ශ‍්‍රී ලංකාව: සසප පියසීලී විජේගුනසිංහ අනුස්මරන දේශනය පවත්වයි

Sri Lanka: SEP holds Piyaseeli Wijegunasingha memorial lecture

By Sujeewa Amaranath, 20 October 2012

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) තම දීර්ග කාලීන සාමාජිකා පියසීලී විජේගුනසිංහගේ අභාවයේ දෙවන සංවත්සරය සැමරීම සඳහා සැප්තැම්බර් 30දා කොලඹ ජාතික පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී මනා සහභාගිත්වයක් සහිත අනුස්මරන දේශනයක් පැවැත්වී ය. සසප දේශපාලන කමිටු සාමාජික පානිනී විජේසිරිවර්ධන "ප‍්‍රතිසංස්කෘතිය ද විද්‍යාත්මක සමාජවාදය ද” යන හිසින් පැවැත්වූ දේශනය, විශේෂයෙන් ම කලාව ක්ෂේත‍්‍රය ඇතුලුව මාක්ස්වාදය සඳහා පියසීලී කල අරගලය පැහැදිලි කොට ආරක්ෂා කලේ ය.

ශ‍්‍රාවකයෙන් කොටසක්

රැස්වීමේ මුලසුන දැරූ විලානි පීරිස්, පියසීලීගේ ප‍්‍රතිපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කම්කරු පන්තිය තුල සමාජවාදී සංස්කෘතියක් සඳහා ගෙනයන අරගලය සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙන බව විස්තර කලා ය. සාහිත්‍යය: භෞතිකවාදී අධ්‍යයනයක් හා නූතන සිංහල සාහිත්‍ය විචාරය: මාක්ස්වාදී අධ්‍යයනයක් ඇතුලුව සාහිත්‍ය විචාරය පිලිබඳ කෘති ගනනාවක් පියසීලී නිෂ්පන්න කොට තිබෙන බව ඇය අවධානයට ලක් කලා ය. ලියොන් ට්‍රොට්ස්කිගේ මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා කෘතියේ කොටසක්, ඩේවිඩ් නෝර්ත්ගේ අප රක්නා උරුමය හා ඩේවිඩ් වොල්ෂ්ගේ සමාජවාදයේ සෞන්දර්ය විද්‍යාමය අංශය ආදී වැදගත් ට්‍රොට්ස්කිවාදී කෘති පියසීලී සිංහලට පරිවර්තනය කලා ය.

විලානි පීරිස්

කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය විසින් මෑත දී පලකරන ලද කෘතියක් තුල පියසීලීගේ චිත‍්‍රපට හා වේදිකා නාට්‍ය විචාර හා විවාද පලකිරීම පීරිස් සාදරයෙන් පිලිගත්තා ය. සිංහල සාහිත්‍ය අංශයේ මහාචාර්යවරියක් බවට පත්වෙමින් පියසීලී දශක හතරකට වැඩි කාලයක් කොලඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරියක් ලෙස සේවය කලා ය.

පියසීලීගේ කෘතිය නිකුත් කිරීමේ අවස්ථාවේ දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ලියනගේ අමරකීර්ති විසින් කරන ලද සැඳහුම් පානිනී විජේසිරිවර්ධන සිය දේශනයේ දී අවධානයට ලක් කලේ ය. "යමෙක් ලෝකය දෙස කවර න්‍යායික දෘෂ්ටි කෝනයකින් බැලුවත් මා එතුමියගෙන් (පියසීලීගෙන්) උගත් පරිදි බුද්ධිමය ජීවිතයේ වඩාත් අර්ථභාරී සාරය වන්නේ ප‍්‍රති-සංස්කෘතික චින්තනය යි. ඇයගේ දේශන හා ලියවිලිවලින් ප‍්‍රති-සංස්කෘතික චින්තනයේ මෙම උරුමය උකහාගත හැක” යයි අමරකීර්ති අදහස් දක්වා තිබිනි.

විජේසිරිවර්ධන විස්තර කල පරිදි අමරකීර්ති "ප‍්‍රති-සංස්කෘතිය” යන වචනය භාවිතා කරන්නේ පවත්නා සංස්ථාපිතයේ පිලිගැනීම් හා සම්මතයන්ට එරෙහි වන සියලු ධාරාවන් අතාර්කික ලෙස එක ගොඩකට දැමීමට ය. ඒවාට අමරකීර්ති අනන්‍ය වන පශ්චාත්-නූතනවාදය හා පශ්චාත්-ව්‍යුහවාදය ද අයත් වේ.

මාක්ස්වාදයේ පදනම මත පියසීලී මෙම ප‍්‍රවනතාවන්ගෙන් පැහැදිලි ලෙස වෙන්වුනු බව විජේසිරිවර්ධන කීවේ ය. මනුෂ්‍ය වර්ගයාට යහපත් වන ආකාරයට ලෝකය පරිවර්තනය කල හැකි එක ම ක‍්‍රමය වන ධනවාදය පෙරලා දැමීමට ඇය කැප වූවා ය. "ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමේ විභවය ඓතිහාසිකව රැඳී ඇති කම්කරු පන්තියේ විප්ලවකාරක භාවිතය හරහා පමනක් මානව සංස්කෘතියේ වර්ධනය” සහතික කල හැකි යයි ඇය ලියා තිබුනා ය.

පියසීලී පශ්චාත්-මාක්ස්වාදය පෙර ඇඟවුම් කොට තිබුනේ යයි අමරකීර්ති ප‍්‍රකාශ කොට තිබිනි. "එතුමිය (පියසීලී) සමහර පශ්චාත්-මාක්ස්වාදී සංකල්ප සමග එකඟ වී තිබෙනවා. උපරිව්‍යුහය හා අධස්ථ ව්‍යුහය අතර සබඳතාව අතිසරලකරනයකට එරෙහිව ඇයගේ අරගලය විශේෂයෙන් ම මෙහි දී අර්ථභාරී යි... සාමාන්‍යයෙන් කියන්නේ උපරිව්‍යුහය අධස්ථ ව්‍යුහයෙන් නීර්නය වන බව යි... මෙම නිගමනය වැලැක්වීමට ඇය දැරූ උත්සාහය ඇයගේ කෘති තුල ව්‍යක්ත වගේ ම ගම්‍ය යි” යයි ඔහු කියා තිබිනි. එහෙත් අමරකීර්ති පියසීලීගේ කිසිදු කෘතියකින් උපුටා දක්වා නො තිබිනි.

පානිනී විජේසිරිවර්ධන

පියසීලී මෙම පශ්චාත්-නූතනවාදී ප‍්‍රවිෂ්ටය ප‍්‍රතික්ෂේප කොට තිබුනු බව විජේසිරිවර්ධන විස්තර කලේ ය. ඓතිහාසික භෞතිකවාදයේ මූලික සංකල්ප දිදුලන ලෙස කැටිකොට දක්වන මාක්ස්ගේ "දේශපාලන අර්ථශාස්ත‍්‍රයේ විවේචනයට ප‍්‍රතිපදානයක්” නමැති කෘතියෙන් ඔහු උපුටා දැක්වී ය. "නෛතික හා දේශපාලනික උපරිව්‍යුහය පැන නංවන්නා වූ ද අදාල නිශ්චිත විඥාන රූපාකාරවලට අනුරූප වන්නා වූ ද සැබෑ පදනම වන සමාජයේ ආර්ථික ව්‍යුහය සමන්විත වන්නේ මෙම නිෂ්පාදන සබඳතා සමස්තයෙනි” යයි මාක්ස් ලීවේ ය.

"අතිසරලකරනය” වැලැක්වීමේ නාමයෙන් අමරකීර්ති, සමාජය පිලිබඳ මාක්ස්ගේ සමස්ත විශ්ලේෂනය ම ප‍්‍රතික්ෂේප කරන්නේ යයි විජේසිරිවර්ධන කීවේ ය. කලාව ද ඇතුලු උපරිව්‍යුහයේ විවිධ අංශ ද ආර්ථික පදනම ද අතර සබඳතාවේ සංකීර්නත්වයන් පියසීලී නිශ්චිතව ම අවබෝධ කරගෙන තිබුනු අතර එලෙසින් ම ඇය ආර්ථික පදනමේ ප‍්‍රාථමිකත්වය අවධාරනය කලා ය.

"අවසාන විග‍්‍රහයේ දී මාක්ස්වාදීහු සැබෑ ජීවිතය නිෂ්පාදනය හා ප‍්‍රතිනිෂ්පාදනය නීර්නයකාරී සාධකය ලෙස පිලිගනිති. එනිසා ම ඔවුහු ආර්ථික පදනම මත විශේෂ අවධාරනයක් දෙති” යයි පියසීලී ලියා තිබේ. ඒ අතර ම මාක්ස්වාදීහු "කම්කරු පන්තියේ ද ඒ නිසා ම සමස්ත මානව වර්ගයාගේ ද ඉරනම හා සම්බන්ධ න්‍යාය වර්ධනය කරනු ලබන්නා වූ අමිල කෝෂ්ටාගරය ලෙස මාක්ස්වාදී න්‍යායේ හා විප්ලවවාදී පක්ෂයේ තීරනාත්මක ඓතිහාසික භූමිකාව” අවධාරනය කරන්නේ යයි ඇය වැඩිදුරටත් කීවා ය. (සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයේ මූලධර්ම).

පියසීලී ඊනියා පශ්චාත්-මාක්ස්වාදයට එරෙහිව මාක්ස්වාදය ස්ථීරසාරව ආරක්ෂා කලා ය. තමන් සමාජවාදියෙක් යයි කියා ගන්නා අතර පශ්චාත්-නූතනවාදය උත්කර්ෂයට නැංවූ ශ‍්‍රී ලංකාවේ තරුන කවියෙකුට පිලිතුරු දෙමින් පියසීලී මෙසේ ලීවා ය: "පශ්චාත්-මාක්ස්වාදය පශ්චාත්-නූතනවාදය විසින් පෝෂනය කරනු ලැබේ. මෙම ප‍්‍රවනතා දෙක වෙනස් නම් ලබා තිබුනත් ඒ දෙක ම මාක්ස්වාදයේ මූලධර්මයන්ට පහර දීමේ දී හා ධනේශ්වර සමාජ පද්ධතිය ආරක්ෂා කිරීමේ දී අතිනත ගෙන ගමන් කරති.”

අමරකීර්ති උත්කර්ෂනයට නංවන, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධව සිට තිබුනු හෝ ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය විවිධ වාම කන්ඩායම්වලට අයත් වූ 1950 හා 1960 ගනන්වල ප‍්‍රන්ස බුද්ධිමතුන් ස්ථරයක් අතරින් පශ්චාත්-නූතනවාදීන් පැන නැගීම වෙතට විජේසිරිවර්ධන අවධානය කැඳවීය. ඔවුහු 1968 මැයි-ජුනි ප‍්‍රන්ස මහා වැඩවර්ජනයේ දී කම්කරු පන්තියේ ඉස්මතු වීමට විරුද්ධව ප‍්‍රතිචාර දැක්වූහ. ඔවුන්ගේ ලාක්ෂනික සලකුන වන්නේ මාක්ස්වාදය හා කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප‍්‍රතික්ෂේප කිරීමකි.

විජේසිරිවර්ධන තම දේශනයේ දී පශ්චාත්-නූතනවාදයේ හා පශ්චාත්-ව්‍යුහවාදයේ ප‍්‍රතිගාමී තර්කනය ගැන ද අවධාරනය කලේ ය. "හොඳ, නරක හා මානව සදාචාරයන් නීර්නය කිරීමේ බලය බුද්ධි ප‍්‍රබෝධය විසින් දෙවියන්ගේ සිට තාර්කික හේතුව හා විද්‍යාත්මක අවබෝධය වෙත මාරු කලේ ය... ලෝක යුද්ධ දෙකක සංහාරයන් මෙන් ම සමාජවාදයේ නාමයෙන් ගෙනගිය සංහාරයන් විසින් ක‍්‍රියාවට දමන ලද්දේ බුද්ධි ප‍්‍රබෝධයේ තාර්කික චින්තනය යි” යන වාග් ප‍්‍රහාරය අමරකීර්තිගේ එක් කෘතියක් වන අමුතු කතාවේ අඩංගු වන බව ඔහු සඳහන් කලේ ය.

යථාර්ථයේ දී බුද්ධි ප‍්‍රබෝධ යුගය වනාහි ප‍්‍රගාඪ ලෙස ප‍්‍රගතිශීලී කාලපරිච්ඡේදයක් බව විජේසිරිවර්ධන කීවේ ය. හේතුවේ, සමාජ සමානතාවේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව පරමාදර්ශ 18වන ශතවර්ෂයේ පසු භාගයේ දී ඇමරිකාව හා ප‍්‍රන්සය තුල ලෝක ඓතිහාසික විප්ලවවලට මග පෙන්වා තිබුනි.

"බුද්ධි ප‍්‍රබෝධ යුගයේ අදහස් 20වන ශතවර්ෂයේ ලෝක යුද්ධවලට හේතු වීය යන පශ්චාත්-නූතනවාදී කියාපෑම ප‍්‍රගතිශීලී චින්තනය මත ප‍්‍රහාරයක්. ඔවුන්ට අනුව අධිරාජ්‍යවාදී යුද්ධයට මූලික හේතුව වන්නේ යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය හා භූගෝලීකෘත නිෂ්පාදන බලවේග අතර පරස්පරය නෙවෙයි. පලමු ලෝක යුද්ධයේ දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා දෙවන ලෝක යුද්ධයේ දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය ඉටුකල ද්‍රෝහී භූමිකාව නො තකා හරිනු ලැබෙනවා” යයි විජේසිරිවර්ධන විස්තර කලේ ය.

"සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය විසින් සමාජවාදීන්, විරුද්ධවාදීන් හා බුද්ධිමතුන් සිය දහස් ගනනක් සමූල ඝාතනය කිරීමේ වගකීම බුද්ධි ප‍්‍රබෝධය හා සමාජවාදය වෙත ආරෝපනය කිරීම ඒ දෙක ම ( බුද්ධි ප‍්‍රබෝධය හා සමාජවාදය) අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක්. අමරකීර්ති ස්ටැලින්වාදය විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාව වහංගු කරනවා. සමාජවාදය සමග කවර හෝ සම්බන්ධයක් නැති ස්ටැලින්වාදය ජාත්‍යන්තර සමාජවාදය අත්හැරීමේ හා ප‍්‍රතිගාමී ජාතිකවාදය වැලඳගැනීමේ ඍජු නිෂ්පාදනයක්” යයි විජේසිරිවර්ධන වැඩි දුරටත් පැවසීය.

බුද්ධි ප‍්‍රබෝධයට හා මාක්ස්වාදී විශ්ලේෂනයට අමරකීර්ති දක්වන හතුරුකමට නිශ්චිත සමාජ හා දේශපාලන ඇඟවුම් තිබෙන බව විජේසිරිවර්ධන විස්තර කලේ ය. කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් දෘෂ්ටිවාදාත්මකව පීලිපැන්නවීම මගින් එය පාලක පන්තියේ අවශ්‍යතාවලට සේවය කරයි. පශ්චාත්-නූතනවාදය හා අනෙකුත් ප‍්‍රති-මාක්ස්වාදී දාර්ශනික ප‍්‍රවනතාවන්ට එරෙහි අරගලය "ධනවාදය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ දෘෂ්ටිවාදාත්මක හා දේශපාලනික ස්වාධීනත්වය තහවුරු කිරීමේ අත්‍යවශ්‍ය කොටසකි.”

සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය නව මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට දායක වන ලෙස කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමින් විජේසිරිවර්ධන සිය දේශනය සමාප්ත කලේ ය.

Share this article: