ශ්‍රී ලංකාවේ ආන්ඩුව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සූදානම් වේ

Sri Lankan government prepares to impeach chief justice

By K. Ratnayake , 3 January 2013

පුලුල්ව පැතිර ඇති විවේචන නොසලකා ආන්ඩුවේ අධිකාරය යටතේ පැවැත්වු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ මත අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක දෝෂාභියෝගයට ලක්කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇඟවුම් කර ඇත.

ජනාධිපතිගේ වැඩිමහල් සහෝදරයා වන කථානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරන ලදී. ප්‍රෝඩාකාරී විභාගයකින් පසුව කාරක සභාව මූල්‍ය අවභාවිතාව පිලිබඳ චෝදනා තුනකට බන්ඩාරනායක වැරදිකාරිය බව නිගමනය කලේය. එහි වාර්තාව ජනවාරි 9-10 දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

බන්ඩාරනායක හා ඇගේ නීතිඥවරු චෝදනාවන්ට මුහුනදීම පිනිස සූදානම් වීමට ඉඩ නොදුන් බවට චෝදනා නගමින් ආන්ඩුවේ අනසක යටතේ පැවති ඒකපාර්ශවික පරීක්ෂනයෙන් ඉවත්ව ගියහ. ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් සමග තමන් අනන්‍ය වනු ඇතැයි බියට පත් විපක්ෂ සාමාජිකයින් ද ඉවත්ව යාමෙන් පසුව පැය කිහිපයක් ඇතුලත කමිටුව එහි සැසිවාරය අවසන් කලේය.

පාර්ලිමේන්තුවේ සුලු බහුතරයකින් කමිටු වාර්තාව අනුමත කලහොත් බන්ඩාරනායක අගවිනිසුරු තනතුරෙන් පහකරන බව නිවේදනය කිරීමට ජනාධිපති පාර්ලිමේන්තුව අමතනු ඇත. පාලක සභාගයට පාර්ලිමේන්තු ආසන වලින් තුනෙන් දෙකක පමන බහුතරයක් ඇත.

දිවිනැඟුම සංවර්ධන පනතින් පලාත් සභාවල ආර්ථික බලතල උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී යයි බන්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රේෂ්ඨාධිකරන මඬුල්ල දුන් තීන්දුවෙන් පසුව ආන්ඩුව ඇයට එරෙහි පියවර ක්‍රියාත්මක කලේය. එම පනත මගින් ජනාධිපතිගේ තවත් සහෝදරයෙකු වන ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අතෙහි බලතල ගොනුකරමින් ජනාධිපති වටා සිටින කුඩා පාලක කල්ලිය ශක්තිමත් කරනු ඇත.

අධිකරනය හා ආන්ඩුව අතර ගැඹුරුවන ආතතීන් මධ්‍යයේ බන්ඩාරනායක පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව නිෂ්ප්‍රභා කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කලාය.

අධිකරනය රිට් ආඥාවක් නිකුත් කලහොත් පාර්ලිමේන්තු කමිටුව ගන්නා පියවර "නිෂ්ප්‍රභා කෙරෙන” බැවින් කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස අභියාචනාධිකරනය කථානායකට උපදෙස් දුන්නේය. ව්‍යවස්ථාමය අර්බුදයක විභවය පෙන්වා දෙමින් එය මෙසේ පැවසීය. "මෙම පරිපාටිය නොසලකා හරිමින් පවතින තත්වය වෙනස් කරන කුමන හෝ තීරනයක් ව්‍යසනකාරී තත්වයකට තුඩුදිය හැකිය.”

ජනාධිපති රාජපක්ෂ හා ආන්ඩුව අභියාචනාධිකරනයේ නියෝගය නොසලකා හරින බව දැනටමත් ඇඟවුම් කර තිබේ. නියෝජ්‍ය කථානායක පැවසුවේ තේරීම් කමිටුව පිලිබඳව අධිකරනයේ නියෝග පිලිනොගන්නා බවට දුන් කථානායකගේ තීන්දුව එසේම පවතින බවයි. කථානායක හා කමිටු සාමාජිකයින් දෙසැම්බර් 03දා අභියාචනාධිකරනය හමුවේ පෙනී නොසිටීමට තීරනය කර ඇත.

රට තුලත් ජාත්‍යන්තරවත් පැනනැ‍ඟෙමින් ඇති විවේචන මඟහැරීම සඳහා ජනාධිපති, කිසිදු පියවරක් ගැනීමට ප්‍රථම පාර්ලිමේන්තු කමිටු වාර්තා ගැන තවදුරටත් සොයා බැලීම පිනිස "ස්වාධීන කමිටුවක්” පත්කරන බව නිවේදනය කලේය. එහෙත් සභාග හවුල්කාරයන් හමුවේ ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පැවසුවේ තමන් "මොනම තත්වයක් හමුවේ හෝ එයින් (දෝෂාභියෝගයෙන්) බැහැරවීමට අදහස් නොකරන” බවය.

පාලක හවුලේ කොටස්කරුවන් වන ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ප්‍රජාතන්ත්‍ර වාම පෙරමුන පාර්ලිමේන්තුවේ වාරාවසාන කර දෝෂාභියෝගය පිලිබඳ නව රෙගුලාසි නිවේදනය කරන ලෙස ඉල්ලමින් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට සුදුහුනු ගෑමට වෑයම් කරති.

නීතිඥවරු හා අධිකරන නිලධාරීහු බන්ඩාරනායකට විරුද්ධව ආන්ඩුව ගෙන යන දඩයමට එරෙහිව විරෝධතා සංවිධානය කරමින් අධිකරනයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නැඟූහ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික රැස්වීමකදී දැනට සිටින අගවිනිසුරුවරිය දෝෂාභියෝගයට ලක්කර අලුතෙන් පත්කරන කෙනෙක් තමන් නොපිලිගන්නා බවට යෝජනාවක් සම්මත කරන ලදී.

මෙයට ප්‍රතිචාර වශයෙන් විරුද්ධ පාක්ෂිකයින්ට අඩම්තේට්ටම් කිරීම පිනිස ආන්ඩු ගැති මැරයින් යොදවනු ලැබ තිබේ. සුදු වෑන් රියකින් පැමිනි සන්නද්ධ කල්ලියක් දෙසැම්බර් 17දා කොලඹ මහේස්ත්‍රාත් උසාවියේ නීතිඥවරුන්ගේ සංගමයෙහි සභාපති ගුනරත්න වන්නිනායකට පහර දීමට උත්සාහ කලහ. ඔහු අසල් වැසියන්ගෙන් උදව් ඉල්ලා කෑගැසූ විට මැරයෝ පලාගියහ. දෙදිනකට පසුව මධ්‍යම රාත්‍රියේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂගේ (ජනාධිපතිගේ ඥාතියෙකු නොවේ) නිවසට හඳුනා ‍නොගත් මැර පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගියහ.

ගැඹුරුවන සමාජ ආර්ථික අර්බුදයක් හා සමාජ ආතතීන් හමුවේ රාජපක්ෂ ආන්ඩුව සියතෙහි බලය සංකේන්ද්‍රනය කර ගනිමින් සිටියි. ලෝක ධනවාදයේ ගිලාබැසීමෙහි බලපෑම යටතේ දිවයින අපනයනයන්ගේ හැකිලීමකට ද පිම්මේ ඉහල නඟින නය බරකට ද පිරිහී යන වර්ධන වේගයකට ද මුහුනපා ඇත. ආන්ඩුව එලඹි නව වසර තුල වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තවදුරටත් කාබාසීනියා කිරීමට සූදානම් වෙමින් සිටියි.

මෙම වසරේ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.8 වන තෙක් කැපීමට ද කම්කරු පන්තිය හා දුගීන් මත තව තවත් බර පැටවීමට ද රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය වේගවත් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති නිර්දේශ ක්‍රියාවට නැඟීමට රාජපක්ෂ පිලින දී සිටියි. කම්කරු අරගල කඩාකප්පල් කිරීමට වෘත්තීය සමිති දරන උත්සාහය තිබිය දී ම ආන්ඩුව, සමාජ පිපිරීමක් පිලිබඳව බිය පත්ව සිටියි. බෙහෙවින්ම දේශපාලනීකරනය වී ඇති අධිකරනය, බලය ජනාධිපති අත සංකේන්ද්‍රනය කිරීමට උදව් වන පරිදි ද කම්කරුවන්ගේ අරගල නීති විරෝධී කිරීමට ද මීට පෙර නියෝග දී ඇත. අධිකරනය හා ආන්ඩුව අතර වර්තමානයේ පැනනැඟී තිබෙන ආතතිය, රාජපක්ෂගේ අත්තනෝමතික හා ගැතිකම නිසා පසෙකට තල්ලුවී සිටින ව්‍යාපාරික පැලැන්තියේ නැඟී එන විරුද්ධත්වය පිලිබිඹු කරයි.

ලංකා වෙලඳ මන්ඬලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න "යටත් නොවන” ලෙසත් දෝෂාභියෝගයට විරුද්ධ වන ලෙසත් මහා ව්‍යාපාරිකයෙන් ඉල්ලා සිටියේ මෙම අතෘප්තිය පලකරමිනි. කොලඹ ඩේලිඑෆ්ටීඩොට්කොම් වෙබ් අඩවිය, මහා ව්‍යාපාරයන්ට අහිතකර ලෙස බලපා ඇති බවට ජයරත්න කියා සිටින ආන්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති තීරන ලැයිස්තුගතකොට පල කර තිබුනි.

ජයරත්න, චීනය වෙත රාජපක්ෂගේ නැඹුරුව විවේචනය කලේය. "වෙලඳ හා ආයෝජන ආධාර සපයන, විශ්වාස කටයුතු අපගේ පැරනි බටහිර රටවල් වලට පහර ගැසීමේ ද ඉන්දියාව අතේ දුරින් තබාගැනීමේ හා ඉරානය ද රුසියාව ද සමග අත්වැල් බැඳගන්නා, අප්‍රිකානු රටවල් වෙත සුහදශීලීත්වයේ සාධනීය ඉඟි පලකරන අතරම චීනය වැලඳ ගැනීමේ අවදානම් විදේශ ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යාම "අපගේ දිගු කාලීන ආසක්තයන්” නොවන්නේය. මක්නිසා ද යත් "පසුව අතිකරගත් අලුත් මිතුරන්” සමග වෙලඳාම හා ආයෝජන පුරුක් "සීමාන්තික” වන බැවිනි.

රාජපක්ෂ නීතිමය හා ව්‍යවස්ථාමය සම්මතයන් පෑගීම නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රයේ ප්‍රෝඩාව තවදුරටත් හෙලිදරව් වීම මගින් කම්කරු පන්තිය සමග කුමන හෝ ගැටුමක දී මතු කෙරෙන අන්තරායන් උත්සන්න කෙරෙනු ඇති බවට ද පාලක කවයන් තුල කනස්සල්ලක් පවතියි.

එක්සත් සමාජවාදී පක්ෂය හා නව සමසමාජ පක්ෂය වැනි පැරනි වාම පක්ෂ විපක්ෂය හා අධිකරනය පිලිබඳ මිත්‍යාවන් පැතිරවීමේ වැඩට බැස සිටිති. "අධිකරනයේ ස්වාධීනත්වයට අත නොතබනු” යන ප්‍රකාශයක් තුල එසප මෙසේ පවසයි. "විධායකයට හිස නොනමන අධිකරනයක් තිබිය යුතුය. එබැවින් අප රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රහාරයන්ට හා පීඩනයන්ට එරෙහිව නැඟී සිටිය යුතුය. එය අපගේ මහජන අරගලයෙහි කොටසකි.”

එම ප්‍රකාශනයේ එල්ලය වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම නොව ඔවුන් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට ගැටගැසීමයි. නසසප හා එසප යන දෙපක්ෂයම දක්ෂිනාංශික එජාපයේ පිටුපස පෙලගැසී සිටින අතර එය, ආන්ඩුවට "ප්‍රජාතන්ත්‍රවාදී” විකල්පයක් ලෙස ඔසවා තබති. බලයේ සිටිය දී එජාපය ඒකාධිපති පිලිවෙත් සම්බන්ධයෙන් කුප්‍රකට විය. ජනාධිපති අතේ අසාමාන්‍ය බලතල ගොනුකරන වත්මන් ව්‍යවස්ථාව පැනවීම ද ඒ අතර වේ. ගම්බද සිංහල තරුනයින් දස දහස් ගනනකගේ ජීවිත බිලිගනිමින් ආරක්ෂක හමුදා 1980 ගනන් අග හරියේ මුදාහල කුරිරු ප්‍රචන්ඩත්වයට එජාපය වගකිව යුතුය.

එජාපය, ව්‍යාපාරික පැලැන්තිය හා අධිකරනය, ප්‍රජාතන්ත්‍රයේ ගැලවුම් කරුවන් ලෙස වැඩම කරවීමට ව්‍යාජ වම්මු දරන උත්සාහය කම්කරුවන් විසින් පිලිකෙව් කල යුතුය. අතීතයේ දී එසපය හා නසසපය රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටුපස පෙලගැ‍සුනු අතර එය එජාපයට ප්‍රගතිශීලී විකල්පයක් ලෙස හුවාදැක්වූහ.

කම්කරුවන්ට සිය ප්‍රජාතන්ත්‍ර අයිතින් රැකගත හැක්කේ ධනේශ්වරයේ සියලු කොටස් වලින් ස්වාධීනව සංවිධානය වෙමින් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇති කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමෙන් පමනි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අවියෝජනීය කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය එම ඉදිරිදර්ශනය සඳහා සටන් වදියි.

Share this article: