ආන්ඩුව විපතටපත් ධීවරයන්ට සොච්චමක් දී අත සෝදා ගනී

නන්දන නන්නෙත්ති විසිනි, 2013 ජුලි 8

විපතට පත් බෝට්ටුවක් ගොඩබිමට ඇදගෙන එන ධීවරයින්

ජුනි 8 දා හමා ගිය සුලි සුලඟින් විපතටපත් ශී‍්‍ර ලංකාවේ ධීවරයන් හා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රමානවත් සහනයක් රාජපක්ෂ ආන්ඩුවෙන් නො ලැබෙන බව මේ වන විටත් සනාථ වී ඇත.

නිල වාර්තා අනුව අනතුරින් මිය ගිය ධීවරයන් ගනන 51ක් වන අතර තවත් අට දෙනෙක් අතුරුදහන් වී ඇත. යාත‍්‍රා 84ක් සම්පූර්නයෙන් ම ද 76ක් අර්ධ වශයෙන් ද විනාශ වී ගොසිනි. දැල් හා ආම්පන්න ද විනාශයට පත් දේ අතර වෙයි.

ධීවරයන් අතර වැඩෙන කෝපය හමුවේ ආන්ඩුව ලබා දී ඇති සොච්චම් වියලි සලාකය එක් පවුලක් සඳහා දිනකටවත් නොසෑහෙන බැව් ධීවරයන් පවසයි. බලපිටිය, සිරිල් ද සොයිසා ධීවර ගම්මානයේ පදිංචිව සිට විපතින් මියගිය ධීවරයකුගේ භාර්යාව වන පී.එච්. නන්දනී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට මෙසේ කීවා ය: "අපට රු. 1,600ක වියලි සලාකයක් ලැබුනා. ඉස්කෝලෙ යන ලමයි 4 දෙනෙක් ඉන්නවා. ලොකුම දුවට අවුරුදු 13ක්. පවුලෙ වියදම හොයපු ලමයිගෙ තාත්තා නැතිව අපට ජීවත් වෙන්න විදියක් නෑ.”

පී.එච්. නන්දනී සහ ඒ. දිස්නා කුමුදුනී හා ඇයගේ පවුලේ සාමාජිකයින්

පුන්‍යාධාර ආයතනයකින් සුනාමි ආධාර ලෙස ලැබුනු ඇගේ නිවසේ සුලි සුලඟින් මිය ගිය තම සහෝදරයාගේ බිරිඳට හා බිලිඳාට ද සෙවන දීමට දැන් ඇයට සිදු වී ඇත. සැමියා ගේ වියෝව නිසා කුලී ගෙවා ගත නොහී නිවස අත් හැර තම නෑනාගේ නිවෙසට ඒමට සිදු වූ දිස්නා කුමුදුනී නමැති එම 20 අවුරුදු කාන්තාවට ලැබී ඇත්තේ රු.984ක වියලි සලාකයක් පමනි. පවුලේ එකම උපයන්නා වූ තම සැමියා අහිමි වී ඇති තතු යටතේ කල යුත්තේ කුමක් දැයි තමන්ට සිතාගැනීමට නො හැකි බව කුමුදුනී කියයි.

ආන්ඩුවේ මෙම සලාකය ධීවරයන්ට සහනයකට වඩා අපහාසයකි. "ඒක ගන්න ඕන සමූපකාරයෙන්. දෙන්නෙ දිරච්ච හාල්. හොඳහාල් ඉල්ලුවා ම වැඩි මිල හාල් සලාකවලට දෙන්න බෑ කියනවා. සැමන් එකක්, හාල්මැස්සෝ කරවල ටිකක්වත් ගන්න නෑ”. දිවි ගලවා ගත් මෝදර වැල්ලේ පදිංචි ධීවරයකු වන විමල් සඳහන් කලේ ය.

විපතට පත් සියලු දෙනා ආන්ඩුව විසින් ඔවුන්ගේ ඉරනමට අත්හැර දමා ඇත. ධීවරයකුගේ අහිමි වූ ජීවිතයක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීමට "කටයුතු කරන බව” ආන්ඩුව පවසා ඇත. මෙය ඉහල නිලධරයකුගේ මාසික වැටුපටත් අඩු මුදලකි. විනාශ වූ යාත‍්‍රා වෙනුවට අලුත් යාත‍්‍රා ලබා දීමට කටයුතු කරන බව ද කියැවේ. ඒවා ලබා දෙනවා නම් ලබා දෙන්නේ කුමන කොන්දේසි යටතේ ද යන්න පැහැදිලි කෙරී නැත.

බලපිටිය, මෝදරවැල්ල ධීවරයන් සමග සාකච්ඡාකරමින්

ධනපතියන්ගේ මහා පරිමාන ව්‍යවසායන්ට දැවැන්ත බදු සහන සහ නය සහන ලබා දෙමින් ඔවුන් වෙනුවෙන් සුඛෝපභෝගී සාප්පු සංකීර්න, ආපන ශාලා, ව්‍යායාම මංපෙත් ගොඩ නගන සහ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කරන රාජපක්ෂ ආන්ඩුව දුගීන් වෙනුවෙන් කවර හෝ සහනයක් ලබා නොදෙනවා පමනක් නොව මෙතෙක් භුක්ති විඳි යමක් වෙතොත් එය ද කපා දමමින් සිටී.

2012 පෙබරවාරියේ දී තෙල් මිල සියයට පනහකින් ඉහල දැමීමත් සමග ධීවරයන් දියත් කල උද්ඝෝෂනයට පොලීසිය මෙහෙයවා පහරදුන් ආන්ඩුව හලාවත දී ඇන්ටන් වර්නකුල නැමැති ධීවරයා වෙඩිතබා ඝාතනය කලේ ය. එහෙත් නොසන්සුන්තාව දියකර හැරීම සඳහා තෙල් "සහනාධාරයක්” මුදා හලේ ය. නොබෝ දිනකින් එය ප්‍රෝඩාවක් බව සනාථ විය.

දැන් විදුලිය ගාස්තු වැඩි කිරීම නිසා ධීවර වියදම තවත් වැඩි වී ඇත. වෙනදා රු.180ට ගත් අයිස් කැටය රු.300 දක්වාත්, විදුලි පහන සඳහා ගෙන යන බැටරියේ දිනක ගාස්තුව රු.200 - 250 දක්වාත් වහාම වැඩි වුනි. ගෘහ විදුලි පරිභෝජන ගාස්තු ආසන්න වශයෙන් දෙගුනයක් වී ඇත. ඟා

ධීවරයන් ඇතුලු දුගීන් සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව සලකන සහ මෙතෙක් පැවති සියලු ආන්ඩු සලකා ඇති ආකාරය ධීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බරපතල නොතැකීමෙන්ම පැහැදිලි වේ.

විපතට තුඩු දුන් කාලගුනික විපර්යාසය ගැන කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව හෝ අදාල ආයතනයකින් ධීවරයන් දැනුවත් කර නො තිබිනි. අඩුම තරමින් සුලඟ දැඩි වූ මොහොතේ සිට කි‍්‍රයාත්මක වූයේ නම් බොහෝ ගනනකගේ ජීවිත බේරගැනීමට අවස්ථාව පැවතුනි. එහෙත් අදාල අංශ හිරු උදාවී තවත් හෝරා ගනනක් ගෙවී යන්නට ඉඩ හැරියේ ය. මෙයින් කෝපාවිෂ්ඨ ජනයා කොලඹ මාතර වෙරලබඩ දුම්රිය මාර්ගය දෙහිවල දී හරස් කර දුම්රිය ගමනාගමනය නතර කරමින් වහා මැදිහත් වන ලෙස බල කලහ.

පුවත් පත් වාර්තා කරන පරිදි ධීවර ඇමති රාජිත සේනාරත්න "සුලි කුනාටුව ඇති වී ප‍්‍රථම පැය කිහිපය තුලදී මුහුද දැඩි රලු බවක් තිබුනත්. ඒ තත්වය පසෙක ලා නාවික හමුදාව හා ගුවන් හමුදාව මෙහෙයුම් සිදු කලා”යි පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර ඇත. මෙය තුච්ඡ බොරුවකි.

ආන්ඩුව බෙල් 142 හා වයි 12 මගී හා භාන්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් හා නාවික යාත‍්‍රා යෙදවීම සිදු කරන විට කාලය අවසානයකට ලඟා වී පැවතුනි. සිදු කරන ලද මෙහෙයුම පෙන්නුම් කලේ විපතට පත් ජනයා ගලවා ගැනීම කෙසේ වෙතත් මහජන අප‍්‍රසාදයෙන් ගැලවී ගැනීමේ ප‍්‍රයත්නයකි.

කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ලාබ නොලබන, අත්‍යවශ්‍ය සේවාවක් නඩත්තු කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම ආන්ඩුවේ මෙම ආර්ථික වැඩ පිලිවෙල යටතේ සිදු නොවන්නකි.

තමන් කටයුතු කරනුයේ කාලගුන විද්‍යඥයන් 17ක හා සෙසු නිලධරයන් 63ක පුරප්පාඩු පවතිද්දී ය යි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. ජයසේකර හෙලි කලේ ය. ආයතනය භාවිත කරන ඩුප්ලෝ රීඩර් යන්ත‍්‍රය වසර සියයකට වඩා පැරනි එකකි. අත්‍යවශ්‍ය උපකරන හිඟ බව ආපදාකලමනාකරන අමාත්‍යංශය ද පිලිගෙන ඇත.

මේ තතු යටතේ, ධීවර වෘත්තිය සමිති ඒකාබද්ධ වී සිටින වෘත්තිය සමිති මහා සම්මේලනයේ සම කැඳවුම්කරුවකු වන සමන් රත්නප‍්‍රිය, ධීවරයන්ට පිලිගත හැකි වන්දියක් දෙන මෙන් ආන්ඩුවෙන් ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කිරීමට පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ඇත.

ධනපති පන්තියේ ඝෘජු උපකරන බවට පත්ව ඇති මෙම වෘත්තීය සමිති වැඩට බැස සිටින්නේ ආන්ඩුවෙන් යැදීමේ වට වංගු තුල ධීවරයන් සිරකොට ආන්ඩුවටත් ධනපති ක‍්‍රමයටත් එරෙහිව වැඩෙන විරුද්ධත්වය වාෂ්ප කර දැමීමටයි.

Share this article: