කටුනායක පැලා සමාගම වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කල කම්කරුවන් දොට්ට දමයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2013 ජූලි 17

වැඩ වර්ජනයේ යෙදුනු කම්කරුවන්ගෙන් කොටසක්

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පාවහන් නිෂ්පාදනය කරන පැලා සමාගම රුපියල් දහසක වාර්ෂික වැටුප් වැඩිවීම දෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනයේ යෙදුනු කම්කරුවන් රැකියාවලින් දොට්ට දමා ඇත. සමාගමේ 250කට අධික කම්කරුවෝ මෙම වාර්ෂික වැටුප් වැඩි කිරීම නො ගෙවීම හේතුවෙන් මේ මස 3 දා වර්ජනයක් අරඹා නිදහස් වෙලඳ කලාපය ඉදිරිපිට විරෝධතාවල නිරතව සිටිති .

ආන්ඩුවේ බලධාරීන් හා වෘත්තීය සමිති කම්කරු අරගලය මැඩපැවත්වීම සඳහාත් ඊට නිදහස් වෙලඳ කලාපයේ අනෙකුත් කම්කරුවන්ගේ සහයෝගය ගොඩනැගීම වැලැක්වීම සඳහාත් වැඩට බැසගෙන තිබේ.

කම්කරුවන්, සමාගමේ සේවක සභාව මගින් තම අයිතීන් වෙනුවෙන් මැදිහත් වු නමුත් පාලනාධිකාරීය ඔවුන්ගේ ඉල්ලීම් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කොට තිබේ. නිවෙක තුල පවත්නා මෙම සේවක සභා නියෝජනය කරන්නේ හාම්පුතුන්ගේ අවශ්‍යතාවන්ය. "අනවසරයෙන් වැඩ නතර කිරීම" මගින් සමාගම සමග පැවති ගිවිසුම් උල්ලංඝනය කලේ යයි පවසමින් වැඩවර්ජනය කල දිනයේ සිට කම්හලේ සියලු කම්කරුවන්ගේ සේවය අත්හිටුවීමට තීන්දු කර පරිපාලනය සියලු කම්කරුවන් වෙත සේවය අවසන් කිරීමේ ලිපි යවා තිබේ.

අඟහරුවාදා කොලඹ කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් සමග පැවැත්වීමට තිබුනු සාකච්ඡාවට කම්හලේ හාම්පුතුන් නියෝජනය කරමින් නීතිඥයන් දෙදෙනෙක් සමග පැමිනි පිරිස් කලමනාකරු ප‍්‍රකාශ කොට ඇත්තේ කම්කරුවන් රැකියාවලින් නෙරපා ඇති නිසා ඔවුන් සමග කිසිදු සාකච්ඡාවක් නොමැති බවයි. කම්කරුවන්ට රැකියාව නැවත ලබා දෙන්නේ නවක සේවකයන් ලෙස බවද ඔහු පවසා ඇත.

නිදහස් වෙලඳ කලාපයේ බදු හා අනෙකුත් සහන ලබාගනිමින් පටන්ගත් ඉතාලි සමාගමක් වන පැලා දැන් එන්වයරන්මන්ට් රිසෝසස් සහ ඉන්වෙස්ට්මෙන්ට් නමැති සමාගම යටතේ පාලනය වෙයි. මෙම කම්හලේ නිෂ්පාදන ප‍්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ යුරෝපා වෙලඳපලටයි. යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදය තුල වෙලඳ පල හැකිලීමේ කොන්දේසී යටතේ නිදහස් වෙලඳ කලාපයේ අනෙකුත් කම්හල් මෙන්ම පැලා කම්හලේ ද දරුනු ශ‍්‍රම සුරාකෑමක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට ආයෝජන මන්ඩලය රෙකමදාරු කර ඇති රුපියල් දාහක සොච්චම් වැටුප් දීමනාව ද ලබා දී නැත.

මේ මස තුන් වනදා රුපියල් පන්සීයකින් හෝ පඩි දීමනාව වැඩි කරන ලෙස කම්කරුවන් කම්හලේ මානව සම්පත් කලමනාකරු මගින් ඉල්ලා සිටියේ ආන්ඩුව බඩුමිල එක එල්ලේ ඉහල දමද්දී ජීවන තත්වයන් ගැට ගසා ගැනීම බරපතල ප්‍රශ්නයක්ව මතුවී ඇති තතු තුලය. රැකියාවලින් දොට්ට දමා සමාගමේ රුදුරු ප්‍රහාරයකට ලක්වී සිටින කම්කරුවන්ගේ දැන් ඉල්ලීම වී ඇත්තේ වර්ජනය කල දින සඳහා වැටුප් ගෙවා නැවත රැකියාව ලබා දෙනු යන්නයි.

කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සඳහා ගෙන ඇති උපායක් ලෙස කම්හල් පාලනාධිකාරිය මෑන් පවර් නමැති කොන්ත්‍රාත් කම්කරුවන් සපයන ආයතනයෙන් දිනකට රුපියල් දාහ බැගින් ගෙවා කම්කරුවන් රැකියාවේ යොදවා ඇති බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්වෙත අදහස් දැක්වු කම්කරුවෝ ප‍්‍රකාශ කලහ. ඒ අනුව සියලුම කම්කරුවන්ට දිනකට එක් ලක්ෂ තිස් දාහක් වැයවන බවත් දිනකට මේච්චර මුදලක් තාවකාලික කම්කරුවන්ට ගෙවන්න පුලුවන් නම් අපේ වැටුප් වැඩිවීම රුපියල් පන්සියය දෙන්න බැරි ඇයි දැයි කම්කරුවන් ප‍්‍රශ්න කල විට පාලනාධිකරිය ප‍්‍රකාශ කොට ඇත්තේ පාරිතෝෂික, අතිකාල, අර්ථසාධක සහ අනෙකුත් දීමනා ගෙවන්න අවශ්‍ය නැති නිසා මේ ක‍්‍රමය ලාභදායක බවයි.

සමාගමේ ඉලක්කය ස්ථීර කම්කරුවන් දොට්ට දමා මූලික වැටුප් අයිතීන් කප්පාදුකල කම්කරුවන් යොදවා රුදුරු සූරාකෑමක් ගෙනයන ක්‍රමයක් ස්ථාපිත කර ගැනීමයි.

කම්හලේ සූරාකෑමේ කොන්දේසි විස්තර කල එක් කම්කරුවෙක් මෙසේ පැවැසුවේය: "අවුරුදු 8 ක් 9 ක් වැඩ කරපු කෙනෙක්ට තමයි රුපියල් 16,000 ක් විතර වැටුපක් ලැබෙන්නේ. මේ වැටුපෙන් කොහොමටවත් ජීවත් වෙන්න බෑ. දැන් මේ කම්හලේ අතිකාල ඇත්තෙත් නෑ. පැමිනීමේ දීමනාව රුපියල් පන්සීයයි. බඩු මිල, විදුලි බිල අනෙකුත් හැම වියදමක්ම ඉහල ගිහින් තියෙන තත්වයක දී ආයෝජන මන්ඩලයෙන් වැඩි කරන රුපියල් දාහත් කොහෙත්ම සෑහෙන්නේ නෑ. එහෙම තියෙද්දිත් අපි අඩියක් පස්සට අරගෙන අපි රුපියල් පන්සියයක් ඉල්ලූවා. ඒක දුන්නෙත් නෑ.”

තවත් කම්කරුවෙක් අදහස් දක්වමින් ජීවන කොන්දේසි ගැන මෙසේ ප්‍රකාශ කලේය: "මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක ලමයෙක් තුන වසරේ ඉගෙන ගන්නවා. පොඩි අත දරුවාට අවුරුද්දයි. බිරිඳ ගෘහනියක්. 23,000 ක් වන මගේ මුලූ වැටුපෙන් අර්ථ සාධක හා ගත්තු නයවලට කැපිලා අතට ලැබෙන්නේ රුපියල් නවදාහයි. කරෝල සම්බෝල එක්ක බත් කනවා ඇරෙන්න මේ මුදලෙන් වෙන කිසිම දෙයක් කරන්න බෑ. ගෙයක් හදාගන්න කියලා ඉන්නවා, ඒවා කරන්න මේ පඩියෙන් නම් බෑ. අපි බලන්නේ කන්නේ අඳින්නේ නැතුව දරුවන්ට උගන්න ගන්න පුලුවන් ද කියලා විතරයි. බයික් එකට පෙට්‍රල් ගහන්නවත් වෙලාවකට සල්ලි නෑ. ඉහල නිලධාරින් රුපියල් ලක්ෂ එකහමාරක් විතර පඩි ගන්නවා, කාර් වලින් යන්නේ.

එම කම්කරුවා පවත්නා මර්දන කොන්දේසි ද පැහැදිලි කලේ ය : "පසුගිය දවස්වල කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරපු හත් අටදෙනෙක්ව රැකියාවෙන් දොට්ට දාලා තියෙනවා. තව කීප දෙනෙකුගේ ලැයිස්තුවක් ලඟ තියා ගෙන ඉන්නවා. අපේ අරගලයට දැනට සති දෙකක් විතර වෙනවා. ජන මාධ්‍ය තමන් නොතකා හැරීම ගැන ද ඔහු චෝදනා කලේ ය. "කිසිම මාධ්‍යයකින් මේවා ප‍්‍රසිද්ධ කෙරුවේ නෑ. අපිට එක් පුද්ගලික රූපවාහිනි නාලිකාවක ප‍්‍රාදේශීය වාර්තාකරුවෙක් කිව්වා 'ඕවා වාර්තා කෙරුවොත් අපිට හතරවෙනි තට්ටුවට (පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය) යන්න වෙනවා කියලා. දැනටත් අපේ හතර වටේටම සීඅයිඩී එක දාලා ඉන්නේ.”

කම්කරුවන් සිටින්නේ වෘත්තීය සමිති පිලිබඳ විශාල විස්වාස භන්ගයකිනි. "රැකියාවෙන් එලියට දාලා කියලා අපේ අතට ලිපිය ලැබුනට පස්සේ නීතිමය කටයුතු කර ගන්න තමයි සමිතියකට බැඳෙන්න තීන්දු කෙරුවේ. දැන් අපි ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය සමග සම්බන්ධ වෙලා තියෙනවා.”

රාජපක්ෂ ආන්ඩුව හා කම්හල් හිමියන් වෙනුවෙන් පෙනී සිටින ඇන්ටන් මාකස් දැන් කම්කරුවන් නොමග යැවීම සඳහා කම්කරු කොමසාරිස් සමග සාකච්ඡා සංවිධානය කරමින් සිටී.

රැකියාවෙන් ඉවත දමා සිටින කම්කරුවන් ආරක්ෂා කිරීමට නම් මෙවැනිම කොන්දේසිවලට මුහුන දී සිටින නිදහස් වෙලඳ කලාපයේ හා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය සමාජවාදී වැඩපිලිවෙලක් මත ගොනු කල යුතු ය. එම වැඩපිලිවෙලට හතුරු ඇන්ටන් මාකස් කම්කරුවන් ගේ කර උඩට වගකීම පවරා ප‍්‍රකාශ කර තිබෙන්නේ "ලමයි [කම්කරුවන්] එක තීරනයක ඉන්නවා නම් මොනවා හරි කරන්න පුලුවන්” යනුවෙනි.

මාකස් ආන්ඩුව අටවා ඇති ත්‍රෛ පාර්ශවික කමිටුව --කම්කරු කොමසාරිස්, සමාගම් හා වෘත්තීය සමිති එකතුව- තුල වැඩකර ඇත්තේ රැකියා වැටුප් හා සේවා කොන්දේසි සමාගම් වලට ලාබදායී ලෙස පවත්වා ගෙන යාමට උපදෙස් දීමටයි. 2008 ලෝක මුල්‍ය අර්බුදය බල පෑම නිසා රැකියා අහෝසි කෙරෙන විට ඔහු ඉහත කී කමිටුවේ සිටිමින් උපදෙස් දුන්නේය.

පැලා සමාගමේ ප්‍රහාරය, ගෝලීය ආර්ථික අර්බුදය නිසා ලංකාවේ ඇඟලුම් ඇතුලු අපනයන සඳහා පවතින ඉල්ලුම සීග‍්‍රයෙන් කඩා වැටෙන තතු තුල එය කම්කරුවන් මත පැටවීමේ ප්‍රතිඵලයකි. දැන්, ආසියාව පුරාම අපනයන ඇතුලු ඇඟලුම් කර්මාන්තය මුහුන දී ඇත්තේ බරපතල අර්බුදයකටය. කම්හල් වසා දැමීමෙන් රැකියා අහෝසිය හා සූරාකෑම වේගවත් කිරීම ඉහල යමින් තිබේ.

Share this article: