටයිම්ස් පුවත්පතට අනුව, ඇෆ්ඝනිස්ථානයේ ප‍්‍රධාන එක්සත් ජනපද අන දෙන නිලධාරියා වන, ජෙනරල් ජෝන් ඇලන්, 2014 අවසානයේ දී සිදුවීමට නියමිත යයි කියනු ලබන, "ප‍්‍රහාරක හමුදා” ඉවත්වීමෙන් පසු කාල පරිච්ඡේදය සඳහා පෙන්ටගනය වෙත විකල්ප තුනක් ඉදිරිපත් කර ඇත. එකක් එක්සත් ජනපද හමුදා භටයන් 6,000ක මට්ටමේ තබා ගැනීමයි. අනික සොල්දාදුවන් 10,000ක් තබාගන්නා ලෙස ඉල්ලා සිටී. තෙවැන්න 20,000ක හමුදාවක් මත පාදක වේ.

නිර්නාමික ආරක්ෂක නිලධාරින් පැහැදිලි කල පරිදි, මෙම යෝජනා තුනටම කේන්ද්‍රීය වන කාරනය නම්, "කැරලිකරුවන් දඩයම් කරන විශේෂ මෙහෙයුම් කොමාන්ඩෝ භටයන්” ඇෆ්ඝනිස්ථානය තුල අඛන්ඩව තබාගැනීමයි. ගුවන් සහාය, භාන්ඩ හා සේවා සැපයුම හා පුහුනුව මගින් ඇෆ්ඝන් ආරක්ෂක හමුදාවන්ට රුකුල් දීම පිනිස අමතර එක්සත් ජනපද හමුදා යොදා ගැනෙනු ඇත.

මේ සියල්ල "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ව්‍යාජ කඩතුරාව යටතේ දිගටම යුක්තියුක්ත කෙරෙයි. යථා කාරනාව නම්, වසර 12කට අධික කාලයක් තිස්සේ පැවතෙන නිර්දය, ලේවැකි යුද්ධයක් යටතේ, ඇෆ්ඝනිස්ථානය කලාපය පුරා ඇමරිකානු ආනුභාවය හා මිලිටරි බලය ප‍්‍රක්ෂේපනය සඳහා මෙහෙයුම් පදනමක් ලෙස සේවය කර තිබේ යන්නයි.

ජනාධිපති ඔබාමා ගැටුම "ඇෆ්පක් යුද්ධයක්” බවට දැනටමත් පරිවර්තනය කර ඇත්තේ ඩ්‍රෝන් ප‍්‍රහාර අසල්වැසි පකිස්ථානය තුලට පුලුල් කිරීමෙනි. ඇෆ්ඝනිස්ථානය නිසැකවම, මධ්‍යම ආසියානු සමූහාන්ඩු තුල එක්සත් ජනපද කූටෝපායන් සඳහා පහසු වර්ධක මධ්‍යස්ථානයක් මෙන්ම ඉරානයට එරෙහි යුද්ධය සඳහා පෙන්ටගනයේ වැඩිදියුනු සැලසුම්වල ප‍්‍රධාන සංරචකයක් ද වේ.

ඇෆ්ඝනිස්ථානය ඇමරිකානු අර්ධ-විජිතයක් ලෙස පවත්වාගෙන යාම යන්නෙන් අදහස් කෙරෙන්නේ, ඇෆ්ඝන් ජනාධිපති හමිඩ් කර්සායිගේ පගාකාර තන්ත‍්‍රයට මුක්කුව දීමයි. රාති‍්‍ර කාලයේ කෙරෙන කඩාපැනීම් හා මහා පරිමාන ඝාතන සම්බන්ධයෙන් කුප‍්‍රකට එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් භටයන්ගෙන් සමන්විත විශාල හමුදාවක් පවත්වාගෙන යාමේ සැබෑ අරමුන, විදේශීය මිලිටරි වාඩිලෑමකට ගැඹුරින්ම සතුරු ජනතාවක් බියගැන්වීම හා ත‍්‍රස්ත කිරීමයි. ඊනියා "නීලයන්ට එරෙහි හරිතයන්ගේ ප‍්‍රහාර” -- ඇෆ්ඝන් සොල්දාදුවන් හා පොලිස් භටයන් සිය තුවක්කු විදේශ සොල්දාදුවන්ට එරෙහිව එල්ල කිරීම -- වර්ධනය වීම එක්සත් ජනපද හමුදා අඛන්ඩව රැඳී සිටීම පිලිබඳව පවත්නා වඩා පුලුල් වෛරය හා සතුරුභාවය ගැන දෙස් දෙයි.

ඇලන්ගේ යෝජනා 2014න් පසුව එක්සත් ජනපද මිලිටරිය ඇෆ්ඝනිස්ථානය තුල පවත්වාගෙන යාම පිලිබඳ කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට ඔබාමා හා කර්සායි අතර වොෂිංටනයේ පැවැත්වෙන රැස්වීම සඳහා සූදානම් වීමකි. මාධ්‍ය තුල ඉදිරිපත් කෙරුනු අයුරු, එම සාකච්ඡා පැවැත්වෙන්නේ ස්වෛරී රටවල් දෙකක නායකයන් අතරය. මෙය විකාරයක් හා යථාර්ථය හාස්‍යජනය ලෙස විකෘති කිරීමකි.

කර්සායි හා ඔහුගේ ආන්ඩුව වොෂිංටනය මත මුලූමනින්ම රඳා පවතී. රටේ ආර්ථිකය ජාත්‍යන්තර ආධාර මත රඳා පවතී. ඇෆ්ඝන් ආරක්ෂක හමුදාවෝ එක්සත් ජනපදය හා එහි සගයන් විසින් මිලදී ගනු ලැබ ඔවුන්ගෙන් ගෙවීම් ලබන අතර විදේශ මිලිටරි සහයෝගය මත පාදක වේ. මෑතම පෙන්ටගන් සමාලෝචනයට අනුව, ස්වාධීනව කි‍්‍රයාත්මක වීමේ හැකියාව ඇත්තේ ඇෆ්ඝන් හමුදාවේ සේනාංක 23න් එකකට පමනි.

ඇමරිකානු හමුදා භටයන්ට හා සෙසු නිලධාරින්ට 2014න් පසුවත් ඇෆ්ඝන් නීතිය යටතේ අභිචෝදනයන්ට ලක්වීමෙන් මුක්තිය දිගටම ලැබිය යුතු යයි ඔබාමා පාලනාධිකාරය අවධාරනය කරයි. තමන් ඇෆ්ඝනිස්ථානය තුල නිත්‍ය මිලිටරි කඳවුරු පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව එක්සත් ජනපදය ප‍්‍රකාශ කර තිබේ. එහෙත් ඇමරිකානු නිලධාරින්ට කි‍්‍රයාත්මක වීමේ පූර්න නිදහස ලැබෙනු ඇති ඒකාබද්ධ කඳවුරු පෙන්ටගනයේ අරමුනට හොඳින්ම සේවය කරනු ඇත.

එක්සත් ජනපදය හා එහි සගයෝ රූකඩ තන්ත‍්‍රයට මුක්කු ගැසීමට නොව සිය අවශ්‍යතාවන්ට සේවය කරන ඇෆ්ඝන් මිලිටරියක් සඳහා ගෙවීමට කැමැත්තෙන් සිටිති.

ඇෆ්ඝනිස්ථානය 21 වන සියවසේ නව-විජිතවාදය සඳහා අත්හදාබැලීමේ භූමියක් ලෙස පැවතී ඇත. වොෂිංටනය මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ බලශක්කි සම්පත්වලින් පොහොසත් කලාප තුල සිය ආර්ථික හා මූලෝපායික ආධිපත්‍යය පුලුල් කිරීමට උත්සාහ කරන තතු තුල, ඇෆ්ඝනිස්ථානයේ මිලිටරි වාඩිලෑම ඉරාකය, ලිබියාව හා දැන් සිරියාව තුල එක්සත් ජනපද නායකත්වයෙන් යුක්ත මෙහෙයුම් සඳහා ආදර්ශය සකසා තිබේ.

එක්සත් ජනපද මිලිටරිය හා ඔත්තු ඒජන්සි සතුරු ජනතාවකට එරෙහිව බියගැන්වීම්, ත‍්‍රස්තය හා ඝාතන යොදාගැනීම, දේශීය කුලී හේවායන් හා ඒජන්තයන් මිලට ගැනීම, ගෝති‍්‍රක හා ජනවාර්ගික ප‍්‍රතිවාදිත්වයන් ගසාකෑම සහ ගැලපෙන කීකරු ආන්ඩු බලයේ පිහිටුවීම හා පවත්වාගෙනයාම සම්බන්ධයෙන් නිපුනයන් බවට පත්ව ඇත. තාක්ෂනය වඩා නවීන විය හැකි නමුදු, එම විධික‍්‍රම දරන්නේ 19 වන සියවසේ යුරෝපීය විජිතවාදයේ විධික‍්‍රමයන්ට භයංකර සාම්‍යයකි.

ලිබියාව හා සිරියාව තුල වොෂිංටනයේ මැදිහත්වීම, ආරම්භයේ දී ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද ආක‍්‍රමනය සඳහා කඩතුරාව සම්පාදනය කල "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ව්‍යාජ ස්වභාවය එලිදරව් කර තිබේ. ලිබියානු හා සිරියානු ආන්ඩු පෙරලාදැමීම පිනිස, පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය, අල් කයිඩා ජාලය සමග සම්බන්ධතා පවතින අය ද ඇතුලු, සුන්නි ඉස්ලාම්වාදී සන්නද්ධ කන්ඩායම්වල සහයෝගය මත බොහෝසෙයින් පාදක වී ඇත. බොහෝ අවස්ථාවන්හි දී, එම කන්ඩායම්වලට මුදල් හා ආයුධ සම්පාදනය කරනු ලබන්නේ, පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු සගයන් විසිනි: එනම්, සවුදි අරාබියේ හා ගල්ෆ් රාජ්‍යයන්ගේ ආඥාදායක තන්ත‍්‍රයන් විසිනි.

එක්සත් ජනපදය මැද පෙරදිගට "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගෙන එන බවට කරන කියාපෑම්වල පවත්නා සාවද්‍ය ස්වභාවය ඇෆ්ඝනිස්ථානය මගින් එලිදරව් කෙරෙයි. මැතිවරන වංචා කරනු ලැබේ. ඇෆ්ඝන් පාර්ලිමේන්තුව, කුප‍්‍රකට හමුදා ප‍්‍රධානීන් හා සන්නද්ධ කන්ඩායම් නායකයන් ඇතුලත් ප‍්‍රතිවාදී එක්සත් ජනපද-ගැති කල්ලිකන්ඩායම්වලින් සමන්විත අශූචි වලකි. විදේශීය මිලිටරි වාඩිලෑම සම්බන්ධයෙන් නිදහස් ජනමත විචාරනයක් කවදා හෝ පැවැත්වුව හොත්, ප‍්‍රතිඵලය වනු ඇත්තේ අතිමහත් බහුතරයක් එයට එරෙහි වීමයි. මේ සියල්ල සම්පාදනය කරන්නේ, ටි‍්‍රපොලිවල තහවුරු කෙරෙමින් පවතින්නේ කුමක්ද සහ එක්සත් ජනපදය දමස්කස්හි තහවුරු කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න පිලිබඳ ආදර්ශයයි.

ඇෆ්ඝන් මිලිටරි වාඩිලෑමට එරෙහි විරුද්ධත්වය ඇෆ්ඝනිස්ථානයට පමනක් සීමා නොවේ. එක්සත් ජනපදයේ හා එහි සගයන් වන රටවල් තුල මත විමසුම් මගින් නැවතනැවතත් එලිදරව් කෙරී ඇත්තේ, බහුතරයක් යුද්ධයට විරුද්ධ බවයි. එහෙත් එම විරුද්ධත්වය දේශපාලන හෝ මාධ්‍ය සංස්ථාපිතය තුල කිසිදු ප‍්‍රකාශනයක් අත්පත් කර නොගනී.

ඉරාක යුද්ධයට එරෙහි මහජන විරෝධතාවන්ට සහයෝගය දුන් ඊනියා ලිබරලූන් සහ හිටපු වම්මු, ඔබාමා බලයට පත් වූ වහාම විරෝධතා ව්‍යාපාරය ඉක්මනින්ම නතර කලහ. මෙම සංවිධාන ලිබියාව හා සිරියාව තුල "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සඳහා ඔබාමා පාලනාධිකාරයේ නව යුද්ධවලට හුරේ දමන්නන් බවට පත්ව තිබේ.

මෙලෙස නව-විජිතවාදය හා යුදවාදය පැනනැගීම සඳහා වන ගාමක බලවේගය ධනවාදයේ දරුනු වන ගෝලීය අර්බුදයයි. එය රට තුල කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයක් ගෙන යන තතු යටතේ පවා, ඔබාමා පාලනාධිකාරය ලොව පුරා සිටින වොෂිංටනයේ යුරෝපීය හා ආසියානු ප‍්‍රතිවාදින්ට, විශේෂයෙන් චීනයට, එරෙහිව ඇමරිකානු ආධිපත්‍යය යලි තහවුරු කරගැනීමේ මංමුලාසහගත ප‍්‍රයත්නයක යෙදී සිටී. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, මහ බලවතුන් අතර ආතතීන් තියුනු වීම සහ ව්‍යසනකාරී ගෝලීය යුද්ධයක වැඩෙන අන්තරායයි.

අව්‍යාජ යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය සිදු වනු ඇත්තේ, යුද්ධයේ, මිලිටරිවාදයේ හා නව-විජිතවාදයේ මූල හේතුව, එනම් ලාභ ගරන පද්ධතියම, සමග පොර බදන ඉදිරිදර්ශනයක පදනම මත පමනි. පසුගිය දශකයේ අත්දැකීම් ධනපති ආන්ඩුවලට හා පක්ෂවලට ආයාචනා කිරීමේ නිෂ්ඵලභාවය ප‍්‍රදර්ශනය කර තිබේ. යුද්ධයට එරෙහි අරගලයක් ධනවාදය පෙරලාදමා සමාජවාදය ස්ථාපිත කිරීම පිනිස ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගැන්වීම මත පදනම් විය යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: