සබරගමුව, කැලනිය සරසවි සිසුන්ට එරෙහි පොලිස් හා මැර ප‍්‍රහාර මාලාවක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2013 ජූනි 17

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වේගවත් කර ඇති රාජපක්ෂ ආන්ඩුව, එයට එරෙහිව වැඩෙමින් පවත්නා විරෝධතා මැඩීමේ අරමුනෙන්, සරසවි සිසුන්ට එරෙහි සැලසුම්ගත පොලිස් හා මැර ප‍්‍රහාර මාලාවක් දියත් කොට ඇත. සති දෙකකට පෙර සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට පොලීසිය එල්ල කල කඳුලු ගෑස් හා බැටන් ප‍්‍රහාරයෙන් ද කැලනිය හා රුහුනු විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යයන්ට එල්ල කල මැර ප‍්‍රහාරවලින් ද එම සැලසුම් එලිමහනට පැමිනෙයි.

සබරගමුව ශිෂ්‍යයන්ට මෙම පොලිස් ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ මේ මස 01 වැනි දා බදුල්ල කොලඹ මාර්ගයේ පඹහින්න මංසන්දියේ විරෝධතාවයක යෙදී සිටියදී ය. පන්ති තහනමට ලක්ව ඇති සිසුන් හය දෙනෙකුගේ පන්ති තහනම හා ශිෂ්‍ය සංගම් තහනම ඉවත් කරන ලෙස සරසවි පාලනාධිකාරියට බල කරමින් පැවැත්වූ මෙම විරෝධතාවයට සිසුන් 300 ට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

පොලිස් ප‍්‍රහාරයේ ස්වභාවය පැහැදිලි කරමින් සබරගමුව සරසවියේ ශිෂ්‍යයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය. "උද්ඝෝෂනයක යෙදුනත් අපි පාරේ යන වාහනවලට අවහිර කලේ නෑ. නමුත් ආන්ඩුවේ මාධ්‍යවලින් ප‍්‍රචාරය කලේ අපි ගිලන් රථයකට පවා යන්න නොදුන් බවයි. පැයකින් පමන හමුදාවේ ට‍්‍රක් රථ දෙකක් ආවා. ඒවාට පාරේ සම්පූර්න ඉඩ අවශ්‍ය බව ප‍්‍රකාශ කරද්දි සිසුන් ඒකට විරුද්ධ වුනා. එතකොටම කඳුලු ගෑස් ගැහුවා. කඳුලු ගෑස් ප‍්‍රහාරයෙන් ගැලවීමට දිව ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හඹා යමින් පොලීසිය අමානුෂික ලෙස පහර දුන්නා”.

හමුදාව එහි කැඳවා ඇත්තේ පොලීසියට පාලනය කල නොහැකි තත්වයක් උද්ගතවුවහොත් සිසුන්ට එරෙහිව මුදා හැරීමට ය. පන්ති තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා ඊට පෙර සතියේ සරසවිය තුල කල උපවාසය මැදට සුදු වෑන් රථයකින් කඩාවැදුනු මැර පිරිසක් ශිෂ්‍යයන්ට පරුෂ වචනයෙන් බැනවැදී අහසට වෙඩි තබා තර්ජනය කල බවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂනයක් පවත්වා නැති බවත් අප වෙබ් අඩවියට කතා කල සිසුවා ඔහු වැඩිදුරටත් පැවසීය.

ආන්ඩුව ශිෂ්‍ය මර්දනය තවදුරටත් දිගේලි කිරීම සඳහා පඹහින්න විරෝධතාව යහමින් පාවිච්චි කරමින් විරෝධතාවයට පසු දිනයේම නිවේදනය කලේ සිද්ධියට සම්බන්ධ සිසුන් 47 ගේ පන්ති තහනම් කර ඇති බව යි.

”ගැටුම පිටුපස සිටින්නේ කව්රුන්දැයි සොයා බැලීමට පොලිස් පරීක්ෂන සිදු කෙරෙමින් පවතින බවත් ඒ පිලිබඳව තමා පුද්ගලිකව සොයා බලමින් සිටින බවත්” ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ ය. ගෝඨාභය රාජපක්ෂගේ මෙම ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම තැන් වලින් සිසු මර්දනය දිගේලි කිරීමට අත ගසා ඇති බවයි.

ඒ පිලිබඳ ඉඟි කරමින් සමනලවැව පොලීසිය කියා සිටියේ පරීක්ෂන සඳහා ඔවුන් සතුව වීඩියෝ පට තිබෙන බවයි. ශිෂ්‍ය දඩයම සඳහා ආන්ඩුව දැනටමත් සරසවි තුල සීසීටීවී කැමරා සවි කොට තිබේ. රට තුල ආරක්ෂක අංශ මුල් වු සන්නද්ධ කන්ඩායම් විසින් පැහැර ගැනීම් හා මැර ප‍්‍රහාර එල්ල කරන තත්වයක් හමුවේ මෙය සිසුන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි.

සිය දේශපාලන අනන්‍යතාවය හෙලි නො කල සබරගමුව සරසවි ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෑත අර්බුදයේ ආරම්භය පැහැදිලි කලේ ය: "මාර්තු මාසේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට හේතු වුනේ ජලය, විදුලිය ඇතුලු පහසුකම් කිසිවක් නොමැතිව අසම්පූර්නව ඉදිකොට තිබු භූ විද්‍යාපන පීඨ ගොඩනැගිල්ල එස්.බී. දිසානයක (උසස් අධ්‍යාපන ඇමති) හා බැසිල් රාජපක්ෂ (ආර්ථික සංවර්ධන ඇමති) ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට සිසුන් දැක්වු විරුද්ධත්වයයි. ඊට පස්සේ ගොඩනැගිල්ල ඉදිකිරීම සහ විවෘත කිරීම පස්සට දාලා ශිෂ්‍යයන් මත මර්දනීය නීති මාලාවක්’ පැනෙව්වා.”

ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර තුල පවත්වන සියලු රැස්වීම් ශාලාධිපතිගේ අවසරය සහිතව උපශාලාධිපතිගේ සහභාගීත්වය යටතේ පැවැත්වීම, සියලු ශිෂ්‍ය සංගම් සිකුරාදා දින මධ්‍යාහ්න 12 ත් සවස 6 ත් අතර පමනක් පැවැත්වීම, රාත‍්‍රී 10 ට පෙර ශිෂ්‍යයන් තම සියලූ ක‍්‍රියාකාරකම් අවසන් කිරීම හා ශිෂ්‍යාවන් රාත‍්‍රී 8 ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කිරීම ඇතුලත් මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, මිලිටරි පන්නයේ නියෝග මාලාව පැනවූ දා සිට ගත වූ මාස කිහිපය පුරා සබරගමු සරසවියේ සිසුහු විවිධ ආකාරයෙන් තම විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිටියහ.

පසුගිය 06 දා රාත‍්‍රියේ කැලනි සරසවියේ විද්‍යාපීඨ සිසු නේවාසිකාගාරයට වෑන් රථවලින් කඩා වැදුනු මැර කන්ඩායමක් කල පහරදීමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලැබූහ. සති දෙකකට පෙර සිදු වු එවැනිම මැර පහරදීමකින් රුහුනු සරසවියේ සිසුන් තුන් දෙනෙකු රෝහල් ගත කෙරුනි. එනමුදු ප‍්‍රහාර සම්බන්ධව කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

කැලනිය සරසවියේ කලා පීඨයේ ශිෂ්‍යයෙක් මෙසේ ප‍්‍රශ්න කලේ ය: "ප‍්‍රහාරය සිදු වෙනවා මම දැක්කේ නෑ. නමුත් පොලිස් හමුදා මුරකාවල් පසු කර ගෙන වෑන් වලින් ඇවිල්ලා මේ වගේ පහර දෙන්න පුලූවන් ආන්ඩුවට හැර වෙන කාටද?”

”ආන්ඩුව ඔවුන්ට ගැති ශිෂ්‍යයෝ යොදා ගෙන ශිෂ්‍යයන් භේද කරනවා. පසුගිය දවස්වල අපේ ශිෂ්‍ය සංගම් ලේකම්වරියට එල්ටීටීඊ සහයෝගීකරුවෙක් කියලා තර්ජනය කරලා ඇයගේ ගමේ පෝස්ටර් ඇලෙව්වා. එවැනි පෝස්ටර් ඇලවීමක් කරන්න පුලූවන් ආන්ඩුවට හරි ආන්ඩුවේ හෙන්චයියන්ට විතරයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ ය.

ශිෂ්‍යයන්ගේ විරෝධතාවලට සමගාමීව කොලඹ හා පේරාදෙනිය සරසවිවල ආචාර්යවරු හා අනධ්‍යයන සේවකයෝ ද ආන්ඩුවේ දේශපාලන හෙන්චයියන් සරසවි තුල ඉහල පරිපාලනයට පත් කිරීමට එරෙහිව පසුගිය සතිවලදී විරෝධතාවල යෙදී ගත්හ.

සරසවි ශිෂ්‍යන්ට එරෙහි ප‍්‍රහාරය, නිදහස් අධ්‍යාපනය අතුගා දැමීමේ හා සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව ආන්ඩුව එල්ල කර ඇති ප‍්‍රහාරයේ කොටසකි. සිසුන් ඉදිරියේ ඇති දේශපාලන ප‍්‍රශ්න යටගසා සිසුන්ට මග වලහමින් සිටින්නේ රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමටත්, බිලියන ගනන් මුදල් හා දස දහස් ගනන් ජීවිත නැති භංග කල වර්ගවාදී යුද්ධයටත් සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) කැඩී ගොස් දැන් ජවිපෙ මෙන්ම ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නගන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසඅ) හා එහි අන්ඩක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) යි.

ශිෂ්‍ය සටන් මගින් කෙසේ හෝ ධනපති රාජපක්ෂ ආන්ඩුවෙන් සහන දිනා ගත හැකි යැයි අවිශිබමය වපුරන බංකොලොත් අදහස් සංගමයේ කි‍්‍රයාකාරීන් පිරිසක් විසින් ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේ ය: "අපි කියන්න කැමතියි සබරගමු සරසවියේ අපි කිසිම පක්ෂ දේශපාලනයක නැහැයි කියලා. අපි යෙදෙන්නේ ‘ශිෂ්‍ය දේශපාලනයක’. ඒ වගේ ම එම ශිෂ්‍ය දේශපාලනය හරහා අපි දිනාගත්තු දේවලුත් තියනවා. උදාහරනයක් හැටියට ක‍්‍රීඩා පිට්ටනියක්, කලින් පීඨ ගොඩනැගිලි නො තිබුනු පීඨවලට ගොඩනැගිලි ලබාගැනීම දක්වන්න පුලුවන්. දැන් මේ එල්ල වුනු පොලිස් ප‍්‍රහාරයටත් හේතු වුනේ ශිෂ්‍ය භාවය අහෝසි වුනු අය වෙනුවෙන් කරපු ඒ වගේ අරගලයක්.”

සබරගමුව සරසවියේ ඌන පහසුකම් මගින් පිලිබිඹු කෙරෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එල්ල කෙරෙන ප‍්‍රහාරවල එක් පැත්තකි. සමනල වැව ව්‍යාපෘතියේ සේවකයන් හට නවාතැන් සැපයීම සඳහා ඉදිකල නේවාසිකාගාරවල සහ අනෙකුත් ගොඩනැගිලිවල 1995 දී අටවන ලද සබරගමුව සරසවියේ ශිෂ්‍ය උද්ඝෝෂනයක් නොමැතිව ගෙවුන වසරක් නොමැති තරම්ය.

ලොව පුරා සෑම පාලක පන්තියක් සේම රාජපක්ෂ ආන්ඩුව ද මුහුන දී ඇත්තේ දරුනු ආර්ථික අර්බූදයකටයි. එහි පිලිවෙත වන්නේ ලොව පුරා අනෙකුත් ආන්ඩු අනුයමින් අර්බූදයේ සියලු බර කම්කරු පීඩිත මහජනයා මත පැටවීමයි. ආන්ඩුව එකකට එකක් වසයෙන් අයවැයවලින් අධ්‍යාපනයට ද වෙන් කරන ප‍්‍රතිපාදන කපා දමා තිබේ. මෙම කප්පාදු ගලා එන්නේ, 2014 වනවිට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2 දක්වා පහල හෙලන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති නියෝගයන්ගෙනි.

නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන කප්පාදු කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්, තරුනයන් හා අවශේෂ පීඩිතයන් අතර වැඩෙන විරුද්ධත්වය සම්බන්ධයෙන් ආන්ඩුව හොඳින් දනී. එම විරෝධතා රුදුරු ලෙස මර්දනය කිරීමට රාජපක්ෂ ආන්ඩුව දැවැන්ත පිරිවැයක් දරමින් යුද සමයේ අටවාගත් පොලිස් රාජ්‍ය යන්ත‍්‍රය තවදුර ශක්තිමත් කරමින් නඩත්තු කරගෙන යයි. ශිෂ්‍යයන්ට අමානුෂික පහර දීමට පොලීසිය හා මැර කන්ඩායම් යොදවන්නේ මෙම මර්දනයේ කොටසක් ලෙස ය.

එබැවින් ආන්ඩුවටත් ආන්ඩුව මෙහෙයවන ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයටත් එරෙහි දේශපාලන අරගලයකින් තොරව කිසිදු සමාජ හෝ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියක් ආරක්ෂා කරගත නො හැක. කම්කරු පන්තිය වෙතට හැරී එහි සහයෝගය ගොනු කර ගනිමින් සමාජවාදී පිලිවෙත් සඳහා අරගලයට යොමු වන ලෙස සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයේ නියෝජිතයන් ප‍්‍රකාශ කල විට අවිශිබමට සම්බන්ධ සිසු කි‍්‍රයාකාරිකයෙක් "ඔබ කියන්නේ එම ඉදිරි දර්ශනය ඉටුවන තෙක් සිසුන් අකර්මන්‍යව බලා සිටිය යුතුය යන්නදැ”යි ප‍්‍රශ්න කලේ ය.

කම්කරු පන්තිය වෙතට හැරී ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලය "අකර්මන්‍ය වී සිටීමක්” යයි අවිශිබම සිසු නායකයන් පහර දුන් නමුත් එහි කැඳවුම් කරු "කි‍්‍රයාශීලීවීම” පෙන්නුම් කරමින් සන්ඬේ ටයිම්ස් පත‍්‍රයට සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිනිලි කරන බවයි. කම්කරු පන්තියට හැරීමට විරුද්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසු නායකයෝ අධිරාජ්‍යවාදී සංස්ථා ප‍්‍රශ්න විස දෙනු ඇතැයි යන මිථ්‍යාවන්ගේ උගුලක සිසුන් හිර කිරීමට නම් එක පයින් සූදානම් ය.

Share this article: