ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදය හමුවේ කම්කරුවන්ට ඇති ඉදිරි මාවත

Sri Lanka’s constitutional crisis: The way forward for workers

By the Socialist Equality Party (Sri Lanka), 30 January 2013

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෝෂාභියෝගය හා අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක ධුරයෙන් පහකිරීම ඉලක්ක කෙරෙන්නේ, සියල්ලටත් වඩා, කම්කරු පන්තියට එරෙහිව යයි සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. ආන්ඩුව ජනතාවගේ ජීවන තත්වයන්ට තව තවත් පහර එල්ල කිරීමට සැරසෙන තතු තුල, කම්කරුවන් හා ගම්බද පීඩිතයින් දක්වන ඕනෑම ප්‍රතිරෝධයක් මැඩීම පිනිස රාජ්‍ය යාන්ත්‍රනය මත ආන්ඩුව තම ග්‍රහනය දැඩි කරමින් සිටියි.

තම ආන්ඩුවේ දිවිනැඟුම සංවර්ධන පනත නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරනය තීරනය කිරීමෙන් පසුව, මේ මාසයේදී රාජපක්ෂ, බන්ඩාරනායක ධුරයෙන් පහකිරීමට පියවර ගත්තේය. පනත සකස්කර ඇත්තේ වාර්ගික වෙනස්කම් දුරුකිරීමට බව ආන්ඩුව කියා සිටින නමුත් එහි සැබෑ අරමුන වූයේ, ආර්ථික බලතල පලාත් සභා වෙතින් ඉවත්කොට ඒවා මධ්‍යම ආන්ඩුව අතට ගැනීමයි.

අධිකරන නියෝග, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන් හා මූලික නීතිමය ක්‍රියාවලීන් නොතකා ජනාධිපති, බන්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේය. ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීන් දෝෂාභියෝග මෝසමට පිටුබලය දුන්නේ චෝදනා මොනවා ද යන්න පවා නොදැනය. ඔවුහු හිස් කඩදාසියකට අත්සන් තැබූහ. ජනාධිපතිගේ සොහොයුරා වන පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ, මෝසම පිලිගෙන ගොතන ලද චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කලේය.

බන්ඩාරනායකට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නොමැති බව තීන්දුකරමින් ශ්‍රේෂ්ඨාධිකරනය, එම පරීක්ෂන කටයුතු සිදු නොකල යුතුයයි නියෝග කලේය. චමල් රාජපක්ෂ සරලවම ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරනය හා ව්‍යවස්ථාව නොතකා හරිමින්, ජනතා පරමාධිපත්‍යය සතුවන්නේ පාර්ලිමේන්තුවට බව කියා සිටියේය. පාර්ලිමේන්තුව පාලනය කරන්නේ ආන්ඩුවයි.

ආන්ඩුව හා ශ්‍රේෂ්ඨාධිකරනය අතර හටගත් කටුක ආරවුල පෙන්නුම් කරන්නේ, ආන්ඩුවේ දැඩි ඥාති සංග්‍රහය මෙන්ම එක්සත් ජනපදය වෙත නොව චීනය වෙත එහි දිශාවනතිය කෙරෙහි පාලක පන්තිය තුල ඇති තියුනු මතගැටුම්ය. පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පිරිහෙලා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන ජනාධිපති කල්ලිය, කම්කරු පන්තිය සමග අන්තරායකාරී ගැටුමකට වේදිකා සකස් කරන්නේය යන වැඩෙන කනස්සල්ලක් කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටස් තුල පවතියි.

රුදුරු ලෙස ධනපති පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන අධිකරනය, කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ මිතුරෙකු නොවේ. කෙසේ වුව ද මොනම විරුද්ධත්වයක් හෝ ඉවසිය නොහැකි රාජපක්ෂ, සමස්තයක් ලෙස අධිකරනයම විනයගත කිරීමේ පූර්වාදර්ශයක් ලෙස බන්ඩාරනායක නෙරපා හලේය. නව අගවිනිසුරු ‍මොහාන් පීරිස්, හිටපු නීතිපතිවරයෙකු ද ආන්ඩුවේ නීති උපදේශකයෙකු හා ජනාධිපතිගේ විශ්වාසදායක සගයෙකු ද වෙයි. බන්ඩාරනායකගේ දෝෂාභියෝගය පොලිස් රාජ්‍ය පාලනයක් දෙසට තබන තවත් පියවරකි.

වර්තමාන පොලිස් රාජ්‍ය පර්යායේ මූලාරම්භය පවතින්නේ, අත්තනෝමතිකව අත්අඩංඟුවට ගැනීම්, නඩු නොවිමසා හා වධ බන්ධන යටතේ රඳවා තැබීම් මෙන්ම නීතියට පිටින් සිදුකරන මනුෂ්‍ය ඝාතන, සම්ප්‍රධාය බවට පත්කල, බලයට පත් කොලඹ ආන්ඩු විසින් ගෙනගිය දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධය තුලය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කල 2009 වසරේ පටන් රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නිර්දේශ කල කප්පාදු පියවර ක්‍රියාවට නැඟීමත් සමග, පාලනයේ වඩ වඩාත් අත්තනෝමතික ක්‍රමෝපායන්ගේ පිහිට පැතීය. රැකියා, සේවා හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට විරෝධය පල කරමින් කම්කරුවන්, ධීවරයින්, ගොවීන් හා සිසුන් ගෙනගිය වැඩවර්ජන හා පෙලපාලි වලට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව, නැවත නැවතත් පොලිසිය හා හමුදාව යෙදවීය.

යුද්ධයට සහයෝගය දුන් දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ, මිලිටරියේ යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම පිලිබඳව වගකීමට බැඳී සිටියි. එක්සත් ජාතික පක්ෂය (එජාප) 1989දී යුද්ධය ආරම්භ කල අතර 60,000 ගම්බද තරුනයින් මරා දමමින් 1989-91 කාලයේ ක්‍රියාත්මකවූ ඝාතක කල්ලි සම්බන්ධයෙන් කුප්‍රකටය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මිලිටරියේ ප්‍රධාන උද්ඝෝෂකයා බවට පත්ව සිටියේය. ජවිපෙ 2005 ජනාධිපතිවරනයේදී රාජපක්ෂට පිටුබලය දුන් අතර 2006දී යුද්ධය යලි පටන් ගන්නා ලෙස රාජපක්ෂට බල කලහ.

දැන් රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයන්ගේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින මෙම පක්ෂ කිසිවක් කෙරෙහි කම්කරු පන්තියට විශ්වාසය තැබිය නොහැකිය. දෝෂාභියෝගයට එරෙහිව විරෝධතා සංවිධානය කල නීති හා අධිකරන සංවිධාන හා වෘත්තීය සමිති, ආරම්භයේ පටන්ම, ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීම මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහි කිසිදු පුලුල් දේශපාලන අරගලයක් පැනනැඟීම වැලැක්වීමට උත්සාහ කලහ.

විරෝධතාවන්හි සීමිත ස්වභාවය පෙන්නුම් කලේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා කිසිදු තිරසාර සටනක් ගෙනයාමට ධනේශ්වරය මෙන්ම ඉහල මධ්‍යම පන්තිය දක්වන ඓන්ද්‍රීය අසමත් කමයි. ඔවුන් සැලකිලිමත් වූයේ ද වන්නේ ද ධනේශ්වර සංස්ථාපිතය තුල තම තමන්ගේ මූලික අවශ්‍යතා හා වරප්‍රසාදිත තත්වයන් රැකගැනීමට පමනි. සියල්ලටත් වඩා ඔවුහු, රාජපක්ෂ ආන්ඩුවේ කුරිරු ක්‍රමෝපායන් පිලිබඳව දක්වන කනස්සල්ලට වඩා කම්කරු පන්තිය අරගලය තුලට පිවිසීම කෙරෙහි බිය පල කරති.

වඩාත්ම ද්‍රෝහී ක්‍රියාකලාපය ඉටුකරනු ලබන්නේ, නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි හිටපු වාම සංවිධානය. මෙම කන්ඩායම් ප්‍රජාතන්ත්‍රයේ ආරක්ෂකයින් ලෙස දක්ෂිනාංශික එජාපය නඟා සිටුවීමේ නිර්ලජ්ජිත ව්‍යායාමයක යෙදී සිටිති. කම්කරුවන් ධනේශ්වරයේ පක්ෂ වලට විවෘතව ම යටත් කිරීමේ හා කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන බලමුලු ගැන්වීමක් වැලැක්වීමේ කඩඇනය බවට ඔවුහු පත්ව සිටිති.

දෝෂාභියෝගය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර එසප නායක සිරිතුංඟ ජයසූරිය විරෝධතාකරුවන් කන්ඩායමකට පැවසුවේ මෙසේය. “ප්‍රජාතන්ත්‍රය දිනාගැනීම සඳහා අප අපගේ ජීවිත කැපකල යුතුය. වමේ දකුනේ සියලු දෙනාම ආඥාදායක පාලනයට එරෙහිව එක්සත් විය යුතුය.” එසප හා නසසපය සන්ධාන ගසාගෙන සිටින්නේ එජාපය සමග පමනක් නොවේ. විවෘත සිංහල වර්ගවාදී පක්ෂ වන මාතෘභූමි ජනතා පෙරමුන හා නව සිහල උරුමය සමග ද ඔවුහු සන්ධානයන්ට එලඹ සිටිති.

ඩේලි මිරර් පුවත්පතෙහි ලියමින් නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න, විරෝධතා නායකයින් අතර මිත්‍යාව වපුරවන ගමන් මෙසේ පැවසීය. “අගවිනිසුරුවරියගේ හා අධිකරනයේ ප්‍රතිරෝධය, වෘත්තීය සමිතිවල ජනතා උද්ඝෝෂන හා විපක්ෂයේ විරෝධතා සමග සම්බන්ධවීම නිසා මහින්දගේ සැලැස්මට ඇත්තේ කෙටි ආයු කාලයක් විය හැක.” මෙම විරෝධතා වාෂ්ප වී යද්දී පවා ඔහු මෙසේ ලිවීය. “එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන තිබෙන මෙම පියවර පිලිබඳව සිතනවිට, ලිබරල් ප්‍රජාතන්ත්‍ර පක්ෂයකට විපාර්ශවයේ සිටිමින් අප සමග මේසා දුරක් යාමට හැකිව තිබීම ගැන මම සතුටුවෙමි.”

එජාපය, අධිකරනය හා වෘත්තීය සමිති පිලිබඳව එසප හා නසසප යන ප්‍රෝඩාකාරී වම්මු වපුරන මිත්‍යාවන් කම්කරු පන්තිය විසින් ප්‍රතික‍්ෂේප කල යුතුය.

අත්තනෝමතික ලෙස අගවිනිසුරු ඉවත් කිරීම, වැඩකරන ජනතාවට එරෙහිව ආඥාදායක පියවර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව නොපසුබට වන බවට කෙරෙන අනතුරු ඇඟවීමකි. මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු න්‍යායපත්‍රය ක්‍රියාවට නැඟීමේදී ලෝකය පුරා පාලක පන්ති, වඩ වඩාත් හිංසනකාරී පියවර මත වාරු වෙමින් සිටිති. ග්‍රීසියේදී ආන්ඩුව, ඇතන්ස්හි වැඩවර්ජිත උමං මාර්ග කම්කරුවන් යුද නීතිය යටතට පත්කරමින් ඔවුන් ආපසු වැඩට දැක්කීමට පියවර ගත් අතර ප්‍රචන්ඩ ලෙස ප්‍රතිරෝධය මැඬීම සඳහා පොලිසිය යෙදවීය. ඊජිප්තුවේදී ජනාධිපති මොහමඩ් මුර්සි ජාමූඅ වෙලඳපොල ගැති පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටියදී, ආන්ඩු විරෝධී කොටස්වල විරෝධතා මැඩීම පිනිස නගර තුනක හදිසි නීතිය පැනවීය.

ධනවාදය පෙරලා දැමීමේ ජාත්‍යන්තර විප්ලවවාදී මූලෝපායක කොටසක් ලෙස මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා තිරසාර අරගලයක් ගෙනයාමට සමත් එකම සමාජ බලවේගය කම්කරු පන්තිය පමනි. කෙසේ වෙතත් කම්කරු පන්තියට එසේ කල හැකි වන්නේ, පාලක පන්තියේ සෑම කොටසකගෙන් මෙන්ම ඔවුන්ගේ සුලු ධනපති හෙංචයියන්ගෙන් ද ස්වාධීනව බලමුලු ගැන්වෙන අතර දේශපාලන බලය අල්ලා ගැනීම පිනිස පීඩිත ජනතාව පුබුදුවා ගැනීමෙන් පමනි.

අනවරත ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීම සඳහා වැඩපොලවල හා නිවාස ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කියා සිටියි. වත්මන් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා වර්ගවාදී ව්‍යවස්ථාවට විරුද්ධව සසප, සිංහල, දෙමල හා මුස්ලිම් යන සියල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කරන, ජනතාව විසින් තෝරා පත්කරගත් අව්‍යාජ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියි.

විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා පුලුල්ම උද්ඝෝෂනයකට පිවිසෙන ලෙස සසප කම්කරුවන්, ගම්බද පීඩිතයින් හා තරුනයින්ට යෝජනා කරයි. ධනපති පාලනය විස්ථාපනය කිරීම පිනිස සසප කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට, එනම්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංඟමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමට සටන් වදියි.

මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය දෙන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසපයට බැ‍ඳෙමින් එය කම්කරු පන්තියේ ජනතා විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනඟන ලෙසයි.

Share this article: