ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථා වෙනස්කම් ඉන්දියාව සමග ආතතීන් ඉහල නංවයි

Sri Lankan constitutional changes raise tensions with India

වසන්ත රූපසිංහ විසිනි, 2013 ජූලි 24

ඉන්දියාවේ විරුද්ධත්වය හමුවේ, ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ පලාත් සභාවල බලතල අඩු කිරීමේ අරමුනින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට ගෙන ආ යෝජනා අඩුම වසයෙන් දැනට කල්දමා තිබේ.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නිරායුධ කිරීම සඳහා දෙරට විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම යටතේ 1987 නොවැම්බර් මාසයේ දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන ලදි. පලාත් මට්ටමින් සීමිත බලය බෙදීම දිවයිනේ සිංහල හා දෙමල ප‍්‍රභූන් අතර බලය බෙදා ගැනීමේ පිලිවෙලක් තහවුරු කිරීමක් විය.

2009 වසරේ එල්ටීටීඊ සංවිධානය පරාජය කල ආන්ඩුව පොලිස් හා ඉඩම් බලතල හා යාබද පලාත්සභාවන් ඒකාබද්ධ කිරීමට ඇති බලතල ඇතුලු පලාත් සභාවලට දී තිබූ බලතල ආපසු ගැනීමට වෑයම් කරමින් සිටී. ඒ අතරම කප්පාදු පිලිවෙත් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටු කිරීමට අදිටන් කරගෙන සිටින රාජපක්ෂ දෙමල-විරෝධී වර්ගවාදය ඇවිස්සීමට මෙම ප‍්‍රශ්නය ගසාකයි.

ශ‍්‍රී ලංකාවේ දෙමල ජනයාට සලකන ආකාරය සම්බන්ධයෙන් දකුනු ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයේ දැඩි විරුද්ධත්වයට පාත‍්‍රව සිටින ඉන්දියානු ආන්ඩුව යෝජිත වෙනස්කම්වලට විරුද්ධත්වය පලකර තිබේ. ජූලි 4 වෙනි දින ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට කල සංචාරයෙන් ද ඉක්බිතිව ජූලි 8-9 ඉන්දියානු ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් කොලඹට කල දෙදින සංචාරයෙන් ද දෙරට අතර හැප්පීම සමථයකට පත් කිරීමට හැකි වී නැත .

1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර ඇත්තේ ස්වෛරී රාජ්‍ය දෙකක් අතර හෙයින් එය ක‍්‍රියාත්මක කිරීමට දෙරට ම බැඳී ඇති බව බැසිල් රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දීය අග‍්‍රාමාත්‍ය කාර්යාල කටයුතු අමාත්‍ය වී. නාරායනසාමි බීබීසී පුවත්සේවයට ප‍්‍රකාශ කලේය. එක රටකට ඒකපාර්ශවීයව ගිවිසුම අවලංගු කිරීමට හැකියාවක් ඇත්තේ නැත,’’යි ඔහු සඳහන් කලේ ය.

ශිව් ශංකර් මෙනන්, කොලඹදී ජනාධිපති රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වුවේ ය. ශ‍්‍රී ලංකාවේ දිග්ගැස්සුන යුද්ධයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට ආන්ඩුව ඉන්දියාවට හා අනෙකුත් බලවතුන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බැඳී සිටිය යුතුයැයි ඔහු කීවේ ය. මෙනන්, පලාත් සභා බලතල මොනයම්ම හෝ ආකාරයෙන් අඩු කිරීමට විරුද්ධත්වය දක්වන දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ (එස්එල්එම්සී) නායකයන්ද මුන ගැසුනේ ය.

මෙකී සංචාරවලින් අනතුරුව රාජපක්ෂ ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාමය වෙනස්කම් පසෙකින් තැබුවේ, පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් හරහා මාස හයක් ඇතුලත ප‍්‍රශ්නය පිලිබඳ වාර්තාවක් තමන් බලාපොරොත්තු වන බව ප‍්‍රකාශ කරමිනි. ඉන්දියාවේ නම සඳහන් නොකරම ඔහු කීවේ, තමන් "ජාත්‍යන්තර ප‍්‍රජාවට" කිසිවක් පොරොන්දු නො වූ බවයි.

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ, එල්ටීටීඊ සංවිධානය හා ශ‍්‍රී ලංකා මිලිටරිය අතර උත්සන්න වෙමින් පැවැති යුද්ධයක් මධ්‍යයේ ය. අර්බුදය ඉන්දියාව තුල අස්ථාවරත්වයක් ඇති කරනු ඇතිය යන භීතියෙන් එල්ටීටීඊය නිරායුධ කිරීමට ඉන්දියානු "සාමසාධක" භටයන් එවූ නව දිල්ලිය, ඒකාබද්ධ කල උතුරු හා නැගෙනහිර පලාත්සභාවක පලාත්බද බලය බෙදීමේ පැකේජයක් පැටවූයේ ය. රටේ දකුනේ කම්කරු පන්තිය හා ගම්බද තරුනයින් අතර පැනනැගි නොසන්සුන්තා මර්දනය කිරීමට මිලිටරි භටයින් එම පලාත්වලට දිගේලි කිරීමට ගිවිසුමෙන් ඉඩ සැලසුනි. ආරක්ෂක බලකායන් සමග හවුලේ වැඩ කල ආන්ඩුගැති මැර කල්ලි ගම්බද තරුනයින් 60,000 පමන ඝාතනය කලහ.

එදා මෙන් ම දැනුදු, ඉන්දියාවේ කනස්සල්ල දෙමල මහජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ලබාදීම නොව, දිවයිනේ උතුරේ හා නැගෙනහිර දෙපලාත තුල කොලඹ ආන්ඩුවේ අඛන්ඩ මිලිටරි වාඩිලා සිටීම තමිල්නාඩුව තුල කැරැලි පැනනංවනු ඇතැයි යන කාරානාව යි. ඒ සියල්ලටමත් වඩා, ඉන්දියාව බියට පත් වන්නේ, රාජපක්ෂ ඉන්දු-ලංකා ගිවිසුම නොතකා හලහොත්, කලාපීය බලවතෙක් වසයෙන් එහි ස්ථාවරත්වය හා කොලඹ තුල එහි අධිකාරිය අහෝසි වේය යන්න ගැන ය.

ඉන්දියාව විසින් කලාපීය ප‍්‍රතිමල්ලවයෙක් වසයෙන් සලකන චීනය හා ශ‍්‍රී ලංකාව අතර වැඩෙන සබඳතා පිලිබඳ නව දිල්ලිය කනස්සල්ලට පත්ව සිටී. එක්සත් ජනපදය හා යුරෝපියානු බලවතුන් සමග එකාබද්ධ වෙමින් එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට ඉන්දියාව පූර්න පිටුබලය දී තිබුනත්, දැන් එය චීනයෙන් ඈත්වන ලෙස කොලඹ ආන්ඩුවට බලකිරීමට ශ‍්‍රී ලංකා මිලිටරියේ ගොරතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගසා කයි.

ශ‍්‍රී ලංකා ආන්ඩුව එක් පැත්තකින් ඉන්දියාව හා එක්සත් ජනපදයත් අනෙක් පැත්තෙන් චීනයත් තුලනය වීමට වෑයම් කරයි. ඒ අතරම රාජපක්ෂ උත්සාහ දරන්නේ, විදෙස් ආයෝජන වඩවඩාත් ඇද ගැනීම පිනිස කඩිනම් වෙලඳපොල හිතැති ප‍්‍රතිව්‍යුහකරනයන් සිදු කිරීමේ ඔහුගේ වැඩපිලිවෙලේ කොටසක් වසයෙන් කොලඹ තුල දේශපාලන බලය සංකේන්ද්‍රනය කරගැනීමට යි.

පෙර පැවැති කොලඹ පාලනතන්ත‍්‍ර මෙන්ම, රාජපක්ෂ ආන්ඩුව ද දෙමල ප‍්‍රභූවට මොනයම්ම හෝ සහනයක් දීමට රුදුරු ලෙස සතුරු වන අතර ම 13 වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව කරන ඉල්ලීමට එරෙහිව දෙමල විරෝධී හා ඉන්දියන් විරෝධී මනෝගතීන් උත්සන්න කරමින් සිටී.

ඔහුගේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් කම්කරුවන් හා තරුනයින් අතර වෛරය ඇවිස්සවීමට තුඩු දී තිබෙන තතු යටතේ, කම්කරු පන්තිය බෙදීමට රාජපක්ෂ වාර්ගික හතුරුකම් අවුලුවයි. සති දෙකකට පෙරාතුව දින දෙකක් තිස්සේ දුම්රිය ගමනාගමනය අත්හිටුවමින් දුම්රිය කම්කරුවන්ගෙන් කොටසක් වැඩ වර්ජනය කලේ ය. පසුගිය සතියේදී, වැඩි වැටුප් ඉල්ලා රෝහල් හෙද සේවක සේවිකාවෝ වැඩ වැරූහ. පෞද්ගලික අධ්‍යාපනය තවදුරටත් පුලුල් කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව දහස් ගනනක් ශිෂ්‍යයෝ තමන්ගේ අඛන්ඩ විරෝධතාවල යෙදී සිටිති.

ජාතික හෙල උරුමය හා ජාතික නිදහස් පෙරමුන ඇතුලු රාජපක්ෂගේ පාලක සන්ධානයේ සිංහල අන්තවාදී කන්ඩායම් ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රුදුරු වාර්ගික උද්ඝෝෂනයක නිරතව සිටියි. මෙම උද්ඝෝෂනය උත්සන්න කිරීමට ඊනියා "ජාතික එකමුතුවක්” පිහිටුවා ගැනීම සඳහා ජාතික හෙල උරුමය, බොදුබල සේනා සංවිධානය වැනි අනෙකුත් කල්ලි සමග ඒකාබද්ධ වී ඇත.

"ඉන්දියාවට යටත්වීම” ගැන ආන්ඩුවට චෝදනා කරමින් හා 13 වන සංශෝධනය අහෝසි කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ සිටින ජේවීපීය වාර්ගවාදී හඬතැලීම්වල එක්ව සිටියි.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ එහි ව්‍යාජ වාම සගයන් වන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය 13 වන සංශෝධනය මුලුමනින්ම ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා රැලි කීපයක් පවත්වා තිබේ.

දෙමල විරෝධී වෙනස්කම් කිරීම් අවසන් කිරීමට හෝ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ආරක්ෂා කිරීමට මෙකී විරෝධතා කිසිවක් සිදුකර නැත. ශ‍්‍රී ලංකාවේ ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමෙහිලා හොඳම මාර්ගය ලෙස සලකන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙන්ම ඉන්දියාව හා යුරෝපීය බලවතුන් සමග එජාපය පෙලගැසී සිටියි.

ප‍්‍රධාන බලවතුන් හා දකුනු ආසියාව තුල ඔවුන්ගේ මූලෝපායික අවශ්‍යතාවලට පිටුබලය දෙන මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය කම්කරු පන්තිය විසින් ප‍්‍රතික්ෂේප කල යුතු ය. එමෙන් ම කම්කරු පන්තිය බෙදීමට රාජපක්ෂ ආන්ඩුවේ විෂකුරු වාර්ගික කැඳවුම් ද ඔවුහු ප‍්‍රතික්ෂේප කල යුත්තාහ.

දෙමල මහජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රිය අයිතීන් සඳහා සටන් වැදීමට ඇත්තේ එක් ප‍්‍රගතිශීලී මාවතක් පමනි. එය නම්, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීමේ අරගලයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වැදීමට ඉන්දියාවේ ද ඇතුලු සමස්ථ දකුනු ආසියාව පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග සිංහල හා දෙමල කම්කරුවන් ඒකාබද්ධ වීම යි.

Share this article: