දඹුල්ල නිවැසියන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කරනු!

විලානි පීරිස් විසිනි, 2013 ජූනි 14

රංගිරි දඹුලු විහාරය අවට "පූජා භූමියේ” නිවාස 44ක් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීන්දුවට නිවාස හිමියෝ අඛන්ඩව විරෝධය පල කරති.

මැයි 27 දා මාතලේ දිස්ත‍්‍රික් ලේකම්වරිය හා දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමෙන් පසුව නාගරික සංවර්ධන අධිකාරිය නිවැසියන්ට රුපියල් ලක්ෂය බැගින් ගෙවන බව පවසා ජූනි 26ට පෙර නිවෙස් වලින් ඉවත්වන ලෙසට කල නියෝගය ද බොහෝ දෙනෙකු ප‍්‍රතික්ෂේප කර ඇත. කෙසේ වුවත් බලධාරීන් පවසා ඇත්තේ සියලු නිවාස ජූනි 27 දා කඩා දමන බවයි.

ලක්ෂයක වන්දි මුදල ලබාගෙන නිවෙස් වලින් ඉවත් වීමේ කැමැත්ත පලකරන ලිපියකට 20 දෙනෙකු අත්සන් තැබූ නමුත් ඒ සඳහා පසුව ඉදිරිපත් වී තිබුනේ තිදෙනෙකු පමනි. රුපියල් ලක්ෂයකින් "වැසිකිලියක්” සාදා ගැනීමටවත් නොහැකි බව එක් තරුනයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීවේ ය. පදිංචියට ඉඩම් කැබැල්ලක් දෙන බවට 2012 සැප්තැම්බර් මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය ලිඛිතව පොරොන්දු වුවත්, දැන් එය ද ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම ප‍්‍රදේශයේ නිවාස කැඩීම ආරම්භ වූයේ 2012 අපේ‍්‍රල් මාසයේදී මුස්ලිම් විරෝධී වර්ගවාදී උද්ඝෝෂනයක කොටසක් ලෙස එහි පිහිටි මුස්ලිම් පල්ලියට පහර දීමෙන් පසුව ය. පල්ලියත් කඩා දැමීමට නියමිතව ඇත්දැයි 27 දා රැස්වීමේ දී මාතලේ දිස්ත‍්‍රික් ලේකම්වරියගෙන් විමසූ අයෙකු වෙත එම නිලධාරිනිය බැන වැදී ඇත. ඔහුගේ ඡායාරූප ගනිමින් තර්ජනාත්මකව හැසිරුනු නිලධාරීන් ගැන හෙතෙම දඹුල්ල පොලිසියට කල පැමිනිල්ල පිලිබඳව මෙතෙක් පරීක්ෂනයක් පවත්වා නැත. පල්ලිය කඩා ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති නඩු දෙකක් ද මෙතෙක් විභාග කර නැත.

ධනපති රාජ්‍ය හා ප‍්‍රතිගාමී බලවේග විසින් වාර්ගික භේද ඇති කිරීමට දරන තැත නොතකා පලාතේ සිංහල, දෙමල හා මුස්ලිම් සියලු දෙනා නිවාස රැකගැනීමේ අරගලයට ඒකාබද්ධව සිටිති.

නිවාස කැඩීම "පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ සිදුකරන බව පවසති. පුජා භූමි සංවර්ධන පනත එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් 1982 සම්මත කරන ලද්දේ පීඩිත දෙමල ජාතියට එරෙහිව සිංහල වර්ගවාදය උසිගැන්වීමේ උද්ඝෝෂනයක් මධ්‍යයේ ය. ඊලඟ අවුරුද්දේදී එජාප ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය අරම්භ කලේය. දැන් මුස්ලිම් ආගමිකයන්ට එරෙහිව වර්ගවාදී ප‍්‍රහාර එල්ල කරන්නේ ද පලාතේ දුගීන් දඹුල්ල නගරය තුලින් ඉවත් කරන්නේ ද මෙම පනත උපයෝගී කරගෙන ය.

නිවාස කැඩීම පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන බව පවසා ඇතත්, එය විදේශීය සංචාරකයන් හා ආයෝජකයින් ආකර්ෂනය කර ගැනීම අරමුනු කර ගත් ආන්ඩුවේ නාගරික සංවර්ධන සැලැස්මේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ ජූනි 05 දා නිවාස කැඩීමට එරෙහිව දඹුල්ල නගරය අවට උද්ඝෝෂනයක නිරත වූහ. රුපියල් ලක්ෂයක මුදල ගෙන නිවසින් ඉවත් වීමට කැමැත්ත පල කල එක් කාන්තාවක් කියා සිටියේ තමන්ට කිසිදු ආදායමක් නැති තත්වයේදී එයට එකඟ වුවත් එයින් පලක් නොවන බවය. ඇය මෙසේ ද පැවසුවාය. "අපට ආන්ඩුවෙන්, වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ රජයේ නිලධාරීන්ගෙන් කිසිදු සහනයක් නොලැබෙන තත්වය යටතේ එම තීන්දුව ගැනීමට සිදුවුනා.”

තම නිවාස වල විදුලි බලය විසන්ධි කරන බව විදුලිබල මන්ඩලය දැනුම් දී ඇති බවත්, එය 27 දා නිවාස කඩන බවට කරන පැහැදිලි සංඥාවක් බවත් තවත් අයෙකු පැවසුවේ ය. ආන්ඩුවේ ඇමතිවරයෙකු වන ජනක බන්ඩාර තෙන්නකෝන් කිසිවෙකුත් නිවෙස් වලින් ඉවත් නොකරන බව මුලින් පවසා ඇතත්, ජනාධිපතිවරයා විහාරයේ ප‍්‍රධාන හිමි නම හමුවීමෙන් පසුව තෙන්නකෝන් දැන් නිහඬ වී ඇති බව ද ඔහු කීවේය.

ඉවත් කිරීමට නියමිත නිවාස 44ට දෙමල වැසියන් පදිංචි පැල්පත් නිවාස 20ක් ද අයත්ය. දරිද්‍රතාවයේ ගැලී සිටින ඔවුන්ගේ නිවාස වලට මෑතක් වන තුරුම වැසිකිලියක් හෝ තිබී නැත. ඒ සඳහා ඔවුහු අසල පිහිටි ලඳු කැලෑව යොදාගත්හ. දැන් නිවැසියන් කිහිප දෙනෙක් වැසිකිලි සාදාගෙන ඇත. සියලු කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාගන්නේ අවට ඇති ලිං දෙකකිනි. ඒවායේ ජලය අපිරිසිදු බව ද නිවැසියෝ කීහ.

දෙමල පවුල්වල බොහෝ දෙනෙක් ජීවත් වන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එලවලු ශුද්ධ කිරීමෙන් හා ලොරි වලට පැටවීමෙනි. ඉතා දුෂ්කර කොන්දේසි යටතේ ලමුන් පාසැල් යවන නමුත් දෙමව්පියන්ට වියදම් දැරිය නොහැකි නිසා බොහෝ ලමුන්ගේ අධ්‍යාපනය අතර මග නැවතී ඇත. අවුරුදු 15, 16 පිරිමි ලමුන් පවා කුලී වැඩෙහි යෙදීමෙන් ආදායමක් උපයා ගැනීමට යොමුව සිටියි.

ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ කරන කම්කරුවෙකුගේ දිනක ආදායම රුපියල් 500-600 අතර බවත්, එය ද දිනපතා නොලැබෙන බවත් එහි වැඩ කරන කම්කරුවෙකු කීවේ ය. "සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගත් නමුත් ගනිතය විෂය සමත් නොවීම නිසා රැකියාවක් සොයාගන්ට අමාරුයි. දැන් සැමියා උපයන දෙයකින් තමයි ජීවත් වෙන්නෙ.” ඔහුගේ බිරිඳ පැවසුවාය.

සිය පුතා බාල වයසේ දී ම නගරයේ බේකරියක වැඩට යැවීමට සිදුවූ බව සමෘද්ධි දීමනාව ලබන කාන්තාවක් කීවාය. "අපිට සමෘද්ධියෙන් ලැබෙන්නෙ මාසෙකට රුපියල් 500 යි. මුලින් ආහාර හා භූමිතෙල් මුද්දර ලැබුනා. පසුව මුදල් ගෙවන්ට පටන් ගත්තා. දැනට මාස තුන හතරක්ම සතයක්වත් ලැබුනේ නැහැ. දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කිව්ව ආන්ඩුවෙන් මුදල් ලැබෙනකම් ගෙවීම් කරන්න බැහැ කියල.”

තවත් අයෙක් මෙසේ පැවසීය: "අපි ජීවත් වෙන්නෙ පන්සල ලඟ නෙලුම් මල් විකුනලා. බැතිමතුන් වැඩිපුර එන පෝය දවස් වලට විතරයි රුපියල් 600ක් වත් හොයා ගන්නෙ. වැඩිමහල් දුව වෙනම ගෙයක ජීවත් වුනත් එයාගේ සැමියා මිය ගිහිල්ල ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒ පවුලට උදව් කරන්නෙත් අපි. මේ ජීවිතේ හරිම දුෂ්කරයි.”

කඩන බව දැනුම් දී ඇති නිවාස 44ට සිය නිවස ඇතුලත් නැති නමුත් "පූජා භූමිය” ලෙස නම් කල කොටසේ පිහිටා ඇති තවත් නිවාස ගනනාවක් සමග තම නිවස ද කඩා දැමීම අනිවාර්ය බව තවත් තරුනයෙකු පැවසීය. දඹුල්ල නිස්සංක හන්දියේ සිට පාදෙනිය දක්වා ඇති කොටසේ ඉඩම් කට්ටි 9ක නිවාස එසේ කඩා දැමීමට නියමිතය.

මෙම කොටසේ පදිංචිකරුවන් අතර සුලු ව්‍යාපාරිකයන්, රජයේ සේවකයන්, දෛනික වැඩවල යෙදෙන කම්කරුවන් හා නගරයේ සනීපාරක්ෂක කම්කරුවෝ වෙති. කඩ කාමර පහසුකම් නැති ඉතා කුඩා ඒවාය. ඔවුන් ජීවත් වන්නේ යාබදව තනාගත් කාමරයක් හෝ දෙකක් තුලය. මසකට රුපියල් 20,000ක පමන ආදායමක් ලැබෙන්නෙ සමහර කඩවලින් පමනි. එහෙත් පවුලක් නඩත්තු කිරීමට එය ප‍්‍රමානවත් නැති බව ඔව්හු කීහ.

කොලඹ නිවාස කැඩීම පිලිබඳව ලෝසවෙඅ පල කල ලිපි කියවූ බව එම තරුනයා කීවේ ය. සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ වැඩකරන ජනතාව සංවිධානය කිරීම අමාරු බව පැවසූ ඔහු තමන් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියූ පක්ෂ ආන්ඩුවට එක්ව සිටින්නේ මන්දැයි විමසී ය.

තරුනයන් හා කම්කරු පන්තිය තුල එවන් ව්‍යාකූලත්වයකට තුඩු දී ඇත්තේ ලංකා සමසමාජ පක්ෂය 1964 දී ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් වීමෙන් කුලුගැන්වුන මහා පාවාදීමත් වර්තමානයේ ව්‍යාජ වම්මුන් සහ වෘත්තීය සමිති විසින් කරනු ලබන පාවාදීමත් බව සසප නියෝජිතයෝ පෙන්වා දුන්හ. රාජපක්ෂ ආන්ඩුවෙන් තරුනයන්ට හා කම්කරු පන්තියට එල්ල කෙරෙන ප‍්‍රහාර ගැඹුරුවන ලෝක ධනවාදී අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීමේ ආන්ඩුවේ සැලසුම්වල කොටසකි. එහෙයින් තමන් මුහුන දෙන ප‍්‍රශ්නවලින් ගොඩ ඒමේ කෙටි මාවතක් තරුනයන් ට හෝ කම්කරුවන්ට නැත. එකම විකල්පය සමාජවාදී වැඩ පිලිවෙලකට සටන් කිරීම බව සසප නියෝජිතයෝ අවධාරනය කලහ. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත පදනම් වූ ස්වාධීන කම්කරු පන්තික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය සසප නියෝජිතයන් විසින් පැහැදිලි කිරීමෙන් පසුව එම තරුනයා වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එකඟ විය.

සසප ප‍්‍රදේශයේ බෙදාහල පති‍්‍රකාව හමුදාව හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ප‍්‍රදේශවාසීන්ගෙන් එකතුකරගෙන ගිය බව ඔවුහු කීහ. "ආන්ඩුව මේවා කරන්නේ අපව බියවැද්දීමටයි. එහෙත් පවුලකට නිවසක් නැතිව මහපාරේ ජීවත් විය හැකි දැයි” එයට විරෝධය පල කල නිවැසියෙක් විමසුවේය. "දඹුල්ල නගරයේ නිවැසියන් ඉවත් කිරීමට එරෙහි උද්ඝෝෂනයක්” මැයෙන් සසප බෙදාහල පත‍්‍රිකාවේ ආන්ඩුවේ පිලිවෙත මෙසේ පැහැදිලි කර තිබුන. "රටේ ප‍්‍රධාන නගරවල බිම් කොටස් ආයෝජකයින්ට පවරා දීමේ "නගර සංවර්ධන” ව්‍යාපෘති යටතේ දුගී ජනයා නගරවලින් පලවා හැරීම ආන්ඩුවේ පිලිවෙත වන අතර එය ආරම්භ කෙරුනේ කොලඹ නගරයෙනි.”

හමුදාව යොදවා ආන්ඩුව සසප පත‍්‍රිකාව එකතු කලේ නිවැසියන් බිය වද්දා නිවාස කැඩීමට එරෙහි ඔවුන්ගේ අරගලය කඩාකප්පල් කිරීමේ අරමුන ඇතිව ය. එය ආන්ඩුවේ ශක්තියේ ප‍්‍රකාශනයක් නොව: සසප ඉදිරිපත් කරන සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පීඩිත ජනයාගේ දේශපාලන ව්‍යාපාරයක් ඉස්මත්තට ඒම කෙරෙහි ආන්ඩුවේ භීතියේ ප‍්‍රකාශනයකි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ ආන්ඩුව නිවාස අයිතිය, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුලු පොදු සහන සේවා අහෝසි කරන අතර පොලිස් රාජ්‍ය සැලසුම් ක‍්‍රියාවට නැගෙමින් තිබේ.

විපක්ෂයේ ප‍්‍රමුඛ පක්ෂ වන එජාප හා ජනතා විමුක්ති පෙරමුනට ආන්ඩුවේ පිලිවෙත් සමග මූලික මතභේදයක් නැත. ඔවුන්ගේ ඊනියා උද්ඝෝෂනවල එල්ලය රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව වැඩකරන ජනයාගේ දැනුවත් අරගලයක් ඇතිවීම වැලැක් වීමයි. කොලඹ පැල්පත්වාසීන් ඉවත් කිරීමට එරෙහිව පැන නැගුන විරෝධය එජාපය විසින් උසාවියෙන් විසඳුම් ලබා ගැනීමේ මිථ්‍යාවකට කොටු කර විසුරුවා හැරීම එක උදාහරනයකි. නිවැසියන් නගරවලින් පලවාහැරීමට ලසසප හා කොමියුනිස්ට් පක්ෂය ආන්ඩුවට ගාල් වී සිටින අතර ව්‍යාජ වාම පක්ෂ වන නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය, එජාපය සමග පෙල ගැසී සිටිති.

නිවාස අයිතිය හෝ වෙනත් කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ආන්ඩුවට බලකරන උද්ඝෝෂන මගින් හෝ ධනපති දේශපාලනඥයන් පසු පස යාමෙන් රැක ගත නොහැකිය. ඒ සඳහා කම්කරු පන්තියේ නායකත්වය යටතේ නිවාස අහිමිවන්නන්, දුගී ගොවීන් ඇතුලු ධනපති රාජ්‍යයේ ප‍්‍රහාරයට මුහුන දෙන සියලු කොටස් බලමුලු ගන්වා ගත් ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යය. එවන් ව්‍යාපාරයක් ගොඩ නැගීමට ආරම්භයක් ලෙස ප‍්‍රදේශයේ කම්කරුවන් හා දුගී ගොවීන් සමග එකාබද්ධව ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමට දඹුල්ලේ නිවාස අහිමිවන්නන් පෙරට ආයුතු ය.

ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි අරගලය ඍජුවම දේශපාලන අරගලයකි. එනම් අතලොස්සක් ධනපතීන්ගේ උවමනාවන් රකින ධනපති ආන්ඩුව වෙනුවට සමාජයේ බහුතරයකගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවූ සමාජවාදී වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයකි.

එවන් අරගලයකට මග පෙන්වන එකම පක්ෂය සසප පමනි. සසප හා එක්වී එම අරගලය සංවිධානය කිරීමට පෙරට එන ලෙස කම්කරුවන්, තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: