ගුරුවරිය දන ගැස්සවීමට එරෙහිව මහජන විරෝධය ගොනුවේ

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2013 ජූනි 25

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පලාත් සභා මන්ත‍්‍රීවරයකු විසින් පසුගිය ජූනි 14 දා නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් පාසල තුලදී දන ගැස්සවීමේ සිද්ධිය, ආන්ඩුවටත් එහි ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ටත් එරෙහිව ගුරුවරුන්, ශිෂ්‍යයන් හා අවශේෂ කම්කරු පීඩිත මහජනයා තුල වැඩෙන විරෝධය ප‍්‍රකාශ කිරීමේ නිමිත්තක් බවට පත්ව තිබේ.

පි‍්‍රයානි හේරත් නමැති ගුරුවරිය මෙසේ දන ගස්සවා තිබෙන්නේ වයඹ පලාත් සභාවේ මන්තී‍්‍රවරයෙකු වන ආනන්ද සරත් කුමාර විසිනි. තම දියනිය ද ඇතුලු ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුට පාසලේ ශිෂ්‍ය විනය භාරව කටයුතු කරන හේරත් ගුරුවරිය පැන වු සුලු විනය දඬුවමකින් කිපුනු මෙම මන්ත‍්‍රීවරයා සිසුන් සහ ගුරුවරුන් ඉදිරියේ ගුරුවරිය දන ගස්සවා තිබෙන්නේ පොලු මුගුරු අතැතිව, පරුෂ වචනයෙන් බැන වදිමින්, පහරදීමට තර්ජනය කරමිනි. නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුලු ගුරුවරුන් හා සිසුන් පිරිසක් ඒ වනවිට පාසලේ රැඳී සිටිය ද මන්තී‍්‍රවරයාගේ මැර කි‍්‍රයාවන් පිලිබඳව දැන සිටි ඔවුන් හට සිද්ධිය බලා සිටීම හැර වෙනත් විකල්පයක් පැවතියේ නැත.

සිද්ධිය ඇසින් දුටු බවට නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් මුලදී පොලිසියට ප‍්‍රකාශයක් කල ද, එල්ල වී ඇති බලපෑම් හමුවේ, දිව්රුම් ප‍්‍රකාශයක් මගින් පසුව එය ඉවත් කර ගෙන ඇති අතර සිද්ධියෙන් පසු දිනයේ හේරත් ගුරුවරිය බිය වැද්දීම සඳහා යතුරු පැදිවල නැග ගත් මැරයන් පිරිසක් ඇයගේ නිවස වටා කෑකෝ ගසමින් කරක් ගසා ඇති බව වාර්තාවේ.

කෙසේ නමුත් සිද්ධියට එරෙහිව එම පාසලේ ගුරුවරුන් දෙමාපියන් හා සිසුන් සඳුදා දිනය පුරා විරෝධතා දැක් වූ අතර ආනමඩුව හා පුත්තලම අධ්‍යාපන කලාපවල පාසල් ගුරුවරුද මෙම විරෝධතාවලට සහභාගි වුහ. මීට අමතරව පසුගිය 16 දා කොලඹ ලිප්ටන් වටරවුමට රැස්වූ ගරුවරු පිරිසක් ද සිද්ධියට එරෙහිව පිකටින් උද්ඝෝෂනයක් පැවැත්වූහ.

ආන්ඩුවට හා ඔවුන්ගේ ප‍්‍රාදේශීය මදාවිකාරයන්ට එරෙහිව මහජන විරුද්ධත්වය හා පිලිකුල ඇවිලී යන තත්වයක් යටතේ පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරනය පසු ගිය 18 දා මන්ත‍්‍රීවරයාට ඇපදීම ප‍්‍රතික්ෂේප කොට ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

මෙවන් සිද්ධියකින් පවා ආන්ඩුවට එරෙහි මහජන වෛරය පුපුරා යාමේ ශක්‍යතාව සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ තැති ගැන්ම අනතුරුව ගත් පියවර මාලාව මගින් ප‍්‍රකාශයට පත්විය.

ප‍්‍රහාරයට ලක් වු ගුරුවරියට දුරකථනයෙන් කථා කල ජනාධිපති රාජපක්ෂ අදාල මන්ත‍්‍රීවරයාට දැඩි දඬුවම් ලබා දෙන බව ප‍්‍රකාශ කලේය. අනතුරුව රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සරත් කුමාර මන්ත‍්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය හා මන්ත‍්‍රී තනතුර අවලංගු කිරීමට කටයුතු කරන බව නිවේදනය කිරීමෙන් පසු ඔහු සිය ධුරවලින් ඉල්ලා අස් වූ බව වාර්තාවේ. මෙවැනි සිද්ධීන්ට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට ඉදිරියේ දී මැතිවරනවලට තරඟ කිරීමට අවස්ථාව නො දෙන බවද ආන්ඩුව දැන් කියා සිටී. මේ අතර, මෙවැනිම මැර ක‍්‍රියාවන් සම්බන්ධව කුප‍්‍රකට ඉතිහාසයක් ඇති ආන්ඩුවේ මැති ඇමතිවරු හා පලාත් සභා මන්ත‍්‍රීවරු එකා පිටුපස එකා සිද්ධිය හෙලා දැකීමට මාධ්‍ය හමුවට පැමිනෙමින් සිටිති.

කම්කරු පීඩිත මහජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පෙර නොවූ විරූ ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින රාජපක්ෂ තන්ත‍්‍රය එම ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල හා මහජන වෛරය හමුවේ පොලීසිය හා මිලිටරිය මත වඩ වඩාත් වාරු වෙමින් සිටී. මිට සමගාමීව ඇමැතිවරුන්ගේ සිට ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් දක්වා වන මැර යාන්ත‍්‍රනයක් ද කි‍්‍රයාත්මක වේ.

වාර්තා වන්නේ අතලොස්සක් වන නමුදු මෙම මැර දේශපාලනඥයින් විසින් ගුරුවරුන් ද ඇතුලු කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව සිදු කරන තර්ජන හා මැර ප‍්‍රහාර අනන්තවත් ය. පසුගිය වසර දෙක තුල වාර්තා වූ පාසල් යන වයසේ ගැහැනු දරුවන් දූෂනය කිරීම්වලින් වැඩි ප‍්‍රමානයකට සම්බන්ධ වී ඇත්තේ ද ආන්ඩුවේ ප‍්‍රාදේශීය හා පලාත් සභා මන්ත‍්‍රීවරුන් ය.

2008 දී, ආන්ඩුවේ වත්මන් මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා සිය ප‍්‍රවෘත්තියක් නිවේදනය නොකලේ යයි කියමින් රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට හා නිලධාරීන්ට පහරදුන් අතර තමා කැඳවූ රැස්වීමකට සහභාගි නොවූ සමෘද්ධි නියාමකවරයෙකු ප‍්‍රසිද්ධියේ ගස් බැන්දේය. සරත් කුමාර ආදර්ශය හා ශක්තිය ලබා ගෙන ඇත්තේ මෙම මැර දේශපාලනයෙනි.

අධ්‍යාපනය මිලිටරීකරනය කිරීමේ වැඩපිලිවෙල මෙම මර්දන කි‍්‍රයාදාමයේ තවත් ප‍්‍රධාන අංශයකි. නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වැඩෙමින් පවත්නා විරෝධය මර්දනය කිරීම සඳහා විශ්ව විද්‍යාල තුලට රැගෙන ආ මිලිටරීකරනය දැන් පාසල් තුලට ද ගෙනවිත් ඇත. මේ වසරේ මුල ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, විදුහල්පතිවරු 4000 ක් සඳහා මේජර් හා කර්නල් පදිවි පිරිනැමීමේ මිලිටරි පුහුනු ආරම්භ කෙරින.

මෙම වැඩපිලිවෙලට සමගාමීව ආන්ඩුවේ ප‍්‍රහාර ඉදිරියේ ගුරුවරුන් මෙල්ල කර තබා ගැනීමේ අටියෙන් ඔවුන් "විනයගත කිරීමේ” නීති මාලාවක් ද, "ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිලිබඳ ආචාර ධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව” නමින් පසුගිය නොවැම්බරයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ක‍්‍රියාවට නංවා ඇත.

මෙම පියවරයන් ගනු ලැබුවේ උසස් පෙල ප‍්‍රතිඵල අවුල් කිරීමට එරෙහිව පසුගිය වසරේ ද, "සපිරි පාසල්” වැඩසටහන යටතේ පාසල් වසා දැමීමට හා කප්පාදු කිරීමට එරෙහිව මේ වසරේ මුලදී ද පැන නැගි පලල් පරිමාන ගුරු, සිසු හා දෙමාපිය විරෝධතාවලට සමගාමීවය.

මිලිටරිකරන වැඩ පිලිවෙලේම කොටසක් ලෙස සටන්කාමී ගුරුවරුන් දඩයම් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය සෘජුවම අධ්‍යාපන ක්ෂේත‍්‍රයට මැදිහත් වෙමින් සිටී. විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති විසින් මෑතදී කැඳවු සීමිත විරෝධතා ක‍්‍රියා මාර්ගවලදී පවා ඒවාට සහභාගිවූ ගුරුවරුන්ගේ නාම ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට සපයන ලෙස ආන්ඩුව අධ්‍යාපන කලාප කාර්යවලට දැනුම් දී තිබුනි.

මේ අතර විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද ගුරු සංගම් ද ගුරුවරිය දන ගැස්සවීමේ සිද්ධිය ගසා කෑම සඳහා දැඩි ප‍්‍රයත්නයක යෙදී සිටී. ලංකා ගුරු සංගමයේ හා ජවිපෙට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයේ නායකයන් කියා සිටින්නේ මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරට දඬුවම් පමුනුවන ලෙසද ප‍්‍රහාරයට ලක් වු ගුරුවරියට ‘සාධාරන’ වන්දියක් ලබා දෙන ලෙසද ඉල්ලා ඔවුන් ගෙන යන උද්ඝෝෂනයට "දේශපාලන මතභේද පසෙක තබා” එක්වන ලෙසයි.

ඔවුන්ගේ ප‍්‍රයත්නය එල්ල වී ඇත්තේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව එල්ල වී ඇති ආන්ඩුවේ සමස්ත ප‍්‍රහාරයෙන් මෙම සිද්ධිය හුදකලා කොට ආන්ඩුවට එරෙහි ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ වෛරය වාෂ්ප කිරීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත රටක් රටක් පාසා පාලක පන්තීන් විසින් එල්ල කෙරෙන මෙම ප‍්‍රහාර ගුරු සමිතිවල ඊනියා විරෝධතා කැඳවුම් වලින් නවතා ලිය නොහැක. ලබන වසර අවසන් වන විට රටේ අයවැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 5.2 දක්වා අඩු කල යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති නියෝගය මත මෙම ප‍්‍රහාර වඩාත් තීව‍්‍ර කිරීමට නියමිතය.

මෙම ප‍්‍රහාර පරාජය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයටත් එහි අන්තේවාසික ආන්ඩුවටත් එරෙහි දේශපාලන අරගලයක් අත්‍යවශ්‍යය. වෘත්තීය සමිති විසින් වලකාලමින් සිටින්නේ මෙම අරගලයයි.

Share this article: