ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කෙරෙහි අවඥාව පල කරයි

Sri Lankan chief justice expresses contempt for democratic rights

සංජය ජයසේකර හා සුජීව අමරනාත් විසිනි, 2013 ජුනි 1

අගවිනිසුරු මොහාන් පීරිස් මෑතක දී ආන්ඩුවේ පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන් සමග පෙල ගැසෙමින්, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එලිපිටම පහර ගසන අදහස් පල කලේ ය. මානව හිමිකම් තිබෙන්නේ "බහුතරය මිස අපරාධකාරී සුලුතරය ආරක්ෂා කිරීමට නො වන" බවත් විධායකයේ ද අධිකරනයේ ද මූලික තැකීම "ජාතික ආරක්ෂාව" බවත් ඔහු පැවසීය.

බෙදුම්වාදී එල්ටීටීඊ (දෙමල ඊලම් විමුක්ති කොටි) සංවිධානයේ සාමාජිකයෙකු යයි චෝදනා ලබා සිටි ගනේෂන් නිමලරූබන්ගේ පියා වන එම්. නිමලරූබන් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ මැයි 22 දා පීරිස් එලෙස අදහස් දැක්වීය. 2012 ජූනි මාසයේ උතුරේ වවුනියා හිරකඳවුරේ පැනනැගුනු විරෝධතාවක් පොලිස් කොමාන්ඩෝ භටයින් විසින් මර්දනය කරනු ලැබීමේ දී හටගත් තුවාල හේතුවෙන් නිමලරූබන් මිය ගියේ ය. තම සහෝදර රැඳවියන් තිදෙනෙකු දකුනේ හිර ගෙදරකට මාරු කිරීමට එරෙහිව වවුනියා සිරකරුවෝ උපවාසයක් දියත් කොට‍ තිබුනි. ඔවුහු නියාමකයින් තිදෙනෙකු ප්‍රාන ඇපයට ගත්හ.

තුවාල ලැබූ සිරකරුවන් කොලඹට ආසන්න හිර කඳවුරකට මාරුකරන ලද නමුත් දින කිහිපයකට පසු නිමලරූබන් "හෘදයාබාධයකින්" මිය ගියේයැයි කියනු ලැබී ය. තවත් අයෙක් පසුව මරුමුවට පත්විය. නිමලරූබන්ගේ සිරුර ආපසු වවුනියාවට ගෙනයාමට උසාවිය අවසර දුන්න ද අවමගුල් උත්සවයක් පැවැත්වීම තහනම් කිරීම ඇතුලු දරුනු කොන්දේසි පැනවූයේ කිසිදු මහජන විරෝධයක් ඇතිවීම වැලැක්වීමේ අරමුනෙනි.

අගවිනිසුරු බුරා පැ‍න්නේ නිමලරූබන්ගේ මරනය පිලිබඳව නීතිපතිවරයා උසාවියට ඉදිරිපත් කරන ලද රහස් වාර්තාවක පිටපතක් තමන්ට ලබා දෙන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පිරීස් ඉල්ලා සිටි අවස්ථාවේ ය. පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු "එය ඔබට අවශ්‍ය වන්නේ කුමක් නිසා ද? රටේ ප්‍රතිරූපයට හානි කරන්න ඔබ සියලුදෙනා සාක්ෂි හදාගෙන ලෝකයට ම යවන්නේ මෙහෙම තමයි...විශේෂයෙන් ම ජාතික ආරක්ෂාව ගැන හිතනකොට විධායක නිලධාරීන් රහස් වාර්තා‍වල් දෙන්නේ විනිසුරුවරුන්ගේ පරිහරනයට විතරයි" යනුවෙන් පිලිතුරු දුන්නේ ය.

විශේෂයෙන් ම ආන්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ දී එය විවේචනය කරන ඕනෑම අයෙකුට ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඔහුගේ ඇමතිවරුනුත් සුලභව යොදා ගන්නා වැකිය වන්නේ "රටේ ප්‍රතිරූපයට හානි කිරීම" යන්න යි. ආන්ඩුව පුරුද්දක් ලෙසම, රටට එරෙහිව විදෙස් කුමන්ත්‍රනයක් ඇති බවත් කම්කරුවන්, තරුනයන් හා පීඩිතයින් ද ඇතුලු ආන්ඩුවට විරුද්ධ වන ඕනෑම පාර්ශවයක් කුමන්ත්‍රනකරුවන්ට උදවු දෙමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන බවත් කියයි.

එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය දිග්ගැස්සුනු යුද්ධයේ අවසන් කාලසීමාවේ දෙමල සිවිල් වැසියන්ට එරෙහිව ආන්ඩුව සිදුකල යුද අපරාධ, එක්සත් ජනපදය හා එහි සහචරයන් විසින් කොලඹ ආන්ඩුව මත පීඩනය යෙදීමට ගසා කන තත්වය තුල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳ කාරනය සම්බන්ධයෙන් ආන්ඩුව අතිශය සංවේදී ය. ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ වොෂින්ටනයේ ඇල්මැරුනු විවේචන මුලුමනින් ම නරුම ය. එහි සැබෑ ඉලක්කය වන්නේ එක්සත් ජනපද ප්‍රතිමල්ලවයා වන චීනයෙන් ඈත් වන ලෙස රාජපක්ෂ මත පීඩනය යෙදීම යි.

හිරගෙදර විරෝධතාව තලා දැමීමට ආන්ඩුවට අවශ්‍ය ඕනෑම බලයක් යෙදිය හැකිව තිබූ බව අවධාරනය කල අගවිනිසුරු පීරිස් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කෙරෙහි විවෘතව අවඥාව පල කලේය. "හිර කඳවුර වටලා තිබිය දී ඔබට උවමනා කරන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයා ජිනීවා (මානව හිමිකම්-පරිවර්තක) ප්‍රඥප්තිය කියවීම ද?" යයි ඔහු විමසීය.

නිමලරූබන් කිසිදු අපරාධයක් පිලිබඳව වැරැදිකරු යයි නිගමනය කරනු ලැබ නො තිබුනි. 2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව තවත් දෙමල තරුනයන් දහස් ගනනක් මෙන් ඔහු ද "එල්ටීටීඊ සැකකරුවෙක්" ලෙස රඳවා ගනු ලැබ තිබුනේ නඩු නො අසා අවිනිශ්චිත කාලයක් රඳවා තබාගැනීමට ඉඩ දෙන නීති යටතේ ය.

ඔහුගේ පියා ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමට අනුව 2009 නොවැම්බරයේ අත්අඩංගුවට ගන්නා ලද නිමලරූබන් වසර දෙකක් රිමාන්ඩ් බාරයේ තබාගෙන තිබුනි. රැඳවියාට කායිකව පහර දී වධබන්ධනයන්ට ලක් කර තිබුනු බව පෙත්සමේ සඳහන් විය.

"තම පුතා මැරුනේ ස්වාභාවික හේතූන් නිසා නො ව බන්ධනාගාර නිලධාරීන් හා/හෝ පොලිස් නිලධාරීන්ගේ පහරදීම් නිසා" බව අවධානයට ලක්කල පෙත්සම ඔවුන් නීතිය හමුවට ගෙන එන ලෙස ඉල්ලීය. මෘතදේහය බැලීමට තමන් උතුරු කොලඹ ශික්ෂන රෝහලට කැඳවාගෙන ගිය විට තම පුතාගේ හිසට හා පාදවලට තුවාල සිදුව තිබූ බව දක්නට ලැබුනේ යයි නිමලරූබන්ගේ පියා කීවේ ය. අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 25ක් විය.

ව්‍යවස්ථාවත් නීතියේ පාලනයත් උල්ලංඝනය කිරීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නො වේ. එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය 30-අවුරුදු යුද සමය තුල බලයට පැමිනි සෑම ආන්ඩුවක් ම, විශේෂයෙන් ම රටේ දෙමල සුලුතරය ඇතුලු මහජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීමට, කුරිරු හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අසීමිත බලතල යොදා ගත්තේ පොලිස් රාජ්‍ය යාන්ත්‍රනයක් ගොඩ නගමිනි.

රටේ අධිකරනය වඩ වඩා දේශපාලනීකරනය වී තිබේ. පලා‍ත්සභාවල ආර්ථික බලතල පෙරලා මධ්‍යම ආන්ඩුව යටතට ගැනීමේ සැලසුම් ව්‍යවස්ථාවිරෝධී යයි තීන්දු කල හිටපු අග විනිසුරුවරියවූ ශිරානි බන්ඩාරනායක ජනවාරි මාසයේ ධුරයෙන් ඉවත් කිරීමට‍ ජනාධිපති රාජපක්ෂ පියවර ගත්තේ ය. දූෂනය පිලිබඳ ගොතන ලද චෝදනා යටතේ පාර්ලිමේන්තුව බන්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම නීතිඥයන්ගේ හා අධිකරනයට සම්බන්ධ කොටස්වල පුලුල් විරෝධතා පැන නැංවීය. බන්ඩාරනායක එම ධුරයට පත්කරන ලද්දේ ද රාජපක්ෂ වුවත්, අධිකරනයේ කිසිදු ස්වාධීනත්වයක් ඉවසා සිටීමට ආන්ඩුව සූදානම් නො වී ය.

බන්ඩාරනායකගේ තනතුරට පත්කරන ලද පීරිස්, රාජපක්ෂගේ සමීප සගයෙකු ද ඔහුගේ කැබිනට්ටුවේ උපදේශකයා ද විය. යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ආන්ඩුවට එල්ලවූ චෝදනාවලින් එය ආරක්ෂා කරගැනීමේ දී පීරිස් මූලික භූමිකාවක් ඉටු කලේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පෙනී සිටි ඔහු සිවිල් යුද්ධයේ අවසන් මාසවල ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකර ඇතැයි යන්න ප්‍රතික්ෂේප කලේ ය.

මෑත දී ඉදිරිපත්වූ තවත් මානව හිමිකම් නඩුවක දී එවැනි දේ අධිකරනය වෙත නො ගෙනා යුතු යයි පීරිස් ප්‍රකාශ කලේ ය. තම ඉඩම, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මන්ඩලය වෙත පවරා ගැනීමට ගත් තීරනයක් පෙත්සම්කරුගේ අභියෝගයට ලක්වුනි. එම මන්ඩලය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පාලනය කරන ආරක්ෂක අමාත්‍යාංශය ය‍ටතේ ය.

පෙත්සම නිෂ්ප්‍රභ කරමින් පීරිස් අධිකරනය හමුවේ කියා සිටියේ, සමහර නඩු ඇසීමට අධිකරනයට තාක්ෂනික හැකියාවක් නැති බවත් නීතිඥවරු සාකච්ඡා කොට රාජ්‍ය ආයතන සමග සම්මුතියකට පැමිනිය යුතු බවත් ය. මෙය වනාහි සිය ව්‍යස්ථාමය අයිතීන් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධවීමට සහ විශාල හා බලගතු රාජ්‍ය ආයතනවලින් ආරක්ෂාවීමට නීතියේ පිහිට පැතීමට යමෙකුට පවතින අයිතිය ප්‍රතික්ෂේප කිරීමක් විනා අනෙකක් නො වේ.

නඩු දෙකේදී ම නෛතික ක්‍රියා පටිපාටියට හා මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට රටේ අග විනිසුරු පල කරන අවඥාව, කම්කරු පන්තියට කෙරෙන තවත් අනතුරු ඇඟවීමකි. සිවිල් යුද සමයේ අටවාගත් පොලිස් රාජ්‍යය, එල්ටීටීඊයේ පරාජය සමග අවසන් වනවා වෙනුවට නොනැවතී ක්‍රියාත්මක‍ වේ. එම පොලිස් රාජ්‍යය රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලැබෙමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිර්දේශිත කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධ වන කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව භාවිත වනු ඇත.

Share this article: