නාගරික සංවර්ධන අධිකාරිය සමග සමථයකට එන්නැයි ශ්‍රේෂ්ඨාධිකරනය කොම්පඤ්ඤ වීදියේ නිවැසියන්ට කියා සිටියි

කල්ප ප්‍රනාන්දු විසිනි, 2013 මාර්තු 26

නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) විසින් ආරම්භ කර ඇති ''කොම්පඤ්ඤ වීදිය ප‍්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය"ට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ නිවාස අහිමි වන පවුල් කිහිපයක් ගොනුකල මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් 4ක් පසුගිය 12 වන දා විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, ප‍්‍රදේශයේ බහුතරයක් දෙනා යූඩීඒ ඉදිරිපත් කල විකල්පවලට එකඟ බැවින් යූඩීඒ සමග සමථයකට එන ලෙස පෙත්සම්කරුවන්ට කියා සිටියේ ය. අනතුරුව අපේ‍්‍රල් 4 වන දිනට නඩුව කල් දැමින.

යූඩීඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරනයේ උපදෙස් පරිදි කොම්පඤ්ඤ වීදියේ පිහිටවූ යූඩීඒ ජංගම කාර්යාලයට පැමිනි පවුල් 317ක් කුලී පදනමට කැමති බවත් පවුල් 164ක් වන්දි ලබා ගැනීමට කැමති බවත් දන්වා ඇති බව යි. එහෙත් නිවැසියන් පවසන්නේ තමන්ගේ අකමැත්ත තිබියදී ම මෙම පියවර ගැනීමට තල්ලූ වූයේ යූඩීඒ බලකිරීම යටතේ බව යි.

නඩු විභාගය අතරතුර පෙත්සම්කරුවන්ගේ නීතිඥයින් වන සූජීව සේනසිංහ හා ෆර්මාන් කාසිම් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් පිටව යෑමට සුදානම් වූ විට අගවිනිසුරු මොහාන් පීරිස් ඔවුන්ට දැඩිලෙස අවවාද කරමින් කියා සිටියේ, "අධිකරනයට අපහාස වන අන්දමින් යලි හැසිරුනහොත් විනය පියවර ගන්නා බව යි."

මේ පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සේනසිංහගෙන් විමසූ විට, ඔහු පැවසුවේ නඩුව ආරම්භයේ සිට ම එය විභාග කල ආකාරය ගැන පැහැදීමක් තිබුනේ නැති බැවින් එයට තම අසතුට ප‍්‍රකාශ කිරීමක් ලෙස නැගිට ගිය බව යි.

''මීට ප‍්‍රථම උසාවියේ නියෝගයක් අනුව යූඩීඒ මගින් යෝජනා වූ කොන්දේසිවලින් එකකට තම කැමැත්ත ප‍්‍රකාශ කිරීම ස‍ඳහා යූඩීඒ ජංගම කාර්යාලයට ගිය නිවැසියන්ට එහි සිටි ටාටා සමාගමේ පුද්ගලයෙක් තර්ජනය කල බව වාර්තා වුනා. මරන තර්ජන පවා සිදුවී තිබෙනවා. මම මේ ගැන අධිකරනයට දන්වා ඒ පිලිබඳව සොයා බලන ලෙසට ඉල්ලා සිටියා. නමුත් ඒ ගැන සැලකුවේ නැහැ," යි ඔහු තව දුරටත් ප‍්‍රකාශ කලේ ය.

මෙයින් පැහැදිලි වන්නේ නිවැසියන් මුහුන දී ඇත්තේ බැරෑරුම් තර්ජනයකට බව යි. යූඩීඒ කොන්දේසිවලට එකඟ වූව ද එම කොන්දේසි පරිදි මාසික කුලිය හෝ වන්දි මුදල් ලැබේදැයි විශ්වාසයක් නිවැසියන්ට නැත. කෙසේ නමුදු, මෙම නිවැසියන් නඩුවකට හිර කිරීමෙන් ඔවුන්ගේ ප‍්‍රශ්න කිසිවක් විසඳිය නොහැකි බව මනාව පැහැදිලි ය.

සූජීව සේනසිංහ අධිකරනයේ දී දැක්වූ විරුද්ධත්වය ප්‍රෝඩාවක් වන අතර එය මහජනයාගේ ඇස්වලට වැලි ගැසීමකි. ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව මහජන විරුද්ධත්වය වර්ධනය වන තතු තුල පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ (යූඑන්පී) මන්ත‍්‍රීවරයෙකු වන සූජීව සේනසිංහ ඇතුලු යූඇන්පිය සිදු කලේ, මෙම නිවැසියන් නඩුවක හිර කිරීම යි.

කොලඹ නගරයේ පැල්පත්වාසී දුගී පවුල් 70,000කට නිවාස අහිමි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙල කොලඹ අගනුවර දකුනු ආසියාවේ වානිජ හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ පුලුල් සැලැස්මේ කොටසකි. පසුගිය වසර 3ක කාලය තුල, කොලඹ නගරයේ පවුල් සිය ගනනක් තමන් ජීවත් වූ බිම් ප‍්‍රදේශවලින් පලවා හැර තිබේ.

ආන්ඩුවේ මේ පිලිවෙත ක‍්‍රියාවට දැමීමේ දී ප‍්‍රධාන සහකරුවා ලෙස ක‍්‍රියා කලේ යූඇන්පීය යි. යූඇන්පීයට වාසිදායක ඡන්ද පදනමක් ඇති කොලඹ නගරයේ මෙම සැලසුම් කි‍්‍රයාවට දැමීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සමග අත්වැල් බැඳගත් එම පක්ෂය මහජනයා තම නිවාස අයිතිය රැකගැනීම සදහා ස්වාධීන පිලවෙතක් අනුගමනය කිරීම වැලැක්වීම සඳහා හැකි සෑම දෙයක් ම කලේ ය.

පසුගිය කොලඹ මහ නගර සභා මැතිවරනයේ දී යූඇන්පීය සහ එහි නගරාධිපති අපේක්ෂක ඒ.ජේ.එම් මුසම්මිල් ද රාජපක්ෂ ආන්ඩුවේ මෙම සැලසුම්වලට එරෙහිව වැඩෙන මහජන වෛරය ගසාකමින් නගර සභාවේ පාලනය දිනාගත් නමුදු ඉතා කෙටි කාලයක් තුල යූඩීඒ මෙම සැලසුම් කි‍්‍රයාවට දැමීමේ ප‍්‍රධාන කසකරුවා ලෙස ඉදිරියට පැමිනියේ ය. 2013 ජනවාරි 27 දින සන්ඩේ ඔබ්සවර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මුසම්මිල් පැවසුවේ, කොලඹ නගරය අලංකාර කිරීමේ වැඩකටයුතුවල දී යූඩීඒ සමග සහයෝගයෙන් කටයුතු කරන බව යි. මෙම පැල්පත් ඉවත් කිරීම සිදු කෙරෙන්නේ කොලඹ නගරය අලංකාර කිරීම යටතේ ය.

යූඇන්පීය මහජනතාව අතර වගාදිගා කල ප‍්‍රධාන මිත්‍යාව වූයේ, "අධිකරනය ජනතා ආරක්ෂකයා ය" යන්න යි. කොලඹ දිස්ති‍්‍රක් යූඇන්පී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පෙල ගැසී ජනතාවට කියා සිටියේ, පැල්පත්වාසී පවුල් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම් අධිකරනයට නතර කල හැකි බව යි. මීට පෙර කොලඹ 15 ඉබ්බාවත්තේ පවුල් 50ක් පමන ඉවත් කිරීමට එරෙහිව යූඇන්පී මන්ත‍්‍රී රවී කරුනානායක මුල් වී කොලඹ දිසා අධිකරනයේ ගොනු කල නඩුව ඉවත දමමින් පැල්පත් වාසීන් ඉවත් කිරීමට තීන්දු කලේ ය.

කොම්පඤ්ඤ වීදිය දුම්රියපොලට ආසන්නයෙන් දුගී ජනයා ජීවත් වන අක්කර 8ක පමන භූමි භාගයක් ඉන්දීය ටාටා සමාගම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 400කට විකුනා තිබේ. මෙහි ඉදි කෙරෙන සුපිරි නිවාස හා වෙලඳ සංකීර්න ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කෙරුනේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ය.

යූඩීඒ මෙම ව්‍යාපෘතිය සඳහා මහජනතාවගේ විරෝධය වර්ධනය වන තතු තුල කඩිනමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි විය. යූඩීඒ එම ප‍්‍රදේශයෙන් ඉවත් කෙරෙන පවුල් 500 සඳහා ඊනියා විකල්ප 4 ක් ඉදිරිපත් කල අතර නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනවාරි 28 වන දා කොලඹ පැවැති රැස්වීමක දී "විකල්පයන්ගෙන් එකක් තෝරා ගැනීමට සතියක කාලයක් පමනක් ලබා දෙන බව" පවසමින් නිවැසියන්ට තර්ජනය කලේ ය.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ, මෙම ව්‍යාපෘතියට සමගාමී ව්‍යාපෘතියක් ලබන මාසයේ ආරම්භ කරනු ලබන බව යි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 60ක් වැය කරන අතර එය "කොම්පඤ්ඤ වීදිය දුම්රිය පටුමග ප‍්‍රතිසංවර්ධන වැඩසටහන" ලෙස නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය පකිස්ථානය පදනම් කර ගත් ඉම්පිරියල් බිල්ඩර්ස් සමාගම වෙත භාර දී තිබේ. මැලේ වීදිය, ජස්ටිස් අක්බාර් මාවත, ජාවා ප්ලේස්, මස්ජිතුල් ජමියා මාවත යන ප‍්‍රදේශ මෙයට අයත් වේ.

ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවෙන් පසුව ලෝසවෙඅ වාර්තාකරුවෝ කොම්පඤ්ඤ වීදියේ ජනතාව හමු වූහ.

මැලේ වීදියේ මුස්ලිම් දෙදරු මවක් ලෝසවෙඅ මෙසේ අදහස් පල කලා යඃ"අපි උසාවියට ගියේ අසාධාරනයට සාධාරනයක් ලබා ගන්න යූඩීඒ එකත් එක්ක කතා කරලා සමථයකට එන්න කියලා උසාවිය කියනවා. අපේ පවුල් පිටින් එලවලා දාන්න යනකොට, අපේ අයිතිවාසිකම්වලට හානි කරන කොට උසාවිය කියන්නේ සමාදාන වෙන්න කියලා. මේක ද නීතිය කියලා කියන්නේ? ගුටිකාපු මිනිහෙක්ට ගහපු මිනිහත් එක්ක සමාදාන වෙන්න කියලා කියනවා වගේ වැඩක්. උසාවිය කලේ ආන්ඩුව කරපු වැඩේට සහයෝගය දීපු එක."

කොම්පඤ්ඤ වීදිය පල්ලිය පටුමග පදිංචිකරුවෙක් මෙසේ පැවසීයඃ "මේ නඩුව දැම්මේ යූඇන්පී මන්ත‍්‍රී සුජීව සේනසිංහ මුල් වෙලා. ඇත්තට ම සියලු නීත්‍යානුකූල ලියවිලි අපිට තිබ්බා. ඒක නිසා යුඇන්පීය මුල් වෙලා නඩුව දැම්මා. සූජීව සේනසිංහ කිව්වේ, උසාවිය මිනිස්සුන්ට සාධාරනය ඉටු කරයි කියලා. උසාවිය සාධාරනය කලේ ආන්ඩුවට, අපට නෙමෙයි. මේ වැඩෙන් වුනේ කාලය හා මුදල් නාස්ති වෙච්ච එක යි. අන්තිමේ දී සිද්ධ වුනේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්."

උසාවිය ලබා දුන් තීන්දුව පිලිබඳව ජස්ටිස් අක්බාර් මාවතේ පදිංචිකරුවෙකුගේ අදහස මෙසේ යඃ"මියුස් වීදියේ ගෙවල් කැඩුවා වගේ බලහත්කාරයෙන් ආමි එක දාලා ගෙවල් ටික කඩලා දායි. ඊට පස්සේ දීපු විකල්පත් නැහැ. ගෙවල් දෙනකම් ලෑලි ගෙවල්වලට යන්න කියයි. නැත්නම් පොඩි ගානක් කුලිය කියලා දෙයි. යූඇන්පීය දාපු නඩුවෙන් සිද්ධ වුනේ මහාපාරට වැටුන එක යි."

කොම්පඤ්ඤ වීදිය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධ නීතිමය කි‍්‍රයාදාමයේ දී අධිකරනය හැසිරුනු ආකාරයෙන් වැදගත් දේශපාලනික පාඩමක් කම්කරු පීඩිත මහජනතාව විසින් උගත යුතු ය: අධිකරනය හා පොලිසිය වැනි සංස්ථා, ධනේෂ්වර ආයතන වන අතර ඒවා ක‍්‍රියාත්මක වන්නේ ධනපති පන්තියේ අවශ්‍යතා ඉටුකිරීමට ය. එමෙන් ම නිවාස අයිතිය ඇතුලු මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙම ජරපත් ධනපති ක‍්‍රමය මුලුමනින් ම අපොහොසත් ය.

තම නිවාස අයිතිය අහිමි වීමේ තර්ජනයට මුහුන දී සිටින සැමගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ, යූඇන්පිය වැනි ධනපති පක්ෂවලින් ස්වාධීනව නිවාස අයිතිය රැක ගැනීම සඳහා ක‍්‍රියාකාරී කමිටු ගොඩ නඟමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සටන් වැදීමට පෙරට එන ලෙස යි.

Share this article: