එක්සත් ජනපද උප ජනාධිපති ඉරානයට එරෙහි මිලිටරි තර්ජනය අලුත් කරයි

US Vice President reinforces military threat against Iran

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 මාර්තු 7

එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බයිඩන්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අරභයා පැනනැඟී තිබෙන වත්මන් ගැටුම සාකච්ඡා මගින් විසඳා ගැනීම සඳහා පැවති ''අවස්ථාව ඉක්ම යමින්" තිබෙන බව පවසමින්, ඇමරිකානු මිලිටරි ප්‍රහාරයක් පිලිබඳව යලිත් තර්ජනය කර ඇත්තේ කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව ය.

මේ මස අවසන් භාගයේ ජනාධිපති ඔබාමා ඊශ්‍රායලයේ කිරීමට නියමිත සංචාරයේ පෙර ගමන්කරු ලෙස බිඩෙන්, ඊශ්‍රායල් හිතවාදී බලපෑම් කිරීමේ කන්ඩායමක් වන ඇමරිකානු ඊශ්‍රායල් මහජන කටයුතු පිලිබඳ කමිටුව (එයිපැක්) හමුවේ කථාකරමින් 04දා එසේ පැවසීය. සාම්ප්‍රදායික සීමාවෙන් ද පිට පැන ඔහු, ඊශ්‍රායලයේ මිලිටරි සුපිරි බලය පවත්වා ගැනීම සඳහා පිදෙන එක්සත් ජනපද සහාය, එක්සත් ජාතීන් හමුවේ ඊශ්‍රායලයට ලබාදෙන අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය, හා ඔවුන්ගේ ''පොදු අවශ්‍යතා" වන ඊජිප්තුවේ හා සිරියාවේ බටහිර ගැති තන්ත්‍රයන් පවත්වා ගැනීම ද ඇතුලු සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් සියොන්වාදී රාජ්‍යයට දෙන ඔබාමා පාලනයේ අකලංක සහයෝගය අවධාරනය කලේ ය.

කෙසේ වෙතත්, ඉරාන ප්‍රශ්නයේ දී බිඩෙන් විශේෂයෙන් ම නිර්දය විය. 13,000ක් වූ එයිපැක් ආධාරකරුවන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයයේ ඔහු, ''ඉරානය න්‍යෂ්ටික අවි අත්කර ගැනීම වැලැක්වීමට" ඔබාමා කැපවී සිටින බව පැවසීය. ''සාකච්ඡා අවධිය අවසන්ව ඇත" (අත්පොලසන්). වලක්වනු- වලක්වනු (තවතවත් අත්පොලසන්)" යයි සභාවෙන් හඬ නැඟුනි.

මැද පෙරදිග තවත් ආක්‍රමනික යුදවාදියෙකුට නග්න ලෙස හා නිර්ලජ්ජිතව සහාය දීමේ දී , ඉරාක යුද්ධය සඳහා යොදාගත් කඩතුරාව හා ඉරානයේ සහචරයා වන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තන්ත්‍රය පෙරලා දැමීම පිනිස මේ වන විට ගෙනයමින් තිබෙන මෙහෙයුමටත් වඩා ව්‍යාජ ය. ඊශ්‍රායලය හා එක්සත් ජනපදය කරනු ලබන ප්‍රකාශයන්ට එරෙහිව න්‍යෂ්ටික අවි තැනීමේ කිසිදු සැලැස්මක් තමන් සතුව නැතැයි පවසන ඉරානය, න්‍යෂ්ටික අවි හරන ගිවිසුමට අත්සන් තබා ඇති අතර තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන ජාත්‍යන්තර නිරීක්ෂනය සඳහා විවෘත කොට තිබේ.

ජාත්‍යන්තර සම්බාධක හා සාකච්ඡාවන්ගේ ආනුභාවය පිලිබඳව මෙන් ම කුමන හෝ මිලිටරි ප්‍රහාරයක කාල සටහන පිලිබඳව එක්සත් ජනපදය හා ඊශ්‍රායලය අතර පවතින රූපික මතභේද මුලුමනින් ම උපායාත්මක ඒවා ය. "තවමත් අවසන් ඉලක්කය සාක්ෂාත්කර ගැනීමට කාලය ඇති" බව කියමින් බිඩෙන්, "රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක්" සඳහා එක්සත් ජනපදයේ මනාපය යලි සඳහන් කලේ ය.

කෙසේ වෙතත්, වොෂින්ටනය ''රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක්" යනුවෙන් අදහස් කරන්නේ, තම ඉල්ලීම් වලට ඉරාන තන්ත්‍රය යටත් විය යුතු ය යන්න යි. කසකස්ථානයේ පැවති නව ජාත්‍යන්තර සාකච්ඡාවන්හි දී එක්සත් ජනපදය හා එහි අනුචරයින් ඉදිරිපත් කල නව යෝජනාවට අනුව, ඉරානය මත පනවා තිබෙන ආර්ථික වශයෙන් විනාශකාරීවූ සම්බාධකයන්හි සුලු වෙනසකට හිලව් වශයෙන්, ඉරානයේ යුරේනියම් සුපෝෂනය මත දැඩි සීමාවන් පැනවෙනු ඇත. තවත් සාකච්ඡා මේ මාසයේ හා ලබන මාසයේ පැවැත්වීමට නියමිත ය. එහෙත් මේ පදනම මත ගිවිසුමකට එලඹුනත්, එය තුඩුදෙනු ඇත්තේ, ඉරානය තම න්‍යෂ්ටික වැඩ සටහනේ මූලික අංඟ වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමිය යුතු බවට එක්සත් ජනපදයෙන් කෙරෙන නිමක් නැති ඉල්ලීම් මාලාවකට ය.

සාකච්ඡාවන්හි සැබෑ අරමුන බිඩෙන් අයිපැක් ප්‍රේක්ෂකයින් හමුවේ මෙසේ ගෙන හැර දැක්වීය: ''දෙවියන් සමාව දෙනු මැනවි, ක්‍රියාත්මක වීමේ අවස්ථාව උදා වුවහොත්, මොන ම ගැටුමක් හෝ වලක්වා ගැනීමට, අප සතු ශක්තියෙන් කල හැකි සියල්ල කල බව මුලු ලෝකය ම දැනගැනීම තීරනාත්මකව වැදගත් ය." වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජනපදය තවත් යුද්ධයකට සූදානම් වෙද්දී, අනිවාර්යෙන් ම පැන නැඟිය හැකි යුද විරෝධයක් මොටකර දමන සාම දූතයෙක් ලෙස තමන් පෙන්වා ගැනීම ''තීරනාත්මකව වැදගත්" බව ය.

ඔබාමා පාලනය ඊශ්‍රායලය සමග සමීපත ම සම්බන්ධතාවක් පවත්වා ගන්නා බව සෑම අදියරකදී ම බිඩෙන් පැහැදිලි කලේ ය. "අප නිරන්තර සාකච්ඡාවන්හි නිරත වන්නෙමු. එහි දී ඊශ්‍රායල් මිලිටරිය, බුද්ධි අංශ, දේශපාලන සංස්ථාපිතය සමඟ සෑම මට්ටමකදී ම අපි තොරතුරු හුවමාරු කර ගනිමු."

''රාජ්‍ය තාන්ත්‍රික පියවර හා සම්බාධක අසාර්ථක වුවහොත්, පැහැදිලි හා විශ්වාසවන්ත මිලිටරි තර්ජනයක්" සඳහා වන අවශ්‍යතාව පිලිබඳව, චන්ද්‍රිකා සම්බන්ධයක් යොදාගනිමින් එයිපැක් සමූහය ඇමතූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, වඩාත් සෘජු ලෙස පැවසීය. "මගේ හදවතෙහි පතුලෙන් ම හා මගේ මොලය සතු පැහැදිලිකම අනුව, හුදු වචනවලින් පමනක් ඉරානය නතර කල නොහැකි ය. සම්බාධක වලින් පමනක් වුවත් ඉරානය නතර නොවනු ඇත." යනුවෙන් පවසමින් සාමකාමී විසඳුමක් පිලිබඳ මොන ම හෝ බලාපොරොත්තුවක් ඔහු බැහැර කලේ ය.

"ඉරානය වඩ වඩාත් යුරේනියම් සුපෝෂනය කරයි. එය වඩ වඩාත් වේගයෙන් ප්‍රතික්‍රියාකාරක සවි කරයි. ප්‍රමාද වීමට පෙර අප, ඉරානයේ න්‍යෂ්ටික සුපෝෂන වැඩසටහන නතර කල යුතු" යයි කියමින් ඉරානයෙන් නැ‍ඟෙන තර්ජනය නෙතන්යාහු විසින් අතිශයෝක්තියට නැංවී ය.

සැලකිය යුතු තරමකින් න්‍යෂ්ටික මෙවලම් අත්කරගෙන තිබෙන මැද පෙරදිග ඇති එක ම රට ඊශ්‍රායලය බව දන්නා කනෙකුට මෙම ප්‍රකාශයන්හි ඇති අමු කුහකකම සැඟවිය නොහැකි ය. ඊට අමතරව, අසල්වැසි අරාබි රටවලට එරෙහිව මිලිටරි ප්‍රචන්ඩත්වය යොදැගැනීම පිලිබඳව ද ඊශ්‍රායලයට ඇත්තේ දිගු වාර්තාවකි.

කලාපය මත ඇමරිකානු හා ඊශ්‍රායල් අධිකාරය පවත්වාගෙන යාමේ පුලුල් මූලෝපායේ කොටසක් ලෙස ඊශ්‍රායලය, එක්සත් ජනපදය සමග එක්ව, කිසිදු විරුද්ධවාදියෙකු විසින් න්‍යෂ්ටික මෙවලමක් හැදීමේ හැකියාව පවා අත්කර ගැනිම වැලැක්වීමට අධිෂ්ඨානශීලීව සිටියි.

"මම පසුගිය සැප්තැම්බරයේ එක්සත් ජාතීන් හමුවේ ඇඳ පෙන්වූ රතු ඉර ඉරානය විසින් තවමත් පැන ගොස් නැතැ" යි නෙතන්යාහු තිර ලෙස පැවසීය. එම සාකච්ඡාවේ දී ඊශ්‍රායල් අගමැති තරයේ ම ව්‍යාජ ප්‍රකාශයක් ද කලේ ය. එනම් මේ වසර මැද වන විට ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට අවශ්‍ය කටයුතු වලින් "සියයට 90"ක් සපුරාලනු ඇතැයි යන්න ය. 04දා ඔහු කියා සිටියේ, ඉරානය ''එම රතු ඉරට සමීප වෙමින් සිටින" බව යි. එනම් එක්සත් ජනපද හෝ ඊශ්‍රායල් ප්‍රහාරයක් සඳහා අවස්ථාව උදා වන බව යි.

මේ මසයේ සිදුවීමට නියමිත ඔබාමාගේ සංචාරයේ දී ඉරානයට එරෙහි යුද්ධය හා එහි කාල සටහන න්‍යාය පත්‍රයේ ඉහලින් ම තිබෙනු ඇති බව නිසැක ය. ඉරාක යුද්ධය කෙරීගෙන යද්දී, ඔබාමා සිය පලමු නිල කාලය තුල ඊශ්‍රායලයට ගියේ නැති අතර ඒ වෙනුවට ''මුස්ලිම් ලෝකය" සමඟ, විශේෂයෙන් ම මැද පෙරදිග අරාබි ධනපති තන්ත්‍රයන් සමඟ, සම්බන්ධතා ගොඩනඟා ගැනීම කෙරෙහි යොමු වී සිටියේ ය. ඔහු දැන්, පලස්තීන භූමි ප්‍රදේශයන්හි ඊශ්‍රායලය ජනපද පිහිටුවීම පිලිබඳ තම සීමිත විවේචන ද ඇතුලු, ඒ සියලු ආටෝපයන් මුලුමනින් ම අතහැර දමා තිබේ.

සත්තකින් ම ඔබාමාගේ සංචාරයෙහි ප්‍රතිපල කල් තියා කිව නොහැකි ය. එහෙත් යුද්ධය සඳහා සූදානම නම් ඊට ඇතුලත් ය. එක්සත් ජනපද සෙනේට් සභාව හමුවේ 06දා දුන් සාක්ෂියේ දී එරට මධ්‍යම අනදෙන මන්ඩලයේ ප්‍රධානියා වන ජෙනරාල් ජේම්ස් මැටිස්, ''ඔබාමා කිසිදු විකල්පයක් මේසයෙන් ඉවත් කර නැත. මගේ කර්තව්‍ය වන්නේ ඔහුට මිලිටරි උපදෙස් සම්පාදනය කිරීම" යයි පැවසීය.

වත්මන් ජාත්‍යන්තර සාකච්ඡා ආරක්ෂා කරන අතර මැටිස් මෙසේ පැවසීය: ''එක විට ම අනෙකුත් දේවල් ද කිරීමෙන් අපව වලක්වන්නේ නැති බැවින්, අප සාකච්ඡා අත්හල යුතු යයි මම විශ්වාස නොකරමි. නිදසුනක් ලෙස, සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඉරානියන්ගේ සැලසුම් අකර්මන්‍ය කර, අප වැඩේට සූදානම් බව අපගේ මිතුරන්ට යලිත් සහතික කිරීම සඳහා අප සූදානම් බව පෙන්වීමට, ආරක්ෂක ලේකම් විසින් ගෙන ඇති තීරනයට අනුව ගල්ෆ් ප්‍රදේශයේ අමතර හමුදා රැඳවිය යුතු බවට මා කල යෝජනාව ක්‍රියාත්මක වී තිබීම දැක්විය හැකි ය."

Share this article: