පොලිස් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ලිබරල් උපදේශක මහාචාර්ය ජෙෆ්රි ආර්. ස්ටෝන්ගෙන් ලිපියක්

A letter from Professor Geoffrey R. Stone, liberal advocate of a police state

ටොම් කාටර් විසිනි, 2013 ජූලි 08

පොලිස් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ලිබරල් උපදේශකයෝ එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව රුදුරු ලෙස කඩා පනිති යන ඩේවිඩ් නෝර්ත් හා එරික් ලන්ඩන් විසින් ලියා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජූනි 14දා පල කල ලිපියට ප්‍රතිචාර දක්වන ලෙස අපි මහාචාර්ය ජෙෆ්රි ස්ටෝන් හට ඇරයුම් කලෙමු. ජාතික ආරක්ෂක ඒජන්සියේ අකටයුතුකම් හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන් "ද්‍රෝහියෙක්” හා "අපරාධකාරයෙක්” ලෙස හංවඩු ගැසීමට පෙරට පිනූ එම හිටපු ලිබරල් අටුවාකාරයින්, කතුවරුන්ගේ හෙලාදැකීමට ලක් විය. හෆින්ටන් පෝස්ට්හි පලවූ මහාචාර්ය ස්ටෝන්ගේ ස්නෝඩන් විරෝධී මෑත ලිපිය තුල ඔහු මුලින් දැරූ අදහස් වලට “මුලුමනින්ම පටහැනි ආස්ථානයන් මත පිහිටා, ආඥාදායක පාලනයකට සහාය දක්වන තර්ක ඉදිරිපත් කිරීම” පිලිබඳව නෝර්ත් හා ලන්ඩන් විශේෂයෙන්ම අවධානය යොමු කලහ.

මහාචාර්ය ස්ටෝන් ජූනි 19දා විද්‍යුත් තැපෑලෙන් එරික් ලන්ඩන් වෙත ඊට ප්‍රතිචාර දැක්වීය. සමස්තයක් වශයෙන් ඔ‍හුගේ ලිපිය පහත සඳහන් පරිදි කියැවෙයි.

“මීට දායක විම ගැන ස්තුතියි. තේරුම් යන පරිදි ඔබ වටහාගෙන නැත්තේ, තත්වයන් වෙනස්වන බවත්, සෑම දෙයක්ම ඉරෙන් එහා හෝ මෙහා පැත්තේ ඇතැයි හෝ තිබිය යුතුය යන්නේ සාවද්‍ය බවයි. ස්නෝඩන් සම්බන්ධයෙන් මා කියා ඇති සියල්ල, මේ කාරනය පිලිබඳව මා කියා ඇති සෑම දෙයක් හා හොඳින්ම ගැලපෙයි. අපගේ රාජ්‍ය නිලධාරීන් පිලිබඳව අප සාධනීයව සැක කල යුතු යයි මා සිතන නමුත් උද්ධච්ඡ, මහජන කැමැත්තෙන් තෝරා පත්කර නොගත් පුද්ගලයෙකු, සියල්ල තමන් අතට ගෙන කිසිදු නීත්‍යානුකූල බලයක් හෝ යුක්තිකරනයක් නොමැතිව, අතිශය රහස්‍ය තොරතුරු එසේ රහසිගතව තබා නොගතයුතු යයි ඔහු සිතන බැවින්, එවැන්නක් ලබාගැනීමට කිසිදු බලයක් නොමැති පුද්ගලයින් අතට පත්කිරීමට ද මා විරුද්ධය. සරල හා පැහැදිලි කාරනය වන්නේ ස්නෝඩන්, විධායකය, කොන්ග්‍රසය හා අධිකරනයේ විනිශ්චයයන් කිසිදු නීතිමය බලයකින් තොරවම අවමානයට ලක්කරන විට ඔහු, නීතිමය පාලනය හා ඇමරිකානු ජනතාවගේ විශ්වාසය පාවාදී ඇති බවයි. ඔහු එසේ කර ඇත්තේ ජාතියේ ආරක්ෂාව අවදානමට ලක්කරමිනි. ඔහු කරන ලද දෙයෙහි වාසිදායක ප්‍රතිවිපාක තිබියේවී නමුත් එසේ කිරීම සඳහා ඔහුට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් ඇත්තේ නැත. ඔහු අපරාධකාරයෙකි.”

මහාචාර්ය ස්ටෝන්ගේ ප්‍රතිචාරයෙන් සැපයී තිබෙන අවස්ථාව, ඔහුගේ ලිපියට පිලිතුරු දීමටත් එහි වැදගත්කම පැහැදිලි කිරීමටත් ලෝසවෙඅ විසින් යොදාගනු ලබයි. ඔහු වැනි "ලිබරල්” කොටස් ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයම, නිදහසේ ප්‍රකාශනය තුල සංගෘහිත හා අයිතිවාසිකම් පනතෙන් හා පසුව සිවිල් යුද්ධ සංශෝධනයන්ගෙන් සහතික කොට තිබෙන, ප්‍රජාතන්ත්‍රයේ මූලධර්මයන්ට විවෘතවම සතුරු යයි ලෝසවෙඅ නිරන්තරයෙන් කර තිබෙන අනතුරු ඇඟවීම් ස්ටෝන්ගේ ලිපියේ පලමුවැන්නෙහි සිට අවසන් පේලිය දක්වා ලියා ඇති දෙයින් සනාථ කරයි. මහාචාර්ය ස්ටෝන් කථාකරන්නේ, කලින් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් වූ තම සියලු කැපවීම් ප්‍රතික්ෂේප කර, එක්සත් ජනපදය තුල පොලිස්-මිලිටරි ආඥාදායකත්වයක් පිහිටුවීම යුක්තිසහගතය යන ආස්ථානයන් වර්ධනය කරන, ශාස්ත්‍රාලික බුද්ධිජීවීන්ගේ සැලකිය යුතු කොටසක් වෙනුවෙනි.

අපි එඩ්වඩ් ස්නෝඩන් පිලිබඳ ස්ටෝන්ගේ හෙලාදකීම පරීක්ෂාකර බලමු.

1. නීතියේ පාලනය

ඇමරිකානු නීතිය පිලිබඳ මහාචාර්යවරයෙකු විසින් ලියන ලද්දේ වුව ද ස්ටෝන්ගේ ලිපියට අන්තර්ගත වන්නේ, එක්සත් ජනපදයෙහි ප්‍රජාතන්ත්‍රීය නීතිමය සම්ප්‍රධායට නුහුරු සංකල්පයන්ය.

සිය පූර්ව ප්‍රකාශයන් පුනරුච්ඡාරනය කරමින් ස්ටෝන් නිවේදනය කරන්නේ, “තෝරා පත්කර නොගත් තනි පුද්ගලයෙක්, ඉතාමත් රහසිගත තොරතුරු ලබාගැනීමට බලයක් නැති පුද්ගලයින් අතට (ඒවා) පත්කිරීම” සඳහා නීතිය තමන් අතට ගෙන කටයුතු කිරීම "නීතියේ පාලනයට” පටහැනි බවයි. ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වල සන්දර්භය තුල එම සූත්‍රගත කිරීම, "නීතියේ පාලනය” උඩුයටිකුරු කර, එය එහි ප්‍රතිපක්ෂය බවට හරවයි. මහාචාර්ය ස්ටෝන්ට අනුව "නීතියේ පාලනය,” සිය ජ්‍යෙෂ්ඨයින්ට ප්‍රශ්නයකින් තොරව අවනත වීම බවට පත් වෙයි.

මෙය "නීතියේ පාලනය” යන්නෙහි අර්ථය නොවේ. තෝමස් පේන් 1776 පලකල සිය Common Sense (සාමාන්‍ය දැනීම) යන විප්ලවකාරී පොත් පිංචෙහි ලියා ඇති පරිදි, "ඇමරිකාවේදී නීතිය රජුය. පරමාධිකාරී ආන්ඩු වලදී රජු නීතිය වන්නේය. එබැවින් නිදහස් රාජ්‍යයන්හිදී නීතිය රජු විය යුතුය, අන් කිසිවක් විය නොයුතුය.”

"නීතියේ පාලනය” යනු ඉහලම රාජ්‍ය නිලධරයා දක්වාම හා ඔහු ද ඇතුලත්ව සෑම පුද්ගලයෙකුගේම ක්‍රියාවන් නීතියට පහලින් ඇති බවයි. "එක්සත් ජනපදයේ ජනාධිපති, උප ජනාධිපති හා සියලු රාජ්‍ය නිලධාරීන්” පවා නීතිය උල්ලංඝනය කලහොත්, දෝෂාභියෝගයට ලක් කිරීමේ හැකියාව ව්‍යවස්ථාවෙන් සහතික කර තිබේ.

“නීතියේ (ආන්ඩුවක්) මිස මිනිසුන්ගේ ආන්ඩුවක් නොවේ” යන වැකියේ සාරය මෙයයි. වෙනත් වචන වලින් කිවහොත්, "නීතියේ පාලනය” යන්නෙහි අර්ථය, නීති විරෝධී කටයුතු වල යෙදී සිටින රාජ්‍ය නිලධාරීන් සිය හැසිරීම හෙලිදරව් වීමේ අවදානමට මුහුන දෙන අතර ඔවුන්ගේ නියෝග නොපිලිගැනීමේ හා ඔවුන්ගේ නීතිමය බලතල අත්හිටුවීමේ අවදානමට මුහුනදෙන බවයි.

නොමනා ලෙස කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධරයෙක් පුරවැසියෙකුට නියම කල හොත් එවිට, "නීතියේ පාලනය” යන්නෙහි අර්ථය ඔහු ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතුය යන්න නොවේ. ඊට පටහැනි ලෙස "නීතියේ පාලනය” යන්නෙන් අර්ථවත් වන්නේ, එසේ කරන ලෙස නියම කර තිබියදී වුවත්, යමෙකුගේ ජ්‍යෙෂ්ඨයින්ගේ අනීතික හැසිරීමට අනුගත වීමම නීති විරෝධී වන බවයි. ඇමරිකානු ඉතිහාසයේදී මෙම මූලධර්මය සමහරවිට එහි පූර්න අර්ථයෙන් දැකගත හැක්කේ, 1945 නොවැම්බරයේ සිට 1946 ඔක්තෝබරය දක්වා පැවති නාසි යුද අපරාධකරුවන් පිලිබඳ නියුරම්බර්ග් නඩු විභාගවලදී ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු එච්. ජැක්සන්ගේ තර්ක විතර්ක තුලය. නාසි විත්තිකරුවන් ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් හුදෙක් "නියෝග පිලිපැද්දා” පමනක් බවයි. ඒ අනුව ඔවුන්ට ලැබුනු නියෝග පිලිබඳව ප්‍රශ්න කිරීමට හෝ ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමේ කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් තමන්ට නොතිබූ බව අවධාරනය කිරීමට ඔවුහු උත්සාහ කලහ. මෙම තර්ක අවඥාවෙන් බැහැර කල විනිසුරු ජැක්සන්, නූතන ශිෂ්ඨාචාරයට "නීතිමය වගකීම් විරහිත භාවයේ මේසා විශාල පරාසයක් ඉවසිමට නුපුලුවන් බව” කියා සිටියේය.

නියුරම්බර්ග් මූලධර්මයේ 4වන කොටස මෙසේ කියැවෙයි. "තම ආන්ඩුවේ හෝ ජ්‍යෙෂ්ඨයෙකුගේ නියෝග ඒත්තුගෙන කටයුතු කල පුද්ගලයෙක් පිලිබඳ කාරනයේදී, ඔහු එම වගකීමෙන් නිදහස් කරන්නේ නොවේ...සදාචාරාත්මක විකල්පයක් ඔහුට පැවතියේය යන්න බැහැර කල නොහැකිය.”

"කිසිදු නීතිමය බලයකින් තොරව” හා "නියමාකාරයෙන් රහසිගතව පවත්වාගත් තොරතුරු” යන මහාචාර්යවරයා යොදාගත් වැකි හුදෙක් ප්‍රශ්නය මතුකරනවා පමනි. මිලියන සිය ගනනාවක් අහිංසක ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරමින් සිදුකල සාපරාධී කුමන්ත්‍රනයක් "නියමාකාරයෙන්” රහසිගතව තබාගත් හෝ "නීත්‍යානුකූලව” රැකගත් රහසක් විය හැකි ද?

මහාචාර්යවරයාගේ ලිපිය ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වල මූලයන්ට ආමන්ත්‍රනය නොකරයි. එසේ විය හැකි ද නොවේ. එඩ්වඩ් ස්නෝඩන් එලිමහනට ගෙනැවිත් තිබෙන්නේ සමහරවිට "නීතියේ පාලනය” පිලිබඳ ඇමරිකානු ඉතිහාසයේ අතිශයින්ම සුවිශේෂී බිඳවැටීමය. ස්නෝඩන් විසින් හෙලිදරව් කල, ඇමරිකානුවන් ගැන පැතිර තිබෙන නීති විරෝධී ඔත්තු බැලීම්, රිචඩ් නික්සන් වැනි පුද්ගලයින්ගේ සාපරාධි හැසිරීම සන්සන්දනාත්මකව සුලු හා නොවැදගත් දේ බවට පත් කරයි.

දෝෂාභියෝගයට ලක්කිරීමට සුදුසු ඔබාමා පාලනයේ සියලු අපරාධකරුවන්ට සැබවින්ම එසේ කලහොත්, ධවල මන්දිරය, බටහිර පරියන්තය හා වොෂින්ටනයේ අවශේෂ විධායක ගොඩනැඟිලි පාලු හොල්මන් මන්දිර බවට පත් කරනු ඇත.

ස්නෝඩන් හෙලාදැකීමේදී ස්ටෝන් වැනි පුද්ගලයින් හුවාදක්වන "නීතියේ පාලනය” තුල, ස්නෝඩන් හෙලිදරව් කල දැවැන්ත, පෙර නොවූ විරූ සාපරාධී ඔත්තුබැලීම් ක්‍රියාන්විතයට සම්බන්ධිත "නීතියේ පාලනය” ගැන කීමට කිසිවක් ඇත්තේ නැත. නියුරම්බර්ග් විත්තිකරුවන්ගේ කුහක කියාපෑම් විස්තර කිරීමට විනිසුරු ජැක්සන් යොදාගත් වචන ස්නෝඩන්ගේ දඩයම්කරුවන් සඳහා ද මුලු බලයෙන් යුක්තව යෙදේ. මෙම මිනිස්සු, "නීතිය වැනි යමක් පවතිනවාය යන්න ගැනම පුදුම වෙති. මෙම විත්තිකරුවෝ මොනම නීතියක් ගැන හෝ කිසිසේත්ම විශ්වාස නොකරති. ඔවුන්ගේ ක්‍රියාමාර්ගය, සියලු නීති නොතකා හැර උල්ලංඝනය කලේය. ජාත්‍යන්තර නීතිය, ස්වාභාවික නීතිය, ජර්මානු නීතිය හා ඕනෑම නීතියක් මේ මිනිසුන්ට හුදු ප්‍රචාරක මෙවලමක් පමනක් විය. එය තමන්ට කිරීමට අවශ්‍ය දෙයට බාධකයක් වන විට පසෙකට දමන හා තමන්ට ආධාරකයක් වන විට ඔසවා ගන්නා දෙයකි.”

2. පෙන්ටගනයේ ලිපි ලේඛන හා "ජාතික ආරක්ෂාව”

එය දැනටමත් තහවුරු කල කාරනයක් ලෙස ගෙන, ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම් මගින් "ජාතියේ ආරක්ෂාව අනතුරේ හෙලා ඇතැයි” ස්ටෝන් නිවේදනය කරයි. බ්‍රැඩ්ලි මැනිං හා ජූලියන් අසාන්ජ් සම්බන්ධයෙන් ද යොදාගන්නා ලද මෙම තර්කය, සදොස් හා නොමඟ යවන සුලුය.

මේ සමානම තර්ක, ඩැනියෙල් එල්ස්බර්ග් විසින් ප්‍රසිද්ධියේම කාංදු කර 1971දී නිව් යෝර්ක් ටයිම්ස්හි මුල් පිටුවේම පල කල පෙන්ටගන් ලියවිලි සම්බන්ධයෙන් ද යොදාගන්නා ලදී. වෙලුම් 47ක් තුල පෙලගස්වා තිබුනු පෙන්ටගන් ලේඛන වල, 1945 සිට 1967 දක්වා වියට්නාමය තුල එක්සත් ජනපදයේ මැදිහත්වීම් පිලිබඳ කැත හා ලේවැකි ඉතිහාසය අඩංඟු විය. එම කාලය තුල බලයට පත්වූ ඇමරිකානු පාලනයන් විසින් ක්‍රමානුකූලව සිදුකල රැවටීම් හා බොරු එම ලේඛන මගින් හෙලිදරව් කල අතර පැවති ආන්ඩුව කෙරෙහි ඇමරිකානු ජනතාවගේ විශ්වාසය යලි කවර කලෙකවත් යථා තත්වයට පත් වූයේ නැත.

පෙන්ටගන් ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීම වැලැක්වීමට උත්සාහ දරමින් ආන්ඩුව, නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයට විරුද්ධව නඩු පැවරීය. "ජාතික ආරක්ෂාව” සලකා එම ලේඛන රහසිගතව තිබීම අවශ්‍ය බවට ආන්ඩුවේ නීතිඥයෝ තර්ක කලහ. ප්‍රසිද්ධ කිරීම නිසා සෘජු හා දැකගතහැකි ප්‍රතිපලය වශයෙන්, විදේශයන්හි සිටින දහස් ගනන් ඇමරිකානු සෙබලුන් ජීවිතක්ෂයට පත්වනු ඇති බවට පවා තර්ක කරන ලදී.

විත්ති පාර්ශවයේ නිව් යෝර්ක් ටයිම්ස්, පෙන්ටගන් ලියවිලි ප්‍රසිද්ධ කිරීම හා ඉන් පසුව ආරක්ෂාවට සිදුවන හානිය අතර පොදු හා වියුක්ත සම්බන්ධයක් ආන්ඩුව පැත්තෙන් ගෙනහැර දැක්වීම සෑහෙන්නේ නැති බව එහිදී අවධාරනය කරන ලදී. පුරවැසියන්ගේ හෝ සෙබලුන්ගේ ජීවිත වලට ක්ෂනිකව එල්ල වන තර්ජනය පැහැදිලිව, නිරවද්‍යව ආන්ඩුව විසින් ගෙනහැර දැක්විය යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, ආන්ඩුවේ රහස් හෙලිකිරීම හා සුවිශේෂී හානිකර සිද්ධිය අතර සාමාන්‍ය සම්බන්ධය නොබිඳිය හැකි ආකාරයේ සෘජු එකක් විය යුතුය.

නික්සන් පාලනයේ තර්කය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම නඩුව නිව් යෝර්ක් ටයිම්ස් සමාගමට එරෙහිව එක්සත් ජනපදය (1971) යන්නයි. විනිශ්චයකාර හියුගෝ එල් බ්ලැක් විසින් ගෙනහැර දැක්වූ අදහස යම් තරමකින් උපුටා දැක්වීම වටනේය.

"ආරක්ෂාව යන වචනය පුලුල්ය. අපැහැදිලි පොදු භාවයක් ගන්නා එහි සමෝච්ඡ රේඛා, පලමුවන සංශෝධනයේ ගැබ්ව ඇති මූලික නියාමයන් කටුගා දැමීම සඳහා උපයෝගී කර නොගත යුතුය. නියමිත නියෝජනයකින් සමන්විත ආන්ඩුවේ වියදමින්, මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික රහස් රැකගැනීම මගින් සමූහාන්ඩුවට සැබෑ අරක්ෂාවක් සපයන්නේ නැත. පලමුවන සංශෝධනය සකස් කල අය, නව ජාතිය ආරක්ෂා කිරීම ද ඉංග්‍රීසි හා යටත් විජිත ආන්ඩුවල අපයෝජනයන් ද යන දෙකම පිලිබඳව හොඳින් දැන සිටියහ. මෙම නව සමාජයට ශක්තිය හා ආරක්ෂාව ලබාදීම පිනිස ඇතිකල භාෂනයේ, මාධ්‍යයේ, ආගමේ හා එක්රැස්වීමේ නිදහස අවලංඟු නොකල යුතුය. මෙම චින්තනය 1937 වසරේදී අගවිනිසුරු හියුස් මහතා විසින් බලගතු ලෙස ප්‍රකාශ කරන ලදී. ඒ, කොමියුනිස්ට්වාදීන් පවත්වන ලද රැස්වීමකට සහභාගීවීම කරනකොටගෙන මිනිසෙකුට දඬුවම් කල නොහැකි බවට තීන්දු කල අධිකරනයකදීය.

"අපගේ ආයතන බලහත්කාරයෙන් හා ප්‍රචන්ඩ ලෙස පෙරලා දැමීමට කෙරෙන උසිගැන්වීම් වලින් ප්‍රජාව රැක ගැනීමේ වැදගත්කම වැඩි වන්නට වන්නට, නිදහස් භාෂනයේ, නිදහස් මාධ්‍යයේ හා නිදහස් එක් රැස්වීමේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කිරීමෙන් ඒවා රැක ගැනීම පරම අවශ්‍යතාවක් වේ. කුමක් සඳහා ද යත්, නිදහස් දේශපාලන සාකච්ඡාවට අවස්ථාව සැලසීම සඳහාය. අවසානය දක්වාම ආන්ඩුව ජනතාවගේ කැමැත්තට අනුකුල වනු ඇති අතර වෙනස් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් එය සාමකාමී අයුරින් සාක්ෂාත්කර ගනු ඇත. සමූහාන්ඩුවේ ආරක්ෂාව ද ව්‍යවස්ථාමය ආන්ඩුවක පදනම ද රැඳී ඇත්තේ මෙහිය.”

විනිසුරු බ්ලැක් හා මහාචාර්ය ස්ටෝන් යන දෙදෙනාම එක්සත් ජනපද නීතිය පිලිබඳ විශාරදයින්ය. එහෙත් සමානකම් අවසන් වන්නේ ද එහිදීය. විනිසුරු බ්ලැක්ගේ ලේඛන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රයේ භාෂාවෙන් ලියැවී ඇති බව හඳුනාගත හැකිය. මහාචාර්ය ස්ටෝන් ලියන්නේ පොලිස් රාජ්‍යයක භාෂාවෙනි. "අධිකාරය,” "ආරක්ෂාව,” "පාවාදීම,” "විධායකයේ විනිශ්චයන්” යනාදී වශයෙනි.

අවසාන විග්‍රහයේදී ස්නෝඩන්ගේ හෙලිදරව්වෙන් අවදානමට හෙලා ඇති එකම "ආරක්ෂාව” ආන්ඩුවේ නිලධාරීන් ඔවුන්ගේ සාපරාධී හා ව්‍යවස්ථා විරෝධී කටයුතු සම්බන්ධයෙන් ජනතාවට නිරාවරනය වීම වැලැක්වූ ආවරනයයි.

3. මහාචාර්ය ස්ටෝන් නොකියන දේ

ලෝසවෙඅ පලකල නෝර්ත් හා ලන්ඩන්ගේ ලිපිය, ස්නෝඩන්ගේ තත්වයෙහි සිටින කවරෙකුට හෝ අතිශය රහසිගත තොරතුරු ප්‍රසිද්ධියට පත්කල හැකි "මෙලොව හේතුවක් ඇත්තේ නැත” යන ස්ටෝන් එකහෙලා කරන ප්‍රකාශයට අවධානය යොමුකර තිබුනි.

ඔවුහු මෙසේ ලිවූහ: "මෙය වනාහි මවිතකර ප්‍රකාශයකි! ‘මෙලොව හේතුවක් නැත...’? වෙනත් වචන වලින් කිවහොත්, රජයේ සේවකයෙක්, ඇමරිකානු ජනතාවගේ අයිතීන්ට කුමන හානියක් සිදුවිය හැකි වුවත්, සාපරාධී කටයුතු හෙලිදරව් කිරීමෙන් වැලකී තම කට පියාගෙන සිටිය යුතුය යන්නයි. 'මෙලොව හේතුවක් නැත'! සිවිල් සේවකයෙක් පුරවැසියෙක් ඝාතනය කිරීමට බලය පවරන රහසිගත ආඥාවක් පිලිබඳව දැනගතහොත් කුමක් සිදුවේ ද? නැතහොත් දේශපාලන විරුද්ධවාදීන් තොග පිටින් සිර භාරයට ගැනීමේ සැලසුමක් දැනගතහොත්?”

මහාචාර්යවරයා මෙම ප්‍රශ්න වලට පිලිතුරු නොදෙයි. ස්ටෝන් තමන් ලිවූ දේ මත පිහිටා සිටියි යන සාධාරන නිගමනයකට එලඹිය හැකිය. තොරතුරු තුලින් හෙලිදරව් කෙරෙන්නේ, පිලිකුල් සහගත සාපරාධී කටයුතු වන විටදී පවා, අතිශය රහසිගත තොරතුරු හෙලිදරව් කිරීම යුක්තිසහගත කෙරෙන "මෙලොව හේතුවක් ඇත්තේ නැත.”

4. "තොරා පත්කරගත්” නිලධාරීන් හා ෆියුරර් (දුෂ්ඨ පාලකයා පිලිබඳ) මූලධර්මය

මහාචාර්යවරයා හෆින්ටන් පෝස්ට් ගැන කල ඔහුගේ මුල් ප්‍රකාශයේදී මෙන්ම ලෝසවෙඅ ඔහු දුන් පිලිතුරෙහිදී ද තම මාවතෙන් බැහැරව ගොස්, ස්නෝඩන් "තෝරා පත්කර නොගත්” අයෙක් වන අතර ඔහු "තෝරා පත්කරගත්” ඔබාමා වැනි අය බව සිතිය හැකි, නිලධාරීන්ගේ නියෝග නොතකාහල බව කියා සිටියි. මෙය අගතිගාමී හා වංචනික තර්කයකි. ඒ අනුව එය, මැතිවරයකට ජනමත විචාරනයක ස්වභාවය ආරෝපනය කරයි. එනම්, ආඥාදායක පාලනයකට ව්‍යාජ-ප්‍රජාතන්ත්‍රවාදී ආවරනයක් සැපයීමට පමනක් දායක වන හිස් චාරිත්‍රයකි. ඇමරිකානු විප්ලවය සිදුකල අය මැතිවරනයක්, එය දිනාගත් කොටසට දෙන හිස් චෙක්පතක් ලෙස කිසිවිටෙකත් සැලකුවේ නැත. ජයග්‍රහනය කිරීමෙන් පසුව, සිය අභිමතය ප්‍රශ්න නැඟීමකින් තොරව යටත්කල යුතුය යන්න කෙසේ වෙතත්, පුරවැසියාගේ අවනත භාවය අපේක්ෂා කිරීමේ හෝ කිසිදු අයිතියක් නිලධාරීන්ට හිමි නොවේ. ඔවුන්ගේ සීමිත බලතල ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ව්‍යවස්ථාපිත සීමාවන්ට මුහුන දෙයි. නීතිය උල්ලංඝනය කිරීම ඔවුන්, දෝෂාභියෝග චෝදනාවට හා අධිකරන ක්‍රියාදාමයකට නිරාවරනය කරයි.

වාර්තාව සඳහා කිවහොත් ජනාධිපති ඔබාමා, දැඩිලෙස පාලනය කල, හසුරුවන ලද හා සමීපව අමුනන ලද මැතිවරනයක් 2012දී ජයගත්තේය. ඔහුගේ රිපබ්ලිකානු විරුද්ධවාදීන්ට මෙන්ම ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට ද අරමුදල් සම්පාදනය කලේ, පෙර නොවූ විරූ පරිත්‍යාග සහිතව ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූව විසිනි. ඒ, තුන්වන පක්ෂ ක්‍රමානුකූලව ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කර තබන අතරතුරය. ස්නෝඩන් පෙන්වාදී ඇති පරිදි, ඊටත් වඩා ඔබාමාගේ මැතිවරන ජයග්‍රහන බොරුවේ ප්‍රතිපලය විය.

අලුත්ම ජනමත විමසුම්වලට අනුව, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට බලපාන ප්‍රශ්න පොරබැදීමේදී මෙම "තෝරාපත්කරගත්” ජනාධිපතිගේ ක්‍රියා පටිපාටිය, බහුතර ඇමරිකානුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. විශේෂයෙන්ම ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු බලන වැඩසටහන ගැඹුරෙන්ම අපකීර්තියට පත්ව ඇත. "තෝරාපත්කර නොගත්තේ” වුව ද ස්නෝඩන්, ඔබාමාට වඩා පුලුල් සහයෝගිතා පදනමක් නියෝජනය කරයි.

වඩාත් වැදගත් වන්නේ, හා "තෝරාපත්කර නොගත්”පුද්ගලයින්ට එරෙහිව "තෝරාපත්කරගත්” අයගේ බලතල මත තබන මෙම අවධාරනයෙහි ෆැසිස්ට්වාදයේ ලේෂයක් අන්තර්ගතව තිබීමයි. ෆැසිස්ට්වාදයේ තර්කනයට අනුව, ආඥාදායකයා තෝරාපත්කර ගෙන තිබේ. එබැවින් ඔහු "ජාතියේ අභිමතය” නියෝජනය කරයි. තවත් කිවහොත්, ආඥාදායකයා ජාතියේ අභිමතය නියෝජනය කරන බැවින්, ඔහු නීතියට ඉහලින් සිටියි. ඔහුට විරුද්ධ වීම හෝ ඔහුගේ නියෝග වලට පිටුපෑම "ප්‍රජාතන්ත්‍ර විරෝධී” වන්නේය. ජර්මනියේදී මෙය හඳුන්වන්නේ, Fuhrerprinzip (ෆියුරර් මූලධර්මය) ලෙසයි. නාසි ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස්, එක් කුප්‍රකට කතාවකදී මෙසේ පැවසීය. "ෆියුරර් සෑම විටම නිවැරදිය!”

ප්‍රජාතන්ත්‍රීය නීතිමය සම්ප්‍රධායට අනුව නීතිය, තෝරාපත්කරගත් හා තොරා පත්කර නොගත් යන පුද්ගලයින් දෙකොට්ඨාශයටම, ඔවුන් අතර විශේෂත්වයකට ඉඩක් නොතබා, පූර්න බලයෙන් යුක්තව යොදනු ලබයි. පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම්, ඔහුට මෙසේ කියා රැකවල් ලැබිය නොහැක. එනම්, "මම “තෝරාපත්කරගත් අයෙකි.” තෝරා පත්කරගත් පුද්ගලයා නීතිය නොතකන්නේ නම්, එවන් නීති විරෝධී හැසිරීමක් හඳුනාගත් ඕනෑම අයෙකුගේ රාජකාරිය, එය ප්‍රසිද්ධියේ හෙලිකිරීමයි. ඒ අනුව, තෝරා පත්කරගත් තක්කඩියා ට එරෙහි දෝෂාභියෝගයක් සඳහා ඉඩකඩ සැලසෙන්නේ යයි කල්පනා කරනු ලැබේ. "

5. සදාචාරය පිලිබඳව වචන කිහිපයක්

තර්කය කෙතරම් නිස්සාර වුවත්, ස්නෝඩන් ට ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු බැලීමේ වැඩසටහන ජනතාව හමුවේ හෙලිකිරීමට නීත්‍යානුකූල අයිතියක් නැතැයි යන්න, තර්ක කරනු ලබන එක් දෙයකි. මහාචාර්යවරයා සිය ලිපියේ ලියා ඇති පරිදි, ස්නෝඩන්ට එසේ කිරීම පිනිස සදාචාරාත්මක අයිතියක් නැතැයි යන්න එවැනිම තවත් තර්කයකි. ස්ටෝන් සදාචාරය පිලිබඳ ප්‍රශ්නය නඟා තිබෙන බැවින් අපි, කාරනය පිලිබඳව අපගේම වචන කිහිපයක් මෙහි ඇතුල් කරන්නෙමු.

අහිංසක ඇමරිකානුවන් ද ඇතුලු, ලෝකය පුරා කෝටි සංඛ්‍යාත අහිංසක ජනතාවගේ තොරතුරු රැස්කිරීමට "නීතිමය හෝ සදාචාරමය අයිතියක්” ඔබාමා පාලනයට තිබේ ද යන්න ගැන මහාචාර්යවරයා කිසිවක් සඳහන් නොකරයි. ආදරවන්තයින්ගේ, කලත්‍රයාගේ පෞද්ගලික දුරකථන ඇමතුම් වලට හොරෙන් සවන් දීම, පෞද්ගලික වෛද්‍ය වාර්තා, අන්තර්ජාල සෙවීම් කටයුතු, විද්‍යුත් තැපෑල, ලිඛිත පනිවිඩ හා තවත් නොයෙකුත් දේ වාර්තාගත කිරීමට ආන්ඩුවේ ඒජනතයින්ට සදාචාරාත්මක අයිතියක් ඇත් ද යන්න ගැන ද ඔහු කිසිවක් නොකියයි.

සදාචාරාත්මක දෘෂ්ටි ආස්ථානයකින් අප කියා සිටින්නේ, ස්නෝඩන් විසින් හෙලිදරව් කල ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු වැඩසටහන, අසහනකාරී, දූෂිත හා පිලිකුල් සහගත බවයි.

ස්නෝඩන් ගත් පියවර සම්බන්ධයෙන් ගෞරවය පලකරමින් අනෙක් අතට, නීතිය වැරදිය, කල යුතු නිවැරදි දේ අවනත නොවීමය යන පදනම මත, හිතා මතාම නීතියට අවනත නොවීමේදී, ඇමරිකානු ඉතිහාසය තුල දිගු කාලීන සම්ප්‍රධායක් පවතින්නේය. නිදසුන් සිය ගනනක් කල්පනාවට නැ‍ඟෙයි. හෙන්රි ඩේවිඩ් තෝරේ හා Civil Disobedience (සිවිල් අනවනතවීම); බියෙන් පලායෑමේ වහල් පනත සහ පොලොව යට දුම්රිය මාර්ගය; බලහත්කාරී හමුදා සේවය හා එහි විරුද්ධවාදීන්; හුදෙකලා දුම්රිය කාර්, බස්, හා පාසැල්.

නීත්‍යානුකූල නිරෝධාඥාවක් උල්ලංඝනය කිරීම ගැන බර්මිංහැම් සිර කඳවුරේ රදවා සිටි ඛනිෂ්ඨ මාටින් ලූතර් කිං ලියා ඇති දේ ප්‍රකටය. එනම්, "අසාධාරන නීති වලට අවනත නොවීමට යමෙකුට සදාචාරාත්මක වගකීමක් ඇත. කිසිදු නීතිමය බලයකින් තොරව” කටයුතු කල "තනි, තෝරාපත්කර නොගත් පුද්ගලයෙකුගේ උද්ධච්ඡකම” ලෙස ස්ටෝන් මහාචාර්යවරයා මෙය සලකනු ලබන්නේ ද?

ස්නෝඩන් කරන ලද දේ සදාචාරවත් නොවන්නේ නම්, කිසිවක් සදාචාරමය නොවන්නේය. ඉතිහාසය තුල ඇමරිකානු ජනතාවට එරෙහිව සිදුකරන ලද අතිශයින්ම දුරදිග යන සාපරාධී කුමන්ත්‍රනය හෙලිදරව් කිරීමේ සදාචාරමය අයිතියක් ස්නෝඩන්හට නොමැත්තේ නම්, කිසිවෙකුටත් කිසිවක් හෙලිදරව් කිරීමේ සදාචාර සම්පන්න අයිතියක් නොමැතිවනු ඇත.

මහාචාර්ය වරයා අනුග්‍රහාත්මක වැකියක් තුල වාක්‍ය ඛන්ඩයක් ඇතුලත් කර තිබේ. "මා සිතන්නේ අපට රජයේ නිලධාරීන් පිලිබඳව සාධනීය අවිශ්වාසයක් තිබිය යුතු බවයි.” කෙසේ වෙතත්, ස්ටෝන් ගේ ලිපියේ ඉතිරි කොටසට ඇතුලත්ව තිබෙන උපදේශය එනම්, නියෝගයන්ට පිටුපාන්නට ස්නෝඩන් හට "නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත” යන්න, මෙම "සාධනීය අවිශ්වාසය” බෙලහීන, තුනී, නිෂ්ක්‍රිය අවිශ්වාසයක් බව හෙලිදරව් කරයි. එනම්, සැබෑ, ජීවමාන ක්‍රියාකාරකම්වලට මොනම ආකාරයකින් හෝ කිසිවිටෙක සම්බන්ධ නොවන බව කියා සිටින මානසිකත්වයකි. මෙය නිසැකවම, ඇමරිකානු නීති පද්ධතියේ නිර්මාතෘවරුන් වූ විප්ලවවාදීන් පෙරටුකොටගත් සුපරීක්ෂාකාරී අවිශ්වාසය නම් නොවේ.

නිමාව

එක්සත් ජනපද ආන්ඩුව, අති මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පෙර නොවූ විරූ ආකාරයට අමු අමුවේ උල්ලංඝනය කිරීමෙහි යෙදී සිටින බවට ස්නෝඩන් විසින් කල හෙලිදරව්ව, මහාචාර්ය සටෝන්ගේ විශ්ලේෂනය තුල කිසිදු බරක් නොදරයි. මෙය සලකුනු කරන්නේ, ඔහු ද ඔහු නියෝජනය කරන සමාජ ස්ථරය ද මූලික ප්‍රජාතන්ත්‍ර මූලධර්ම හා සම්ප්‍රධායන්ගෙන් ඈත්වී තිබෙන තරම හා ඒවා කෙරෙහි දක්වන සතුරුකමේ පවා තරමයි.

තමන්ගේ සියලු දේශපාලන චින්තාවන් ගලා එන ලියවිල්ල ලෙස ලින්කන් හඳුන්වන ලද Declaration of Indipendence (නිදහසේ ප්‍රකාශනය), ආන්ඩුවක් මූලික, "ඉවත් කල නොහැකි” අයිතීන් විනාශ කරන තැනකට පැමිනි විටෙක, "එය වෙනස්කර හෝ අහෝසිකර ඒ වෙනුවට නව ආන්ඩුවක් පත්කර ගැනීම ජනතාවගේ අයිතියයි...” යන මූලධර්මය නිවේදනය කර තිබේ.

මෙම මූලධර්මය දැඩිලෙස මුල්බැස ඇත්තේ, බුද්ධි ප්‍රබෝධයේ පැරනි සම්ප්‍රධායන් තුලය. ජෝන් ලොක් 1690දී මෙසේ ලිවීය. "නීති සම්පාදකයින්ගේ උත්සාහය ජනතාවගේ දේපල පැහැර ගැනීම හා වැනසීම හෝ ඔවුන් අත්තනෝමතික පාලනයක් යටතේ වහල් භාවයට සිඳුවීම වන ඕනෑම විටෙකදී ඔවුන් තමන් විසින්ම ජනතාව සමග යුද්ධයක තත්වයට එලඹෙන අතර එබැවින් ඔවුන් තවදුරටත් මොනම අවනත භාවයකටවත් ඉඩක් ඉතිරිකරන්නේ නැත.”

Bill of Rights (හිමිකම් පනත) මගින් ගෙනහැර දක්වන මූලික අයිතීන් අතර සිව්වන සංශෝනය ද වෙයි. "ජනතාවගේ අයිතිය, ඔවුන් පුද්ගලයින් ලෙස ද නිවාස, ලිපිලේඛන හා වෙනත් දේපල ද අසාධාරන පිරික්සුම් හා අත්පත්කර ගැනීම් වලට එරෙහිව සුරැකිය යුතුය.” සිව්වන සංශෝධනය උල්ලංඝනය කරන ආන්ඩුවේ දැවැන්ත කුමන්ත්‍රනයක් ඇති බව සොයාගන්නා විට ස්නෝඩන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ අවුන්සයක හෝ විඥානයක් ඇති ඕනෑම අයෙකුට හැඟී යන්නේ, ඔහු "මින් මත්තට අවනත වීමෙන් විමුක්ත වී ඇති” බවයි. එවිට එය ලෝකයාට හෙලිදරව් කිරීම ඔහුගේ නීතිමය හා සදාචාරාත්මක රාජකාරිය වන්නේය.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ අසමානතාවයේ යෝධ මට්ටම් හා දශකයක ලේ වැකි අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමයේ බරින් බිඳ වැටෙමින් තිබේ. අර්බුදය වාසියට හරවාගෙන ලාභ උපයාගෙන ඇති හා ආර්ථිකය කොල්ලකා ඇති ධනවාදීයෝ හා මූල්‍ය වංශාධිපතියෝ, තම ධනය හා බලය තවත් පොහොසත්කර ගැනීමේ මාධ්‍යයන්‍ලෙස පොලිස් රාජ්‍යයක් වෙත නෙත් යොමු කරති.

දේශපාලන සංස්ථාපිතය තුල කොහේවත් ප්‍රජාතන්ත්‍රය සඳහා සැලකිය යුතු ඉඩ කඩක් ඇත්තේ නැත. සංස්ථාපිතය තුල කිසිදු තනි පුද්ගලයෙකු හෝ ස්නෝඩන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමින නැත. ඒ වෙනුවට විවාදය පැවැත්වෙන්නේ, ස්නෝඩන් සිරගත කල යුතු ද නොඑසේ නම් මරා දැමිය යුතු ද යන්න මතය.

දේශපාලන සංස්ථාපිතය තුලින් සහායක් නොලැබෙන තතු හමුවේ ස්නෝඩන්, එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද කම්කරු පන්තිය වෙතින් ඉමහත් සහායක් දිනාගෙන තිබේ. මධ්‍යම පන්තියේ වඩාත් වරප්‍රසාදිත කොටස්වල අවස්ථාවාදය හා තත්කාර්යවාදයට සපුරා පටහැනි අයුරින් කම්කරු පන්තිය, තමන් අමාරුවෙන් දිනාගත් අයිතීන් හැර දැමීමට ඉක්මන් නොවේ. කම්කරුවන් ඉවෙන් මෙන් ස්නෝඩන් තුලින් දැක ගන්නේ, සත්‍ය පැවසීම වෙනුවෙන් සියල්ල පරදුවට තැබූ දිරිමත් මිනිසෙකි.

ප්‍රජාතන්ත්‍රවාදී විඥානය ගැඹුරින් මුල්බැස ඇත්තේ කම්කරු පන්තිය තුලය. එබැවින් මූලික ප්‍රජාතන්ත්‍ර ආරක්ෂාවන් රැක, පුලුල් කිරීමේ අරගලය, කම්කරු පන්තිය වෙත දිශානතියක් ඉල්ලා සිටියි. මහාචාර්ය ස්ටෝන් වැනි පුද්ගලයින් ස්නෝඩන් සිරගත කිරීම හෝ මුලිනුපුටා දැමීම වෙනුවෙන් පෙල ගැසෙන අතර සමාජවාදී සමානතා පක්ෂය ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපාරයක් දියත් කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතකදී නිදහසේ ප්‍රකාශනයේ හා ගැටිස්බර්ග් සංග්‍රාමයේ සංවත්සරය සලකුනු කලේය. අපි මෙසේ ලිව්වෙමු. "ආඥාදායකත්වය දෙසට වන නැඹුරුව ආපසු හැරවීම පිනිස කම්කරු පන්තිය තුල ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුය. එම ව්‍යාපාරය ආරම්භ වන්නේ ප්‍රජාතන්ත්‍රය ධනවාදය සමඟ පෑහෙන්නේ නැති බව ද, සැබෑ නිදහස සමාජ සමානතාවය තුල මුල්බැසගත යුතුය යන අවබෝධය ද සමඟිනි. එක්සත් ජනපදයේ ඉතිහාසය තුල ප්‍රගතිශීලීවූ සියලු දෙයක්ම පෙරට ගෙනයා හැක්කේ, සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලයක් තුලින් පමනි.”

එබැවින් මහාචාර්ය ස්ටෝන්ට දක්වන අපගේ ප්‍රතිචාරය, 1722 - 1803 අතර විසූ, විප්ලවවාදියෙකු, දර්ශනවාදියෙකු, රාජ්‍යතාන්ත්‍රිකයෙකු හා බොස්ටන් ටී පාටියේ වියහැකි සංවිධායකයාද වූ සැමුවෙල් ඇඩම්ස්ගේ වචන උපුටා දක්වමින් නිමා කරන්නෙමු:

"ඔබ විමුක්තියට වඩා ‍ධනයට ආදරය කරන්නේ නම්, නිදහස සඳහා සප්‍රානික තරඟයට වඩා දාසකමේ නිහඬත්වය ශ්‍රේෂ්ඨ යයි සලකන්නේ නම්, අපගෙන් ඉවත්වී සාමයෙන් ගෙදර යන්න. අපි ඔබගේ උපදේශනය හෝ ඔබගේ දෑත් නොපතන්නෙමු. බිම බඩගාගෙන ඔබ පෝෂනය කල දෑත් ලෙවකන්න, ඔබ‍ට දැමූ දම්වැල් සැහැල්ලුවෙන් දැනේවා, සමෘද්ධිය ඔබ අපගේ රට වැසියෙක් බව අමතක කරත්වා.”

***

Share this article: