සිරියාව තුල යුද්ධය එපා!

No to war in Syria!

2013 ජුනි 18

සිරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා බටහිර පිටුබලය ලත් දක්ෂිනාංශික ඉස්ලාමීය කුලී හමුදා සෘජුවම සන්නද්ධ කිරීමට ඔබාමා පාලනය ගෙන ඇති තීරනය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය තරයේ හෙලා දකියි.

සිරියාව කැබලි කිරීමේ කුමන්ත්‍රනයක යෙදී සිටින සාපරාධී යුදවාදීන්ගේ හමුවක් ලෙස උතුරු අයර්ලන්තයේ පැවැත්වෙන ජී-8 කන්ඩායමේ නායක රැස්වීම අපි හෙලාදකිමු. මීට පෙර ලිබියාවේ ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සිදුකලාක් මෙන් සිරියාවේ සිදු කරන මැදිහත්වීම ද, අධිරාජ්‍යවාදයේ ලාභ පිපාසාව හා මූලෝපායික අවශ්‍යතා සඳහා පැරනි යටත් විජිතයක් වන එරට බිල්ලට ගැනීමේ ප්‍රචන්ඩ හා කොල්ලකාරී යුද්ධයකි.

එරට ජනාධිපති බෂර් අල්-අසාඩ්ගේ ආන්ඩුව සිරියානු සිවිල් යුද්ධයේදී රසායනික අවි යොදාගන්නා බවට ඔබාමාගේ ධවල මන්දිරය හා ව්‍යාපාරික මාධ්‍ය විසින් අතොරක් නැතිව ඇදබාන මුසාවන් කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැත. එය වනාහි දශකයකට පෙර ඉරාකය ආක්‍රමනය කිරීමේ කඩතුරාව ලෙස ගොතන ලද “ජන සංහාරක අවි” පිලිබඳ අපකීර්තිමත් මුසාවාදයන්ගේ නොවරදින සුලු දෝංකාරයකි.

එහෙත් වෙනසක් ඇත. බුෂ් පාලනය 2003දී ජන ඝාතක අවි හා බැග්ඩෑඩයත් අල් කයිඩාවත් අතර බැඳීම් පිලිබඳ බොරු චෝදනා ගොතන ලද්දේ, එක්සත් ජනපදය ප්‍රහාරයක තර්ජනයට මුහුනදී සිටින බැවින්, ආත්මාරක්ෂාව සඳහා පූර්වභංග ප්‍රහාරයක් එල්ල කිරීමට තමන්ට බලකෙරී ඇතැයි ගෙනහැර පෑමටය.

අද සිරියාව, එක්සත් ජනපදයට තර්ජනයක් වන බවට හාංකවිසියක් වත් ඇත්තේ නැත. ඩැමස්කස්හි ප්‍රතිගාමී තන්ත්‍රයේ කීර්තියට හේතුවක් නොවන්නේ වුව ද සැබවින්ම සිරියානු ආන්ඩුව, එක්සත් ජනපදයේ “ත්‍රස්තවාදයට එරෙහි යුද” ව්‍යායාමයේදී එය සමඟ සහයෝගයෙන් කටයුතු කලේය. තනිකරම වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතාවන් මුල්කරගත් ව්‍යායාමයක් වන නිසාම, ජාත්‍යන්තර නීතියේ සෑම ධර්මතාවකටම අනුව එක්සත් ජනපදයේ මැදිහත්වීම ආක්‍රමනයේ සාපරාධී ක්‍රියාවකි.

මැදිහත්වීම පිලිබඳ නිල පැහැදිලි කිරීම්, දැඩි පරස්පර විරෝධයන්ගෙන් පිරී ඇත. එක්සත් ජනපදය විසින් මහජන විරෝධතා කුරිරු ලෙස මැඩීමේ යෙදී සිටින තුර්කි ආන්ඩුව සමඟ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යයි කියනු ලබන සන්ධානයක් පවත්වාගෙන යයි. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් මැදිහත්වීම් යුක්තිසහගත කරන අතරතුර වොෂින්ටනය, සිරියාවට කරන මැදිහත්වීම තුලින් අල් කයිඩා කොටස් විසින් ප්‍රමුඛත්වය දරන ත්‍රස්තවාදයට පිටුබලය සපයයි.

එක්සත් ජනපදය, මැද පෙරදිග සිය කුලීකරුවන් ලෙස දක්ෂිනාංශික සුන්නි හමුදා ප්‍රයෝජනයට ගනියි. කලාපය තුල ෂියා ජනතාවන්ට එරෙහිව ජිහාඩ් (ශුද්ධවූ) යුද්ධයකට සමාන යුද්ධයක් වර්ධනය කිරීම පිනිස එක්සත් ජනපදය, තුර්කියේ හා ඊජිප්තුවේ ඉස්ලාමීය තන්ත්‍රයන් හා සවුදි අරාබිය ද තෙල් නිෂ්පාදනය කරන ප්‍රතිගාමී ගල්ෆ් සුන්නි රාජාන්ඩු සමග ද සමීප සහයෝගිතාවක් පවත්වයි.

බිහිසුනු නිකායික බෙදීම් අවුලුවාලන සිරියාවට මැදිහත්වීමේ මෙම මූලෝපාය, වොෂින්ටනය පිටුබලය සපයන කොටස් සිරියාව තුල බලයට පත් වුවහොත්, මහා පරිමානයේ වාර්ගික-ආගමික ජනසංහාරයන් බවට පත්වීමේ ශක්‍යතාව දරා සිටියි.

මෙය නව පිලිවෙතක් නොවේ. පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදයේ වොෂින්ටනය, මැද පෙරදිග තුල වාම ජාතිකවාදි හා සමාජවාදී බලපෑම් වර්ධනය වීම වැලැක්වීමට දක්ෂිනාංශික ඉස්ලාම්වාදීන් පෝෂනය කලේය. ඉන්දුනීසියාවේදී පන් ලක්ෂයක් මිනිසුන් ඝාතනය කරමින් අවසන්වූ සීඅයිඒ පිටුබලය ලත් 1965 කුමන්ත්‍රනයේදී මෙම බලවේග කම්පන භටකායන් ලෙස ඇමරිකාව විසින් පාවිච්චි කරන ලදී.

දශකයකට වැඩි කලක් තිස්සේ එක්සත් ජනපද මිලිටරිය, ඔත්තු සේවා හා දේශපාලන කවයන් ද බ්‍රිතාන්‍ය හා ප්‍රන්සය වැනි සිය ප්‍රමුඛ නේටෝ සහචරයින් විසින් ද අනුගමනය කර තිබෙන සැලසුම්, සිරියාවට එරෙහි මිලිටරි ආක්‍රමනය ක්‍රියාවට නැඟීමේදී ඔබාමා පාලනය විසින් ක්‍රියාවට නඟයි.

ඉරාකයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනකාරී යුද්ධයේදී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකර තිබෙන ඩික් චේනි. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් හා අනෙකුත් පුද්ගලයින්, නව ඇමරිකානු සියවස සඳහා ව්‍යාපෘතියක් ලෙස 1997 තරම් ඈතදී පිහිටුවන ලද වොෂින්ටනයේ බුද්ධි සැලසුම, සිරියාවේ “තන්ත්‍ර වෙනස” සඳහා ද යොදාගෙන තිබේ.

2004 වසරේ මුල ඇමරිකානු කොන්ග්‍රසය, සිරියාව වගකීමට බැ‍ඳෙන පනත සම්මත කරමින්, එරටට දන්ඩන ආර්ථික සම්බාධක පනවන ලදී. ඔවුන් කියා සිටි පරිදි එරට පාලකයින්, “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට, විදෙස් පිලිවෙතට හා ආර්ථිකයට අත්‍යසාමාන්‍ය තර්ජනයකි.”

එම වසරේදීම එක්සත් ජනපදයේ මිලිටරිය හා ඔත්තු සේවා ආයතනයන් සමග සමීප සම්බන්ධකම් සහිත ජාතික ආරක්ෂක බුද්ධි මන්ඩලයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ මධ්‍යස්ථානයේ වොෂින්ටන් ක්වාටලි සඟරාව, “බෂාර් අල් අසාඩ් නව ලෝක පර්යායට ඇතුලත් ද නැද් ද” යන හිසින් යුත් ලිපියක් පලකලේය. ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී” වොෂින්ටනය සමඟ සිරියාව දක්වන සහයෝගිතාවය පිලිගන්නා අතරම, එය අනාවැකි පලකලේ, “මැද පෙරදිගදී එක්සත් ජනපදය සපුරා ගැනීමට උත්සාහ දරන සියල්ල පිලිබඳව සිරියානු තන්ත්‍රයට අවබෝධයක් නැතැයි සලකන තැනට එක්සත් ජනපදය පත්වීමත් සමග පිරිහෙමින් යන බැඳීම්, යථා තත්වයට පත්කර ගැනීමට අසාද් අසමත්වනු ඇති” බවටය.

“එක්සත් ජනපදය සපුරා ගැනීමට උත්සාහ දරන්නේ” මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ තෙලින් පොහොසත් හා මූලෝපායිකව වැදගත් කලාපයේ සිය ආධිපත්‍යය ප්‍රචන්ඩ ආකාරයෙන් පිහිටුවා ගැනීමටය. ඔවුන් ඉල්ලා සිටින්නේ සිරියානු තන්ත්‍රය මොස්කෝව, ඉරානය හා ලෙබනනයේ හෙස්බොල්ලා ව්‍යාපාරය සමග පවත්වන සම්බන්ධතා අත්හිටුවිය යුතු බවත්, ඉරාකයේ එක්සත් ජනපද යුද්ධයට කොන්දේසි විරහිතව සහාය දිය යුතු බවත්, දකුනු ලෙබනනය හා ගෝලාන් කඳුකරය ඈඳා ගැනීමේ ඊස්රායල් ව්‍යායාමයට යටත්විය යුතු බවත් ය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් සිරියාව එක්සත් ජනපදයේ අර්ධ යටත් විජිත වැයික්කියක් බවට පරිවර්තනය කිරීමට එකඟ විය යුතුය යන්නයි. දේශපාලන හා සදාචාරාත්මක සියදිවි නසාගැනීමකින් තොරව අසාද්ට මෙම ඉල්ලීම් වලට එකඟ විය නොහැකිය.

සිරියාවේ ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වීමට පෙර වඩාත් මෑතකදී, හිටපු ප්‍රන්ස විදේශ ඇමති රොනල්ඩ් ඩුමාස්, වෙනත් අවශ්‍යතා සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටියදී පැවති තත්වය සිහිපත් කරමින්, ප්‍රන්ස පාර්ලිමේන්තු රූපවාහිනී ජාලය වන එල්සීපීය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසීය. “සිරියාව තුල විශාල යමක් සිදුවෙමින් පවතින්නේ යයි බ්‍රිතාන්‍යයේ ඉහල පෙලේ නිලධාරීහු මා හමුවූ අවස්ථාවේදී මා වෙත දැනුම් දුන්හ. මෙය සිදුවූයේ බ්‍රිතාන්‍යයේ ය. ඇමරිකාවේ නොවේ. බ්‍රිතාන්‍ය සිරියාව තුලට කැරලිකරුවන්ගේ කඩාවැදීමක් සංවිධානය කරමින් සිටියි.”

මැද පෙරදිග පිලිබඳ එක්සත් ජනපදයේ වඩාත්ම නිර්දය මූලෝපායඥයෙක් වන ඇන්තනි කෝඩෙස්මන් සීඑස්අයිඑස් නමැති බුද්ධි මන්ඩල වෙබ් අඩවියේ ජූනි 14දා පලකල ලිපියක එක්සත් ජනපද මැදිහත්වීමේ සැබෑ අරමුනු ගෙනහැර දැක්වීය.

“ඉරාකයේ මඩවගුර තුල එරී යාමෙන් පසුව, එක්සත් ජනපදයේ ආර්ථිකයකය දුබල වීමකට හා ජාතික මූල්‍ය අර්බුදයකට ද යුද්ධයෙන් හෙම්බත්වීම හා ආරක්ෂක වියදම් කැපීමකට ද මුහුනපා සිටින” තතු හමුවේ වොෂින්ටනය “පසුබසිද්දී” හා ඉරානය “වාසි ලබද්දී” වොෂින්ටනයේ කලාපීය එදිරිවාදියා වන ඉරානයේ සහචරයා වන සිරියාව මත පරාජයක් අත්කර දීමත්, මැදපෙරදිග තුල අභිනිවේෂය ආපසු කැරකවීමත් සඳහා යුද්ධයක් අත්‍යවශ්‍ය බවට කෝඩෙස්මන් තර්ක කලේය. ඔහු මෙසේ ද ලිවීය. “දැන් ලැවෙන්ට් හා ගල්‍ෆ් එකට ගැටගසන වඩා පුලුල් බල අරගලයක්” ඇවිලවීම සඳහා සිරියාව තුල ප්‍රධාන ලේ වැගිරවීමක් අවශ්‍යවී ඇත.

කෝඩෙස්මන් පැහැදිලි කල පරිදි, කෙලින්ම ආයුධ තොග පිටත්කර හැරීම පලමු පියවර පමනි. එය පසුපස, අතොරක් නැති බෝම්බ දැමීම් හා විශාල පරිමානයෙන් හානි පැමිනවීමට වාතාවරනය සකසන පියවර, එනම්, සිරියාව තුල සීඅයිඒ හා විශේෂ කාර්ය සාධක හමුදා යෙදවීම, එහි ගුවන් පථය තුල “පියාසර තහනම් කලාපයක්” ඇටවීම පැමිනෙන්නේය.

මෙහි දිගහැරෙමින් ඇත්තේ දැවැන්ත යුද අපරාධයකි. සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම අතින් එය සියවස් තුන්කාලකට පමන පෙර නාසින් විසින් ගෙනගිය ආක්‍රමනික යුද්ධයට සමානකම් දරයි.

කිසිදු සැකයකට ඉඩක් ඇත්තේ නැත. සිරියාවේ මැදිහත්වීම, පලමු පියවරේදී ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන ව්‍යායාමයක් හා වඩාත් විශාල මෙන්ම ව්‍යසනකාරී යුද්ධයන්ගේ එලිපත්ත බවට පත්වනු ඇති බව සනාථ කරනු ඇත. එය රුසියාව තුල වාර්ගික ස්වෝත්තමවාදය දිරිගැන්වී‍ම සඳහා සුදානම් වීමට පසුබිම සකසනු ඇත. රුසියාව වොෂින්ටනයට ගැටලුවක් ලෙස පවතියි. ජී8 රැස්වීමේදී පුටින්ගෙන් කුමන සහන උදුරා ගත්ත ද එය උදව් කරනු ඇත්තේ හෙට දිනයේදී රුසියාවට එරෙහිව වඩාත් ප්‍රතිපලදායක ආක්‍රමනයකට පමනකි.

යන්තම් දශකයකට වැඩි කාලයක් තුල හතරවෙනි වතාවටත් එක්සත් ජනපදය නව යුද්ධයක් දියත් කරමින් සිටියි. එය හුදෙක් ගෝලීය ආසක්තයන් පෙරට ගෙනයාමක් පමනක් නොවේ. ඒ වෙනුවට එය සලකුනු කරන්නේ, ඇමරිකානු සමාජයේ ඉමහත් ලෙස පුපුරන සුලු ප්‍රතිවිරෝධයන් මිලිටරි ප්‍රචන්ඩත්වයේ රූපයෙන් පිටතට හැරවීම මඟින්, එක්සත් ජනපදය තුලම ධනපති පාලනය පවත්වාගෙන යාමේ තීරනාත්මක මාධ්‍යය බවට නොනවතින යුද්ධය පැමින තිබෙන බවයි. කුමන පක්ෂයක ‍කුමන කොටසකින් හෝ එල්ල වන සැලකිය යුතු විරුද්ධත්වයකින් තොර මුලුමනින්ම ද්විපාර්ශවික පිලිවෙතකි මෙය.

මෙම අපරාධයට, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය, ප්‍රන්සයේ ධනපති විරෝධී පක්ෂය හා ජර්මනියේ වාම පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් සහාය දෙමින් සිටිති. එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඉස්ලාම්වාදීන්ගේ ප්‍රචන්ඩ ක්‍රියා “විප්ලවය” ලෙස මෙම සංවිධාන විසින් පිංතාරු කිරීම තරම් කුනුහරපයක් තවත් නැත. පෙන්ටගනය හා සීඅයිඒ විසින් සංවිධානය කල නීති විරෝධී යුද්ධය විකිනීම සඳහා රාජ්‍ය ප්‍රචාරනයේ තුරුම්පු ලෙස මෙම කන්ඩායම් හා ඒවායේ නායකයෝ සේවය කරති. ලෝකය පුරා කම්කරුවන් සේම, ඇමරිකානු වැඩකරන ජනතාව ද යුද්ධයට එකහෙලාම විරුද්ධ වෙති. සිරියාවේ එක්සත් ජනපද මැදිහත්වීමට විරුද්ධ සියල්ලන්ගෙන්ම අප ඉල්ලා සිටින්නේ, යුද්ධයට එරෙහි බලගතු ව්‍යාපාරයක් ගොඩනැඟීම පිනිස අප හා එක්වන ලෙසයි.

බිල් වෑන් ඕකන්

Share this article: