ස්නෝඩන් ලූහුබැඳීමේ දී එක්සත් ජනපදය රුසියාවට හා චීනයට තර්ජනය කරයි

US threatens Russia" China in its pursuit of Snowden

2013 ජුනි 26

ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) හිටපු සාමාජික එඩ්වර්ඩ් ස්නෝඩන් අල්ලා ගැනීමට දරන ප‍්‍රයත්නයේ දී ඔබාමා රුසියාව, චීනය, හොංකොං හා ඉක්වදෝරයට එරෙහිව රාජ්‍ය-තාන්ත‍්‍රික බියවැද්දීම්වල යෙදී සිටිමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනීතික භාවය ලෝකයට හෙලිදරවු කරයි.

එක්සත් ජනපදයේ දී රහස් තොරතුරු හෙලිදරවු කිරීමේ චෝදනාවන්ට ලක්කිරීමට ස්නෝඩන් තමන් වෙත භාරදෙන ලෙස ධවල මන්දිරය අවධාරනය කරයි. එක්සත් ජනපද ව්‍යවස්ථාව හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සමස්ත ඇමරිකානු හා ලෝක ජනතාවන්ට හා ආන්ඩුවලට එරෙහිව එන්එස්ඒ සිදුකල යෝධ ඔත්තු බැලීමේ මෙහෙයුම් හෙලිදරවු කිරීම ඔහු කල එකම "අපරාධය” යි.

ජුනි 24දා රුසියානු ආන්ඩුව "නීතියේ සම්මතයන්ට” බැඳී සිටිය යුතු යයි ඇනවූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, මොස්කෝව "අපගේ අභිලාෂයන්ට ගරු නො කොට” ස්නෝඩන්ට "හිතාමතා ගුවන්යානයකට නැගීමට අවසර දුනහොත්” සඳහන් නො කල ප‍්‍රතිවිපාකයන්ට මුහුන දීමට සිදුවනු ඇතැ’යි තර්ජනය කලේ ය.

තම ආන්ඩුව පලායන්නෙකුට ආධාර දෙතැ’යි කෙරෙන වොෂින්ටනයේ චෝදනා "වියරු හා පදනම් විරහිත” යයි බැහැර කරමින් ජුනි 25 දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එයට ප‍්‍රතිචාර දැක්වීය. දැනට මොස්කව්හි ෂෙරෙමෙත්යේවෝ ගුවන් තොටුපලේ හුවමාරු කලාපයේ රැඳී සිටින ස්නෝඩන් රුසියාවට ඇතුල් වී නැති බව හා රුසියානු නීතිය කඩ කොට නැති බව ඔහු සඳහන් කලේ ය. එක්සත් ජනපදය හා රුසියාව අතර චූදිතයන් හුවමාරු කිරීමේ ගිවිසුමක් ද ඇත්තේ නැත.

එන්ට එන්ට ම වැඩිවන උන්මාදයක් සමගින් එක්සත් ජනපදය අන පනවන අතර එහි තර්ජන වග විභාගයකින් තොරව සෑම දිශාවකට ම එල්ල කරනු ලැබේ. ජුනි 23දා ස්නෝඩන්ට හොංකොංහි සිට මොස්කෝව වෙත යාමට ඉඩදීමට චීනය ගත් තීරනය එරට සමග සිය සබඳතා කෙරෙහි "නිසැකවම ඍනාත්මක බලපෑමක්” කලේ යයි කියමින් ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කානි එක්සත් ජනපදයේ පලිගැනීම් ගැන අනතුරු ඇඟවීය.

හොංකොං පරිපාලනය ක‍්‍රියා කොට ඇත්තේ නීතියට අනුව බව අවධාරනය කරමින් චීන විදේශ අමාත්‍යාංශය ජුනි 25දා එක්සත් ජනපද චෝදනා "පදනම් විරහිත” යයි ප‍්‍රතික්ෂේප කලේ ය. පාලක කොමියුනිස්ට් පක්ෂයේ පීපල්ස් ඬේලි පුවත්පත "ලෝකය එඩ්වර්ඩ් ස්නෝඩන් මතකයේ තබාගනු ඇත. වොෂින්ටනයේ උපාසක කඩතුරාව ඉරාදැම්මේ ඔහුගේ නිර්භීත භාවය යි” යනුවෙන් සඳහන් කලේ ය.

"නීතියේ සම්මතයන්” හා නෛතික ක‍්‍රියාදාමයන් පිලිබඳව ඔබාමා පරිපාලනයේ ප‍්‍රකාශ අත්‍යන්තයෙන් නරුම ය. ධවල මන්දිරය හඳුනන එකම "නීතිය” වන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දේශපාලනික, ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට සේවය කරන නීතිය යි. එහි ආඥාවන් පිලි නොගත හොත් "විපාක” වශයෙන් රාජ්‍ය-තාන්ත‍්‍රික හා ආර්ථික ප‍්‍රති ප‍්‍රහාර හෝ ඊටත් එහා පියවරයන්ට මුහුනපෑමට සිදුවන බවකි. එහි පිලිවෙත නීතියේ පාලනය නොව ශක්තිය වනාහි යුක්තියයි යන කැලෑ නීතිය යි.

සපත්තුව තිබුනේ අනෙක් පාදයේ නම්, ඔබාමා පාලනයේ ප‍්‍රතිචාරය සිතාගැනීම අපහසු නැත. චීන හෝ රුසියානු නිලධාරියෙකු එම රටවල පොලිස් රාජ්‍ය කටයුතු පිලිබඳව හෙලිදරවු කරන ලියවිලිවලින් පිරුනු පරිඝනකයක් රැගෙන ඇමරිකාවට පලා ආවේනම් විවෘත දෑත්වලින් ඔහු හෝ ඇයව වැලඳගෙන වීර දේශපාලනික විසංමතිකයෙක් යයි උත්කර්ෂයට නංවා පූර්න රැකවරන දෙනු ලැබේ.

ප‍්‍රජාතාන්ත‍්‍රික නිදහස නැති රටවලින් රැකවරන පැතීම ගැන කෙරී හා කානි යන දෙදෙනා ම ස්නෝඩන් හෙලා දැක්කාහ. එහෙත් එක්සත් ජනපදය තුල ම තත්ත්වය කෙබඳු ද? ස්නෝඩන් හෙලිදරවු කර ඇත්තේ නීතියට පිටතින් හා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක‍්‍රියාත්මක වන යෝධ පොලිස් රාජ්‍යය මෙවලමේ ප‍්‍රමානය යි. එහි අභිප‍්‍රාය වන්නේ ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම නොව ඇමරිකානු ජනතාවගෙන් කුඩා, ප‍්‍රකෝටිපති මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයක අවශ්‍යතා ආරක්ෂා කරගැනීම යි.

චීනය හා රුසියාව විවේචනය කිරීමට ස්නෝඩන් අසමත් වීම "සමස්තයක් ලෙස ඔහුගේ අභිප‍්‍රාය එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට හානි කිරීම” බව පෙන්වා ඇතැයි කියමින් කානි තවත් පියවරක් ඉදිරියට ගියේ ය. ඇමරිකානු අටුවාකරුවන් හා දේශපාලනඥයින් සමග ජනාධිපතිගේ ප‍්‍රකාශකයා ද එක්ව ගිනිය නො හැකි වාරයක් ස්නෝඩන් "ද්‍රෝහියෙක්” යයි හෙලාදැක ඇති තතු තුල ඔහුට එක්සත් ජනපදය තුල දී සාධාරන විනිශ්චයක් ලැබීමේ මොනම හෝ හැකියාවක් ධවල මන්දිරය විසින් ම වලක්වා ඇත.

විකිලීක්ස් හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අපරාධ හා පිලිකුල් සහගත රාජ්‍ය-තාන්ත‍්‍රික කුමන්ත‍්‍රන හෙලිදරව් කල බ‍්‍රැඩ්ලි මෑනිං නමැති සොල්දාදුවාට මෙන් ම ස්නෝඩන්ට ද එක්සත් ජනපදය තුල සාධාරනය ඉටුවන්නේ නැත. ඔහුගෙන් ප‍්‍රශ්න කර, අපචාරයට ලක්කොට, දීර්ඝ සිර දඬුවමකට ලක්කිරීම හෝ කැලෑ උසාවියක් හරහා මරනයට පත්කරනු ඇත. මොන සම්මතයෙන් ගත්ත ද ස්නෝඩන් කරන්නේ, ජාත්‍යන්තර නීතිය අනුව රැකවරනය ලැබීමට සුදුසු දේශපාලන චෝදනාවන්ගෙන් බේරී පලායාම යි.

ජුනි 24 ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී ස්නෝඩන් රැගෙන යන රුසියානු සිවිල් ගුවන් යානාව බිමට බස්සවා ඔහු තමන්ට බාර දෙන ලෙස බලකිරීම සඳහා එක්සත් ජනපදය සිය යුද ගුවන් යානා පාවිච්චි කරන්නේදැ’යි ඇසූ ප‍්‍රශ්නවලට කානි දැක්වූ ප‍්‍රතිචාරයෙන් ඔබාමා පාලනයේ සාපරාධී ස්වභාවය ඉස්මතු කෙරේ. ඒ අරමුන වෙනුවෙන් ජුනි 24දා කියුබාවට යන යානයකට ස්නෝඩන් නැග නැතැයි රුසියානු මාධ්‍ය කරන වාර්තා පිලිබඳව අදහස් දක්වන ලෙස තුන්වරක් ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම විකල්පය බැහැර කිරීම කානි ප‍්‍රතික්ෂේප කලේ ය.

ධවල මන්දිර දාමරිකයන් උල්ලංඝනය නොකරන නෛතික රේඛාවක් නැත. ව්‍යාජ "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යටතේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය, ඉරාකය හා ලිබියාවට එරෙහි යුද්ධ දියත් කොට ඇති අතර සිරියාවට හා ඉරානයට එරෙහිව එය ම කිරීමට සූදානම් වෙමින් සිටී. මේ අපරාධය වනාහි දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව නාසි නායකයින්ට එරෙහිව චෝදනා නගන ලද එම අපරාධයම ය. ගුවන්තනාමෝ කඳවුරේ සිරකරුවන් නඩු නො අසා අනිශ්චිත කාලයකට රඳවා තබාගැනීම මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික හිමිකම් පිලිබඳ සෑම සංකල්පයක් ම උල්ලංඝනය කරයි.

එලඹිය හැකි නරක ම තත්ත්වය පිලිබඳව බියවීමට සෑම හේතුවක් ම ස්නෝඩන්ට ඇත. එක්සත් ජනපද අවශ්‍යතාවලට තර්ජනයක් යයි සලකන ඕනෑම අයෙකුට පහර දී මරාදැමීමට තමන්ට ඇති "අයිතිය” ඔබාමා පරිපාලනය තමන් වෙතම පවරාගෙන ඇත. පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, යේමනය හා ලෝකයේ අනෙකුත් කොටස්වල ඇමරිකානුවන් ද ඇතුලු මිනිසුන් සිය ගනනක් ඩ්‍රෝන් ප‍්‍රහාර යොදා ඝාතනය කරනු ලැබ තිබේ.

ස්නෝඩන් බාරදෙන ලෙස රුසියාවට හා චීනයට එරෙහිව කරන බියවැද්දීම් හා තර්ජන තුල ජාත්‍යන්තර නීතිය හා ස්වෛරීත්වය කෙරෙහි පල කෙරෙන එම අවඥාව ම දැකිය හැක. එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය ප‍්‍රතිශ්ඨාපනය කිරීමට හා එහි ප‍්‍රතිමල්ලවයන් වන චීනය හා රුසියාවට වලකැපීම අරමුනු කරගත් ඔබාමා පරිපාලනය මැද පෙරදිග හා ආසියාව වෙත හැරීම මගින් ජනනය කරන ලද තියුනු බෙදීම්වලට ද්වේශ සහගත වචන හුවමාරු සාක්ෂි දරයි. ස්නෝඩන් අරභයා ඇති වී තිබෙන ගැටුම යලි වතාවක් අනතුරු අඟවන්නේ, එක්සත් ජනපදය කිසිදු විරුද්ධත්වයක් නො තකන බව හා එය තම අවශ්‍යතා සඳහා ලෝකය යලි යුද්ධයකට ඇදගෙන යාමට සූදානම් වන බවටයි.

ස්නෝඩන් මෙන් ම බ‍්‍රැඩ්ලි මෑනිං හා විකිලීක්ස් සමාරම්භක ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමට එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද කම්කරුවන්ට හා තරුනයන්ට වගකීමක් තිබේ. එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද වැඩපොලවල, විශ්ව විද්‍යාලවල හා පාසල්වල මෙන් ම කම්කරු නිවහන් ප‍්‍රදේශවල ස්නෝඩන්ට එරෙහි සියලු චෝදනා ඉවත්කරගන්නා ලෙසත් එක්සත් ජනපද ඔත්තු බැලීම්වලට අදාල සියලු ලේඛන ප‍්‍රසිද්ධ කරන ලෙසත් උද්ඝෝෂනය කරමින් සහයෝගය ගොනුකරගත යුතු ය.

යුද්ධයේ ම්ලේච්ඡත්වය, සමාජ සහන කප්පාදුව හා ආඥාදායකත්වය හැර වෙන කිසි විකල්පයක් නොමැති ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සමාජවාදී විකල්පයක් සඳහා සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ පුලුල් අරගලය සමග මූලික ප‍්‍රජාතාන්ත‍්‍ර අයිතීන් රැකගැනීම බැඳී පවතී.

පීටර් සිමන්ඩ්ස්

Share this article: