කැලනියේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ඝාතනය: ආන්ඩු පක්ෂයේ මැර යාන්ත‍්‍රනය හෙලිදරව් කරන්නක්

By Wasantha Rupasingha, 26 January 2013

කැලනියේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවල ඝාතනය කිරීම පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) කල්ලි අතර සාහසික ගැටුමක් පමනක් නොව තම අයිතීන් වෙනුවෙන් සටන් කරන කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට එරෙහිව උසිගන්වන ලද මැර කල්ලි පිලිබඳ හෙලිදරව්වකි.

මඩවල ජනාධිපති රාජපක්ෂගේ එජනිස ආන්ඩුවේ හා ඔහුගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) ප‍්‍රාදේශීය නායකයෙක් හා කැලනිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙක් විය. ජනවාරි 5 දා සවස 7.30 පමන යතුරු පැදියකින් පැමිනි ඝාතකයන් දෙදෙනෙකු විසින් කැලනිය වරාගොඩ පිහිටි ඔහුගේ නිවස අසල දී හිසට එල්ල කල වෙඩි ප‍්‍රහාරයකින් ඔහු මරනයට පත් විය.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඇමති මර්වින් සිල්වාගේ සමීපතම ආධාර කරුවන් බව එලිදරව් වී තිබේ. තමන් විසින් ඝාතනය සිදුකල බව ට සැකකරුවන් අතරින් දෙදෙනෙකු වන සුපීර් රංගන පෙරේරා හා අශේන් චතුරංග පොලීසියට පාපොච්චාරනය කර ඇත.

මඩවල ඝාතනය ඉතා සැලසුම් සහගතව කල එකක් බව පැහැදිලිය. ඝාතනය සැලසුම් කිරීම සඳහා සිංගප්පුර් සරත් නමැත්තා සිංගප්පුරුවේ සිට ලංකාවට පැමිනි බව එලිදරව් වී තිබේ. එමෙන් ම මඩවල පමනක් නොව කැලනිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා එජනිස ප‍්‍රාදේශීය නායයෙකු වන ප‍්‍රසන්න රනවීර ඇතලු කන්ඩායමක් ම ඝාතන කිරීමේ සැලැස්මක් තිබුන බව සැකකරුවන් විසින් එලිදරව් කර ඇතැයි ද වාර්තාවිය. මඩවල, රනවීරගේ සමීප සගයෙකි. ඇමති සිල්වාගේ අනුදැනුම ඇතිව මඩවල ඝාතනය සිදුවූ බවටත්, තමන් ගේ සහ තම සගයන්ගේ ජීවිතවලටත් මරන තර්ජන තිබෙන බව සභාපති රනවීර ජනාධිපතිට පැමිනිලි කර ඇති අතර සිල්වා අත්අඩංගුවට ගන්න ලෙස මඩවල පවුලේ ඥාතීන් හා රනවීර කන්ඩායමේ ආධාර කරුවන් පොලිසියෙන් ඉල්ලා ඇත.

ඝාතනයට සිල්වාගේ ආධාර කරුවන්ගේ සම්බන්ධය එලිදරව් වන තතු තුල කැලනියේ ශී‍්‍රලනිප සංවිධායක ධුරයෙන් ඔහු ඉල්ලා අස්විය. ඒ රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ශී‍්‍රලනිප ප‍්‍රාදේශීය නායකයන්ගේ ද සාමාන්‍ය මහජනයාගෙන් ද විරෝධය එල්ල වන තතු තුල ය.

රනවීර සහ ඇමති සිල්වා එකපතේ කමින් ප‍්‍රදේශයේ මහජනතාව ද දේශපාලන විරුද්ධවාදීන් ද මැර බලයෙන් මැඩලමින් හා කැලනිය සිය දේශපාලන පාරාදීසයක් බවට පත්කර ගනිමින් විවිධාකාර වංචා දුෂන හා මැර කි‍්‍රයාවල යෙදුනු බවටත්, තම සගයන් විසින් කරන ලද එවන් කි‍්‍රයාවන්ට අනුබල හා රැකවරනය සැපයූ බවටත් ප‍්‍රසිද්ධියේ චෝදනා එල්ල වුයේ වරක් දෙවරක් නොවේ. බරපතල මහජන විරෝධයක් ඒවා සම්බන්ධයෙන් එල්ල වුව ද ඒ කිසිවක් සම්බන්ධයෙන් නීතිමය වසයෙන් හෝ දේශපාලන වසයෙන් ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ ආන්ඩුව හෝ ශී‍්‍රලනිපය මොන ම පියවරක්වත් ගත්තේ නැත.

මඩවලට අවසන් බුහුමන් දැක්වීමට ගිය ජනාධිපති රාජපක්ෂ, රැස්ව සිටි ජනයා ඇමති සිල්වා ගැන කෝපය පල කල තතු යටතේ, ඝාතනය සම්බන්ධයෙන් "අපක්ෂපාතීව හා කඩිනම්ව” යුක්තිය පසිඳන ලෙසට පොලීසියට උපදෙස් දුන්නේය. මඩවල ගේ අවසන් කටයුතු සිදු කෙරුන දින ශෝක පනිවිඩයක් යවමින්, "එම අමිහිරි සිදුවීම දැඩි පිලිකුලෙන් හෙලා දකින” බවත් ”රටේ නීතිය හා සාමයට මෙවැනි සිදුවීම් තර්ජනයක්” බවත් රාජපක්ෂ උපාසක ලීලාවෙන් ප‍්‍රකාශ කලේ ය. එවැනි ඊනියා අපක්ෂපාතී හා කඩිනම් පරීක්ෂනවලට සිදු වන්නේ කුමක් දැයි කව්රුත් දනිති.

ඇමති සිල්වා මැරකම්වලට සම්බන්ධ බවට කෙතෙකුත් චෝදනා එල්ල වී ඇතත් රාජපක්ෂ ආන්ඩුව හෝ පොලීසිය කිසිදු පියවරක් නො ගෙන ඔහු නිරුපද්‍රිතව වහසිබස් දොඩමින් හැසිරෙයි. එබඳු ඇමතියන්, මන්තී‍්‍රන් හා ඉහල තැන්වල වැජඹෙන්නන් රොත්තතකටම නිදැල්ලේ කටයුතු කිරීමට වරම් ලැබී ඇත.

ඊට හේතුව, මිලිටරිය හා පොලීසිය මත වාරු වී පාලනය ගෙන යන රාජපක්ෂ ආන්ඩුව තම අත යට නඩත්තු කෙරෙන මැර නඩ, දේශපාලන විරුද්ධවාදීන් හා වැඩ කරන ජනතාවගේ අරගල තලා දැමීමේ විෂකුරු, පහසු ආයුධයක් ලෙස දකින බැවිනි.

මඩවල ඝාතනය හුදෙක් ආන්ඩුවේ කල්ලි දෙකක් අතර කා කොටා ගැනීමක් පමනක් ම නො වේ. කොලඹ නගර සභා මැතිවරනය මැද 2011 ඔක්තෝබර් 8 වෙනිදා ජනාධිපති උපදේශකයෙකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ දී මෙන් ම මඩවල ඝාතනයෙන් ද යලි වතාවක් එලිදරව් කෙරී ඇත්තේ ආන්ඩුවේ අනුදැනුම හා අනුග‍්‍රහය ඇතිව පවත්වා ගෙන යන මෙවැනි කල්ලි පිලිබඳවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අන කරනු ලැබ ආන්ඩුව විසින් කි‍්‍රයාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙත්වලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මර්දනය කිරීමට එරෙහිව මහජන විරුද්ධත්වය ගැඹුරුවන තතු තුල ධනපති ආන්ඩුවේ අත යට වැඩකරන මෙම මැර යාන්ත‍්‍රනය රාජපක්ෂ ආන්ඩුව යටතේ පසු ගිය වසර කීපය තුල පෙර නොපැවති ආකාරයට පෘතුලව වර්ධනය කර තිබේ. ඔව්හු ආන්ඩුවට එරෙහි මහජන විරෝධය හා ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන් ද, ආන්ඩුවේ පිලිවෙත් කෙරෙහි යම් විවේචනාත්මක පිලිවෙතක් අනුගමනය කරන මාධ්‍ය හා මාධ්‍යවේදීන් ද මර්දනය කිරීමට, ආන්ඩුව වෙනුවෙන් ඔත්තු බැලීමට, මැර ප‍්‍රහාර එල්ල කිරීමට, පුද්ගලයින් පැහර ගෙන යාමට හා මරා දෑමීමට පවා ආන්ඩුවේ නිල මර්දන යන්ත‍්‍රනයත් සමග එක්ව කට යුතු කරති.

සිරස වැනි මාධ්‍ය ආයතනවලට, කම්කරුවන්ගේ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතාවලට පහර දීමට ඇමති සිල්වා හා ප‍්‍රාදේශීය සභා සභාපති රනවීරගේ ආධාර කරුවන් ඇතුලුව ආන්ඩුවේ දේශපාලන මැර කල්ලි සම්බන්ධ වූ බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

මහජනයා ගසා කෑමෙන් සහ විවිධාකාර දුෂිත වැඩවලින් මඩිය තර කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව යටතේ මොවුන්ට ඉඩ ලැබී තිබේ. ඔවුන්ට එරෙහිව කෙරෙන මහජන පැමිනිලි පොලීසිය මුලුමනින් ම නොතකා හරියි. ආසන්නතම උදාහරනයක් වන්නේ ව්‍යවස්ථා හා නීති විරෝධීව අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක ඉවත් කිරීමේ ආන්ඩුවේ තැතට එරෙහිව ජනවාරි 10 දා කොලඹ පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ කිහිප දෙනෙකුට කල පහර දීමයි. පොලීසිය ඉදිරිපිට කෙරුන මෙම පහරදීමේ දී පොලීසිය මුලුමනින් ම ඊට ඉඩහැර සිටි අතර පහර කෑ අය කල පැමිනිලි හා මාධ්‍ය රූප රාමු මගින් එම මැරයන් රටට ම එලිදරව් වී ඇතත් පොලීසිය එම මැරයින් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

රාජ්‍ය අනුග‍්‍රහය ලත් මෙම මැර කල්ලි වල වර්ධනය කම්කරු පන්තියට, තරුනයන්ට හා අවශේෂ පීඩිත ජනයාට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. පොලිස්-රාජ්‍ය පාලනයක් තහවුරු කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව වේගයෙන් කි‍්‍රයා කිරීම හා එහි අන්ඩක් ලෙස මැර කල්ලි නඩත්තුව ධනපති පන්ති පාලනය මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් වත් ඉවසිය නොහැකි තැනට කුනු වී ඇති බව පෙන්නුම් කරයි.

Share this article: