හියුගෝ චාවේස් හා සමාජවාදය

Hugo Chavez and socialism

8 March 2013

අද දිනයේ (මාර්තු 08) සිදුවන අවමංගල්‍ය කටයුතු නිමවන තෙක්, ජනාධිපති හියුගෝ චාවේස්ගේ මෘත දේහය තැන්පත් කර තැබීමට --ඔහු සිය වෘත්තිය ආරම්භ කල-- මිලිටරි ඇකඩමිය වෙත ගෙන යන පෙරහැරට එක් වීම සඳහා වෙනිසියුලානු ජාතිකයන් ලක්ෂ ගනනක් කැරකාස්හි වීදිවල රැස්කමින් සිටියෝ ය.

පැරෂුට් රෙජිමේන්තුවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙක් වූ චාවේස් වසර 14ක් බලය හෙබවුවේ ය. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුල රටේ බෙහෙවින් ම දුගී ජන කොටස්වල සමාජ තත්වයේ සීමිත වුවත්, ඇතිවූ ප්‍රගතිය ප්‍රතික්ෂේප කල නොහැකි ය. එය එක් රොක් වන ජනතාව පලකරන සහයෝගය තුලින් ප්‍රකට කෙරේ. සමාජ තත්වයන්ගේ සිදුව ඇති එම ප්‍රගතිය දුප්පත්කම අඩකින් අඩුවීම තුලින් පෙන්නුම් කල අතර එය තවමත් පවතින්නේ ලතින් ඇමරිකාවේ සාමාන්‍ය අනුපාතයට වඩා ඉහලින් ය.

ඔබාමා පාලනය, වොෂින්ටනයේ දී නිකුත් කල ප්‍රවේසම් සහගත ප්‍රකාශයකින්, චාවේස් අභාවයට පත් වූයේ, ''අභියෝග සහිත කාලයක" බවත්, කැරකාස්හි නායකත්වයේ වෙනස'' වෙනිසියුලානු ආන්ඩුවත් සමග සාධනීය සම්බන්ධතාවක්" ගොඩනඟනු ඇතයි තමන් බලාපොරොත්තු වන බවත් සඳහන් කෙරුනි.

කොන්ග්‍රසයේ රිපබ්ලිකානු නායකයෝ වෙනිසියුලානු නායකයාගේ අභාවය එලිපිට ම සමරනු ලැබූහ. විදේශ කටයුතු කමිටුවේ සභාපති එඩ් රොයිස් ''මෙම ආඥාදායකයාගෙන් ගැලවෙන්නට ලැබීම යහපත්" යයි පැවසීම කැපී පෙනෙයි.

චාවේස්ගේ ජාතිකවාදී වාචාලත්, රටේ දිගුකාලීන තෙල් සම්පත් ආදායම් සමාජ සහන වැඩසටහන් වෙනුවෙන් යෙදවීම මෙන් ම චීනය සමග ගොඩනඟාගත් පුලුල් ආර්ථික සම්බන්ධතා, වොෂින්ටනයේ මෙන් ම වෙනිසියුලානු පාලක පන්තියේ ෆැසිස්ට් ලක්ෂන දරන ස්ථරයක වෛරය ඔහු වෙත යොමුකරවීය. කෙසේ වුවත්, ඔහු මෙන් ම ඔහුගේ ව්‍යාජ වාම ආධාරකරුවන් කියන පරිදි, ඔහුගේ තන්ත්‍රය ගෙන ගියේ සමාජවාදය නියෝජනය කල පිලිවෙතක් නොවේ.

චාවේස් ධනපති ජාතිකවාදියෙකි. ඔහුගේ ආන්ඩුව, ඔහු නැඟී ආ මිලිටරිය මත දැඩි ලෙස රැඳී සිටියේ ය. එසේ ම මිලිටරිය වෙනිසියුලානු රාජ්‍යයේ කටයුතු සම්බන්ධයෙන් තීරනාත්මක බේරුම්කරුවෙකු ලෙස දිගට ම ක්‍රියාත්මක විය.

රටේ දුප්පත් ජනතාව සමග ගනුදෙනු කිරීමේ දී මිනීමැරුම් හා වධ බන්ධන තම ප්‍රියජනක ක්‍රමවේදය කර ගත් ප්‍රතිගාමී වෙනිසියුලානු කතිපයාධිකාරය කෙරේ චාවේස් බෙහෙවින් විරසකවූ අතර ම මිෂන්ස් නොඑසේනම් ජීවන තත්වයන්, නිවාස, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය අභිවර්ධනය කිරීම සඳහා ක්‍රියාවට නැඟූ වැඩසටහන් ලාභ පද්ධතිය බරපතල ලෙස අ‍හෝසිකිරීමකට මෙහෙය වූයේ නැත.

චාවේස් බලයට පත්වීමෙන් පසුව, රටේ ආර්ථිකයේ පාලනය තුල පෞද්ගලික අංශයේ පංගුව මෙන් ම, ශ්‍රමයේ සතුරන් වූ හාම්පුතුන් අතට පත්වූ ජාතික ආදායමේ පංඟුව, ඊට පෙර තිබුනාට වඩා විශාල විය. චැවිස්මෝ [‍එනම් චාවේස්ගේ දෘෂ්ටිවාදය] මගින් පැටව් ගසන ලද බොලිබූෂ්වා ලෙස හඳුන්වන ලද සමස්ත නව පාලක පන්ති ස්ථරය ම ආන්ඩුවේ කොන්ත්‍රාත් වලින් ද දූෂනය හා මූල්‍ය සමපේක්ෂනය ද තුලින් වඩ වඩාත් පොහොසතුන් බවට පත් වූහ.

මේ අතර ''බොලිවේරියන් විප්ලවය," අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් කල සහ අධිරාජ්‍යවාදය මත රඳා සිටින ජාතියක් වසයෙන් වෙනිසියුලාවේ තත්වයෙහි කිසිදු වෙනසක් සිදු නොකලේ ය. රටේ ආර්ථිකය තවමත් බොහෝ දුරට රැඳී පැවතුනේ, වැඩිම පංගුව එක්සත් ජනපදයට කරන ලද, තෙල් අපනයනය මත සහ ප්‍රාග්ධන මෙන් ම පාරිභෝගික භාන්ඩ යන ද්විත්ව ආනයන මත ය.

පසුගිය නොවැම්බරයේ ජනාධිපතිවරනයේ දී චාවේස්, තම ප්‍රතිපත්ති සමාජ සාමය හා ස්ථාවරත්වය නංවමින් සිවිල් යුද්ධයේ තර්ජනය ඉවත් කල බව පැවසූ අතර තමන්ට ආධාර කරන ලෙස, ධනවත් හා වරප්‍රසාදිත කොටස් වලට ප්‍රසිද්ධියේ ම ආයාචනය කලේ ය.

''21 වන සියවසේ සමාජවාදය"යැයි විකෘත ලෙස-අර්ථ ගන්වන ලද වාම වාචාලවලින් සමන්විත ඔහුගේ ප්‍රතිපත්ති පෙරට ‍දැමීමෙහිලා චාවේස්ට නිශ්චිත හේතුවක් තිබුනි. එහි පලමු හා ප්‍රධානත ම අරමුන, පාලක පීඑස්යූවී ( වෙනිසියුලානු එක්සත් සමාජවාදී පක්ෂය) හා ඊට අනුබද්ධ බොලිවේරියන් වෘත්තීය සමිති සම්මේලනයේ පාලනයෙන් ඉවතට ඇදී යන තාක් දුරට ''ප්‍රතිවිප්ලවවාදී" යයි හංවඩු ගසනු ලබන වෙනිසියුලානු කම්කරුවන්ගේ අරගල හා ඔවුන්ගේ සටන්කාමිත්වය අත්අඬංගුවට ගනිමින්, අවමංගත කිරීම යි.

කෙසේ වෙතත් අතීතයේදී තමන් ''ට්‍රොට්ස්කිවාදීන්" යයි හඳුන්වාගත් විවිධ සංවිධාන හා පුද්ගලයින් ද ඇතුලු ජාත්‍යන්තර ව්‍යාජ වම්මුන්ගේ සමස්ත තට්ටුවක් ම උත්සාහ කලේ මෙම ''සමාජවාදී" වාචාල දෙඩවිලි වලට සහතිකයක් දීමට ය. මෙය විකාර සහගත මට්ටම් කරා ලඟා වූයේ, 2009 නොවැම්බරයේ දී කැරකස්හි රැලිවූ ''වාම" පක්ෂ හමුවේ ''පස්වන ජාත්‍යන්තරයක්" කැඳවුම් කරමින් චාවේස් කල ගෝරනාඩුව ඔවුන් හුවාදැක්වූ අවස්ථාවේ ය. චීන කොමියුනිස්ට් පක්ෂය, බ්‍රසීලියානු කම්කරු පක්ෂය, ආජන්ටිනාවේ පෙරොන්වාදී ජස්ටිසියලිස්ටා හා මෙක්සිකෝවේ පීආර්අයි වැනි සංවිධානයන්හි නියෝජිතයෝ එහි රැස්ව සිටියහ.

පැබ්ලෝවාදී ජාත්‍යන්තරය හා ප්‍රන්සයේ නව ධනපති-විරෝධී පක්ෂය යන දෙකේ ම ප්‍රමුඛ සාමාජිකයෙකු වූ ප්‍රන්සුවා සැබඩෝගේ ප්‍රතිචාරය කැපී පෙනුනි. මෙම දක්ෂිනාංශික හා කම්කරු පන්ති විරෝධී පාලක පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම, ''ලතින් ඇමරිකාවේ පමනක් නොව මුලු ලෝකයේ ම පාලක පන්තීන්ට එරෙහිව සටන් කිරීම සඳහා මාහැඟි මෙවලමක්" ලෙස ඔහු හඳුන්වා දුන්නේ ය. දේශපාලන ''අපසරනයන්" ජයගත හැකි වන අතර "විවිධ ප්‍රවාහයන්හි ඓතිහාසික ශේෂ පත්‍රයන් පිලිබඳව කතා කිරීම අවශ්‍ය නොවන්නේ" යයි ඔහු අවධාරනය කලේ ය.

ධනපති ජාතිකවාදී පාලන තන්ත්‍ර "විප්ලවවාදී" හා "සමාජවාදී" ලෙසින් පින්තාරු කරමින්, කම්කරු පන්තිය ඔවුන්ට යටත් කිරීමට සැබඩෝ වැනි දේශපාලන හොර වෙදුන් දැරූ උත්සාහයට පින් සිදු වන්නට, විශේෂයෙන් ම ලතින් ඇමරිකාවේදී ලත් දීර්ග හා ඛේදජනක ඓතිහාසික අත්දැකීම්, එවන් "ශේෂ පත්‍රයන්" තුලින් එලිමහනට ගෙනෙනවා පමනි.

1970 ගනන් වල දී මෙය දේශපාලන ප්‍රවනතාවක් ලෙස හැඩගන්වා ඊට නායකත්වය දුන්නේ නැහුවෙල් මැරිනෝ විසිනි. ඔහු 1976 බිහිසුනු මිලිටරි කුමන්ත්‍රනය හමුවේ ආජන්ටිනියානු කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කරමින් ඔවුන් පෙරොන්වාදයට හා කැස්ට්‍රෝවාදයට යටත් කිරීමට වැඩ කලේ ය. ජෙනරාල් හියුගෝ බැන්සර්ගේ දක්ෂිනාංශික මිලිටරි කුමන්ත්‍රනය මගින් අවසන්වූ ජේ. ජේ. ටෝරේස්ගේ ජනාධිපති පාලනය "වාමාංශික" යයි පෙන්නුම් කරමින් එවැනි ම ක්‍රියාකලාපයක් 1971 බොලිවියාවේ ගුලෙර්මෝ ලෝරා පක්ෂය විසින් ද ඉටුකරන ලදි.

මහාද්වීපය පුරා කැස්ට්‍රෝවාදය හා චේ ගුවේරාවාදය හුවා දක්වමින්, පේරු හා පැනමාවේ දී ජෙනරාල් වැලස්කෝ ඇල්වරාඩෝ හා ජෙනරාල් ඕමා ටොරිජෝස් තන්ත්‍රයන්ට එලෙස ම අනුගත වීම මග පෑදුවේ, ‍එම රටවල කම්කරු පන්තියේ පරාජයන්ට හා පාවාදීම්වලට ය.

චැවිස්මෝ හෙවත් චාවේස් දහම සමාජවාදි පැහැයෙන් පින්තාරු කරන අද දිනයේ ව්‍යාජ වම්මු මෙම ඓතිහාසික පාඩම් උගැනීමට අසමත්ව ඇතුවා පමනක් නොවේ. ගැඹුරට මුල් බැස ඇති ඔවුන්ගේ පන්ති අවශ්‍යතා ද ඊට යටින් පවතියි. ධනවාදයට අවසන් තිත තබා බලය සියතට ගන්නා කම්කරු පන්තියේ සවිඥානක හා ස්වාධීන අරගලයක් හරහා පමනක් සමාජවාදී පරිවර්තනයක් සාක්ෂාත් කල හැකිය යන මාක්ස්වාදී සංකල්පය කෙරෙහි දක්වන සතුරුකම නිසා ම ඔවුහු චාවේස්ගේ "21වන සියවසේ සමාජවාදයට" ඇදී ආවෝ ය.මෙම සුලු ධනපති දේශපාලන ධාරාවෝ ඒ වෙනුවට ආකර්ශනය වුනේ විප්ලවයෙන් ධනවාදය රැක ගැනීම සඳහා සැලසුම් කල පිලිවෙතකට ය. එය අටවනු ඇත්තේ ජනප්‍රිය කොමාන්ඩන්ටේ ‍හෙවත් මිලිටරි නායකයෙකු විසින් ඉහල සිට ය. කැස්ට්‍රෝවාදය එහි උච්ඡ අවධිය සලකුනු කල 1960 හා 70 ගනන්වල ඊට අනුගතවූ තැන් පටන් මෙම ස්ථරයන් බොහෝ දකුනට පැද්දී තිබේ. අධිරාජ්‍යවාදය ද සමග ඔවුන් වැලඳගත් එක්සත් ජනපදය ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීම සඳහා දියත් කල යුද්ධවලට විරුද්ධවීම නිසා-- මෙම ස්ථර විසින් මුලදී ආවැඩූ චාවේස් ම- ඔහුගේ මරනයටත් පූර්වයෙන් ඔවුන්ගේ විරුද්ධත්වයට භාජනය විය.

චාවේස් නොමැතිව නව චැවිස්මෝවක් රටා ගැන්වීමේ උත්සාහයන්හි ආසන්න ඉරනම කුමක් වුවත්, ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ බලපෑම යටතේ වෙනිසියුලාවේ මෙන් ම ලතින් ඇමරිකාව පුරා ද පන්ති අරගල උග්‍ර වෙනු ඇත. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, නව හා ස්වාධීන විප්ලවවාදී පක්ෂ ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැඟීම යි. ධනවාදයට එරෙහි ලෝක පරිමාන අරගලයේ කොටසක් ලෙස කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් සඳහා සටන් වැදිය හැකි වන්නේ එලෙසින් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: