ආන්ඩුව කොලඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට සිය දේශපාලන හෙංචයියෙකු පත්කරයි

සුරංග සිරිවර්ධන විසිනි, 2013 ජූනි 03

පසුගිය අපේ‍්‍රල් 23 දා, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොලඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට තම දේශපාලන හිතවතෙකු වන විජය කුමාර හිරිඹුරේගම පත් කොට ඇත. මෙම පත්කිරීම සිදු කොට ඇත්තේ ඔහුගේ බිරිඳ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුර දැරීම ද නොතකමිනි.

විශ්ව විද්‍යාල සෙනෙට් සභාවේ වැඩිම ඡන්ද ප‍්‍රමානය ලබාගත් සහ ඉහලම සුදුසුකම් සපුරා සිටි ලක්ෂ්මන් දිසානායක පත්කිරීමෙන් තොරව රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන ඉත්තෙකු ලෙස යොදාගත හැකි හිරිඹුරේගම පත් කිරීමට එරෙහිව විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් අතර බලගතු විරෝධයක් ජනිත කොට ඇත.

පත්කිරීම අවලංගු කිරීමට හෝ හිරිඹුරේගමට උප කුලපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සති දෙකක කාලයක් ලබා දෙන බවද නොඑසේ නම් පුලුල් වැඩවර්ජනයක් සිදුකිරීමට තමන් සූදානම් බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප‍්‍රකාශ කරයි. මේ අතර කොලඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පත්කිරීම නීති විරෝධී බව හා අපේක්ෂකයන්ගේ යෝග්‍යතාව සම්බන්ධව විශ්ව විද්‍යාල ප‍්‍රජාවගේ අදහස් ඉවත දමා ඇති බවයි. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති නිලය බිරිඳ විසින් දරමින් සිටිය දී සැමියා විසින් උපකුලපති තනතුර දැරීම විශ්ව විද්‍යාලයීය ස්වාධීනත්වයට හානිකර බැවින් දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්විය යුතු බව ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

සෙනෙට් සභාවේ වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා උපකුලපති තනතුරට පත්කිරීමේ සාමාන්‍ය විශ්ව විද්‍යාල සම්ප‍්‍රදාය මුලුමනින්ම නොතකා සිදුකල මෙම අත්තනෝමතික දේශපාලන පත්කිරීම ආන්ඩුව විසින් නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් හා විශ්ව විද්‍යාල ඇතුලත කරගෙන යන මර්දනකාරී වැඩපිලිවෙල සමග එකට බැඳී පවතී. ඉහත වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීමේ ගහලයන් ලෙස මෙම උපකුලපති හෙංචයියන් යොදා ගැනීම ආන්ඩුවේ අභිප‍්‍රායයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත රාජපක්ෂ ආන්ඩුව පුද්ගලීකරනය වේගවත් කරමින් අධ්‍යාපනය ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත්කරමින් සිටී. මාලඹේ ස්ථාපනය කල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ වන විට වෛද්‍ය උපාධිය පිරිනමන අතර තවත් ආයතන කිහිපයක් උපාධි අධ්‍යන පාඨමාලා ආරම්භ කොට ඇත.

මෙම වැඩපිලිවෙලට විරුද්ධව පසුගිය කාල සීමාව පුරාම ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් අතර පැන නැගුනු විරෝධතාවයන්ට ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ නවක වදය වැලැක්වීමේ පනත වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අනපනත් සම්මත කරගැනීම, විශ්ව විද්‍යාලවල ඇතුලත සීසීටීවී කැමරා සවි කිරීම හා ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධිත රක්නා ලංකා ආරක්ෂක ආයතනය විශ්ව විද්‍යාල ආරක්ෂන සේවයට කැඳවා ගැනීම වැනි පියවර මගිනි. මේ වැඩ කටයුතු සඳහා විශ්ව විද්‍යාලවල ඉහල පුටුවලට සිය දේශපාලන හෙංචයියන් යෙදවීමට ආන්ඩුව පසුගිය කාල සීමාව පුරාම යොමු විය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට සිය දේශපාලන හිතවතකු වූ එන්.එල්. කරුනාරත්න පත් කරගනිමින් ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය තීව‍්‍ර කලේය. 2011 ජූනි මාසයේදී සිසුන් හතර දෙනෙකු නවක වදය ලබා දීම සම්බන්ධයෙන් සැකපිට මිරිහාන පොලීසියට භාරදීමට ඔහු කටයුතු කරනු ලැබූ අතර රජයට එරෙහි කුමන්ත‍්‍රනය කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබින. එමෙන්ම විශ්ව විද්‍යාලය තුල අසැබි අයුරින් හැසිරුනේය යන චෝදනාව ඉදිරිපත් කරමින් ශිෂ්‍යාවන් තිදෙනෙකුගේ කන්‍යාභාවය පිරික්සීමේ වෛද්‍ය පරීක්ෂනයකට ද යොමු කලේය. උපකුලපතිට විරුද්ධව ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් විරෝධතා පැවැත්වුව ද රාජපක්ෂගේ පිටුබලය යටතේ ඔහු තවමත් ධුරයේ රැඳී සිටී.

සෑම විශ්ව විද්‍යාලයකම පාහේ උපකුලපති ප‍්‍රමුඛ විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය ආන්ඩුවේ ඕනෑ එපාකම් ඉටු කරමින් සිටී. 2013 මාර්තු 27 වන දින සබරගමු විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් ශිෂ්‍යයන්ට පැනවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නියෝග වලට එරෙහිවීම නිසා මහා ශිෂ්‍ය සංගමය ඇතුලු තවත් පීඨ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කොට හයදෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කලේය.

සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයන් හය දෙනෙකුගේ පන්ති තහනමට එරෙහිව සිසුන් විසින් සිදුකල සත්‍යග‍්‍රහයකදී ආයුධ සන්නද්ධ කල්ලියක් විශ්ව විද්‍යාල භූමියට පැමින සිසුන් බිය වද්දවා පලවා හැරීමට අහසට වෙඩි තැබීම් සිදු කලේය. නාඳුනන තුවක්කුකරුවන් විශ්ව විද්‍යාල පරිශ‍්‍රයට පිවිසෙන තත්ත්වයක් තුලදීද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම අහම්බයක් නොවේ.

මීට සමගාමීව ආන්ඩුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය යොදා ගනිමින් විරුද්ධ දේශපාලන මතධාරීන් ඉවත් කිරීමට ද නරුම අයුරින් මැදිහත් වී ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරයෙකුව සිටි අනුරුද්ධ ප‍්‍රදීප්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනු කොට ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ආන්ඩුව විසින් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට බල කෙරුනේ රාජපක්ෂ ආන්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය විවේචනය කිරීම හේතුවෙනි.

මේ අතර, නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයේ කොටසක් ලෙස මෙම දේශපාලන පත්කිරීම සිදුකොට ඇතැයි යන කරුන ශිෂ්‍යයන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් වසන් කර, උපකුලපති ඉවත්කර ගැනීම සඳහා යොමු වූ බලපෑම් දැමීමේ බංකොලොත් දේශපාලනයක විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය නිරතව සිටී.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මාධ්‍යයට පැවසුවේ "ඊයේ රැස්වීමේදී (2013 මාර්තු 26 ) නව උපකුලපති සමග සියලු රැස්වීම් සහ සම්බන්ධතා වර්ජනය කිරීමට තීරනය කල” බවයි. නව උපකුලපති පත් කිරීමට එරෙහි අරගලය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පැවසුවේ "දැන් අපිට කරන්න තියෙන දේ මෙය තමයි” යනුවෙනි.

බලපෑම් දැමීම මගින් අයිතීන් හෝ ඉල්ලීම් දිනාගත නොහැකි බව වැඩි වැටුප් ඉල්ලා පසුගිය වසරේ ආචාර්ය සමිති සම්මේලනය ගෙන ගිය වැඩ වර්ජනයෙන් ම පැහැදිලිවේ. දින සියයක් දක්වා අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කලද කිසිදු ඉල්ලීමක් ආන්ඩුව විසින් ලබා නොදුන් අතර ආන්ඩුව දුන් බොරු පොරොන්දුවක් මත සමිතිය වර්ජනය පාවා දී ආන්ඩුවට යටත් විය. නමුත් මෙම සංගම් තව දුරටත් ඇලී ගැලී සිටිනුයේ එම බංකොලොත් දේශපාලන වැඩ පිලිවෙලේමය.

ආන්ඩුවේ මෙවන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පත්කිරීම් වැලැක්වීම නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා වූ සටන සමග අත්‍යන්තයෙන් බැඳී පවතී. එය සිදු කල හැකි වනුයේ ධනපති ක‍්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ඉදිරිදර්ශනයක් තුල සමාජවාදය සඳහා සටන් වැදීම මත පමනි.

Share this article: