දුම්රිය සමිති, සේවක අරගලය නතර කරති

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 ජුලි 11

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය සේවකයන් 2,500ක් පමන ඉරිදා මධ්‍යම රාති‍්‍රයේ සිට ඇරඹූ පැය 48 වර්ජනයක් ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම සමග පැවැත්වූ නිරර්ථක සාකච්ඡාවකින් පසුව වෘත්තීය සමිති නායකයන් විසින් නියමිත කාලයටත් පෙරාතුව නතර කර දැමීය. ඉල්ලීම් නොලැබුනහොත් සති දෙකකින් යලි වර්ජනය කරන බව සමිති නායකයන් ප‍්‍රකාශ කර ඇත්තේ සාමාජිකයන්ගේ ඇස්වලට වැලි ගැසීම සඳහා ය.

වතාවල් ගනනාවක් ම අවසන් මොහොතේ වර්ජන තීන්දුව අත්හැර දැමූ සමිතිවලට මෙවර වර්ජනය පැවැත්වීමට බල කෙරුනි. අතිශයින්ම සීමා කෙරුනු වර්ජනය කැඳවනු ලැබුවේ ඉල්ලීම් යට ගැසීම ගැන සමිති කෙරෙහි ද ජීවන වියදම් එක එල්ලේ ඉහල දැමෙන තතු යටතේ ආන්ඩුව කෙරෙහි ද දුම්රිය සේවකයන් අතර විරෝධය වැඩෙන තතු තුල එය වාෂ්ප කර දැමීම සඳහා ය.

වර්ජනය කැඳවූයේ දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියදුරු සහ අධීක්ෂන ඇතුලු සේවක කන්ඩායම් අතර පිහිටුවා ගෙන ඇති සමිතිවල ශ්‍රේනිගත වෘත්තීය සමිති එකමුතුව විසිනි. මාස 15ක් ආන්ඩුව හා වැටුප් කොමිසම සමග කල සාකච්ඡා බිඳවැටීමෙන් පසුව වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගය ගත්තේ යයි සඳුදා පැවති මාධ්‍ය හමුවක දී සමිති නායකයෝ පිලිගත්හ. එහි තේරුම නම්, අරගලයන් වලක්වා ගැනීමේ නිරර්ථක වෑයමක් ඔස්සේ දුම්රිය සේවකයන් රඳවා තැබීමට සමිති නිලධරය දිගින් දිගටම කි‍්‍රයා කල බවයි.

මීට පෙර මෙන් ම, මෙවර ද වර්ජනය නතර කලේ "සාධාරන විසඳුමක්” දෙන බවට ආන්ඩුව පොරොන්දු වූ බවක් හුවා දක්වමිනි.

එහෙත් ඇත්ත වසයෙන් ම දුම්රිය වෘත්තීය සමිතිත් ආන්ඩුවත් යෙදීගන සිටියේ ඊනියා සාකච්චා සහ පොරොන්දු මගින් දුම්රිය සේවකයන්ගේ වැටුප් අරගලයක් පුපුරායාම වලකා ලීමේ අන්‍යොන්‍ය වසයෙන් දැනුවත් ක‍්‍රියාවලියකය. වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනා ගමනය මුලුමනින්ම පාහේ ඇන හිටියේ ය. සමිති කි‍්‍රයාවට පෙර දින "වර්ජනයට ආන්ඩුව බය නෑ” යයි ප‍්‍රවාහන ඇමති පාරම්බෑවත් පසුදා ඔහු වර්ජනය නතර කර ගැනීමට සමිතිවල සහාය කැඳවා ගත්තේ ය.

දුම්රිය සේවකයන් හා රාජ්‍ය අංශයේ සමාන්තර ශ්‍රේනි අතර පවතින වැටුප් විෂමතාවය ඉවත් කර සම වැටුප් තලයක පිහිටු වීම වර්ජිත දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම වුයේ ය. වර්ජිත දුම්රිය සේවක ශ්‍රේනිවල වර්තමාන ආරම්භක මූලික වැටුප රුපියල් 15,005 කි. රාජ්‍ය අංශයේ සෙසු සමාන්තර ශ්‍රේනිවල ආරම්භක මූලික වැටුප රුපියල් 16,700 ක් වේ. 2006 වසරට පෙර සිට ම මෙම වැටුප් විෂමතාවය පවතින අතර 2006/6 චක‍්‍ර ලේඛය මගින් සිදු කල රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමෙන් පසු එම විෂමතාවය තවත් පුලුල් වූ බව ශ්‍රේනිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම් කරු ජානක ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කලේ ය.

වැටුප් විෂමතාවයන් ඉවත් කරන ලෙස ඉල්ලා 2006 ට පෙර සිට ම දුම්රිය වෘත්තීය සමිති විවිධාකාර උද්ඝෝෂන හා සාකච්ඡා මගින් ආන්ඩුව සමග කේවලයේ යෙදුනි. එහෙත් එකී උද්ඝෝෂනවල අරමුන වුයේ ආන්ඩුවට බල පෑම් දමා වැටුප් ඉල්ලීම් දිනා ගැනීමේ මිත්‍යාවකට දුම්රිය සේවකයන් කොටු කර වැටුප් සඳහා දැනුවත් හා ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වලකා ලීම ය. අවුරුදු 7ක් තිස්සේ වෘත්තීය සමිති වැටුප් ඉල්ලීම් පාවාදීගෙන සිටියහ.

වැටුප් ඉල්ලීම් මත දුම්රිය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වලකන ශ්‍රේනිවාදී බෙදීම් ද සමිති නායකනයකයන් විසින් දනුවත් ව නිර්මානය කර ඇත. ඉහල සහ පහල ශ්‍රේනිවලට පොදුවේ වැටුප් විෂමතාවය පිලිබඳ ගැටලුව ඇතත් සංවිධානය කරන සීමිත උද්ඝෝෂනයන් පවා සංවිධානය කෙරෙන්නේ මෙම ශ්‍රේනිවාදී බෙදීම් මතය. ප‍්‍රාථමික ශ්‍රේනිවල දුම්රිය සේවකයන්ගේ එක්දින වර්ජනයක් සහ වැටුප් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂනයක් ජුනි 15 වෙනමත් ඉහල ශ්‍රේනිවල සේවකයන්ගේ වර්ජනයක් වෙනමත් සංවිධානය කෙරුනේ ද එහි ප‍්‍රතිපලයක් ලෙසය.

වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම පිලිබඳ ඉල්ලීම ම භේදකාරී හා කම්කරු පන්තියේ විවිධ ස්ථර අතර ගැටීම් නිර්මානය කරන ඉල්ලීමකි. ධනපති ආන්ඩුව වැටුප් විෂමතාව හිතාමතාම නිර්මානය කලේ කම්කරු පන්තිය භේද කර තැබීමේ උවමනාවෙනි. ශ්‍රේනිවාදී උසිගැන්වීම් මගින් සමිති නායකයන් කරන්නේ ආන්ඩුවේ උගුලට කම්කරු පන්තිය කොටුකර තැබීමකි. කම්කරු පන්තියේ ඉල්ලීම විය යුත්තේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම නොව: ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපකි.

රාජ්‍ය අංශයේ සමාන්තර ශ්‍රේනිවල සෙසු සේවකයන් "ප‍්‍රශ්න මතු කිරීමට” ඉඩ ඇති හෙයින් දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම ඉටු කල නොහැකි බව වැටුප් කොමිසම පවසා ඇත. ඉල්ලීම යම් ප‍්‍රමානයකින් කප්පාදු කිරීමට වෘත්තීය සමිති එකඟ බව ජානක ප‍්‍රනාන්දු ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ ය. කෙසේවුව ද වැටුප් කොමිසමේ එකඟතාවයක් ලැබී නැත. ජනාධිපති ලේකම්වරයා යෝජිත ඉල්ලීම දීමට එකඟ වී සිටි නමුත් කිසිවෙකු විසින් ඔහුව "නොමග” යවා ඇතැයි ප‍්‍රනාන්දු මාධ්‍යවලට පවසා ආන්ඩුවට සුදු හුනු ගා තිබුනි.

ඇත්ත කතාව නම්, ආන්ඩුව වැටුප් ඉල්ලීම ඉටු කිරීම දිගටම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. මෙය සියලුම රාජ්‍ය අංශවල කම්කරුවන් සම්බන්ධයෙන් ආන්ඩුව ගෙනයන ප‍්‍රතිපත්තියයි. ලෝක ආර්ථික අර්බුදයේ ප‍්‍රතිපලයක් ලෙස බරපතල මුල්‍ය අර්බුදයකට මුහුන දී සිටීමත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව රාජ්‍ය වියදම් කැපීමට තීන්දු ගෙන තිබීමත් යටතේ දුම්රිය හෝ රාජ්‍ය අංශයේ කිසිම කොටසකට වැටුප් වැඩි කිරීමට ආන්ඩුව සුදානම් නැත.

දුම්රිය දෙපාර්තමේන්තුවත් ඇතුලුව අලාබ ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම රාජ්‍ය වියදම් කප්පාදු පිලිවෙතේ ම කොටසකි. ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මෑතදී පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කල ආකාරයට 2005 සිට පසු ගිය වසර 7 තුල දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාබය රුපියල් බිලියන 28.3කි.

2006 සිට ම මහින්ද රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමමින් සිටින්නේ වැටුප් වැඩි කිරීම් නොව, ජීවන වියදම් වැඩි කිරීම මගින් වැටුප් කප්පාදු කිරීමේ පිලිවෙතකි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වේවා, ප‍්‍රවාහන ඇමති හෝ වැටුප් කොමිසම වේවා ක‍්‍රියාවට දමන්නේ මෙම පිලිවෙතයි. හුදෙක් වැටුප් කොමිසමට දෝෂාරෝපනය කිරීම් මගින් සමිති නායකයන් කරන්නේ වැටුප් කොමිසමත් ඇතුලුව සමස්තයක් ලෙස ආන්ඩුව කි‍්‍රයාවට දමන කප්පාදු පිලිවෙත දුම්රිය කම්කරුවන්ගෙන් වසන් කිරීමකි.

වැටුප් වැඩි නොකිරීමත්, ජීවන වියදම නොකඩවා ඉහල යාමත් නිසා දුම්රිය සේවකයන් මෙන් ම අවශේෂ කම්කරුවන් තුල ද වැටුප් ඉල්ලීම් යලි යලිත් මතුවෙයි. රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි විරසකභාවයක් සහ පිපිරෙනසුලු සමාජ ආතතියක් පොදුවේ කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් තිබේ. කම්කරු පන්තියේ අරගල පුපුරායාම කෙරෙහි ආන්ඩුවත්, වෘත්තීය සමිති නායකයෝත් දක්වන්නේ භීතියකි.

වර්ජනය නතර කර සාකච්ඡාවට එන ලෙස දුම්රිය සමිතිවලට කොන්දේසියක් පැනවීම මගින් නිශ්චිතව ම ඇඟවුම් කර ඇත්තේ එහි ආර්ථික කප්පාදු පිලිවෙත්වලට එරෙහි කිසිදු විරුද්ධත්වයක් ඉවසීමට ආන්ඩුව සුදානම් නැති බවයි.

Share this article: