එක්සත් ජනපද හමුදාව ගාඩියන් පුවත්පතේ වෙබ් අඩවියට පිවිසීම තහනම් කරයි

US Army bars access to Guardian newspaper web site

කෙවින් රීඩ් විසිනි, 2013 ජූනි 29

හමුදා පරිගනක ජාලවල ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාව භාරව කටයුතු කරන හමුදා ඒකකය, ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) මහා පරිමානයෙන් සිදුකල ජනතාවගේ ඔත්තු බැලීම සම්බන්ධ එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස, සමස්ත එක්සත් ජනපද හමුදාවටම බලපාන පරිදි ගාඩියන් පුවත්පතේ වෙබ් අඩවියට පිවිසීමේ වාරනයක් පැනවීමට පියවර ගෙන ඇත.

එම බ්‍රිතාන්‍ය පුවත්පත ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම් මුලින්ම වාර්තා කෙරුනු තැන් පටන් එක්සත් ජනපද හමුදා කාර්ය මන්ඩල, හෙමින් සීරුවේ ගාඩියන් වෙබ් අඩවිය වෙත පිවිසීම පිලිබඳ වාර්තා පලවන්නට විය. කැලිෆෝර්නියාවේ මොන්ටෙරේහි ආරක්ෂක සේනාංක බලකොටුවේ දෙපාර්තමේන්තු ගනනාවකම සේවකයන් මොන්ටෙරේ කවුන්ටි හෙරල්ඩ් පුවත්පතට වාර්තා කලේ දැන් එකී වෙබ් අඩවියට පිවිසීම අවහිර කොට ඇති බවයි.

හෙරල්ඩ් පුවත්පත මෙසේ ලිවීය: "(මෙහි) සේවකයන්ට මීට පෙර ගාඩියන්හි එක්සත් ජනපද මුල් පිටුව වන www.guardiannews.com කරා ප්‍රවිෂ්ට විය හැකි වූ නමුත්, ජාතික ආරක්ෂක ඒජන්සියේ ලිපි ගොනු හා තොරතුරු සොයා බැලිය නොහැකි වූ බවත් එසේ කිරීමට තැත් කිරීමේ දී ඔවුන් බ්‍රිතාන්‍ය වෙබ් අඩවියට හරවා යැවුනු බවත් බල කඳවුරේ ප්‍රකාශක ඩෑන් කාර්පෙන්ටර් පැවසීය."

මේ ක්‍රියා මාර්ග සැබැවින් ම සමස්ත හමුදාවටම බල පැවැත්වෙන බවට පලවූ ප්‍රකාශයක් 27දා හෙරල්ඩ් පුවත්පතේ නෙට්කොම් ප්‍රකාශක ගෝර්ඩන් වැන් ව්ලීට් විසින් ලිබාගෙන තිබුනි. ඔහු පැවසුවේ "එන්එස්ඒ තොරතුරු කාන්දුවීම් පිලිබඳ ව පලවූ ප්‍රවෘත්ති වාර්තා හා ඒ පිලිබඳ අන්තර්ජාලයේ අඩංගු ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු කරා ප්‍රවේශ වීමේ දී යම් තරමකට" ඒවා සල්ලඩ කිරීමක් සිදු වන බවයි.

වැන් ව්ලීට් මෙසේ ලියා ඇත: "ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු රහස්‍ය ලෙස වර්ගීකරනය නොකල ජාලයන්හි පලකිරීම පිලිබඳ අනවසර හෙලිදරව් කිරීම් හැකිතාක් අඩුකිරීම් වස්, එම දෙපාර්තමේන්තුව විසින් 'ජාලයේ සනීපාරක්ෂාව රැකීමේ' නිවාරක පියවර නිරතුරුව ගනු ලැබේ."

මොන්ටෙරේ බලකොටුවේ තොරතුරු සහතික කිරීමේ ආරක්ෂක නිලධාරී ජොසේ කැම්පෝස් කඳවුරේ සේවය කරන්නන්ට යැවූ ඊ මේල් පනිවුඩයකින් එක්සත් ජනපද හමුදා වාරනයේ ඇඟැවුම් සුපැහැදිලිය. ඔහුගේ පනිවුඩයෙන් කියැවුනේ "රහස්‍ය තොරතුරු අනවසරයෙන් හෙලිදරව් කිරීම වැලැක්වීම සඳහා" හමුදා සයිබර් බලඇනිය විසින් ගාඩියන් වෙබ් අඩවිය අවහිර කරනු ලැබ ඇති බවයි. තව දුරටත් ඔහු ලියා තිබුනේ රහසිගත තොරතුරු අවපතනය (download) කල සේවකයෙක් වෙතොත්, ඔහු රහස්‍ය ලෙස වර්ගීකරනය නොකල පරිගනකයකට දැනුවත්ව එම අවපතනය සිදු කලේ යැයි පෙනී ගියහොත් විනය ක්‍රියාමාර්ගයකට මුහුන දීමට සිදු විය හැකි බවයි.

මොන්ටෙරේ බලකොටුව වූ කලී ප්‍රධාන වශයෙන් පුහුනුකිරීමේ පහසුකම් සපයා ඇති ස්ථානයකි. ආරක්ෂක භාෂා ආයතනයේ විදේශ භාෂා මධ්‍යස්ථානය ද එහි පිහිටා තිබේ. එහි සේවකයන්ගෙන් 3,000ක් පමන සිවිල් වැසියන් වන අතර ඊට අමතරව යුද හමුදා ශිෂ්‍යයෝ 1,450ක් ද, සාමුද්‍රික බලකායේ 300ක් ද නාවුක හමුදාවේ 550ක් ද ගුවන් හමුදාවේ 1,300ක් ද එහි වෙති. ආරක්ෂක භාෂා ආයතනය සිය ශිෂ්‍යයන්ට විදේශ භාෂා දුසිම් දෙකක් උගන්වයි. එහි ආචාර්ය මන්ඩලය උපදේශකයන් 2,000කින් සමන්විතය. ඉන් සියයට 98ක් ම තමන් උගන්වන භාෂාව සිය මව් බස ලෙස භාවිතා කරන්නෝය.

භාෂා විශේෂඥයන් යනු එන්එස්ඒහි සංඥා ඔත්තු බැලීම්වල අවියෝජනීය අංශයකි. ඔවුහු එක්සත් ජනපදය තුල මෙන්ම විදේශයන්හි ද සයිබර් ප්‍රවීක්ෂන කටයුතුවල ගැඹුරින් ම නිමග්න ව සිටිති. එහෙයින් විදේශ භාෂා මධ්‍යස්ථානයේ කාර්ය මන්ඩලය සුවිශේෂ අවධානයකට පාත්‍රව සිටි බවක් පෙනී යයි.

ආරක්ෂක උප ලේකම් තිමොති ඒ. ඩේවිස්ගේ කාර්යාලයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂන කටයුතු භාර අධ්‍යක්ෂවරුන් වෙත යැවූ සිහිපතක් අත්පත් කරගත් මොන්ටෙරේ කවුන්ටි හෙරල්ඩ් පුවත්පත, එය ප්‍රසිද්ධියට පත් කලේය. එහි සඳහන් වූයේ, ප්‍රසිද්ධ වෙබ් අඩවිවල පල වී ඇති රහස්‍ය තොරතුරු තවමත් රහස්‍ය ලෙස සැලැකෙන බවට සේවකයන් හා කොන්ත්‍රාත්කරුවන්ට අනතුරු හඟවන්නැයි ඔවුන්ට දුන් උපදෙස් මාලාවකි. බලකොටුවට හා අනෙකුත් හමුදා ස්ථාපිතයන්ට යැවුනු මෙම සිහිපතෙහි මෙසේ සඳහන් වෙයි: "රහසිගත කරුනු හෙලිවීමට ඉඩ නොතබා සුරැකීමේ තීරනාත්මක වැදගත්කම අවධාරනය කෙරෙන සුපරීක්ෂාකාරී විධානාත්මක වාතාවරනයක් තහවුරු කිරීමට ප්‍රධානීන් කටයුතු කල යුතුය."

මෙම සිහිපතට ඈඳූ ඇමුනුමකින් දක්වා ඇත්තේ අහම්බයකින් රහස් තොරතුරු අවපතනය වුවහොත් ඒවා මකා දැමිය යුතු ආකාරයයි. තව ද, ඔවුන් එම "තොරතුරු කවර හෝ ආකාරයකින් ප්‍රති නිෂ්පාදනය කලහොත්" දන්ඩනයන්ට මුහුන දීමට සිදුවන බවට අනතුරු හැඟැවීමක් ද එහි අඩංගු ය. නෙට්කොම් ප්‍රකාශක වැන් ව්ලීට් පැවසුවේ මෙම ලිපිය "සීරුවෙන් තැබීම" සඳහාත්, "ස්නෝඩන් විසින් අත්සන් තබා ඇතැයි බොහෝදුරට සිතිය හැකි ගිවිසුමට සමාන ගිවිසුමකට සෑම දෙනාම යටත්ව සිටින බව" හමුදා කාර්ය මන්ඩලයට සිහිපත් කිරීම සඳහාත් පිරිමැවුනු එකක් බවයි.

එන්එස්ඒහි නීති විරෝධී ක්‍රියාකාරකම් පිලිබඳව සාමාන්‍ය සෙබලුන් පුලුල් ආකාරයකින් දැනුවත් වෙතැයි හමුදා හා රහස් තොරතුරු ආයතන බියපත්ව සිටී. අනෙකුත් සේවකයන් හෝ කොන්ත්‍රාත්කරුවන් ද ස්නෝඩන් ගත් මඟ යමින් එක්සත් ජනපද රජයේ සාපරාධී ව්‍යාපාර පිලිබඳ වැඩිමනත් තොරතුරු මහජනයාගේ අවධානයට පත් කරනු ඇතැයි ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.

වාරනයේ හා ලෝකය පුරා මහජනයා පුලුල්ව දන්නා තොරතුරු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් දඬුවම් පැමිනවීමට කරන තර්ජනවල ඉලක්කය වන්නේ නීත්‍යානුකූල ප්‍රවෘත්තිකරනය නීති විරෝධී කිරීම සඳහා රජය විසින් දැරෙන ප්‍රයත්නයට රුකුල් දීමයි. එහි තවත් ඉලක්කයක් වන්නේ ස්නෝඩන් විසින් හෙලිදරව් කෙරුනු කරුනුවල අර්ථය හා එයින් ගම්‍යවන දේ පිලිබඳ කවර හෝ සාකච්ඡාවක් රජයේ සේවකයන් හා හමුදාවන්හි සාමාජිකයන් අතර ඇතිවීම වැලැක්වීමයි.

ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රවෘත්ති මූලාශ්‍රයන්ට පනවා ඇති හමුදා සම්බාධකවලින් ඉස්මතු කෙරෙන්නේ ඔබාමා පාලනය හා හමුදා / රහස් තොරතුරු ආයතන විසින් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාරයේ පරිමානය හා රුදුරු බවයි. එන්එස්ඒ විසින් එක්සත් ජනපදය තුල සියලු දුරකථන ඇමතුම්වල වාර්තා සියතට ගනු ලැබීමත්, එක්සත් ජනපදය තුල හා ලොව පුරා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයන් රහසින් බලනු / අසා සිටිනු ලැබීමත් පිලිබඳව කෙරුනු හෙලිදරව්වලට දැක්වෙන ප්‍රතිචාරය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත සිය ප්‍රහාරය වඩාත් උත්සන්න කිරීමයි.

ප්‍රවෘත්ති වාරනය සමපාත වී ඇත්තේ ස්නෝඩන්ට එරෙහි ජාත්‍යන්තර පරිමාන මිනිස් දඩයමක් හා හෙලා දැකීම් සමඟ ය. ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයෝ ද, මාධ්‍යයෝ ද ඔහු චරපුරුෂයෙකු හා ද්‍රෝහියෙකු ලෙස හඳුන්වමින් හෙලා දකිති. තෙ වසරක් කොන්ත්‍රාත් පදනම මත සේවය කල හිටපු එන්එස්ඒ කොන්ත්‍රාත්කරුට ගුප්තාවරන පනත යටතේ චෝදනා නඟා ඇති එක්සත් ජනපදය, ඔහු අල්ලා ගැනීමට යත්න දරමින් සිටී.

ස්නෝඩන් පිටුවාහල් කොට එක්සත් ජනපදය කරා හරවා නො එවීම පිලිබඳව ඔබාමා පාලනය චීනයට හා රුසියාවට එරෙහි ව තර්ජනය කොට ඇත. අකටයුතුකම් හෙලි කල මේ පුද්ගලයා, ඉන් එපිටට යා නො හැකිව මොස්කව් ගුවන් තොටුපලේ සංක්‍රමන සන්ථාගාරයට කොටු වී සිටිතැයි විශ්වාස කෙරේ. ඊට යම් තරමකින් හේතු වී ඇත්තේ ඔබාමා පාලනය ඔහුගේ ගමන් බලපත්‍රය අවලංගු කිරීමයි.

මේ අතර ඔබාමා පාලනයේ ප්‍රකාශකයෝ ස්නෝඩන් ද්‍රෝහියෙකැයි ප්‍රසිද්ධියේ චෝදනා නඟා ඇත්තාහ. එක්සත් ජනපද ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දැවැන්ත ආකාරයකින් රහසේ පවත්වා ගෙන ගිය රාජ්‍ය අවේක්ෂනය පිලිබඳව ඇමරිකානු ජනතාවට දැනුම් දීමට ඔහු දැරූ පරිශ්‍රමය තුල "ජාතික ආරක්ෂාව" උල්ලංඝනය කිරීමක් සිදු වී ඇතැයි ඔවුහු කියා සිටිති. ස්නෝඩන් අල්ලා ගනු ලැබ එක්සත් ජනපදය කරා ගෙන එනු ලැබුනොත් ඔහුට සාධාරන නඩු විභාගයකට මුහුන දීමේ අවස්ථාව හිමිවනු ඇතැයි යන කවර හෝ කියා පෑමකට ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේ කාර්නේ හා සෙස්සන් විසින් ප්‍රකාශිත එබඳු නිවේදනයන් විසින් සමච්චල් කෙරේ.

එන්එස්ඒ වැඩසටහන් නීත්‍යානුකූල බවටත් ඒවායින් පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවටත් ඔබාමා තිර කොට පවසන ප්‍රකාශය, සිය භටයන් හා සේවකයන් පුවත්පත් කියැවීමෙන් වැලැක්වීමට හමුදාව දරන ප්‍රයත්නයන් විසින් මුලුමනින්ම හෙලිදරව් කෙරී ඇත. ඉදින් එවන් භාවිතයක් චීනයෙන් හෝ ඉරානයෙන් වාර්තා වී නම් වොෂින්ටනය හා එක්සත් ජනපදයේ මාධ්‍ය නිසැකවම මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම ආන්ඩු හෙලා දකිනු ඇත.

ස්නෝඩන්ට පල වෙන මහජන සහයෝගය හා රාජ්‍ය අවේක්ෂනය පිලිබඳ නැඟෙන විරෝධය අභිභවා යාමට අසමත්ව සිටින එක්සත් ජනපද රජය සැරසෙන්නේ මර්දනය හා තැති ගැන්වීම් උපයෝගී කර ගැනීමටය.

ස්නෝඩන්ගේ හෙලිදරව් මහජනයාට දැන ගැනීමට සැලැස්වූ ප්‍රවෘත්ති මාධ්‍ය හා මාධ්‍යවේදීන් අතලොස්ස දේශපාලකයන් හා මාධ්‍යයන් විසින් වඩවඩාත් ඉලක්ක කරනු ලැබ ඇත. ස්නෝඩන් සමඟ සාකච්ඡා පවත්වා ඔහුගේ හෙලිදරව් පදනම් කොට ගෙන කථා පුවත් පල කල ගාඩියන් පුවත්පතේ ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ්ට නඩු පැවරිය යුතුයැයි වැඩෙන ඉල්ලීමක් මෑත දිනවල දී කොන්ග්‍රස් සභිකයන් කෙරෙන් ඉදිරිපත් වී ඇත. පසුගිය ඉරිදා, එන්බීසී ප්‍රවෘත්ති සේවයේ "මීට් ද ප්‍රෙස් (මාධ්‍ය හමුව)" වැඩසටහනේ පරිනියාමක ඩේවිඩ් ග්‍රෙගරි ඉල්ලා සිටියේ තමන්ට අභිචෝදනා එල්ල නොකල යුත්තේ මන්දැයි ග්‍රීන්වෝල්ඩ් පැහැදිලි කල යුතු බවයි.

ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත තමන් එල්ල කරන ප්‍රහාර හෙලිදරව්වීම නිසා රාජ්‍යය හා දේශපාලන සංස්ථාපිතය තුල හට ගෙන ඇති භීතිය හා සංක්ෂෝභය මෙසේ පුලුල්වෙමින් පවත්නා දඩයම මඟින් පිලිබිඹු කෙරෙයි. ඒ අතර ම, නිල ප්‍රතිචාරවලින් පෙන්නුම් කෙරී ඇත්තේ ඒකාධිපතිවාදී සංකල්ප කෙතරම් මට්ටමකට පාලක ප්‍රභූව තුල පැතිරී ඇත්ද යන බව සහ පාලනයේ ආඥාදායක ආකෘතීන් සඳහා එහි සූදානම අත්පත් කොට ගෙන ඇති අතිශය ඉහල තත්වයයි.

එඩ්වඩ් ස්නෝඩන්ගේ මෙන්ම සෙබල බ්‍රැඩ්ලි මැනිංගේ හා ජුලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය, කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන් කැඳවා සිටී. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හා ඔවුන්ට එරෙහි සියලු චෝදනා අත්හැර දමන මෙන් බල කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම සඳහා වූ කම්කරු පන්තියේ ස්වාධීන බහු ජන දේශපාලන ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා වූ අරගලයේ අත්‍යවශ්‍ය වූ කොටසකි.

Share this article: