නීති විරෝධී ලෙස ඔත්තු බැලීම් පිලිබඳ සාක්ෂි ගොනුවෙද්දී ඩිමොක්‍රටිකයෝ ස්නෝඩන්ට එරෙහි උද්ඝෝෂනයේ පෙරමුන ගනිති

Democrats spearhead campaign against Snowden as evidence of illegal spying mounts

තෝමස් ගේස්ට් විසිනි, 2013 ජූනි 15

මාධ්‍යවලින් ලද අනුබලයෙන් ද පොලඹවනු ලදුව එක්සත් ජනපද රජය, මහා පරිමාන හා නීති විරෝධී ඔත්තු බැලීම පිලිබඳ සාක්ෂි හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ රහස් තොරතුරු සේවයේ හිටපු සේවක එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව ගෙන යන උද්ඝෝෂනය තීව්ර කරමින් සිටී.

ස්නෝඩන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට සැරසෙන ඔබාමා පාලනය ඔහු තමන්ට භාර දෙන ලෙස හොංකොං වෙත බලපෑම් කරයි. තම ආරක්ෂාව පිලිබඳ බියෙන් පසුවන හෙයින් තමා සිටි හෝටලයෙන් පලා ගොස් හෙලි නො කල ස්ථානයක වාසය කරන බව ස්නෝඩන් පවසා ඇත.

"අතිශය හානිදායක”යැයි ඔහු විසින් විලක්ෂනය කරන ලද, රජයේ ප‍්‍රවීක්ෂන වැඩපිලිවෙල පිලිබඳ තොරතුරු කාන්දු කිරීම්වලට වගකිවයුත්තන්ට එක්සත් ජනපද රජය දඬුවම් පමුනුවනු ඇතැයි එක්සත් ජනපද නීතිපති එරික් හෝල්ඩර් ජූනි 14 දා සහතික කලේය. ඩබ්ලින්හි පැවැති පුවත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ "වගකිවයුතු පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් උත්තර බැඳීමට සිදුවන බව තමාට විශ්වාස” බවයි.

"මෙම තොරතුරු කාන්දුකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ජනතාවගේ හා ඇමරිකාවේ අනුචර රටවල ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව අවදානමට හෙලා ඇතැ”යි හෝල්ඩර් පැවසීය. ඇත්තෙන්ම ඇමරිකානු ජනතාව මෙන් ම සමස්ත ලෝක ජනගහනය ම ඉලක්ක කෙරෙන රහස් ඔත්තු මෙහෙයුම් පිලිබඳව ස්නෝඩන් හෙලිදරව් කොට ඇත.

එන්ට එන්ටම රජයේ සාපරාධීභාවය හෙලිදරව් වන ප‍්‍රමානයට, අපරාධ චෝදනා නැගිය යුත්තේ එම සාපරාධීභාවය හෙලිදරව් කරන්නා වන ස්නෝඩන්ට එරෙහිව යයි තිර කොට පවසන ඉහල නිලධාරීන්ගේ මුරන්ඩුකම ද වඩ වඩාත් දැඩි වෙයි. ට්‍රොට්ස්කි පැවසූ පරිදි, "සැබෑ අපරාධකරුවෝ චෝදකයන්ගේ ලෝගුව තුල සැඟැවී සිටිති.”

මේ දක්වා හෙලි වී ඇති ඔත්තු බැලීමේ වැඩ පිලිවෙලවලට එක්සත් ජනපදයේ වාසය කරන සෑම පුද්ගලයෙකුගේ ම පාහේ දුරකථන වාර්තා එක් රැස් කරන වැඩ පිලිවෙලක් ද ඇතුලත් ය. ලොව පුරාම ජනයාගේ අන්තර්ජාල කටයුතු, විද්‍යුත් තැපෑල හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයන් අධීක්ෂනය කිරීම තවත් එකකි. එක්සත් ජනපද රජය පසුගිය වසර ගනනාවක් මුලුල්ලේ චීනයේ විශ්ව විද්‍යාලයන්හි, රාජ්‍ය නිලධාරීන්ගේ, ව්‍යාපාරවල හා ශිෂ්‍යයන්ගේ පරිගනක තුලට අනවසරයෙන් පිවිසී ඒවා අපහරනය කිරීම පිලිබඳව ද ස්නෝඩන් තොරතුරු සපයා ඇත.

රජය සමග කිට්ටු සහ සම්බන්ධයකින් කටයුතු කරමින් මාධ්‍ය මේ හෙලිදරව් කිරීම්වලට ප‍්‍රතිචාර දක්වන්නේ, ස්නෝඩන්ට එරෙහිව වෙන කවරදාටත් වඩා වැඩියෙන් භාවෝන්මාදී හා කිසිදු සාක්ෂියකින් තොර චෝදනා නගමිනි. ෆොක්ස් නිව්ස්හි සිකුරාදා (ජූනි 14) පල කල ලිපියකින්, ස්නෝඩන් චීන ආන්ඩුව සමග වැඩ කරන බව ඇඟවුම් කරන පරිදි, "එඩ්වඩ් ස්නෝඩන්: අකටයුතුකම් පිලිබඳ නිවේදකයෙක් ද, නැතහොත් විදේශ ඒජන්තයෙක් ද?” යනුවෙන් අසා තිබිනි.

"කථාන්තරය දිග හැරෙන කල්හි, ඉස්මතු වී පෙනෙන එක් ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වෙයි: ස්නෝඩන්, ඔහු තමා පිලිබඳව පවසන අයුරින්, අකටයුතුකම් හෙලිදරව් කරන වීරෝදාර නිවේදකයෙක් ද, නැතහොත් ඊට වඩා දුෂ්ට වූ යමෙක් ද?” ලිපිය සඳහන් කලේ "ඇතැමුන්”, "ඔහුගේ අභිප‍්‍රාය පිලිබඳව ප‍්‍රශ්න කරන බව”යි. "වැරැද්දකැයි තමන්ට ප‍්‍රත්‍යක්ෂ වූ යමක් නිවැරදි කිරීමට තමාට අවශ්‍ය වී යැයි ඔහු කරන සඳහන සත්‍යයක් ද, නැතහොත් ඔහු, චීන ඒජන්තයෙකු ලෙස වැඩ කරමින් සිටින අතර දක්ෂ ලෙස තම කටයුතු සඟවා, තමා එක්සත් ජනපද රජයේ ගොදුරක් බවට පත්වූ අයෙක්ය යන චිත‍්‍රය මවන අලුත්ම දෙබිඩි ඒජන්තයෙක් විය හැකි දැයි (මේ ඇතැම්හු) අසති.”

ඩිමොක‍්‍රටිකයෝ ස්නෝඩන්ට එරෙහි උද්ඝෝෂනයේ පෙරමුන ගෙන සිටිති. නියෝජිත මන්ති‍්‍ර මන්ඩලයේ විපක්ෂ නායිකා නැන්සි පෙලොසි ජූනි 13දා ස්නෝඩන්ට අභිචෝදනා ඉදිරිපත් කල යුතු බව කියා සිටියාය. "මා සිතන හැටියට ඔහුට උල්ලංඝනයන් තුනක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකියි. එනම්, දේශමාමක පනතේ 215වන කොටස, විදේශ රහස් තොරතුරු ප‍්‍රවීක්ෂන පනතේ 702 සහ ජනාධිපතිවරයාගේ වර්ගීකෘත සයිබර් මෙහෙයුම් ආඥාව - එය පිටතට කාන්දු කිරීමේ ප‍්‍රබලතාවය මත, ඔව්, එය නඩු පැවරිය හැකි වරදක් විය යුතුයි,” යනුවෙන් පෙලොසි ඇගේ කැපිටෝල් හිල් ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී වාර්තාකරුවන් අමතා පැවසුවාය. "මා හිතන්නේ ඔහුට නඩු පැවරිය යුතුයි.”

වැඩ පිලිවෙල එතරම් පහසුවෙන් මහජන සුපරීක්ෂාවට බඳුන් වීම පිලිබඳව පෙලොසි සිය කනස්සල්ල පල කලාය: "අප එතරම් ම අනාරක්ෂිත, නිරාවරනය වූ හා රහස් තොරතුරු ලබා ගන්නේ කෙසේ ද යන්න පිලිබඳව තොරතුරු හෙලිදරව් කෙරුනු තත්වයකට, එය අපේ ජාතික ආරක්ෂාව බැරෑරුම් ලෙස පීඩාවට පත් කරනු ඇතැයි (ජාතික රහස් තොරතුරු අධ්‍යක්ෂවරයා) පවසන මට්ටමකට, ඇද වැටුනේ කෙසේදැ”යි ඇය නොරිස්සුම් සහගත ලෙස ප‍්‍රශ්න කලාය.

මේ සතියේ එක්සත් ජනපද රහස් තොරතුරු නිලධාරීහු, නියෝජිත මන්තී‍්‍ර මන්ඩලය හා සෙනේට් සභාව සමග මහජන අවධානයෙන් සැඟවූ රහස් රැස්වීම් පවත්වමින් ඔවුන්ට තත්වය සංක්ෂිප්තව පැහැදිලි කලෝය. ඔත්තු බැලීමේ වැඩ පිලිවෙලවල්, මේ තාක් හෙලිදරව් කෙරුනු තරමට වඩා බෙහෙවින් ම ව්‍යාප්ත ඒවා බව නීති සම්පාදකයන්ට දැනුම් දෙන ලදී.

ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රවීක්ෂන වැඩ පිලිවෙල පිලිබඳ වර්ගීකෘත සම්පින්ඩනයකින් ඉක්බිති ව කථා කරමින් එක්සත් ජනපද මන්තී‍්‍ර ලොරෙටා සැන්චෙස්, "අප එහිදී දැනගත් දේ අද මාධ්‍යවල පල වූ දෙයට වඩා බොහෝ සෙයින් වැඩි යැ”යි පැවසුවාය....."මා හිතන හැටියට, එය උදක්ම බොහෝ දෙනාට වැටහෙන තරම පවා ඉක්මවා යන තරම් පුලුල් ය. මට සිතෙන්නේ එක අතකට, අපෙන් වැඩි දෙනෙකු තෝන්තු වූ හේතුවත් එයයි.”

"මාධ්‍ය වාර්තාවලින් හෙලි කෙරුනු පෙඩරල් ප‍්‍රවීක්ෂන වැඩ සටහන් වූ කලී හුදු ‘පාවෙන හිම පර්වතයේ මුදුනත’ පමනක්” බව ද ඇය පැවසුවාය.

ස්නෝඩන් ලබා දුන් තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කල ගාඩියන් මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් ජූනි 14දා පල කෙරුනු කොලමක් තුල, මේ තාක් හෙලි වී ඇති කරුනු හුදු "පාවෙන හිම පර්වතයේ මුදුනත පමනෙකැ”යි යන සැන්චෙස්ගේ කියමන "මුලුමනින්ම නිවැරදි” බව තහවුරු කලේය. "තවමත් අසන්නට ලැබී නැති සැලකිය යුතු හෙලිදරව් කිරීම්” ලඟදීම තමන් විසින් පල කෙරෙනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් පැවසීය. බ්ලූම්බර්ග් මාධ්‍ය ජාලය එදිනම වාර්තා කල පරිදි ”දහස් සංඛ්‍යාත තාක්ෂනික, මූල්‍ය හා නිෂ්පාදන සමාගම්, සංවේදී තොරතුරු සම්පාදනය කරමින් එක්සත් ජනපද ජාතික ආරක්ෂක ආයතන සමග සමීපව වැඩ කරති. ඊට හිලව් ලෙස යම් ඵල ප‍්‍රයෝජන ලබා ගනිති. වර්ගීකෘත රහස් තොරතුරුවලට අත පෙවීමේ අවස්ථාව ද මෙකී ඵල ප‍්‍රයෝජනවලට අයත් ය. "මෙකී කි‍්‍රයාදාමයට හොඳින් හුරුපුරුදු පුද්ගලයන් සිව් දෙනෙකු” උපුටා දක්වමින් බ්ලූම්බර්ග් සඳහන් කලේ, "මෙම සමාගම් මගින් සපයනු ලබන තොරතුරු, (එක්සත් ජනපද ආන්ඩුවේ) විරුද්ධවාදීන්ගේ පරිගනක තුලට හොරෙන් පිවිසීමට” භාවිතා කරන බවයි.

ප‍්‍රවෘත්ති ආයතනයට අනුව, "ඉහත සිව් දෙනාගෙන් එක් අයෙක් පැවසූ පරිදි ඇතැම් එක්සත් ජනපද විදුලි සංදේශන සමාගම්, රහස් තොරතුරු ආයතනවලට රටෙන් පිටත පිහිටි පහසුකම් හා දත්තවලට ප‍්‍රවිෂ්ට වීමේ ඉඩකඩ කැමැත්තෙන් ම සම්පාදනය කර දෙති. එසේ නොවන්නට එක්සත් ජනපද භූමිය තුල එසේ ප‍්‍රවිෂ්ට වීමට අධිකරන විනිසුරුවෙකුගේ අවසරය අවශ්‍ය වනු ඇත. මේ ආකාරයෙන් කටයුතු කල විට විදේශ රහස් තොරතුරු ප‍්‍රවීක්ෂන පනත යටතේ කිසිදු ප‍්‍රමාදයකින් තොරව සමාගම් ස්වේච්ඡාවෙන්ම තොරතුරු සපයති.

ස්නෝඩන්ට එරෙහිව මුදා හැර ඇති ජාත්‍යන්තර පරිමාන දඩයමේ කොටසක් ලෙස, අකටයුතුකම්වලට එරෙහි මේ උද්ඝෝෂකයා බි‍්‍රතාන්‍ය භූමියට ගෙන ඒම සම්බන්ධයෙන් ගුවන් ප‍්‍රවාහන සමාගම්වලට දඩ නියම කරන බවට එරට රජය තර්ජනය කොට ඇත.

ලන්ඩනයේ නීතිඥයෙකු වන ජෙෆ්රි රොබට්සන් නිව්යෝර්ක් ටයිම්ස් අමතා පවසා ඇත්තේ, මේ පියවර පෙර නොඇසූවිරූ ආකාරයේ එකක් බවයි. "බලය මේ දක්වා භාවිතා කොට ඇත්තේ ත‍්‍රස්තවාදයට අනුබල දෙන්නන්ට, වාර්ගික ද්වේෂය පතුරුවන්නන්ට හා සමලිංගික භීතිකාවෙන් (හෝමොෆෝබියාවෙන්) පෙලෙන්නන්ට එරෙහිව පමනෙකි. දුෂ්කෘත නිවේදකයෙකුට (අකටයුතුකම් දැනුම් දුන්නෙකුට) එරෙහිව මෙය මින් පෙර කිසිදා භාවිතා කොට නැත."ස්නෝඩන් එක්සත් ජනපදයට භාර දීම මගින් "බ‍්‍රැඩ්ලි මැනිංට අත් විඳින්නට සිදු වූ ආකාරයට සමාන මර්දනකාරී සැලකිල්ලකට ඔහුට ද පාත‍්‍ර වීමට සිදුවිය හැකිය” යන කරුන මත, ඔහු ආපසු භාර දීමට එරෙහි නියෝගයක් එක්සත් රාජධානියේ විනිශ්චයකාරවරුන් විසින් නිකුත් කරත්දැයි බි‍්‍රතාන්‍ය රජයේ බලවත් සැලකිල්ල යොමු වී ඇති බව රොබට්සන් පවසයි.

ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරය ක‍්‍රියාවට ලීමෙහි ලා ඩිමොක‍්‍රටිකයන් ඉටු කරන ප‍්‍රමුඛ කාර්ය භාරය, පසුගිය 13දා 2014 ජාතික ආරක්ෂක අධිකාරිත්ව (ජාආඅ) පනත සම්බන්ධයෙන් පැවැති කොන්ග‍්‍රස් මන්ඩල ඡන්ද විමසීමේ දී තවදුරටත් ප‍්‍රදර්ශනය විය. 2012 ආදායම් වර්ෂය සඳහා ඔබාමා විසින් අත්සන් තබන ලද ජාආඅ පනතේ, නියමිත කි‍්‍රයාවලියකට යටත් නොවන පරිදි එක්සත් ජනපද පුරවැසියන් අසීමිත කාලයකට රඳවා ගත හැකි විධිවිධාන ඇතුලත් ව තිබින.

මිලිටරියට අවශ්‍ය ප‍්‍රතිපාදන සපයා දෙන මෙම පනතට මෙම වසරේ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වූ සංශෝධනයකින් කියැවුනේ, එක්සත් ජනපද නීතියේ සඳහන් කවර විධිවිධානයකට වුව අධිකරන විභාගයකට මුහුන දීමට පුරවැසියෙකුට ඇති අයිතිය අහිමි කල නොහැකි බවයි. මෙම සංශෝධනය සම්මත වූ අතර ඩිමොක‍්‍රටික් මන්තී‍්‍රවරුන්ගෙන් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කලේ තුන් දෙනෙක් පමනකි.

ජාතික ආරක්ෂක අධිකාරිත්ව පනතේ සංශෝධනය වූ කලී, එක්සත් ජනපදයේ ප‍්‍රතිපත්තීන් මත අබැටක හෝ බලපෑමක් ඇති නොකරන නරුම උපාමාරුවකි. සෙනේට් සභාවෙන් සම්මත වීමට පෙර පනතේ අවසාන අනුවාදයෙන් එම කොටස උපුටා දැමෙන බව නිසැකවම පාහේ පැවසිය හැක. මෙම සංශෝධනයේම වඩාත් ශක්තිමත් අනුවාදයක් කලින් ප‍්‍රතික්ෂේප විය. එතෙකුදු වුවත්, එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වනසා දැමීමට ඩිමොක‍්‍රටික් පක්ෂයේ සම්පූර්න සහයෝගය හිමි වන බව එමගින් හෙලිදරව් කෙරේ.

ක‍්‍රමානුකූලව ඇමරිකානුන්ගෙන් සඟවා තබන ලද ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී වැඩපිලිවෙලවල් පිලිබඳව ස්නෝඩන් කල හෙලිදරව්ව විසින් දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ දෑස් ඉදිරියේ ඔවුන්ගේ පර්යායේ නීත්‍යානුකූලභාවය පිලිබඳ ප‍්‍රශ්නය මතු කෙරෙනු ද, එම නීත්‍යානුකූලභාවයට යටින් වල කැපෙනු ද ඇත. මාධ්‍යවල පිටුබලය ද ලැබූ පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිකි‍්‍රයාව, ඒ ගැන ඔවුන්ට පවත්නා ගැඹුරු භීතියේ නිෂ්පාදිතයකි.

Share this article: