එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව ඔත්තු බැලීමේ චෝදනා ගෙන එයි

Edward Snowden charged with espionage

එරික් ලන්ඩන් හා ජෝසෆ් කිෂෝර් විසිනි, 2013 ජූනි 22

රහස් හෙලි කල එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව ඔත්තු බැලීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීමට ගෙන ඇති තීරනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිශ්චිතව හෙලා දකී.

තමන් ජූනි 14 දා වර්ජිනියාහි ඇලෙක්සැන්ඩ්‍රියාවේ දිස්ත්‍රික් අධිකරනය හමුවේ මුද්‍රා තබන ලද චෝදනා තුනක් ගොනු කල බව ඔබාමා පාලනය මැයි 21දා සන්ධ්‍යාවේ නිවේදනය කලේය. මෙසේ ගොනු කොට ඇති චෝදනා වන්නේ රාජ්‍ය දේපල සොරකම් කිරීම, ජාතික ආරක්ෂක තොරතුරු අනවසරයෙන් ප්‍රකාශයට පත් කිරීම හා රාජ්‍ය රහස් තොරතුරු හිතාමතාම ප්‍රසිද්ධියට පත් කිරීමයි.

මෙම චෝදනාවලට උපරිම වශයෙන් තිස් වසරක සිර දඬුවම් ලබා දිය හැකිය. කෙසේ වෙතත්, අධිචෝදනා ඉදිරිපත් කරන අතරවාරයේ අතිරේක චෝදනා එක් කල හැක. ප්‍රමුඛ ඩිමොක්රටිකයෝ හා රිපබ්ලිකානුවෝ "රාජ ද්‍රෝහී" වීම පිලිබඳව ස්නෝඩන් හෙලා දැක ඇත්තාහ. ඒ වූ කලී මරන දන්ඩනය පැනවිය හැකි වරදකි.

රජය එක්සත් ජනපදය තුල හා මුලු මහත් ලෝකය පුරා දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පිලිබඳව දැවැන්ත පරිමානව හා නීති විරෝධී ලෙස ඔත්තු බැලීමේ යෙදෙන බවට ස්නෝඩන් විසින් කෙරුනු මුල් හෙලිදරව් කිරීම්වල සිට, ඇමරිකානු පාලක පන්තිය මාධ්‍යවල අනුබලය ද සහිතව අවලාද නැඟීමේ ව්‍යාපාරයක් ක්‍රමානුකූලව ගෙන ගියේය. ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු බැලීමේ වැඩපිලිවෙලවල් පිලිබඳව ගාඩියන් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්වලට තොරතුරු ලබා දුන්නේ තමා බව හෙලි කිරීමෙන් පසුව සිය ආරක්ෂාව පිලිබඳ අතිශය යුක්ති යුක්ත භීතියකින් යුතු ස්නෝඩන් සැඟවී සිටී.

ස්නෝඩන්ට එරෙහි චෝදනාවල ලේශමාත්‍ර වූ හෝ නීත්‍යානුකූලභාවයක් නැත. ඔහු අපරාධකරුවෙක් නොවේ. ඔහු, තමාට මුහුන දීමට සිදුවන අප්‍රමාන පෞද්ගලික අවදානම නොතකා, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රනයක් පිලිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ හා ලෝකයේ වෙසෙන ජනයාට හෙලිකිරීමට උත්සාහ කල තනි පුද්ගලයෙකි.

චෝදකයෝ ම සැබෑ අපරාධකරුවෝ වෙති. කෙතරම් මඩ ගැසීම් හා බොරු කන්දරාවකින් වුව ස්නෝඩන් විසින් හෙලිදරව් කෙරුනු තතුවල ඇති සාපරාධිත්වය සඟවා ලිය නොහැකිය. රහස් හෙලි කල තරුනයා ඔත්තුකරුවෙකැයි චෝදනා ගොනු කෙරෙන්නේ ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ඔත්තු බැලීමේ මෙහෙයුම ඔහු විසින් හෙලිදරව් කෙරුනු නිසාය.

මේ වැඩපිලිවෙලවල් ඇමරිකානු ව්‍යවස්ථාවේ සිව්වන සංශෝධනය සෘජුවම උල්ලංඝනය කරයි. එකී සංශෝධනය වරෙන්තුවකින් තොර පරීක්ෂාවන් හා රඳවා ගැනීම් තහනම් කරයි.

මෙම චෝදනා ගොනු කල 21 වන දින ගාඩියන් පුවත්පත, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය තුල වෙසෙන කෝටි සංඛ්‍යාත ජනකායකගේ සන්නිවේදනයන්, ඊ මේල් පනිවුඩ, ෆේස් බුක් පනිවුඩ හා අන්තර්ජාල ඉතිහාසය කරා බ්‍රිතාන්‍ය රජය සෘජු ලෙසම ප්‍රවිෂ්ට වන බැව් පෙන්වා දෙන නව ලේඛනයක් පිලිබඳව වාර්තා කලේය.

මෙම හෙලිදරව්වට අනුව පෙනී යන්නේ, ජනාධිපති ඔබාමා ම ද ඇතුලුව දෙරටේම ඉහල රාජ්‍ය නිලධාරීන්, සිතාමතාම නැවත නැවතත් මුසාවාද ගොතමින් සිටි බවයි. දෝෂාභියෝග ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අවශ්‍ය පමනටත් වඩා සාක්ෂි පවතී.

ස්නෝඩන් පිටුවහල් කිරීමට හා ඔහු සිරගත කිරීමට හෝ මරා දැමීමට රජය යුහුසුලුව ඇත්තේ, තමන් මහජනයාගෙන් සඟවා ගෙන සිටින පොලිස් රාජ්‍යයේ අතිවිශාල මෙවලමෙන් මේ දක්වා ඔහු විසින් හෙලි කරනු ලැබ ඇත්තේ කොටසක් පමනක් බව එය දන්නා නිසාය.

ඔත්තු බැලීමේ චෝදනාව නඟන මේ පාලනය වූ කලී වරෙන්තුවකින් හෝ නඩු විභාගයකින් තොරව ඇමරිකානු පුරවැසියන් මරා දමන පාලනයකි, විධිමත් ක්‍රියාමාර්ගයක් නොමැතිව සිරකරුවන් දින නියමයකින් තොරව රඳවා ගන්නා පාලනයකි, මාධ්‍යවල හා මහජනයාගේ සන්නිවේදනයන් පිලිබඳව ඔත්තු බලන පාලනයකි.

ප්‍රතිගාමී ඔත්තු බැලීමේ පනත යටතේ රාජ්‍ය මර්දනයට ඉලක්ක වූ සෙස්සන් වන එතල් හා ජුලියස් රොසෙන්බර්ග්, වික්ටර් බර්ගර්, ජේකබ් ඒබ්‍රම්ස්, ඩැනියෙල් එල්ස්බර්ග්, ඇන්තනි රූසෝ, තෝමස් ඩ්‍රේක් හා බ්‍රැඩ්ලි මැනිං ආදීන්ගෙන් සමන්විත ලැයිස්තුවකට චෝදනා ලබා සිටින ස්නෝඩන් ද එක්ව සිටියි. ඔහු ඔබාමා පරිපාලනය විසින් එකී චෝදනාවට ලක් කෙරුනු හත් වැන්නාය. මීට ඉහත පැවැති සියලු පාලනයන් යටතේ එකී චෝදනාවට ලක් වූවන් එක් කොට ගත්ත ද ඔබාමා පාලනයේ වාර්තාව ඊට ඉහලින් පවතී.

එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල කෙරෙන ප්‍රහාරයට යටින් ක්‍රියාත්මක වන බලගතු ඓතිහාසික හා සමාජ සන්තතීන් පවතියි. පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීහු, නිමක් නැති යුද්ධය ද ඉතිහාසය තුල නො ඇසූ විරූ මට්ටම්වලට නැඟී ඇති සමාජ අසමානතාවය ද සමඟ නොපෑහෙත්.

සිය ප්‍රතිගාමී පිලිවෙත්වලට එරෙහිව නැඟෙන කම්කරු පන්ති ජනයාගේ විරුද්ධත්වයට මුහුන දීමට සැරසෙන ඇමරිකානු පාලක පන්තිය, "ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ" ව්‍යාජ වහන්තරාවට මුවා වී එක්සත් ජනපදයේ ව්යවස්ථාව හා අයිතිවාසිකම් පනත සැබැවින් ම ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කරමින් සිටියි.

ස්නෝඩන්ගේ ද, "සතුරාට ආධාර කිරීමේ" මරනීය දන්ඩනය පැනවිය හැකි චෝදනාවට වර්තමානයේ මුහුන දී සිටින බ්‍රැඩ්ලි මැනිංගේ හා බ්‍රිතාන්‍යයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ වසරකට වැඩි කලක් මුලුල්ලේ රැකවරන ලබා සිටින විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ්ගේ ද ආරක්ෂාව සඳහා ඉදිරිපත් වන මෙන් සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරුවන් හා තරුනයන් කැඳවා සිටී.

දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ "ලිබරල්" හා ගතානුගතික, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ආදී වශයෙන් වූ සියලු කොටස් ස්නෝඩන් දඩයම් කිරීමට සහ එන්එස්ඒය (ජාතික ආරක්ෂක ඒජන්සිය), සීඅයිඒය හා පෙන්ටගනය ආරක්ෂා කිරීමට එක් වී සිටිති. ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති සිවිල් නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිලිබඳව ඔවුන්ගේ පරිපූර්න නොතැකීම මඟින් ඉස්මතු කෙරෙන්නේ, පාලක පන්තිය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කවර හෝ බැරෑරුම් කැපවීමක් නොපැවතීමේ කරුනයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සමාජ කොට්ඨාශය නම් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙම අයිතීන් රැක ගත හැක්කේ යුද්ධයේ, සමාජ අසමානතාවයේ හා ඒකාධිපතිත්වයක් කරා යොමු වූ පරිශ්‍රමයේ ප්‍රභවය වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීගැනීමෙන් පමනෙකි. සසප හා සම්බන්ධ වෙමින් ඊට දායක වීමට අමතන්න.

Share this article: