යුරෝපයේ ගැඹුරු පසුබෑම වාර්තා මගින් සනාථ කෙරේ

Reports confirm deepening recession in Europe

ස්ටෙෆන් ස්ටේන්බර්ග් විසිනි, 2013 ජූලි 19

යුරෝපීය කොමිසම, යුරෝපීය මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් ත්‍රිත්වය විසින් 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව පනවන ලද කප්පාදු පිලිවෙත්, යුරෝපය පෙර නොවූ විරූ පසුබෑමකට ඇද දමා තිබෙන බව නව වාර්තා මාලාවක් මගින් සනාථ කෙරේ. යුරෝපා සංඟමයේ සංඛ්‍යාලේඛන ඒජන්සිය විසින් 16 දා නිකුත් කරන ලද වාර්තාවකින්, මැයි මාසය තුල යුරෝ කලාපයේ ආනයන හා අපනයන සියයට 2 ඉක්මවා පහත වැටී ඇති බව පෙන්නුම් කලේය. ඊට පෙර මාසයේ තියුනු ලෙස පහත වැටුනු කලාපයේ අපනයන මැයි මාසයේදී සියයට 2.3න් පහත වැටුනි.

ආනයන හා අපනයන යන දෙකෙහිම වැටීම සලකුනු කරන්නේ, සමස්තයක් ලෙස යුරෝපීය ආර්ථිකය හැකිලී ඇති බවයි. වසර ගනනාවක් තිස්සේ සමාජ පිරිවැය කප්පාදුව හා විරැකියාව වැඩී යා‍මේ ප්‍රතිපල වශයෙන්, යුරෝපීය පාරිභෝගිකයින්ට වසර කිහිපයකට පෙරාතුව මිලට ගත් බොහෝ භාන්ඩ වර්ග මිලට ගැනීමේ හැකියාවක් දැන් ඇත්තේ නැත.

යුරෝපයට කෙරෙන ආනයන පහත වැටීම, දරුනුම කප්පාදු පියවර ගනු ලැබූ රටවලදී විශේෂයෙන් කැපී පෙනෙයි. ජර්මනිය, ප්‍රන්සය, ස්පාඤ්ඤය හා ඉතාලිය පිලිවෙලින් සියයට 1, 2, 4 හා 6ක ආනයන පහත වැටීමකට මුහුන පායි.

යුරෝපීය නිෂ්පාදනයන් සඳහා ඉල්ලුමේ නාටකාකාර වැටීම, මෝටර් රථ කර්මාන්තයේ වත්මන් පසුබෑම තුල පැහැදිලිවම දැකගත හැකිය. යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංඟමය ප්‍රසිද්ධ කල වාර්තාවකට අනුව, යුරෝපයේ අලුත් මෝටර් රථ අලෙවිය සියයට 5.6න් පහත බැස, 1996ට පසු වාර්තාවූ අවම මට්ටම කරා ලඟා විය.

මේ වසරේ ප්‍රථම භාගය තුල යුරෝපයේ මෝටර් රථ අලෙවිය සියයට 6.7න් ඒකක මිලියන 6.44ක් දක්වා පහත වැටී තිබේ. මෙය 1993 පටන් කර්මාන්තයේ වාර්තාවී ඇති පහතම අගයයි.

මහාද්වීපික යුරෝපයේ සියලු විශාල ආර්ථිකයන්හි අලෙවිය පහත වැටී තිබීම සැලකිය යුත්තකි. ප්‍රමුඛ ආර්ථිකය ලෙස සැලකෙන ජර්මනියේ එය සියයට 4.7න් ද ප්‍රන්සයේ 8.4න් හා ඉතාලියේ 5.5න් අඩු විය.

හැකිලෙන දේශීය ඉල්ලුම, යුරෝපයෙන් පිටතට කෙරෙන අපනයනයේ වැටීමට සමානුපාතිකව සිදුවිය. එක්කෝ පසුබෑම නැතිනම් තියුනු ලෙස පහත යන ආර්ථික වර්ධන වේගය නිසා ආසියාවේ, උතුරු හා දකුනු ඇමරිකාවේ යුරෝපීය නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩුවීම අපනයන වැටීම තුල ප්‍රකාශයට පත් වෙයි.

රට තුලත් විදේශයේත් ජර්මනියේ ප්‍රමුඛ කර්මාන්ත මුහුනදෙන අන්තරාය, යුරෝපීය ආර්ථික පරියේෂනයේ සිව් මධ්‍යස්ථානය විසින් ගෙනහැර දක්වා තිබෙන මූලික දර්ශකයේ වැටීම තුල ප්‍රකාශයට පත්වෙයි. ආයෝජකයින්ගේ හා විශ්ලේෂකයින්ගේ පැත්තෙන් ජූනි මාසයේ ජර්මානු ව්‍යාපාරික බලාපොරොත්තු තියුනු ලෙස පහත වැටීමක් එය ඇඟවුම් කර තිබේ.

යුරෝපයේ ගැඹුරු වන පසුබෑමෙහි අර්ථය, මහාද්වීපයේ දැනටමත් වාර්තාගත මට්ටම් වලට නැඟ තිබෙන විරැකියාව තවදුරටත් ඉහල යන බවයි. ඕඊසීඩී රටවල මෑතම සමීක්ෂනයකට අනුව, ඉදිරි 18 මාසය තුල යුරෝපයේ විරැකියාව බෙහෙවින් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඕඊසීඩී රටවල් 34ක මුලු විරැකියා සංඛ්‍යාවන් පසුගිය පස් වසරක කාලය තුල මිලියන 32 සිට 48 දක්වා සියයට 50න් ඉහල ගොස් තිබේ.

දිගු කාලයක් පැවතිය හැකි ව්‍යුහාත්මක ස්වභාවයකින් යුත් විරැකියාවේ එවන් ඉහල මට්ටම්, සමාජ ස්ථාවරත්වයේ බිඳ වැටීමක් පිලිබඳ අන්තරාය මතුකරන බව ඕඊසීඩී වාර්තාව පෙන්වා දෙයි. "සමාජ වියමන මත අඛන්ඩව පවතින ඉහල විරැකියා මට්ටම්වල ආතතිය පිලිබඳව බොහෝ රටවල වැඩෙන කනස්සල්ල පලවෙමින් තිබේ. ගෝලීය මූල්‍ය හා ආර්ථික අර්බුදය පැනනැඟි තැන් පටන් වසර පහකටත් වැඩි කාලයක් ගතව තිබේ. එහෙත් අසමාන හා දුබල ප්‍රකෘතිය, රටවල් බොහොමයක විරැකියාව මත සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සෑහෙන තරම් රැකියා අවස්ථා නිර්මානය කර නැත.” බොහෝ රටවල ශ්‍රම බලකායෙන් කාලක් ඉක්මවා යන මට්ටමකට ඉදිරි මාස 18 තුල විරැකියාව වැඩිවනු ඇතැයි වාර්තාව අනාවැකි පලකර තිබේ. විරැකියාවේ "වේදනාව” සමාන අයුරින් බෙදී ගොස් නොමැති බවත් එය කුටුම්භයන්ගේ ආදායම් අසමානතාවය තියුනු ලෙස ඉහල නැංවීමට දායක වනු ඇති බවත් වාර්තාව තවදුරටත් සඳහන් කරයි. "රැකියා අහිමිවීම වඩාත් සංකේන්ද්‍රනය වී ඇත්තේ අඩු වැටුප් ලබන කම්කරුවන් අතරය.” අර්බුද ග්‍රස්ත රටවල් විරැකියා හා සමාජ සේවා සහන කැපීම සමග අසමානතාව ආන්තික තත්වයකට පත්විය හැකි බව එය පෙන්වා දෙයි.

යලි වතාවක් සේවා නියුක්තියෙන් වඩාත්ම බැට කන්නේ තරුන කම්කරුවන්ය. ග්‍රීසියේ තරුන කම්කරුවන්ගෙන් සියයට හැටක් දැනටමත් විරැකියාවට මුහුන දෙන අතර ස්පාඤ්ඤයේ සියයට 56ක් ද දල වශයෙන් පෘතුගාලයේ හා ඉතාලියේ සියයට 40ක් ද රැකියා නැතිව සිටිති. වාර්තාවට අනුව මෙම සංඛ්‍යා ඉදිරි මාසවලදී තවදුරටත් ඉහල යනු ඇත.

තව තවත් "ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” වෙනුවෙන් හඬ නඟන අතර මෑතකදී බර්ලිනයට රැස්ව තරුනයින්ගේ විරැකියාව ගැන කිඹුල් කඳුලු හෙලූ යුරෝපීය සංඟමයේ හා එහි විවිධ ආන්ඩු නායකයින්ට ඕඊසීඩී වාර්තාව දරුනු අතුල් පහරකි. ඔවුන් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරන, කම්කරුවන්ගේ ජීවන තතු තවදුරටත් පහත හෙලීමට පමනක් තුඩුදෙනු ඇත.

ලොව පුරා කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත කාලකන්නිකමට ඇද දමන, ආර්ථික දිරාපත්වීම, වැඩෙන විරැකියාව පිලිබඳ වාර්තා එක්රැස් වෙමින් තිබියදී ගෝලීය කොටස් වෙලඳපොලවල් තියුනු නැඟීමක් අත් විඳියි. මෙයට තෙල් වක්කරන්නේ, යුරෝපීය මහ බැංකුව ද ඇතුලු මහ බැංකු මූල්‍ය වෙලඳපොලවලට පොලියක් නැතුවම වාගේ සපයන නය මගිනි. යුරෝපයේ හා ඇමරිකාවේ කොටස් වෙලඳපොලවල්, 2008 කඩා වැටීමට පෙරාතුව තිබු ඉහල වාර්තා බිඳහෙලා හෝ බිඳ හෙලීම කරා ලඟාවෙමින් ඇත.

මූල්‍ය ප්‍රභූවේ කඳු ගැසෙන වාසනාව පිලිබඳ තවත් ඇඟවුමක් 15දා නිකුත්වූ යුරෝපීය බැංකු අධිකාරියේ වාර්තාව මගින් ගෙන එයි. ඊට අනුව වසර 2011දී යුරෝපයේ ප්‍රමුඛ බැංකුකරුවන් 3000ට වැඩි සංඛ්‍යාවක් වැටුප් වශයෙන් එක් අයෙක් යුරෝ මිලියනයකට වැඩි මුදලක් සාක්කුවේ රුවාගෙන තිබේ.

බැංකුකරුවන් 125 දෙනෙක් සාමාන්‍ය ආදායම වශයෙන් යුරෝ මිලියන 2.4 බැගින් ලබාගත් ස්පාඤ්ඤය හොඳම වැටුප් ලබන බැංකුකරුවන් සිටින රටයි. ප්‍රකෝටිපති බැංකුකරුවන් වැඩිම රට බවට පත්ව තිබෙන මහා බ්‍රිතාන්‍යයේ 2346 දෙනෙක් අතුරින් එක් අයෙකු වසරකට පවුම් මිලියනයකට වැඩියෙන් මඩිගසා ගනියි.

අර්බුදය පුපුරා යාමට පෙර 2007-08 වසරේ පවුම් බිලියන 19ක් තමන්ගේ විධායකයින් අතර බෙදාගත් බ්‍රිතාන්‍යයේ බැංකු කර්මාන්තය, 2011දී පාරිතෝෂික වශයෙන් පවුම් බිලියන (යුරෝ බිලියන 16) 13ක් බෙදාගෙන ඊට ලං‍වෙමින් සිටියි.

යුරෝපීය සංඟමය පාරිතෝෂික සීමා කිරීම සඳහා නීති ‍පැනවීමට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන බැංකු සිය විධායකයින්ගේ මූලික වැටුප් වැඩිකිරීමට හා එම නීතියෙන් රිංඟා යෑමට හැකි වෙනත් පියවර ගැනීමට සැරසෙයි.

Share this article: