අනීතික දන්ඩනයක්: ඉන්දියානු ආන්ඩුව අෆ්සාල් ගුරුට මරන දඬුවම පමුනුවයි

A legal lynching: Indian government executes Afzal Guru

By Kranti Kumara and Keith Jones, 12 February 2013

මොහමඩ් අෆ්සාල් ගුරු රහසිගතව මරා දැමීමට නියෝග කිරීම, ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ නායකත්වයෙන් යුත් ආන්ඩුවේ ප‍්‍රතිගාමී දිශාපථය පිලිබඳ නිදසුනක් සපයන ක්‍රියාවක් විය.

43 වියේකාශ්මීර ජාතිකයෙකු වන මොහොමඩ් අෆ්සාල් ගුරු 2001 දෙසැම්බරයේ දී ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ගේ බොරු චෝදනා මත රහසිගතව එල්ලා මරා දැමීමට කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් යුත් ඉන්දියානු ආන්ඩුව පසු ගිය 09දා නියෝග කලේ ය. මෙම ක‍්‍රියාව ආන්ඩුවේ ප‍්‍රතිගාමී ගමන් මග පිලිබඳ නිදසුනකි.

එම ප‍්‍රහාරයෙන් ආරක්ෂක අංශයේ පුද්ගලයන් 8 දෙනකු ද උයන්පල්ලකුද ප‍්‍රසිද්ධ කාශ්මීර බෙදුම්වාදී කැරලිකරුවන් 5 දෙනකු ද මරනයට පත් විය. ඉන්දියානු දේශපාලන සංස්ථාපිතය සහ ඊට සම්බන්ධ ව්‍යාපාරික මාධ්‍ය සැනෙකින් එය ඉන්දියාවේ 9/11 ලෙස ප‍්‍රකාශයට පත් කලේ ය. එමෙන් ම, ආක‍්‍රමනකාරී භූ-දේශපාලනික න්‍යාය පත‍්‍රය සහ සිවිල් නිදහසට එරෙහිව පුලුල් ප‍්‍රහාර එල්ල කිරීම යුක්ති සහගත කිරීමට එය යොදා ගත්තේ ය. එක්සත් ජනපදයේ සිදු වූ 9/11 ප‍්‍රහාරය පිලිබඳව මෙන් ම 2001 දෙසැම්බර් 13 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වූ සන්නද්ධ ප‍්‍රහාරය පිලිබඳව ද නොවිසඳුනු බොහෝ ප‍්‍රශ්න පවතී. මෙම ප‍්‍රශ්න විභාග කිරීම සඳහා ඉන්දියානු බලධාරීන් කිසි විටෙක කිසිදු උනන්දුවක් දක්වා නැත.

එවකට හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නායකත්වය දුන් ඉන්දියාවේ ආන්ඩුව ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට සහාය දුන් බවට වහා ම පකිස්ථානයට චෝදනා කලේ ය. අනතුරුව, පකිස්ථාන දේශ සීමාවෙහි යුද භටයන් 700,000ක් යෙදවීමට නියෝග කලේ ය. මාස ගනනාවක් තිස්සේ, උප මහාද්වීපය පූර්න යුද තත්ත්වයක් අද්දර පැවතින.

''ඉස්ලාමීය" සහ ''පකිස්ථානය පදනම් කර ගත්" ත‍්‍රස්තවාදය පිලිබඳ ආන්ඩුවේ සහ මාධ්‍යයේ අස්ථාන භීතිය ද යොදා ගැනුනේ, අතිදරුනු ''ත‍්‍රස්තවාද-විරෝධී'' නීතියක් (ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත) බලගැන්වීමට ය. අනෙකුත් දෑ අතර, පුද්ගලයන් චෝදනා රහිතව දින 180ක් රඳවා තබා ගැනීමේ අයිතිය ද එයින් ලබා දුන්නේ ය, රහසේ සාක්කි ලබා ගැනීමට සහ පාපොච්චාරන පුලුල් ලෙස යොදා ගැනීමට ඉඩ දීම සඳහා සාක්ෂි පිලිබඳ නීති වෙනස් කලේ ය. මේවා සිදු වූයේ පොලීසිය, වධහිංසා සම්බන්ධයෙන් කුප‍්‍රකටව ඇති රටක් තුල ය.

මේ දක්වා ඉන්දියාව තුල රාජ්‍ය මරන දන්ඩන දුර්ලභ විය. 2008 නොවැම්බර් මුම්බායි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට සම්බන්ධව ජීවත්ව සිටි එක ම තුවක්කුකරු අජ්මාල් කසාබ්ට පසු ගිය නොවැම්බර් මාසයේ මරන දඬුවම පැමිනවීමට පෙර, ඉන්දියාව තුල 2004න් මෙපිට මරන දඬුවම් පැමිනවීමක් සිදුව තිබුනේ නැත. දැන් මාස තුනකට අඩු කාලයක් තුල මරන දඬුවම් දෙකක් පැන වී ඇත.

අෆ්සාල් ගුරු එල්ලා මැරීමට නියමිතව තිබුනේ 2006දී ය. මෙවැනි නඩුවල දී සාමාන්‍ය සිද්ධාන්තය වූයේ, ඔහුගේ භාර්යාව වන තබාසුම් අභයදානය ඉල්ලා පෙත්සමක් ගොනු කිරීමෙන් පසුව මරන දන්ඩනය අත්හිටුවීම හෝ ඉවත් කිරීම ය. බීජේපීය 2004 දී බලයෙන් පහ වුනු නමුත් ගුරුට වහා මරන දඬුවම පමුනුවන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියේ ය. අභයදානය ඉල්ලා ඉදිරිපත් කල පෙත්සම නිසි අවධානයට ලක් නොකර ඉන්දියානු ජනාධිපති කාර්යාලය තුල වසර ගනනාවක් තිස්සේ පුස්කමින් තිබුනු බව පෙනී ගියේ ය.

හිටි අඩියේ ම පසු ගිය මාසය වන විට ගුරුට මරන දඬුවම පැමිනවීම ආන්ඩුවේ ප‍්‍රමුඛ කටයුත්තක් බවට පත් විය. ජනවාරි 23 දින, හිටපු මුදල් ඇමතිවරයකු සහ දිගු කලීන කොන්ග‍්‍රස් ප්‍රමුඛයෙකු වන ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි, අෆ්සාල් ගුරු වෙනුවෙන් ඉදිරිපත් වූ අභයදාන පෙත්සම නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කල අතර, ස්වදේශ කටයුතු ඇමති සුෂිල් කුමාර් සින්ඩේ, ගුරු එල්ලා මැරීමට අන කලේ ය.

මේ සියල්ල රහසේ සිදු වූයේ, තම අභයදාන පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අධිකරනමය සමාලෝචනයක් ඉල්ලා සිටීමට ගුරුට ඇති නීත්‍යනුකූල අයිතිය වලක්වාලීමට සහ ගුරු කෙරෙහි පුලුල් සානුකම්පාවක් පැතිර පවතින ඉන්දියානු-පාලිත කාශ්මීරයේ ජනතාව ඔහුට මරන දඬුවම පැමිනවීමට එරෙහිව උද්ඝෝෂනය කිරීමෙන් වලක්වාලීමට ය.

තමන්ට මරන දඬුවම පැමිනවීමට යන බව අෆ්සාල් ගුරු දැන ගත්තේ සෙනසුරාදා පාන්දර 5.00ට ඔහු බලෙන් අවදි කරවූ අවස්ථාවේ ය. මෙය ගනන් බලා කරන ලද අන්ත කුරිරු කමකි. උදේ 7.30 වන විට, ඔහු බලෙන් පෝරකය වෙත ගෙන යන ලද අතර 8.00 වන විට, ඔහු මිය ගිය බව නිවේදනය කෙරිනි.

ගුරුට මරන දඬුවම පැමිනවීමට පෙර ඔහුගේ භාර්යාව සහ 14 වියේ පුත් ඝාලිබ් ඇතුලු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහු හමු වීමට කිසි ම අවස්ථාවක් ලබා නොදුන්නා පමනක් නො වේ. ඥාතීන්ට ඔහුගේ මෘත ශරීරය ලබා ගත නොහැකි වන අයුරින් බලධාරීහු වහා එය බන්ධනාගාර භූමියේ වලලා දැමූහ.

ඉන්දියානු රජය ගුරු එල්ලා මරා මැරීම පිලිබඳව ඔහුගේ භාර්යාවට ''කඩිනම් තැපෑලෙන්" දැනුම් දුන් බව කියතත්, එම ලිපිය ඇයට ලැබුනේ ඔහුට මරන දඬුවම පැමින වූ බව ආන්ඩුව ප‍්‍රසිද්ධියේ නිවේදනය කර පැය 48කටත් වඩා ගත වීමෙන් පසුව ය. මෙය තවත් සාහසික ක‍්‍රියාවකි.

ඉන්දියානු ආන්ඩුව ගුරුට රහසේ මරන දඬුවම පැමිනවීමට තීන්දු කර, එය සංවිධානය කර ක‍්‍රියාත්මක කරන අතරතුර, කාශ්මීරයේ පැන නැගිය හැකි ජනතා කෝපය මැඩීමට අවශ්‍ය මර්දනකාරී යන්ත‍්‍රනය ද බලමුලු ගැන්වී ය. ජම්මු සහ කාශ්මීර ජනයා 09දා අවදි වන විට, දැඩි ලෙස ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයන් දහස් ගනනක් වීදිවල ස්ථානගත කර තිබුනි. අන්තර්ජාල පහසුකම් අත්හිටුවා කාශ්මීර නිම්නයේ සියලු ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශ පුරා දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කර තිබුනි.

මෙසේ තිබියදී ම, ගුරුට මරන දඬුවම පැමිනවීමට එරෙහිව ස්ථාන ගනනාවක දැඩි විරෝධතා පැන නැගි අතර, විරෝධතා අතරතුර දී අඩු ගනනේ තරුනයින් තිදෙනකුවත් මියගොස් ඇත. දෙදෙනකු පොලීසියෙන් බේරීමට උත්සාහ කිරීමේ දී ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා ආරක්ෂක භටයන් විසින් වෙඩි තබා මරා දැමී ය. විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ද ඇත.

අෆ්සාල් රාජ්‍ය අනීතික දන්ඩනයක ගොදුරක් විය.

පොලීසිය, 2011 දෙසැම්බර් ප‍්‍රහාරයට සම්බන්ධ බවට ඔහුගෙන් බලෙන් පාපොච්චාරනයක් ලබා ගත්තේ, ඔහුට දරුනු ලෙස වධ දීමෙනි. ''කඩිනම්" උසාවියකින් මෙහෙයවුනු ඔහුගේ පලමු නඩු වාරයේ දී ගුරුට සිටියේ උසාවියෙන් පත් කරන ලද අත්දැකීම් රහිත නීතිඥයෙකි. ඔහු ගුරු ආරක්ෂා කිරීම සඳහා කිසිවක් කිරීමට අසමත් විය, අඩු ගනනේ පැමිනිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසුවේ වත් නැත.

අවසානයේ, 2001 දෙසැම්බර් ප‍්‍රහාරයට තුඩු දුන් ''කුමන්ත‍්‍රන" පිලිබඳ පොලිස්-පැමිනිලි පාර්ශ්වය ඉදිරිපත් කල කතාව හෙලිදරව් විය. කුමන්ත‍්‍රනයේ කොටස්කරුවන් ලෙස ''කඩිනම්" උසාවියෙන් චෝදනා ලැබ ගුරු මෙන් ම වරදකරුවන් බවට පත් වුනු අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙක් තමන්ට එරෙහි සියලු චෝදනාවන්ට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට සමත් වූහ. කුමන්ත‍්‍රනයේ ''මහ මොලකරු" යයි පොලීසිය තරයේ කියා සිටි විශ්ව විද්‍යාල මහාචාර්ය එස්.ඒ.ආර්. ගිලානි ද මීට ඇතුලත් විය. ගුරු සමග තෙවන චුදිතයා වූ ෂෝකැට් තම මරන දන්ඩනය 10 වසරක සිර දඬුවමක් බවට පහත හෙලා ගත් අතර 2010 දී නිදහස් කෙරිනි.

ගුරු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට සම්බන්ධ කලේ, ඊට එරෙහිව පැවති වැදගත් සාක්ෂි වෙනස් කිරීමෙන් ය යන කරුන නොතකා ද ඔහුගෙන් ලබා ගත් පාපොච්චාරනය ''ක‍්‍රියා පටිපාටිමය සුරැකිතා උල්ලංඝනය කරමින්" ලබා ගන්නා ලද්දක් ය යන්න සහ පැමිනිල්ලේ නඩුව තුල පැවති අනෙකුත් හිදැස් නොතකා ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරනය, ඔහුට එරෙහි චෝදනාවලට සහාය දෙමින් ''ජීවිතාන්තය දක්වා සිර දඬුවම් තුනක් සහ මරන දඬුවම් දෙකක්" නියම කලේ ය. එසේ කිරීමේ දී ''සමාජයේ සාමූහික හෘදය සාක්ෂිය පිනවිය හැක්කේ වරදකරුවාට මරන දඬුවම නියම කිරීමෙන් පමනක්" බව අධිකරනය ප‍්‍රකාශ කලේ ය.

ප‍්‍රකට ඉන්දියානු ලේඛිකාවක සහ දේශපාලන ක‍්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයි 10දා ද හින්දු පත‍්‍රයෙහි පල කල තීරු ලිපියක ප‍්‍රකාශ කලේ, ඉන්දියානු සමාජය පිනවිය හැක්කේ ගුරුගෙන් පලි ගැනීමෙන් පමනකැයි යන ප‍්‍රකාශයෙහි කිසියම් සත්‍යයක් ඇත් නම් එසේ වන්නේ, ‍දේශපාලන ප‍්‍රභූව සහ ව්‍යාපාරික මාධ්‍ය, සමාජය උමතුවට පත් කර තිබෙන හෙයින් බව යි. (රෝයි, 2001 දෙසැම්බර් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිලිබඳ නිල වාර්තාව තුල සහ අෆ්සාල්ට එරෙහි රාජ්‍ය නඩුව තුල ගැබ් වන පරස්පර විරෝධතා සූක්ෂ්ම පරීක්ෂාවකට බඳුන්කොට එලිදරව් කර ඇත.)

2001 ප‍්‍රහාරයට ගුරුගේ සම්බන්ධය ගැන සියලු ඉන්දියානු බලධාරීන් කරන ප‍්‍රකාශ හුදෙක් තර්කය සඳහා පිලිගත්තේ යැයි සිතමු. එහෙත් එවිට ද ඔහු වූ කලි ප‍්‍රහාරකයන්ට සම්බන්ධීකරන සහාය සැපයූ පිටත සීමාවේ සිටි ක්‍රීඩකයෙක් පමනි.

කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් යුතු එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන ආන්ඩුව ගුරුට කඩිනමින් මරන දන්ඩනය පැමිනවීමට ගත් තීරනය හොඳින් ගනන් බලා ගත් තීන්දුවකි. අගමැති මන්මෝහන් සිංට සහ කොන්ග‍්‍රසයේ ඉහල නායකත්වයට උවමනා කලේ තම ක‍්‍රෑරත්වය - එනම්, රාජ්‍යයේ අධිකාරය ආරක්ෂා කිරීම සඳහා ඝාතනවල යෙදීමට තමන් තුල තිබෙන සූදානම- ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීමට යි. එමෙන් ම, ජාතික සහ වාර්ගික ස්වෝත්තමවාදයට සහ පොදුවේ සමාජ ප‍්‍රතිගාමිත්වයට අනුබල දී දේශපාලන වාතාවරනය තවත් දකුනට මාරු කරවීමට යි.

මෙම දේශපාලන මාරුවට ආසන්නත ම හේතුව, පකිස්ථානය සමග උග‍්‍ර අතට හැරී තිබෙන ආතතිය යි. ඉන්දියානු සහ පකිස්ථාන-පාලිත කාශ්මීර ප්‍රදේශ දෙක අතර නිල දේශ සීමාව ලෙස නිර්මානය කල පාලන රේඛාව දිගේ දේශ සීමා ගැටුම් උත්සන්න වීම ද මෙයට ඇතුලත් ය.

මෙම දේශපාලන මාරුව සිදුවන්නේ, බීජේපීය දක්ෂිනාංශික ආක‍්‍රමනකාරී දේශපාලනයක නිරතව සිටින තත්ත්වයක ද වේ. ''ත‍්‍රස්තවාදයට බුරුලක් දැක්වීම" සම්බන්ධයෙන් එය යලි යලිත් කොන්ග‍්‍රස් පක්ෂයට පහර දී ඇති අතර, ප‍්‍රමුඛ ව්‍යාපාරික නායකයන් බොහෝ දෙනෙකු 2014 ජාතික මැතිවරනයේ පලමු පෙලේ ''අගමැති අපේක්ෂකයා" ලෙස දැඩි වර්ගවාදියෙකු වන ගුජරාට මහ ඇමති මහේන්ද්‍ර මෝඩි හුවා දැක්වීම මගින් එයට විශ්වාසනීයත්වයක් ද හිමිකරගෙන ඇත.

ව්‍යාපාරික මාධ්‍ය බොහොමයක සහාය ලද බීජේපීය, පසු ගිය දෙසැම්බරයේ දිල්ලියේ තරුන කාන්තාවක කුරිරු ලෙස කන්ඩායමික දූෂනයකට ලක් කිරීමේ සිද්ධිය ලද මහත් ප‍්‍රසිද්ධිය ගසා කමින්, වැඩි වැඩියෙන් සහ වඩා පුලුල්ව මරන දඬුවම යොදා ගත යුතු යැයි ඉල්ලා සිටි බව ද සඳහන් කල යුතු ය.

එහෙත් වඩා පොදුවේ ගත් කල මෙම මාරුව සිදුවන්නේ, දේශීය සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර වශයෙන්, ඉන්දියාව ආයෝජකයන්ට වඩා ආකර්ෂනීය තැනක් බවට පත් කිරීමේ අරමුන ඇතිව අප්‍රසාදයට පත්ව ඇති ප‍්‍රතිපත්තිවල වෙනස්කම් ඇති කර ගැනීමට ආන්ඩුව උත්සාහ දැරීම නිසා පන්ති ආතතිය ඉහල ගිය තතු යටතේ ය.

බීජේපීය සහ වාම පෙරමුනට නායකත්වය දෙන ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) යන දෙපාර්ශ්වය ම ගුරුට පැනවුනු අනීතික රාජ්‍ය දන්ඩනයට සහාය පල කරමින් අදහස් දැක්වීමත් සමග ඉන්දියානු දේශපාලන ක්ෂේත‍්‍රයේ සමස්ත දේශපාලන ප‍්‍රභූව ම ඊට සතුට පල කර ඇති බව කිව හැකි ය.

සීපීඑම් දේශපාලන මන්ඩල සභික සීතාරාම් යෙචුරි ප‍්‍රකාශ කලේ, ''අෆ්සාල් ගුරු නඩුවට සහ පාර්ලිමේන්තු ප‍්‍රහාරයට අදාලව අවසානයේ රටේ නීතිය සහ එහි සියලු විධිවිධාන ක‍්‍රියාත්මක වී තිබෙනවා. පසු ගිය අවුරුදු 11 පුරා ම නොවිසඳී තිබුනු ගැටලුව නිසි කලට විසඳී තිබෙනවා," යනුවෙනි.

අනතුරුව ඔහු බල කර සි‍ටියේ, අනෙකුත් ප‍්‍රමුඛ පෙලේ මරන දඬුවම් හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක කල යුතු බවට ය. එලෙස ඔහු මාරාන්තික රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයට තව දුරටත් සහාය පල කලේ ය. අගමැති රජීව් ගාන්ධි සහ පන්ජාබ් ප‍්‍රධාන ඇමති බීන්ට් සිං ඝාතනය කිරීම පිලිබඳව වරදකරුවන් බවට පත්ව සිටින පුද්ගලයන් ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසී ය:''මෙම නඩු සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු යි. ඒවා ද නිසි කලට සිදු විය විය යුතු යි."

Share this article: