ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුවෝ මර්දනයට විරෝධය දක්වති

සුජීව අමරනාත් විසිනි, 2013 ජූලි 1

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 2,000කට අධික පිරිසක් පසුගිය බදාදා (ජුනි 26) එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරය විවිධ පීඨයන්ට අයත් සිසුන් 11ක ශිෂ්‍යභාවය අහෝසි කොට තවත් සිසුන් 60කට පන්ති තහනම් කිරීමට එරෙහිව ගංගොඩවිල සරසවි පරිශ‍්‍රයේ සිට දැවැන්ත විරෝධතා පාගමනක නිරත වූහ. "සිසු මර්දනය නතර කරනු” හා "ශිෂ්‍ය සංගම් වහා ස්ථාපිත කරනු” යනාදී සටන්පාඨ සහිත පුවරු රැගෙන ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ සටන්පාඨ කියමින් පෙලපාලියේ ගමන් ගත්හ.

විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් පෙලපාලිය ඇරඹී නුදුරේ පිහිටි විජේරාම හන්දියට පැමිනි මොහොතේ පටන් ම එය නතර කිරීමට පොලීසිය උත්සාහ ගත්ත ද එම බාධක නො තකා හයිලෙවල් පාර ඔස්සේ සිසුහු ඉදිරියට ඇදී ගියහ. එහෙත් නුගේගොඩ මන්සන්ධියෙන් ඔබ්බට පෙලපාලිය ගමන් නො කලේ කැරලි මර්දන පොලීසිය එය විසුරුවා හැරීම සඳහා ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයකට සූදානම්ව සිටි බැවිනි.

ජජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙම සිසු මර්දනය එවැනි මර්දන මාලාවක නවතම එකයි. පසුගිය සතියේ පමනක් සිසුන් 48ක පන්ති තහනම් කර ඇත්තේ සති තුනක් තුල දඩයමට ලක්වූ සිසුන් ගනන 71කට ඉහල නංවමිනි. වෛද්‍ය උපාධිය මුදලට විකිනීමට විරුද්ධව ජුනි 7දා උද්ඝෝෂනයක නිරත වූ වෛද්‍ය සිසුන් 21ක් ද මෙයට අයත් වෙති. සබරගමු විශ්ව විද්‍යාල පරිපාලනය පසුගිය මාසයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 47ක ශිෂ්‍යභාවය අත්හිටවූ අතර මේ වනවිට ලංකාවේ විවිධ සරසවිවල සිසුන් 250කට අධික ප‍්‍රමානයක් දඩයම් කොට තිබේ. ජයවර්ධනපුර දී සිසුන්ට එරෙහිව නොමනා හැසිරීම, ආචාර්යවරුන්ට ගැරහීම හා පරිපාලනයට බාධා කිරීම ඇතුලු ගොතන ලද චෝදනා එල්ල කෙරී ඇත. සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) මෙම මර්දනය හෙලා දකිති.

ජයවර්ධනපුර ශිෂ්‍යයන්ගේ විරෝධතාව සංවිධානය කලේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසිනි. අවිශිබම නායකයන් විරෝධතාව පෙර පරිදිම සීමා කොට තිබුනේ, සිසුන්ගේ පන්ති තහනම් හා ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් අත් හිටුවන ලෙසත් ශිෂ්‍ය සංගම් තහනම ඉවත් කරන ලෙසත් බල කරමින් ලියූ පෙත්සමක් අරලිය ගහ මන්දිරය දක්වා පෙල පාලියෙන් ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂට භාර දීමට යි.

රැලියේ කතාකල අවිශිබම කැඳවුම්කරු සංජීව බන්ඩාරගේ කතාවෙන් එම සංවිධානයේ ක‍්‍රියා කලාපය හෙලිදරව් වේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය උගතුන් බුද්ධිමතුන් බිහිකරන ශුද්ධ වූ ස්ථානයක්ව පැවති නමුත් දැන් එය කෙලෙසීමට ලක්ව ඇති බව ඔහු කීවේ ය. ආපනශාලාවල පහත් තත්ත්වය, නේවාසිකාගාරවල නිසි පරිදි පහසුකම් නොමැති කම ආදිය පිලිබඳව ද බන්ඩාර සඳහන් කලේ ය.

"ආන්ඩුවේ අපේක්ෂාව රජයේ පාසල්, රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලීකරනය කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරයි. අපි ඉගනගන්නේ අපේ දෙමව්පියන්ගේ මුදලින් විතරක් නෙවෙයි. ජනතාවගේ බදු මුදලින්. ඒ නිසයි රටේ ජනතාව වෙනුවෙන් අපි පාරට බැස්සේ” යයි ඔහු කියාගෙන ගියේය.

"ජනතාව වෙනුවෙන් පාරට බැසීම” ආදී පූච්චානම් කථා පැවසුව ද විශ්වවිද්‍යාලවල හා පාසැල්වල කොන්දේසි එක දිගටම පිරිහෙලා, අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට එක හෙලා කි‍්‍රයා කරන ආන්ඩුවට හා ජනාධිපති රාජපක්ෂට පෙත්සමක් භාර දීමෙන් එය වලක්වා ගත හැකි යයි දෙසා බෑම බරපතල මිථ්‍යාවක් වැපිරීමකි. ආන්ඩුව දැනුවත්ව ම කි‍්‍රයාවට දමන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත, ගෝලීය ප‍්‍රාග්ධනයේ උවමනාවන් සපුරන්නා වූත්, ලංකාවේ මහ ධනපතියන්ට ඒ සමග එක්වී සූරා කෑම උග‍්‍ර කිරීමට කොන්දේසි සකස් කරන්නා වූත් වැඩ පිලිවෙලකි.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අවිශිබමයේ දේශපාලනය හා විරෝධතා සංවිධානය කෙරෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් ද අවිශිබමය ද පෙර දී සම්බන්ධ වී සිටියේ සිංහල ස්වෝත්තමවාදී හා දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන සමගයි. එකල ජවිපෙ සරසවි සිසුන්ට ඉදිරිපත් කල වැඩපිලිවෙල ම දැනුදු අවිශිබම ය ඉදිරිපත් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ප‍්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග ප‍්‍රකාරව කම්කරු පන්තියට හා පීඩිත මහජනතාවන්ට එරෙහි කප්පාදු පියවර ක‍්‍රියාවට දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව මහජනයා අත්විඳින සීමිත සුභසාධන පවා ආපසු හැරවීමේ පිලිවෙතක නිරතව සිටී. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය මත ප‍්‍රතිපාදන එක් අයවැයකට පසු තවෙකක් වශයෙන් කප්පාදු කෙරී පවතී. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන වැය කප්පාදු කරන අතර පුද්ගලික අංශයට හතු පිපෙන්නාක් මෙන් උපාධි කඩ විවෘත කිරීමට ඉඩ දී ඇති අතර කොලඹ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය හා මාලබේ තොරතුරු තාක්ෂන ආයතනය (ස්ලිට්) වැනි පෞද්ගලික ආයතනවලට උපාධි පිරිනැමීමට ද අවසර දී ඇත.

පසුගිය වසර කිහිපය පුරා මෙම තත්ත්වයන්ට එරෙහිව සිසුන් අරගලවලට පිලිපන්ව ඇත. රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පියවරයන් සාමකාමීව ක‍්‍රියාවට දැමිය නො හැකි බව එය හොඳින් දනී. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ලාභ ලබන කර්මාන්තයක් බවට පත්කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට විරුද්ධව අරගල කරන සිසුන් මර්දනය කිරීමට පොලීසිය මෙන් ම ඇතැම් අවස්ථාවල දී එහි විශේෂ කාර්ය බලකාය හා මිලිටරිය ද දිගේලි කරනු ලැබේ.

අධ්‍යාපන කප්පාදුව හුදෙක් ලංකාව වැනි පසුගාමී රටවලට සීමාවූවක් නො වේ. උදාහරනයක් ලෙස කැනඩාවේ කියුබෙක් ප‍්‍රාන්තයේ සිසුන් සිය ශිෂ්‍ය ගාස්තු ඉහල නැංවීමට එරෙහිව මෑතක දී ගෙනගිය අරගලය දැක්විය හැකි ය. එහි ද ක්ලැසේ (CLASSE) නම් වූ ශිෂ්‍ය සංවිධානය, දසදහස් සංඛ්‍යාත සිසුන් පන්ති වර්ජනය කර දින ගනනාවක් පැවැත් වූ විරෝධතාව පාවා දුන්නේ ද ක්විබෙක් ප‍්‍රාන්ත ආන්ඩුවට හා කැනඩා මධ්‍යම ආන්ඩුවට බලපෑම් දමා අයිතීන් දිනා ගත හැකිය යන මිථ්‍යාවට ඔවුන් කොටු කර තැබීමෙනි. කම්කරු පන්තිය වෙතට හැරී ඔවුන් සමග එක්ව ක්විබෙක් හා කැනඩා ධනපති ආන්ඩුවලට එරෙහිව කම්කරු ආන්ඩුවක් සඳහා සටන් කිරීමට ක්ලැසේ නායකයෝ ද ඉඳුරාම විරුද්ධව සිටියහ.

අවිශිබම නායකයන් සිසුන් කොටුකර තැබීමට මොන තරම් පල්ලමකට ඔවුන් ගෙන යෑමට කි‍්‍රයා කරත් ද? අවිශිබම නායක සංජීව බන්ඩාර මෙලෙස කීවේ ය:

"විශ්ව විද්‍යාල පරිපාලනය මේ ආකාරයට ක‍්‍රියාත්මක කරන්නේ දේශපාලකයන්ගේ කැමැත්ත. තමන්ගේ යහපත වෙනුවෙන් [ජයවර්ධනපුර] උපකුලපතිවරයා ඕනෑම මර්දනයක් කරන්න සූදානමින් සිටිනවා.” එනම් වරද ඇත්තේ ධනේශ්වර ක‍්‍රමයේ නොව උපකුලපතිවරයා අතේ ය. ඔහු ක‍්‍රියාත්මක වන්නේ ධනපති ක‍්‍රමයට අවශ්‍ය ආකාරයට නොව හුදෙක් "තමන්ගේ යහපත” වෙනුවෙනි. එසේනම් "සියල්ලන්ගේ ම යහපත” වෙනුවෙන් වැඩකරන උපකුලපතිවරයෙක් පත්කර ගත්විට වැඬේ හරි ය.

පසුගිය සමය පුරා රාජපක්ෂ ආන්ඩුව සිය දේශපාලන උවමනාකම් මත උපකුලපතිවරුන් පත්කර ඇත. එහි ආසන්නතම උදාහරනය වන්නේ කොලඹ විශ්ව විද්‍යාලයට විජයකුමාර හිරිඹුරේගම පත්කිරීම යි. එලෙස පත්කලවිට තමන් එම පත්කිරීම වෙනස්කිරීම සඳහා ක‍්‍රියාකාරී වන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප‍්‍රකාශ කලේ ය. එහෙත් මේ දක්වා ඔවුන් කල දෙයක් නැත. ආන්ඩුවට එරෙහිව කම්කරු පන්ති නායකත්වයෙන් සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා දේශපාලන අරගලයක ඉදිරිදර්ශනය යටතේ ක‍්‍රියාත්මක වීමයි සිසුන් ඉදිරියේ ඇති එකම ඉදිරිදර්ශනය. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ඉදිරිපත් කරන්නේ එම ඉදිරිදර්ශනය මත පාදකව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමේ කි‍්‍රයාමාර්ගයයි.

Share this article: