භික්ෂුවගේ ගිනි තබා ගැනීම සැලැසුම්කල ප‍්‍රකෝපකරනයක්

පානිනී විජේසිරිවර්දන විසිනි , 2013 ජූනි 5

මැයි 24 වෙනි දා මහනුවර දලදා මාලිගාව ඉදිරිපිට දී ගවඝාතනය නතර කරන ලෙස ඉල්ලා තම සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන නම් වූ බෞද්ධ භික්ෂුව පසුව කොලඹ ජාතික රෝහලේ දී මිය ගියේ ය. මෙම සිද්ධිය මුලසිට අග දක්වා පෙන්නුම් කරන්නේ රටතුල ආගමික හා වාර්ගික ගැටුම් ඇවිලවීමේ ප‍්‍රකෝපකාරී සැලස්මක කොටසක් ලෙස භික්ෂුව දිවි නසා ගත් බව යි.

සිහල රාවය නම් වූ බෞද්ධ අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙකු වූ ඉන්ද්‍රරතන, තමන් දිවිනසා ගන්නා බව පුද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්නවාහිනියේ ප‍්‍රාදේශීය වාර්තාකරුට දන්වා සිද්ධිය රූගත කරවා, එය එම නාලිකාවෙන් හා වෙනත් නාලිකාවලින් ප‍්‍රචාරය කරවා ගැනීමට සැලසුවේ ය. ඔහු මියගිය පසු සිහල රාවය සංවිධායකයන් එම භික්ෂුව "ආත්ම පරිත්‍යාගයක්" සිදු කලේ යැයි ව්‍යාජ ප‍්‍රචාරයක් කරමින් කොලඹ දී ඔහුගේ අවමඟුල් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවත්විය යුතු බවට උද්ඝෝෂනයක නිරත වූයේ සිද්ධිය වටා අගනුවරින් පටන් ගන්නා ස්වෝත්තමවාදී ප‍්‍රචන්ඩත්වයක් මුදා හැරීමට යි. මංමුලාසහගත හැඩි රැලක් හැර සාමාන්‍ය මහජනතාවගේ සහයෝගයක් ලබාගැනීමට නොහැකි වූ නිසා එම තැත වැරැදී ගියේ ය.

මෑතභාගයේ මෙම ගවඝාතනවිරෝධී උද්ඝෝෂනය ලංකාව තුල මතුකර ඇත්තේ, සත්ව හිංසනයට විරුද්ධ වීම යන බේගලයකට මුවාවී ඉස්ලාම් ආගමික ජනකන්ඩායමට එරෙහිව ප‍්‍රහාරයක් මුදා හැරීමට යි. ගවයන් මස් කිරීම, වෙලදාම හා අනුභවය වැඩියෙන් ම ප‍්‍රචලිතව ඇත්තේ මුස්ලිම් ජනයා අතර ය.

ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ද පාලක ප‍්‍රභූවේ කොටස් ද කම්කරු පන්තිය බෙදා පහරදීමට දෙමලවිරෝධී වර්ගවාදය ඇවිස්සවීම දිගටම සිදුකරගෙන යන අතරතුර මෑතක දී හදාවඩා ගැනීමට පටන් ගෙන ඇති සිහල රාවය හා බොදුබල සේනා සංවිධානය හරහා මුස්ලිම්විරෝධයක ආතතියක් නිර්මානය කරමින් සිටී. ඉන්ද්‍රරතනගේ පසුගිය වකවානුවේ වාර්තාව, ඔහු ගැන පමනක් නො ව මෙම අන්තවාදී සංවිධානවල විෂකුරු, ප‍්‍රචන්ඩ ක‍්‍රියාකලාපය හා කම්කරු පීඩිත ජනයා කෙරෙහි සතුරුකම ද පෙන්නුම් කරයි.

පසුගිය වසරේ අපේ‍්‍රල් 20 වෙනි දා දඹුල්ල නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා රන්ගිරි දඹුලු විහාරයේ ප‍්‍රධාන භික්ෂුව වන ඉනාමලුවේ සුමංගල විසින් මැර නඩයක් මෙහෙය වූ අවස්ථාවේ ඉන්ද්‍රරතන ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයෙකු ලෙස හැසිරුනු ප‍්‍රචන්ඩ ආකාරය ඡායාරූප සහිතව ජනමාධ්‍යයන්හි පල විය. රටපුරා පැනනැගිය හැකි ගැටුම්කාරී තත්වය නිසා ප‍්‍රහාරය වැලක්වීමට පොලිසිය යෙදවූ විට ඉන්ද්‍රරතන තම නිරුවත් පපු ප‍්‍රදේශය පෙන්වා "වෙඩි තියපන්" යයි පොලිසියට තර්ජනය කිරීම දැක්වූ ඡායාරූප ද ඒ අතර විය.

සිහල රාවය හා බොදුබල සේනා මැරකන්ඩායම් සමග 2012 දෙසැම්බර් 19 දා වීරකැටිය ක‍්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සහභාගිවූ ඔහු, ඉන්පසු 2013 මාර්තු 18 දා එම ප‍්‍රදේශයේ ම මුස්ලිම් පල්ලියකට පහර දී විනාශ කිරීමට ක‍්‍රියාකල නඩයක ද නායකත්වය ගත්තේ ය.

සිහල රාවය යනු රාජපක්ෂ ආන්ඩුවේ කොටස්කරුවෙකු වන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමය ආශ‍්‍රයෙන් පැන නැගුනු ව්‍යාපාරයක් වන අතර ඉන්ද්‍රරතන මත් හෙල උරුමය නියෝජනය කල මන්ත‍්‍රීවරයෙකු වශයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයේ කහවත්ත ප‍්‍රාදේශීය සභාව නියෝජනය කොට ඇත. ඔහු තම පක්ෂයෙන් ඉවත් කල බැව් හෙල උරුමය පවසන නමුදු ඉවත් කිරීමේ නිශ්චිත හේතු මෙතෙක් දක්වා නොමැත.

එනමුදු කහවත්ත ප‍්‍රදේශවාසීන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ඔහු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුව සිටි කාලයේ විවිධ අක‍්‍රමිකතාවන්හි යෙදී ඇති බව යි. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, රැකියා විරහිත තරුනතරුනියන්ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් දහස් සංඛ්‍යාත මුදල් ලබා ගත් ඉන්ද්‍රරතන එම තරුනතරුනියන් මග හැරි තත්වයක් තුල, ඔහු යනඑන තැන් වට කොට ඒ පිලිබඳව ප‍්‍රශ්න කල බැවින් ප‍්‍රාදේශීය සභා රැස්වීම් එකදිගට ම මග හැර අවසානයේ කහවත්තෙන් පලා ගිය බව යි.

ඉන්ද්‍රරතනගේ දිවි නසා ගැනීම සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් පසුගිය කාලය පුරා මුස්ලිම් ජන වර්ගයට එරෙහිව දියත් කල ප‍්‍රකෝපකරන මාලාවේ නවතම සිද්ධිය යි. ඔවුන්ගේ මුස්ලිම්විරෝධී ව්‍යාපෘතිය ආරම්භකත්වය ගනු ලැබුවේ වෙලඳ භාන්ඩවලින් "හලාල්" සලකුන ඉවත් කිරීම සඳහා ගෙන ගිය උද්ඝෝෂනයෙනි. රාජපක්ෂ ආන්ඩුව මෙය අනුමත කරමින් මුස්ලිම් ජන සංස්කෘතිය හාබැඳී පවත්නා හලාල් සලකුන ලංකාව තුල අලෙවි කරන භාන්ඩවලින් ඉවත් කිරීමට නියෝග කලේ ය. මෙහි ඉදිරියෙන් ම සිටි බොදුබල සේනා සංවිධානයට රාජපක්ෂ ආන්ඩුවේ, විශේෂයෙන් ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ, පිටුබලය විවෘතව ම ලැබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරන්නැයි එම සංවිධානය ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

හලාල් ලකුන ඉවත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ප‍්‍රහාරයෙන් අත ශක්තිමත් කරගත් සිංහල අන්තවාදී නඩ තම මුස්ලිම්විරෝධී උද්ඝෝෂනය ඉහල නංවමින් සිටී.

සිහල රාවය හා බොදුබල සේනා ප‍්‍රචන්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් තරග වැද සිටිතත් ඔවුන් අතර මුස්ලිම්, ක‍්‍රිස්තියානි ආගම්විරෝධයේ ද දෙමලජනවිරෝධයේ ද මූලික වෙනස්කමක් නැත. අවුරුදු තුනකට පෙර බෞද්ධ භික්ෂූන් මූලික වී පිහිටුවා ඇති සිහල රාවය, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ ලිපියක දෙමල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු ඊලග පියවර ලෙස මුස්ලිම්, ක‍්‍රිස්තියානි හා දෙමල අන්තවාදයන්ගෙන් "රට, ජාතිය හා ආගම අරක්ෂා කරගත යුතු" යැයි සඳහන් කර ඇත.

මුස්ලිම්කරනයක් යටතේ පැරැනි බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිමුන් විසින් විනාශ කරන බවට ද හලාල් මගින් නීතිවිරෝධීව මුදල් උපයාගන්නා බවට ද එම ලිපියේ චෝදනා කර ඇත. මුස්ලිම් කාන්තාවන්ගේ පර්දා භාවිතය තහනම් කිරීම හා සිංහල කාන්තාවන් මැදපෙරදිග රැකියාවන්ට යාම නතර කිරීම අනෙකුත් යෝජනා වේ.

ඉන්ද්‍රරතන දිවිනසාගැනීමට සතියකට පෙරාතුව, මැයි 18 දා දෙහිවල දී සිහල රාවය පැවැත්වූ රැස්වීමක දී වර්ගෝත්තමවාදී උන්මාද කතාවන් යොමු වූයේ, මුස්ලිම් ජනයාට එරෙහිව ය. සංවිධානයේ නායක අක්මීමන දයාරතන භික්ෂුව රැස්වීම ආරම්භ කරමින් කියා සිටියේ, මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම තම අරමුන බව යි. මුස්ලිම් හා අනෙකුත් සුලු ජාතික ආගමික කන්ඩායම්වලට එරෙහිව උත්සන්නියක් ඇතිකිරීම සඳහා ඔහු ප‍්‍රකාශ කලේ, සිංහල ජාතිය වඳවෙන තත්වයක් ද අනෙකුත් ජනකන්ඩායම් වැඩිවෙන තත්වයක් ද ඇති වී තිබෙන බව යි. කොලඹට ආසන්න වත්තල මාබෝලේ නාගරික සභාවේ නගරාධිපති ඒ.එච්.එම් නවුෂාඩ්, තම ප‍්‍රදේශයේ ගොඩකල ඉඩමක මුස්ලිම් ජනකොටසකට ගෙවල් හදාදීමේ වැඩපිලිවෙලක් ගෙනගියත්, එය පරදා ඉඩම් අල්ලාගෙන සිංහල පවුල්වලට ගෙවල් සම්පාදනය කිරීමට තමන් ක‍්‍රියාකරමින් සිටින බවට දයාරතන භික්ෂුව පුරසාරම් දෙඩවූවේ ය. ඉන් ඇඟවෙන්නේ ආන්ඩුවේ ද පොලීසියේ ද සහය මෙම ප‍්‍රකෝපකාරීන්ට ලැබෙන බව යි.

සිහල රාවය හා බොදුබල සේනා ප‍්‍රචන්ඩ ක‍්‍රියා සිදුකලේ පොලිසිය බලා සිටියදී ය. බොහෝවිට ඔවුන්ගේ එම ක‍්‍රියාපිලිවෙල පිලිබඳ සාක්ෂි දැක්වෙන ප‍්‍රවෘත්ති ජනමාධ්‍ය මගින් වාර්තා විය. රූපවාහිනී නාලිකාවල මැරයින් හඳුනාගැනීමට හැකිවන අයුරේ වීඩියෝපට ද ප‍්‍රදර්ශනය කර ඇත. එහෙත් කම්කරුවන්, තරුනයින් හා දුගීන්ගේ සාධාරන විරෝධතාවලට කඩාපැන බැටන් ප‍්‍රහාර එල්ල කිරීමට පමනක් නො ව වෙඩි තැබීමට පොලිසිය මෙහෙයවන ආන්ඩුව මෙම මැරනඩ පිලිබඳ නිහඬ ය. ඔවුන් අත්අඩංගුවට ගැනීමක් හෝ දඬුවම් දීමක් සිදු කර නැත.

මෑතදී මුස්ලිම් ජාතිකයෙකුට අයත් ෆැෂන් බග් නමැති ඇඟලුම් වෙලඳසැල් ගබඩාවකට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ නමුත්, මුස්ලිම් ව්‍යාපාරිකයා තම පැමිනිල්ල ඉවත් කරගත් පසු ඔවුන් නිදහස් කෙරුනි. වාර්තාවලින් පැහැදිලි වන්නේ ආන්ඩුවේ නායකයින් පැමිනිල්ල ඉවත් කරගැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයාට බලකල බව යි.

ධනේශ්වර පාලක පංතීන් අර්බුදග‍්‍රස්ත කාල පරිච්ඡේදයන්හි තම සම්ප‍්‍රදායික මර්දන යන්ත‍්‍රයන්ට අමතරව මෙවන් ෆැසිස්ට් පන්නයේ නඩ හදා වඩා පෝෂනය කොට කම්කරු පංතියට එරෙහිව යොදා ගත් ආකාරය පිලිබඳ ඛේදනීය අත්දැකීම් සමුදායක් විසිවන සියවසේ ඉතිහාසයේ කලු අකුරින් සටහන් වී ඇත.

2008 න් ආරම්භ වී මුලු මහත් පෘථිවි ගෝලය වෙලා ගනිමින් පවතින වත්මන් ධනේශ්වර අර්බුදය මධ්‍යයේ තම ජීවන කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව ලොව පුරා කම්කරුවන් අරගලයට අවතීර්න වෙමින් සිටින තතු තුල සෑම රටකම පාලක පංතීහු යලිත් වරක් තම සේවයට ෆැසිස්ට් පන්නයේ නඩ කැඳවමින් සිටිති. රාජපක්ෂ තන්ත‍්‍රය ඇතුලු ලංකාවේ ධනේශ්වර සංස්ථාපිතය කි‍්‍රයාවේ යොදමින් සිටින්නේ එය යි. මෙම අන්තවාදී නඩවලට එරෙහිව ඉඳහිට නගන සිහින් කෙඳිරියක් හැරෙන්නට ධනේශ්වර මාධ්‍යයන් සියල්ල එම නඩවල ප‍්‍රතිගාමී කි‍්‍රයාවන්ට දැවැන්ත ප‍්‍රචාරයක් ලබා දෙන්නේ එබැවිනි.

Share this article: