දඹුල්ල ‘පූජා භූමියේ’ පදිංචිකරුවන් ඉවත් කිරීම ආන්ඩුවේ මහ දඹුලු සංවර්ධන සැලැස්මේ කොටසක්

විලානි පීරිස් විසිනි, 2013 ජූලි 6

දඹුල්ල ‘පූජා භූමිය’ තුල පසුගිය දිනවල දී නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) මගින් අන්ත දුගී නිවෙස් කඩා දැමුන අතර නිවැසියෝ ඉතා දුෂ්කර කොන්දේසීන්ට මුහුන දී සිටිති. මේ නිවාස ඉවත් කිරීමට දඹුලු නගරය මෙන් ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගර වානීජ මධ්‍යස්ථාන ලෙස ආයෝජකයන්ට පැවරීම රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රතිපත්තියේ කොටසක් ය. මහ දඹුලු සංවර්ධන සැලැස්ම නම් ව්‍යාපෘතිය යටතේ එම නගරයේ දහස් ගනනකගේ නිවාස අහිමි වීමේ තර්ජනය මතුව ඇත.

ආන්ඩුවේ සැලැස්ම දැනටමත් ප‍්‍රදේශයේ දහස් ගනන් ජනතාවට උන්හිටි තැන් අහිමි වීමේ තර්ජනය මතුකර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය ප‍්‍රකාශකර ඇත්තේ "මනරම් භූමි භාගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙස ශ‍්‍රී ලංකාව ආයෝජකයින්ට ආරාධනය කරයි” යනුවෙනි.

කොලඹ නගරයේ පැල්පත් වාසීන් ඉවත් කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල යටතේ හමුදාව හා පොලිසිය යොදා දහසකට වැඩි නිවැසියන් පිරිසක් මේවන විටත් බලහත්කාරයෙන් ඉවත්කොට ඇත. පවුල් 70,000ක් මෙසේ ඉවත් කිරීමට නියමිත ය. මෑතකදී කොම්පඤ්ඤ වීදියේ නිවාස ගනනාවක් ඉවත්කල අතර දැන් ඇපල් වත්තේ නිවැසියන්ට ඉවත් වන ලෙසට දනුම්දී ඈත.

පුරන් ඉඩම්වල පැල්පත් සාදමින්

දඹුල්ල නගරයේ නිවාස අහිමිවූ අය වාසය කිරීමට නිශ්චිත තැනක් නොමැති කමෙන් බලවත්සේ පීඩාවට පත්ව සිටිති. සමහරෙක් ප‍්‍රදේශයේ පිහිටි ඥාතීන්ගේ ගෙවල් වල නවාතැන් ගෙන සිටින අතර ඒවා ද ඉතා කුඩා ගෙවල්ය. සමහරෙක් ප‍්‍රදේශය අතහැර ගොස් සිටින අතර තවත් අය එහි පිහිටි පුරන් ඉඩම්වල පැල්පත් සාදමින් සිටිති. කුඩා ලමුන් ද සිය දෙමව්පියන් සමග ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටීම සිත් කම්පා කරවන දසුනකි.

කුඩා ලමුන් ද සිය දෙමව්පියන් සමග ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටී

මේ අතර පසුගිය ජූනි 27 දිනට පෙර ඉවත් විය යුතු බව දැන්වූ පවුල්, 44 අතුරෙන් පවුල් 6ක් සොච්චම් වන්දි මුදල වූ රු.100,000 ප‍්‍රතික්ෂේප කරමින් පදිංචියට සුදුසු නිවසක් ලබා දෙන තුරු නොයන බව පවසති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ‍්‍රල් 29 දා සවස අරලියගහ මැඳුරේ පැවැත්වූ රැස්වීමට ඇමතිවරු ගනනාවක් ද ඉනාමලුවේ සුමංගල යන දඹුලු විහාරයේ නායක හිමිනම හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සහභාගී වූහ. එහිදී අධිකාරියේ නිලධාරීන්ට පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක ආරක්ෂා වන පරිදි එය සංවර්ධනය කිරීමේ කටයුතු වේගවත් කරන ලෙස ජනාධිපති උපදෙස් දී ඇත. ඉන් පසුව නාසඅ නිලධාරීහු බලහත්කාරී ලෙස පදිංචිකරුවන් ඉවත් කිරීමේ යෙදී සිටිති.

ආන්ඩුව 2006 වසරේ සැලසුම් කරන ලද මහ දඹුලු ව්‍යාපෘතියට වර්ග කිලෝ මීටර් 1063ක භූමි ප‍්‍රදේශයක් අයත්වේ. එය දඹුල්ලේ ඊනියා පූජා භූමිය පමනක් නො වේ. නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියට අනුව ග‍්‍රාම නිලධාරී වසම් 200ක් ඊට අයත්වේ. දඹුල්ල නගරය වටා ඇති ගලේවෙල, පලුගස්වැව, නාඋල, පලාගල හා කැකිරාව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ එම ව්‍යාපාතියට ඇතුලත්ය. මේ හැරෙන්නට ගලේවෙල, මඩාටුගම, හබරන, සිගිරිය, නාඋල හා නාලන්ද උප නගර ලෙස සංවර්ධනය කෙරෙන බව එහි දැක්වේ.

සසප පත්‍රිකාව කියවමින්

ආන්ඩුවේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ආධාර බලාපොරොත්තු වේ. මහා ව්‍යාපාරිකයින්ට මේවායේ සියලු ප‍්‍රතිලාභ හිමිවන අතර ප‍්‍රදේශයේ දුගී ජනතාවට උන්හිටි තැන් අහිමි කෙරේ. ආන්ඩුව පලමු පියවර සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන්කර ඇති අතර නගර යාකෙරෙන ප‍්‍රධාන මාර්ග පුලුල් කෙරේ. දඹුල්ල හරහා කුරුනෑගල සිට හබරන දක්වා දුම්රිය මාර්ගයක් ද ඉදි කෙරේ.

රුපියල් මිලියන 247ක වියදමින් දඹුල්ල හා ගලේවෙල ප‍්‍රාදේශීය සභා තුල පරිපාලන ගොඩනැගිලි සංකීර්නයක් හා විවිධ සේවා කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකෙරෙමින් තිබේ. මහ දඹුලු සංවර්ධන සැලැස්ම යටතේ ගම් සංවර්ධනය කිරීම "ගම්මැද්ද සංවර්ධන ව්‍යාපෘතිය” ලෙස නම්කර ඇත. මෙහි පලමු පියවර යටතේ කොරකහගොල්ල හා වැය උල්පත ගම්මාන රුපියල් මිලියන 18ක වියදමින් සංවර්ධන කටයුතු සඳහා තෝරාගෙන ඇත.

2012 වසරේ පටන් දඹුල්ල නිවැසියන් ඉවත් කිරීමේදී මතුව තිබෙන ප‍්‍රතිරෝධය මැඩීම පිනිස ආන්ඩුව පන්සලේ ප‍්‍රධාන හිමිනමගේ ද උදව් ඇතිව "පූජා භූමි” පනත් යොදාගෙන ඇත. රටේ ඉපැරනි නගර පූජා භූමි ලෙස නම් කිරීම සිදු වූයේ 1982දී එවකට අගමැතිව සිටි රනසිංහ පේ‍්‍රමදාස විසින් ගෙන ආ පනතකිනි. මෙය 1983 දෙමල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ආන්ඩුව ආරම්භ කල වර්ගවාදී යුද්ධයට පෙරාතුව වාර්ගික ප‍්‍රකෝපකරනයන් මාලාවකින් එකක් විය.

රංගිරි දඹුල්ල පන්සලේ සුමංගල හිමි 2012 අපේ‍්‍රල්හි මාසයේදී ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට විරුද්ධව වර්ගවාදී ප‍්‍රහාරයක් එල්ල කිරීමට පෙරමුන ගත් අතර, එහි අරමුන වූයේ නිවැසියන් නෙරපීමට පෙර ඔවුන් සිංහල දෙමල හා මුස්ලිම් වශයෙන් බෙදීමය. එහෙත් සිය නිවාස අයිතිය රැකගැනීමටත් පල්ලිය බිඳ දැමීමට විරුද්ධවත් සියලු ජන කොටස් ඒකාබද්ධ විරෝධතාවක් දියත් කලහ.

මෙම ප‍්‍රදේශයේ ජනයා 1982 සිටම ජීවත්වී ඇත්තේ කොයි මොහොතේ හෝ තම නිවාස නැතිවේය යන භීතියෙනි. එක් නිවැසියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ විස්තර කලේය.

"1982 දී ම මෙම සමහර ඉඩම් ආන්ඩුව අත්පත්කරගත් බව නිවේදනය කර 1991 දී මගේ ඉඩමත් අත්පත් කරගත් බව දැනුම්දුන්නා. ඒත් අපව නිවාසයන්ගෙන් ඉවත්කරේ නැහැ. මට කුඩා කඩ කාමරයකුත් ඊට පිටුපසින් කුඩා නිවසකුත් තිබුනා.

කොටසක් කඩා දැමූ පසු ඉවත්ව යනවා.

"2003 අපේ‍්‍රල් මාසයේ 24 දින හදිසියෙන් පැමිනි යූඩීයේ (නාසඅ) නිලධාරින් හමුදාවේ හා පොලිසියේ නිලධාරින් සමග පැමින මගේ කඩය බලහත්කාරයෙන් බිමට සමතලා කලා. ජුනි 26 දින නැවතත් ගෙය කඩා දමන බවට තර්ජනය කලා. අද (27) මම ගෙය ඉවත්කරගන ගෙයි ඇති බඩු බාහිරාදිය පටවගන මගේ සහෝදරයකුගේ ගෙදරට යනවා. අපි ඉන්නේ ඉතාම දුෂ්කර තත්වයක.”

ඔහුගේ බිරිඳ කතා කරමින් කියා සිටියේ කඩය කඩා දැමීමෙන් පසු ඔවුන් ජීවත්වුයේ හරියට ආහාරයක්වත් නොමැතිව බවය. "දුප්පත් අයට තැනක් නැහැ. ආන්ඩුව පාරෙන් අනිත්පැත්තේ ලොකු වෙලෙඳසැල් සංකීර්නයක් ගොඩනගනවලු.” ඇය තවදුරටත් "මේක පුජා භූමියක් බව පවසනවා. දුප්පත් අයට කිසිදෙයක් නැහැ. පන්සල අපිට එපා වෙලා තියෙන්නේ.”

නිවසෙන් ඉවත්විය යුතු බවට දන්වා ඇති කාන්තවක් මෙසේ පැවසීය. "ගිය මාසේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිල්ලා ලකුනු කරගෙන ගියා. අපිට මේ ඉඩම්වලට ඔප්පු නෑ. අඩු තරමින් ලියවිල්ලක් වත් නෑ. කොයිවෙලේ එලියට දායි ද කියන්න බෑ.

"ඡන්දය කාලෙට විතරක් එනවා. අපිව බලන්න ඇවිල්ලා අරක දෙනවා අපිට මල් විකුනන්න කඩ දාලා දෙනවා කියන්න. දැන් අපිට පූජා භූමියේ නිර්මාන සැලැස්මට අනුව ඉස්සර වගේ මල් පලතුරු විකුනන්න බෑ. ගොඩක් ඈතින් තමයි ඉන්න ඕනා. හාමුදුරුවන්ට ගිහින් කියපුවාම පන්සලෙන් පිටවැඩ මට බලන්න බෑ කියනවා. ඊට පස්සේ පොලිසියට කෝල් කරලා අපි එලවනවා. ගිය පෝයට අපි පොලිසියෙන් අහපු නැති බැනුමක් නෑ. මහා ධනපතියන්ට තමයි මේවා වෙන් කරන්න යන්නේ අපිව එලවලා. මේවා ධනපතියන්ගේ ආන්ඩු තමයි.

මෙම ව්‍යසනයත් සමග දඹුල්ල නිවැසියෝ ධනේශ්වර ආන්ඩුවල ස්වභාවය වටහා ගනිමින් සිටිති. එසේ ම නගර සංවර්ධනයට මුවාවෙන් ව්‍යාපාරිකයන් සඳහා ඉඩම් පවරන බව ඔවුහු වටහා ගෙන සිටිති.

තවත් කාන්තාවක් පැවසුවේ:

"අපි ජීවත්වන්නේ දර කපලා සැමියා උපයන මුදලින් අපේ ඉඩමට ඇත්තේ බලපත‍්‍රයක්. ඔප්පු ඇති ඉඩම් උදුරා ගත්තා නම් අපිට කොයිවේලේ යන්න වෙයි ද කියන්න බැහැ. වසර ගනනාවක් යුද්ධය අවධියේ උතුරු නැගෙනහිර පලාතේ මහජනයා මුහුන දුන් තත්වයමයි අපි අද මුහුන දෙන්නේ. ජීවත්වන්න වහලක් නැහැ. මෙම තත්වය කි‍්‍රයාවට දමන්න සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂට නාගරික සංවර්ධන අධිකාරිය භාර දී තියෙනවා. ආන්ඩු පක්ෂයට හෝ වෙනත් කිසිදු ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට මින්මතු ඡන්දය දෙන්නෙ නැහැ.”

Share this article: