මිලිටරි තර්ජන නොතකා සසප යාපනයේ රැස්වීමක් පවත්ව යි

SEP holds meeting in Jaffna despite military threats

By our correspondent , 25 January 2013

ආන්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ එම කඩාකප්පල් කිරීම් මධ්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය, ජනවාරි 20දා යුද්ධයෙන් ව්‍යසනයට පත් යාපනයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන තම ඉදිරිදර්ශන කෘතිය පිලිබඳව සාර්ථක දේශනයක් පැවත්වී ය. දේශනය පැවත්වුනේ එය පැවැත්වෙන බව නිවේදනය කර තිබුනු වීරසිංහම් ශාලාවේ දොරටුව ඉදිරිපිට ය. “ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක්” යයි සඳහන් කරමින් කලමනාකරනය විසින් ශාලාව වසා දමා තිබුනි.

සසප සාමාජිකයෝ ඉදිරිදර්ශන ලියවිල්ලේ පිටපත් 100ක් පමන අලෙවි කරමින් යාපන අර්ධද්වීපයේ නගර, දූපත් හා විශ්වවිද්‍යාල මන්ඩපවල රැස්වීම සඳහා උද්ඝෝෂනය කර තිබුනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කම්කරුවන්, ගෘහනියන්, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන්, ධීවරයන් හා පක්ෂයේ ආධාරකරුවන් ඇතුලුව ආසන්න වශයෙන් 50ක් දේශනයට සවන් දීම සදහා පැමින සිටියහ.

දේශනය සඳහා සූදානම් වෙමින් සිටිය දී රැස්වෙමින් සිටි අය පිලිබඳව සමීපව නිරීක්ෂනය කරමින් මිලිටරි හා පොලිස් ඔත්තුසේවා නිලධාරීහු පාපැදිවල නැගී තර්ජනාත්මක ස්වරූපයෙන් මුර සංචාරය කලහ.

සසප මධ්‍යම කාරක සභික පී.ටී. සම්බන්දන් රැස්වීමේ මුලසුන ගනිමින් පොලීසියේ හා හමුදාවේ කටයුතු පක්ෂයේ මූලික අයිතීන්ට එල්ල කල ප්‍රහාරයක් යයි හෙලා දුටුවේ ය. "ධනවාදයට එරෙහිව ලෝක කම්කරු පන්තිය විප්ලවවාදී අරගලවලට පිවිසෙමින් සිටී. මෙම දේශනය තහනම් කිරීමෙන් ප්‍රකාශවන්නේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවගේ එලඹෙන අරගලයන් හා සසප මෙම අරගලයන්ගේ නායකත්වය ගනු ඇති බවට ආන්ඩුව පලකරන භීතිය යි” ඔහු පැහදිලි කලේ ය.

සම්බන්දන් පදනම් ලියවිල්ලේ විදහා දැක්වෙන සසපයේ සාඩම්බර ඓතිහාසික වාර්තාව හා නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල වාර්තා අතර වෙනස ගෙනහැර දැක්වී ය. ඒ හැම සංවිධානයක්ම එක් හෝ තවත් ධනපති පක්ෂයකට සහාය දක්වන නිසා ඔවුනට අඩු වශයෙන් ඔවුන්ගේ ම ඉතිහාසයවත් ලේඛනගත කිරීමට නොහැකිවී ඇත. "ශ්‍රී ලංකාව තුල, විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා ගෙන යන සටනේ කොටසක් ලෙස තිරසර ලෙස ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් කම්කරු පන්තිය වෙත සැපයීමේ අවුරුදු 45ක අඛන්ඩ ඉතිහාසයක් ලේඛන ගත කල හැකි වූයේ සසප හා එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමයට පමනි.”

සසප මධ්‍යම කාරක සභික එම්. දේවරාජා ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින්, ලෝක පරිමාන ආර්ථික අර්බුදය මගින් නිර්මානය කෙරෙන වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයේ සන්දර්භය තුල සසප ආරම්භක ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීමේ වැදගත්කම පැහැදිලි කලේ ය.

එම්. දේවරාජා යාපනයේ රැස්වීම අමතමින්

"1930 ගනන්වල මහා අවපාතයෙන් පසු දැක නො තිබුන මට්ටමේ වර්තමාන ධනේශ්වර ආර්ථික අර්බුදය තුල සෑම රටක ම පාලක පන්තිය මුදාහැර ඇත්තේ කටුක අරගලයන් තුල වැඩකරන ජනතාවන් දිනා ගත් ජීවන තත්වයන්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයකි” යි දේවරාජා පැවසී ය."ඒ අතර ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල්, විශේෂයෙන් ම එක්සත් ජනපදය තම ආධිපත්‍යය යලි පිහිටුවා ගැනීම පිනිස පසමිතුරු බලවතුන් අතර ආතතීන් උග්‍ර කරමින් රටවල් නැවත යටත් විජිත ලෙස ග්‍රහනයට ගැනීම සඳහා මිලිටරි බලය යොදා ගැනීමට උත්සාහ දරයි.”

මිලිටරි ආතතීන් උත්සන්න කරමින් චීනය වැටලීම පිනිස එක්සත් ජනපදය ක්‍රමානුකූලව ගෙනයන වැඩපිලිවෙල වෙත දේවරාජා අවධානය යොමු කලේ ය. අධිරාජ්‍යවාදී තරගය විසිවන සියවස තුල ලෝක යුද්ධ දෙකක් හරහා ගමන්කර ඇති අතර නැවත වතාවක් එම අනතුර ම මතු කෙරී ඇතැ යි ඔහු පැහැදිලි කලේ ය. ධනවාදයේ අර්බුදය පද්ධතිමය බිඳවැටීමක් බවට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කල විශ්ලේෂනය තහවුරු කරමින් ගෝලීය ආර්ථික සුපවත්වීමේ බලාපොරොත්තු සුන්වී තිබේ.

2011 සිට ඊජිප්තුව හා මැද පෙරදිග පුරා විධාරනය වී ඇති සමාජ ප්‍රකම්පනයේ දේශපාලන අත්දැකීම් වෙතට කථිකයා අවධානය යොමු කලේ ය."ටියුනීසියාව හා ඊජිප්තුව වැනි රටවල් තුල කම්කරුවන් විප්ලවවාදී අරගලයන්ට පිවිස තිබියදී වුවත් එම රටවල කම්කරු පන්තියට බලය ගත නොහැකි වූයේ ඉදරිදර්ශනය හා නායකත්වයේ අර්බුදය නිසා ය.” ජාත්‍යන්තර සමාජවාදයේ විප්ලවවාදී ඉදිරිදර්ශනය ඓතිහාසිකව වර්ධනය කර ඇත්තේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් පමනක් වන අතර සසප පදනම් ලියවිල්ල තුල අන්තර්ගත වන්නේ මෙය බව ඔහු පැවසීය.

2009දී බෙදුම්වාදී එල්ටීටීයේ අවසාන පරාජයේ පාඩම් ද දේවරාජා අවධාරනය කලේ ය. එල්ටීටීයේ නිෂ්ප්‍රභාවීම අවධාරනය කර ඇත්තේ ධනේශ්වර රාජ්‍ය ඇබිත්තක් ස්ථාපිත කිරීම මත පදනම් වූ හා කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කල දෙමල ජාතිකවාදයේ බංකොලොත්කම යි. "ග්‍රාමීය පීඩිතයන්ගේ නායකත්වය ලෙස කම්කරු පන්තියේ සමාජවාදී එක්සත්කම පිලිබඳ ඉදිරිදර්ශනය අත්‍යාවශ්‍ය ය” යි ඔහු අවධාරනය කලේ ය. දෙමල ජනතාව ද ඇතුලු කම්කරුවන් හා පීඩිත ජනතාව සඳහා ජාතික විසඳුමක් ඇත්තේ නැත.

දේශනය අවසාන කරමින් දේවරාජා මිලිටරිය රැස්වීම තහනම් කිරීමට ගත් පියවර හෙලා දුටු අතර සහභාගී වූවන්ට ස්තුති කලේ ය. රැස්වීම තහනම් කිරීම පෙන්නුම් කලේ ශ්‍රී ලංකාවේ උතුරේ මිලිටරි පාලනය හා රටපුරා පොලිස් රාජ්‍ය පාලනය ව්‍යාප්ත කිරීමට ආන්ඩුව යොමුවී තිබෙන බව යයි පැවසූ ඔහු, සසපට එක් වී එය ජනතා පක්ෂයක් ලෙස ගොඩනැගීමට දායක වන මෙන් ඉල්ලා සිටියේ ය.

රැස්වීමෙන් පසුව පැමින සිටි අය ලෝසවෙඅ සමග කතා කලහ. එක් ගෘහනියක් මෙසේ පැවසුවාය. "රැස්වීම සඳහා මෙම ශාලාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මට පිලිගත නොහැකිය. සමාජවාදය පිලිබඳ පොතක් ගැනවත් සාකච්ඡා කිරීමේ අයිතිය මෙහි නැද් ද? මම එය තරයේ හෙලා දකිමි.”

තහනම නොතකා රැස්වීම පැවත්වීම ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයක් සසපට ප්‍රශංසා කලේ ය: "ඔබලා හමුවීමට පෙර මම සමාජවාදය ගැන දැන සිටියේ නෑ. තර්ජන මැද මෙම රැස්වීම පැවත්වීමට ඔබලා ගත් තීරනයට මම ආශිංසනය කරනවා.” රජයේ සේවකයෙක් මෙසේ පැවසී ය: "මෙම රැස්වීම අවහිර කිරීමෙන් පැහැදිලි වන්නේ මෙරට ඇත්තේ කුමන පාලනයක් ද යන්න යි.”

මිලිටරිය රැස්වීම අවහිර කිරීම පිලිබඳව යාපනයේ පුවත්පත් හා වෙබ් අඩවි කීපයක වාර්තා වුන අතර යාපනයේ පල කෙරෙන තිනක්කුරල්, වාලමිපුරී හා උදයන් පත්‍ර රැස්වීම ගැන ද වාර්තා පල කලේ ය.

Share this article: