විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි රාජ්‍ය මර්දනය නතර කරනු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ නිකුත් කල ප‍්‍රකාශයකි, 2013 ජූලි 4

නිදහස් අධ්‍යාපනය කපා හෙලා අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව තම අයිතීන් වෙනුවෙන් අරගලයට අවතීර්නව සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව පෙර නොවූවිරූ මර්දනයක් දියත්කර ඇත. පසුගිය මාස කිහිපය පුරා සරසවි ශිෂ්‍යයන් 300 කට අධික පිරිසකගේ පන්ති තහනම් කරමින් හා ශිෂ්‍ය සංගම් අහෝසි කරමින් සරසවි පාලනාධිකාරීන් උසි ගන්වා ඇති මර්දනයට සමගාමීව පොලීසිය හා මැරයන් යොදවා ශිෂ්‍යයන්ට කෙරෙන පහරදීම් හා බිය වැද්දීම් ඉහල නංවමින් තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය ද එහි සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ද මෙම රාජ්‍ය මර්දනය හෙලා දකී. මෙම මර්දනයට එරෙහි වෙමින් සරසවි සිසුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස කම්කරු පන්තියෙන් අපි ඉල්ලා සිටිමු.

ආන්ඩුවේ මෑතම මර්දන වාර්තාව මෙසේය:

⋆ සබරගමු සරසවි සිසුන් මත පැනවූ විනය විරෝධී නීති මාලාවකට විරෝධය දැක්වීම හේතුවෙන් මාර්තු මස මුලදී සරසවි ශිෂ්‍ය සංගම් හතරක් තහනමට ලක්කල සරසවි පාලනාධිකාරිය ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් පස් දෙනෙකුගේ ශිෂ්‍ය භාවය ද අත්හිටවීය. මෙම මර්දනයට එරෙහිව පසුගිය ජූනි 1 දා සරසවිය අසල පඹහින්න මංසන්ධියේ විරෝධතා දැක්වූ ශිෂ්‍යයන් විසුරුවා හැරියේ පොලිස් මිලිටරි බලය කඩා පන්නවමිනි. මින් පසුව තවත් සිසුන් 47 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.

⋆ මැයි 04 දා රුහුනු සරසවියේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා අංශයේ ශිෂ්‍යයන් 5 දෙනෙකුගේත් කලමනාකරන පීඨයේ ශිෂ්‍යාවකගේත් ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කලේ නවක වද පනත යටතේ චෝදනා නගමිනි. ආන්ඩුව විසින් නවක වද පනත හඳුන්වා දුන් තැන් පටන් මෙම චෝදනා එල්ල කරමින් බොහෝ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් දඩයමට ලක් කොට ඇත.

⋆ නවාතැන් පහසුකම් ඇතුලූ අනෙකුත් ඌන පහසුකම් සපුරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු පේරාදෙනි සරසවියේ ශිෂ්‍යයන් 20 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය පසුගිය මාසයේ තාවකාලිකව අත්හිටුවන ලදී.

⋆ විරෝධතා වලට සහභාගී වීම හේතුවෙන් පසුගිය සති තුන තුල පමනක් ජයවර්ධන පුර සරසවියේ පන්ති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසියට ලක්වූ සංඛ්‍යාව 71 කි. මෙම දඩයමට ප‍්‍රධානම හේතුව පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුමට එරෙහිව විරෝධතාවය පෑමයි.

⋆ ලිපි හා දුරකථන පනිවිඩ මගින් කැලනි සරසවි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරියට තර්ජනය කිරීමෙන් අනතුරුව ජාති ද්‍රෝහියක ලෙස නම් කල පෝස්ටර් ඇගේ නිවස අවට අලවා බියවැද්දීමට කටයුතු කර ඇත. මේ අතර පසුගිය ජූනි මස 06 දා කැලනිය සරසවියේ විද්‍යා පීඨ නේවාසිකාගාරයට වෑන් රථවලින් කඩා වැදුනු මැර කන්ඩායමක් කල පහරදීමකින් සිසුන් දෙදනෙකු තුවාල ලැබූහ. සති දෙකකට පෙර සිදුවූ එවැනි ම මැර පහරදීමකින් රුහුනු සරසවියේ සිසුන් තුන් දෙනෙකු රෝහල් ගත කෙරුනි.

මෑත දශක වල සිදු නොවූ පරිමාවනික් කඩා පන්නවා ඇති මෙම මර්දනයෙන් පෙන්නුම් කෙරෙන්නේ අධ්‍යාපන කප්පාදුවට, සරසවි වල කොන්දේසි පිරිහෙලීමට, විරක්ෂාව ඇතුලූ අනාගත අනාරක්ෂිත භාවයට එරෙහිව සිසුන් හා තරුනයන් අතර වැඩෙන අරගලකාරිත්වය නිසා සලිත වී සිටින රාජපක්ෂ ආන්ඩුව එය තලා දැමීමට පියවර ගනිමින් සිටින බවයි

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූනි 13 දා කොතලාවල ආරක්ෂක පීඨයේදී පැවැත්වූ දේශනයකදී තරුනයන් විසින් ද මූලික ක‍්‍රියකලාපයක් ඉටුකල ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ පැන නැගි මහජන නැගිටීම් ගැන සඳහන් කොට, එවන් නැගිටීමක් සංවිධානය කිරීම සදහා නවීන සන්නිවේදන ක‍්‍රමයන් යොදා ගැනීමේ හැකියාව සම්බන්ධ තම කනස්සල්ල පල කරමින් "ජාතික ආරක්ෂාවේ” නමින් එය මැඞීමට සූදානම් වීමේ අවශ්‍යතාවය ගැන කරුනු දැක්වීය.

සරසවි තුල ආරක්ෂක කටයුතු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ක‍්‍රියාත්මක වන රක්නා ලංකා පුද්ගලික සමාගමට පැවරීම සිසු ක‍්‍රියාකාරීන් හඳුනා ගැනීමට සරසවි පරිශ‍්‍ර තුල නිරීක්ෂන කැමරා සවි කිරීම, උපකුලපති වැනි පරිපාලනයේ ඉහල පුටුවලට දේශපාලන හෙංචයියන් පත්කිරීම මෙම මර්දනකාරී පියවරවල කොටසකි.

සිසු මර්දනය පෙරටු කරගෙන රාජපක්ෂ ආන්ඩුව තහවුරු කරමින් සිටින්නේ රාජ්‍ය අධ්‍යාපනය දැවැන්තව කපා හෙලමින් හතු පිපෙන්නාක් මෙන් පුද්ගලික පාසල් ද විශ්ව විදයාල ද පිහිටුවා අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමයි. ආන්ඩුවේ පිලිවෙත පුනරුච්චාරනය කරමින් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ජූලි 13 දි අයිලන්ඞ් පුවත්පතට කියා තිබුනේ උසස් පෙල සමත් ලක්ෂයකට විශ්ව විද්‍යාල වරම් නොලැබෙන නිසා පුද්ගලික අංශය කැඳවා ඇති බවයි.

මේ ප‍්‍රකාශ පට්ටපල් බොරුවකි. ආන්ඩුව 2013 වසරේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 1.51 දක්වා පහල මට්ටමකට ගෙන විත් ඇත. මෙය 2014 වසර අවසන් වන විට රාජ්‍ය වියදම් සියයට 5.2 දක්වා කපා හෙලමින් සිදු කරන්නේ දුගීන්ගේ හා තරුනයන්ගේ ජීවන කොන්දේසි සමතලා කර දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමකි. ආන්ඩුව පෝසත් කරන්නේ විදේශ ආයෝජකයන් මෙරට ධනපතියන් හා ඔවුන් සමග ගැලතුනු ඉහල මධ්‍යම පන්තිකයන් අතලොස්සකි. පෝසතුන්ගේ දරුවන්ට ඉහල අධ්‍යාපන වරප‍්‍රසාදය, දුප්පතුන්ගේ දරුවන්ට පිරිහෙලන අධ්‍යාපනය.

මේ ක‍්‍රියාවට දැමෙන්නේ, 2008 න් ඇරඹුනු මූල්‍ය කලබැගෑනිය හා ඉන් ගැඹුරු කෙරෙන ලෝක අවපාතය මධ්‍යයේ ජාත්‍යන්තර බැංකු හා සංගත ලාභ ගරා ගැනීමට කම්කරුවන් දුගීන් හා තරුනයන්ගේ අයිතීන් මිරිකා හරිමින් ලෝක පරිමානව දියුනු නොදියුනු රටවල උසි ගන්වා ඇති ප‍්‍රහාරයකි.

කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අයිතීන් තලා ගෙන යන මෙම ප‍්‍රහාරය නතර කල යුතුය, නතර කල හැකිය. ලංකාව තුල එය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයකි. එම දේශපාලන අරගලය නම් කම්කරු පන්තිය තරුනයන්ගේ හා දුගීන්ගේ නායකත්වය ගෙන මහා බැංකු, කොම්පැනි හා වතු කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙල ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි. මෙම අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. නිදහස් අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා අරමුදල් මුදා හැරිය හැක්කේ සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දැමීමෙනි.

තතු එසේ වුවත්, විශ්ව විද්‍යාල සිසුන් අතර ප‍්‍රමුඛව ක‍්‍රියාකාරී වී සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) වැඩ පිලිවෙල කුමක්ද?

ඉතා මෑත නිදසුන් ගත් කල, ජූනි 3 දෙදහසක් පමන සම්බන්ධ වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයේදී අවිශිබම කැඳවුම්කරු සංජීව බන්ඩාර ආන්ඩුවේ මර්දනය ද පුද්ගලීකරනය ද හෙලා දුටුවේය. ඒ සමග ම, ඔහු ප‍්‍රකාශකලේ විරෝධතාවය සංවිධානය කෙරුනේ ජනාධිපති නිල නිවසට ගොස් මර්දනය හා පුද්ගලීකරනය නතර කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටින පෙත්සමක් භාර දීමට බවයි.

මෙම ආන්ඩුවට බල කිරීමේ ව්‍යාපාරය අවිශිබමය දීර්ඝ කාලයක් තිස්සේ ගෙන යන වැඩ පිලිවෙලයි. මෙලෙස කන්නලව් කිරීමේ වැඩපිලිවෙලක සිසුන් සිරකිරීමෙන් වාසිය ලබා ගෙන රාජපක්ෂ ආන්ඩුව කර ඇත්තේ පෙර ආන්ඩු ද කි‍්‍රයාවට දැමූ මර්දනය ද පුද්ගලීකරනය ද තවත් වේගවත් කිරීමයි.

මර්දනයට ලක්වූ සබරගමු සරසවියේ සිසුන්ට අවිශිබමය දී ඇත්තේ ඉනුත් එහා යන ප‍්‍රතිගාමී ලනුවකි. එනම් අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සිසු මර්දනය ගැන පෙත්සමක් භාරදීමයි. එක්සත් ජාතීන්ගේ මෙම සංවිධානය කරන්නේ ව්‍යාජව මානව අයිතීන් රැකීම අවියක් කර ගෙන අධිරාජ්‍යවාදීන්ට හා ගැති ධනපතියන්ට අවශ්‍ය අයුරු ධනපති පාලනයන් හැසිරවීමට අන පැනවීමයි.

සරසවි සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී දේශපාලන අරගලය සංවිධානය කිරීමට යොමු වන ලෙස සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඉදිරිපත් කරන වැඩපිලිවෙල ගැන අවිශිබම නායකයන් කියන්නේ "එතෙක් නම් බලාගෙන සිටිය නොහැකියි” යනුවෙනි. අවිශිබම වැඩ පිලිවෙල නිරර්ථක මෙන් ම ධනපති ක‍්‍රමය තුල සිසුන් කොටු කිරීමේ දේශපාලනයකි.

සමාජවාදය යන වචනය ව්‍යාජ ලෙස හරඹ කරමින් අවිශිබමය ගෙන යන වැඩපිලිවෙල සිසු අයිතීන් දිනාගැනීමේ සක්‍ය ක‍්‍රියාමාර්ගයකට සතුරුය. අවිශිබමයට, සමාජවාදය හා මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නැත.

අවිශිබම නායකයන් පෙරදී ගෙන ගියේ ධනපති දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වූ වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනයයි. රාජපක්ෂ ආන්ඩුව හා ඉන් පෙර ආන්ඩු ගෙන ගිය වර්ගවාදී යුද්ධයට සහයෝගය දෙමින් දෙමල ජනයාට, කම්කරුවන්ට තරුනයන්ට හා දුගීන්ට පොලිස් රාජ්‍ය යන්ත‍්‍රය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙත් අවිශිබමයත් වග කිව යුතුය. අවිශිබමය දැන් සම්බන්ධ වී සිටින්නේ, ජවිපෙන් බිඳුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනයට යි. එයත්, අනෙකත් අතර පුච්චානම් දෙඩවීම හැර දේශපාලන වශයෙන්අති මූලික වෙනසක් දකින්නට නැත.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ අවිශිබමයේ ධනපති ගැති දේශපාලනයෙන් බිඳී කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා ද සමාජවාදය සදහා ද අරගලයට එක්වන ලෙසයි.

ශිෂ්‍යයන් හා තරුනයන් තීරනාත්මකව කම්කරු පන්තිය වෙතට හැරිය යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ, ධනේශ්වරයට ගැටගැසුනු වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මු වෙතට හැරීම නොව කම්කරුවන් වෙතට හැරී කම්කරුවන්ගේ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ඔවුන් අතර දේශපාලනික අරගලයට සම්බන්ධ වීමයි.

සසජාතශි සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංවිධානයයි. සසජාතශි ගොඩනැගීමට එක්ව මෙම දේශපාලන අරගලයට උර දෙන ලෙස සිසුන්ගේ හා තරුනයන්ගෙන් අපි උදක්ම ඉල්ලමු.

Share this article: