ඊජිප්තුවේ ජන ඝාතනය: එක්සත් ජනපද සහාය ලබන ජුන්ටාව සිය ගනනක් ජනයා මරා දමා දහස් ගනනකට තුවාල සිදු කරයි

Massacre in Egypt: US-backed junta kills scores, wounds thousands of people

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 ජූලි 27

බලයෙන් පහ කෙරුනු ඉස්ලාම්වාදී ජනාධිපති මොහොමඩ් මුර්සිට හෝ ජූලි 3 කුමන්ත්‍රනය මඟින් ඔහු පලවා හල මිලිටරි ජුන්ටාවට හෝ යන දෙපාර්ශ්වයෙන් එකකට සහාය දක්වමින් පැවැත්වෙන පෙලපාලි දුසිම් ගනනකට සහභාගී වූ දසදහස් සංඛ්‍යාත ජනයා අතර මාරාන්තික ගැටුම් ඇවිලී ඇත.

අද අලුයම ඊජිප්තු ආරක්ෂක හමුදා සජීවී උන්ඩ, රබර් උන්ඩ හා කඳුලු ගෑස් භාවිතා කරමින් මුර්සිට පක්ෂ රැලිවලට පහර දුන්හ. මේ පියවර ගැනුනේ, මුර්සිගේ මුස්ලිම් සහෝදරත්වය විසින් සංවිධානය කෙරෙන විරෝධතා "ඉතා ඉක්මනින් ම, නීත්‍යානුකූල අයුරින්" විසුරුවා හැරෙනු ඇතැයි, හමුදාව මඟින් පත් කෙරුනු අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් ඊබ්‍රාහිම් පිලින දීමෙන් අනතුරුවය.

විසි හතර පැයේම කයිරෝවේ රබා අල්-අඩාවියා පල්ලිය වාඩි ලා ගෙන සිටි මුර්සිවාදීන් වෙත එල්ල කෙරුනු හමුදා ප්‍රහාරයෙන් 120 දෙනෙක් මිය ගොස් 4,500ක් පමන දෙනා තුවාල ලැබූ බව අල් ජසීරා රූපවාහිනී ජාලය අද වාර්තා කලේය. විශාලතම මුර්සිවාදී විරෝධතා පැවැත්වෙන ස්ථාන අතරින් තවත් එකක් වන කයිරෝවේ නසර් සිටිහි ඔක්තෝබර් 6 පාලම අසල පොලිසිය හා ඇති වූ ගැටුම්වලින් 17ක් මරනයට පත් ව 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

ඇලෙක්සැන්ඩ්‍රියාහි දී හමුදාවට හා මුර්සිට සහාය දෙන පෙලපාලිකරුවන් අතර ගැටුම්වලින් අවම වශයෙන් හත් දෙනෙකු මිය ගොස් 80ක් හෝ ඊට වැඩි ගනනක් තුවාල ලැබූහ. මිය ගියවුන් අතර පිහියෙන් ඇන මරා දැමුනු 14 හැවිරිදි දරුවෙක් ද වෙයි.

ඊජිප්තු සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කලේ මිය ගිය හෝ තුවාල ලැබූ බොහෝ දෙනෙකුගේ හිසට හෝ උඩු කයට වෙඩි වැදී ඇති බවයි. මින් හැඟැවෙන්නේ විරෝධතාවන්ට පහර දුන් හමුදාව වෙඩි තබා ඇත්තේ විරෝධතාකරුවන් මරා දැමීමේ අරමුනින් ම බවයි.

වරාය බද නගරයක් වන ඩැමීටා, කයිරෝව අසබඩ පිහිටි ෂුබ්රා හා ඊජිප්තුවේ වෙනත් ස්ථාන ගනනාවක දී ඇති වූ ගැටුම්වලින් තවත් සිය ගනනක් තුවාල ලබා ඇත.

අද වන විට නව මිලිටරි ජුන්ටාව සමග සාකච්ඡාවලට එලැඹෙන ලෙස හමුදාව විසින් මුස්ලිම් සහෝදරත්වය (එම්බී) වෙත අවසාන නිවේදනයක් නිකුත් කෙරී ඇති තතු යටතේ වඩාත් ලේ වැකි ආකාරයකින් විරෝධතා කුඩුපට්ටම් කිරීමට හමුදාව එලැඹෙතැයි යන භීතිය පුලුල්ව පැතිර යමින් පවතී. ජූලි 3 කුමන්ත්‍රනයේ නායක ජෙනරල් අබ්දෙල්-ෆටා අල්-සිසි 25දා පැවසුවේ, ඉදිරි පැය 48, "අනාගතය සඳහා වන සූදානමේ දී ජාතිය සමඟ එක් වීමට" මුස්ලිම් සහෝදරත්වයට ලබා දෙන "අන්තිම අවස්ථාව" බවයි.

ප්‍රචන්ඩයැයි තමන්ට හැඟී යන කවරෙකුට හෝ වෙඩි තබන බවට කෙරෙන තර්ජනයක් සහිත නිවේදනයක් හමුදාව සිය ෆේස් බුක් පිටුවේ පල කොට ඇත. "සිය තුවක්කු ජනතාවට එරෙහිව එල්ල නොකරන" බව පවසන එය, "එහෙත් කිසිදු ආගමක් හා ජාතියක් නොතකන රුදුරු ප්‍රචන්ඩත්වයට හා ත්‍රස්තවාදයට එරෙහිව ඒවා එල්ල කෙරෙනු ඇතැයි" ද පැවසීය. කුමන්ත්‍රනය සිදු වූ තැන් පටන් මේ දක්වා සිය ගනනක් විරෝධතාකරුවන්, වැඩි වශයෙන් මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන්, පෙලපාලිවල දී මරා දමා ඇත.

යුද ටැංකි හා භටයන් රැගෙන යන සන්නද්ධ රථ සිකුරාදා කයිරෝවේ තහ් රිර් චතුරස්‍රය වටා වලල්ලක් ලෙසින් පෙල ගැසිනි. ඉහල පොලිස් හා ආරක්ෂක නිලධාරීහු දිවා කාලයේ චතුරස්‍රයේ පෙනී සිටියේ, "හමුදාව, පොලීසිය හා මහජනතාව තනි හස්තයකැ"යි නැඟුනු හඬ මධ්‍යයේය. රාත්‍රියේ ලක්ෂ සංඛ්‍යාත ජනයා මුර්සි නෙරපා හැරීමට සහාය පල කරමින් තහ් රිර් චතුරස්‍රයේ හා අවට වීථි පුරා එක් රොක් වූහ.

මුර්සිට සහාය පල කෙරෙන රැලි සිනායි හා මැට්රෝ හි පැවැත්විනි. පෙනී යන පරිදි තවමත් මුර්සිවාදී රැලිවලට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් ජනතාව මුර්සි විරෝධී විරෝධතාවන්ට එක්ව සිටියි.

ජූලි 3 කුමන්ත්‍රනයෙන් පසුව හමුදාව විසින් හෙලි නොකල ස්ථානයක සිර ගත කරනු ලැබ සිටින මුර්සිට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන බවට කෙරුනු නිවේදනයෙන් ඉක්බිතිව, ආතතීන් තව දුරටත් උත්සන්න වී ඇත. මේ චෝදනා පදනම් වී ඇත්තේ හොස්නි මුබාරක් බලයෙන් පලවා හල 2011 නැඟිටීම අතරතුර, මුර්සි හා තවත් මුස්ලිම් සහෝදරත්ව සාමාජිකයින් සිර ගේ බිඳ පලා යාමේ සිද්ධියක් මතය. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී මුර්සි පවසා සිටියේ "නොහඳුනන පුද්ගලයන්" තමා හා සහෝදරත්වයේ අනෙකුත් මුස්ලිම් සිරකරුවන් වාඩි නට්රෞන් සිර ගෙයින් මුදා හල බවයි.

මුබාරක්ට සහාය දක්වන බලකොටුවක් වන ඊජිප්තු අධිකරනය චෝදනා කරන්නේ මුර්සි, ඊජිප්තු පොලිස් ස්ථාන හා සිරගෙවල්වලට පහර දීමට පලස්තීනයේ ඉස්ලාම්වාදී හමාස් කන්ඩායම හා කුමන්ත්‍රනය කල බවටය. චෝදනා කෙරෙන පරිදි මෙය, "තමා ද ඇතුලු රැඳවුම්කරුවන්ට පලා යාමට ඉඩ සැලසෙන පරිදි එක් සිර ගෙයකට ගිනි තැබීමෙන් හා සිතා මතා සැලසුම් කොට නිලධාරීන්, සෙබලුන් හා සිරකරුවන් මරා දැමීමෙන්" ද සමන්විත වූවකි.

චෝදනා ප්‍රතික්ෂේප කරමින් මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රකාශක ගෙහාඩ් එල්-හඩාඩ් පැවසුවේ එම චෝදනා සමඟ ප්‍රකාශයට පත්වන්නේ "'අපි මුලු බලය සහිතව යලි පැමින සිටින්නෙමු'ය යන මුබාරක් තන්ත්‍රයේ සංඥාව" බවයි.

මුර්සි-විරෝධී විරෝධතාවයන් තුල වඩ වඩාත් ගම්‍ය වන ඒකාධිපතිවාදයට පක්ෂපාතී තානයෙන් පිලිබිඹු වන්නේ, කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය සහ ඊජිප්තුවේ ලිබරල් හා ඊනියා වමේ පක්ෂ සැදුම් ලත් ධනපති හා මධ්‍යම පන්තික බලවේගවල ප්‍රතිවිප්ලවවාදී ක්‍රියා කලාපයයි.

වසන්තයේ බහුජන සහභාගීත්වයෙන් පැවැති වැඩ වර්ජන හා කම්කරු පන්ති සහභාගිත්වයෙන් ත්‍රස්ත ව සහ ජූනි 30න් පසුව විරෝධතාවයන් සඳහා කෙරුනු කැඳැවීම්වල දී සමස්ත දේශපාලන ස්ථාපිතයටම එරෙහි විප්ලවයක් පැන නඟිතැයි බියපත්ව, ඔවුහු තියුනු ලෙස දකුනට මාරු වූහ. නැෂනල් සැල්වේෂන් ෆ්‍රන්ට් (ජාතිය ගලවා ගැනීමේ පෙරමුන - එන්එස්එෆ්), ෆ්‍රී ඊජිප්ෂන් පක්ෂය (නිදහස් ඊජිප්තු පක්ෂය), සහ අපේ‍්‍රල් 6 තරුන ව්‍යාපාරය ආදී ලිබරල් බලවේග සම්බන්ධ වූත්, විප්ලවකාරී සමාජවාදී (ආර්එස්) යයි පෙනී සිටින ඊනියා වම්මුන්ගේ සහාය ලබන සන්ධානයක් වන ටැමරොඩය, හමුදා කුමන්ත්‍රනයට සහාය දුන්නේය. බහු ජන විරෝධය මංමුලා කරනු වස් දැරුනු තැතක් වශයෙන් මිලිටරි ජුන්ටාව පිහිටුවා ගැනීමට පාර කැපුනේ එලෙසය.

හමුදා මර්දනයේ මුල් ඉලක්කය මුස්ලිම් සහෝදරත්වය වන අතර, අවසානයේ දී හමුදාව හා එහි ආධාරකරුවන් එය මානනු ඇත්තේ, ඊජිප්තු කම්කරුවන්ගේ පැවැත්ම සඳහා තීරනාත්මක වන, ආහාර හා ඉන්ධන සහනාධාර බොහෝ සෙයින් කපා හැරීම ද ඇතුලත් සිය ප්‍රතිගාමී සමාජ වැඩ පිලිවෙලට එරෙහි වන කම්කරු පන්තියේ විරෝධය දෙසටය.

විරෝධතා දැක්වීමට හමුදාවෙන් කෙරුනු කැඳැවුම් උද්‍යෝගයෙන් පිලිගත් ටැමරොඩය හා එහි අනුචරයෝ, ඊජිප්තුවේ දේශපාලන වාතාවරනය හැකිතාක් දකුනට තල්ලු කිරීමට යත්න දරා ඇත්තාහ. ටැමරොඩය හා එන්එස්එෆ් සංවිධානය, හමුදාවට පක්ෂව විරෝධතා දැක්වීම සඳහා අල්-සිසි කල කැඳැවුම අනුමත කරමින් සහ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය"ක් සඳහා හමුදාවට සිය පූර්න සහාය පල කරමින් නිවේදන නිකුත් කලෝය.

අපේ‍්‍රල් 6 තරුන ව්‍යාපාරය විරෝධතා දැක්වීමට හමුදාව කල කැඳැවුම අනුමත නොකල නමුත් හමුදා මර්දනයට සිය සහයෝගය දැක්වෙන බවට සංඥා නිකුත් කලේය. එය ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා සිටියේ, සන්නද්ධ හමුදාවලට "ආරක්ෂාව තහවුරු කිරීමේ හා ප්‍රචන්ඩත්වයට ප්‍රතිරෝධ දැක්වීමේ සිය දේශපේ‍්‍රමී වගකීම් ඉටු කිරීමට පොදුජන නියෝජනයක් අවශ්‍ය නොවන" බවයි.

කුමන්ත්‍රනය "දෙවන විප්ලවයකැ"යි උද්දාම වූ ඊනියා වාමාංශික විප්ලවකාරී සමාජවාදීහු (ආර්එස්) නරුම උපාමාරුවක යෙදෙමින් හමුදා විරෝධතා අනුමත කිරීම ප්‍රතික්ෂේප කලෝය. ඔවුහු මෙසේ ලිවූහ: "ආගමේ නාමයෙන් එහි බලය රැක ගැනීමේ දී මුස්ලිම් සහෝදරත්වය ජනතාවට හා කොප්ට්වරුන්ට එරෙහිව කවර අපරාධ සිදු කලේ වී වුව, අපි හමුදා ප්‍රධානී එල්-සිසිට අනුමැතිය නොදෙන්නෙමු. අපි 26දා වීදි බැසීමට සහභාගී නොවන්නෙමු. එසේ කිරීම සමූලඝාතනවල යෙදීම සඳහා හිස් චෙක් පතකට අත්සන් තැබීමක් පමනි."

මේ ප්‍රකාශනයෙන් පිලිබිඹුවන්නේ කුමන්ත්‍රනයට පල කල සහයෝගය නිසා තමන් දේශපාලනිකව හෙලිදරව්වීම පිලිබඳ ආර්එස් සංවිධානයේ සැලැකිල්ල යොමුවීම විනා, හමුදාවේ සමූහ ඝාතන පිලිබඳ ඔවුන්ගේ විරුද්ධත්වය නො වේ. (බලන්න: Egypt’s Revolutionary Socialists seek to cover up support for military coup) ඇත්තෙන්ම ප්‍රමුඛ ආර්එස් සාමාජිකයන් ඊයේ ප්‍රසිද්ධියේම පැවසුවේ තමන් හමුදා මැදිහත්වීමකට සහයෝගය දෙන බවයි.

ආර්එස් බ්ලොග් ප්‍රකාශක හොසම් එල්-හමලවිගේ සහකාරිය වන ආර්එස් සාමාජිකා ගිගි ඊබ්රාහිම් සිය ට්විටර් සම්පාදනය (Twitter feed) තුලින් කෝපාවිෂ්ටව ඉල්ලා සිටියේ, විරෝධතා මැඬීමට හමුදාව මැදිහත් විය යුතු බවයි. "ඇලෙක්ස්සැන්ඩ්රියාහි පස් දෙනෙක් මරා දමන ලදහ. ඊජිප්තුව පුරා චතුරස්‍රයන්හි ප්‍රචන්ඩත්වය මැඬීමට සිසිගේ නියෝගය ඉල්ලා හඬ නැඟෙද්දී, හමුදාව හෝ පොලීසිය ඊට මැදිහත් වූයේ නැතැ"යි ඇය ලියා ඇත. "හැම දෙනාම දැන් ඔල්වරසන් දී පිලිගන්නා හමුදාව හා පොලීසිය, මෙම ලේ හැලීම් නොනවත්වන්නේ හෝ ඒ සඳහා මැදිහත් නොවන්නේ ඇයි?"

වඩාත් මූලිකව ගත් කල, ආර්එස්හි පිලිවෙතින් පිලිබිඹුවන්නේ එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙත සමග දීර්ඝ කාලීනව එම සංවිධානයේ පැවැති ඇයි හොඳයි කමයි. වොෂින්ටනය මෙන් ම ඔවුහු ද, හමුදාව හා මුස්ලිම් සහෝදරත්වය අතර පමනට වඩා ලේ හැලීම් පැතිර යාම වැලැක්වීමට තැත් කරන අතර කුමන්ත්‍රනයට සිය අත්‍යවශ්‍ය සහාය ලබා දෙන බවට සංඥා කරති. එවන් ලේ ගැලීම්, හමුදාව හා මුස්ලිම් සහෝදරත්වය අතර සමගි සන්ධානයක් ඇති කරමින්, මැද පෙරදිග සිය ප්‍රමුඛ පෙලේ මුක්කුවක් වන ඊජිප්තු රාජ්‍යය ස්ථායී කිරීමේ වොෂින්ටන් ප්‍රයත්නය අසීරු එකක් බවට පත් කරනු ඇත.

නිර්නාමික එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් අල් අහ්රාම් පුවත්පතට පැවසුවේ, "එක්සත් ජනපදයේ ප්‍රධාන අරමුන වන්නේ මුස්ලිම් සහෝදරත්වය ඊජිප්තුවේ දේශපාලන ජීවිතයට යලි එක් කර ගැනීම" බවයි. "එම කන්ඩායමට හිංසා පීඩා කිසිත් නොකල යුතුය."

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරි, කුමන්ත්‍රනය අනුමත කරමින් ඊයේ, ඊජිප්තු විදේශ ඇමැති නබිල් ෆාමි සමඟ දීර්ඝ කථාබහක යෙදුනු බව වාර්තා වේ. ඊජිප්තුව "ප්‍රජාතන්ත්‍රවාදී මාවතක"ට යලි පිවිසෙනු දැකීමට වොෂින්ටනයට අවශ්‍ය බව පල කරන අතර ම, කුමන්ත්‍රනය නිසා ඊජිප්තු රජයට ලැබෙන එක්සත් ජනපද ආර්ථික හෝ හමුදා ආධාරවල සිදු වන යම් ප්‍රමාදයන් "තාවකාලික" යයි ද සහතික විය.

මුර්සි බලයෙන් පහ කිරීම කුමන්ත්‍රනයකැයි ප්‍රකාශයට පත් නොකරන බැව් (එක්සත් ජනපද) පාලනය පැහැදිලිව ම දක්වා ඇත. එසේ ප්‍රකාශ කලහොත් නීතියට අනුව ආධාර කපා දැමීමට සිදු වේ. නව එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා කයිරෝවට නැව්ගත කිරීම වොෂින්ටනය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පෙන්ටගනය ඉහත සැලැසුම් කර ඇති පරිදි, ඊජිප්තු හමුදා සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමේ කටයුතු ඉදිරියට ගෙන යයි.

Share this article: