බැංකු මගඩි හා පොදු අයිතිය පිලිබඳ ප්‍රශ්නය

Bank scandals and the case for public ownership

8 February 2013

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස්ඇන්ඩ්පී) නමැති නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සියට එරෙහිව එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීම මගින් නැවත වතාවක් අවුස්සා ඇත්තේ, එක්සත් ජනපද හා ගෝලීය මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රෙයහි ම පවතින අනීතික භාවය, අවශ්‍යතාවන්ගේ ගැටුම හා දූෂිත සම්බන්ධතාවන්ගේ නරාවල ය.

ආන්ඩුව ගෙනආ ඩොලර් බිලියන 5ක සිවිල් නඩුව අනුව, 2004 සැප්තැම්බරයේ සිට 2007 ඔක්තෝබර් දක්වා, එස් ඇන්ඩ් පී උකස්කර අනුග්‍රහය ලත් ඇප තැබූ නය වගකීම් විකිනීම මගින් ''දැනුවත් ව හා වංචාකිරීමේ අරමුනින්, ආයෝජකයන් මුලා කිරීමේ යෝජනා ක්‍රමයක් සැලසුම්කර එයට හවුල් වූ අතර, එය ක්‍රියාත්මක කලේ ය." නඩුවට අනුව, නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය එහි නය ශ්‍රේනිගත කිරීම් වෛෂයික බව ''ව්‍යාජ ලෙස ඉදිරිපත් කල" අතර යථාර්තයේ දී එහි වැඩි වූ ආදායම් හා වෙලදපොල පංගුව සඳහා ලොල්කමට දිරිගැන්වුනේ, ''නය අවදානමේ සැබෑ පරිමාව පහත හෙලීමට හා නොසලකා හැරීමට ය." චෝදනාවන් මගින් ආවරනය කෙරෙන කාල පරිච්ඡේදය තුල දී එස්ඇන්ඩ්පී, ඩොලර් ට්‍රිලියන 2.8ට වැඩි නිවාස-අනුග්‍රහ බැඳුම්කර හා ඩොලර් ට්‍රිලියන 1.2ක් වටිනා ආශ්‍රිත නිෂ්පාදන මත නය ශ්‍රේනිගත කිරීම් සිදු කලේ ය. තමන් වගකීම පිලිගතහොත් එය තවත් නඩුවලට මුල පුරනු ඇතැ යි එස්ඇන්ඩ්පී ප්‍රකාශ කිරීමත් සමග, මුදල් බේරුම් කිරීමක් පිලිබඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව, චෝදනා ඉදිරිපත් කෙරුනි. එය යෝජනා කලේ ඩොලර් මිලියන 100ක බේරුම් කිරීමකි.

''අවමුක-උකස් වෙලඳපොලේ ගැටලු දැරිය හැකි බවක් පෙනෙන්නට ඇතැ යි 2007 දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල එක්සත් ජනපද ආන්ඩුවේ නිලධාරීන් ඇතුලු" වෙලඳපොලේ සෙස්සන් මෙන්, තමන් ද එක ම දත්ත පුනරීක්ෂනය කල බවට තර්ක කරමින්, නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය චෝදනා ප්‍රතික්ෂේප කලේ ය.

එස්ඇන්ඩ්පීයට චෝදනා එල්ල කිරීම, ගෝලීය බැංකු පද්ධතිය තුල මතුවෙන දූෂන මගඩි මාලාවක හුදු මෑත ම එක පමනි.

ජර්මනියේ දී එහි ෆෙඩරල් මූල්‍ය අධීක්ෂන අධිකාරිය (බාෆින්), ලෝකය පුරා ඩොලර් ට්‍රිලියන 350 වඩා මූල්‍ය ගනුදෙනුවලට බල පෑ ලි‍බෝ යනුවෙන් හඳුන්වන ලන්ඩන් අන්තර් බැංකු පිරිනැමුම් අනුපාතය වංචා කිරීමේ මගඩිය තුල ඩොයිෂ් බැංකුවේ කාර්යභාරය පිලිබඳ විමර්ශනයක් අවසන් කරමින් සිටී.

බැංකුව නිදහසට ඉදිරිපත් කරන්නේ, එහි කාර්ය මන්ඩලය ලිබෝ අනුපාත හැසිරවීමට මැදිහත්ව ඇත්තේ, ''ගොරහැඩි වෙ‍ලෙඳුන්ගේ" ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් බවට ය. බාෆින් ප්‍රධාන විමර්ශකයාගේ වචන වලට අනුව, මෙම නිදහසට කරුනු දැක්වීම මගින් නොසලකා හරින්නේ, සමස්ත පද්ධතිය ම ''ප්‍රායෝගිකව වංචා කිරීමට කරන ආරාධනයක්" යන කරුන යි.

ඒ මක්නිසා ද යත්, ලිබෝ අනුපාත සැකසීමට සම්බන්ධවූ මූල්‍ය වෙලඳපොලේ කටයුතු කරන බැංකු ගනුදෙනුකරුවන්, මෙම අනුපාතයන්ගේ ම හැසිරීම මත දැවන්ත මුදල් තොග ඔට්ටු තැබීමට ද පැටලුන බැවිනි. ලිබෝ වංචාවන්හි දී බ්‍රිතාන්‍ය බාක්ලේස් බැංකුව ඉටුකල භූමිකාව වෙනුවෙන්, මේ වන විටත් එය ඩොලර් මිලියන 450 දඩයකට යටත් කර ඇති අතර අඩු වශයෙන් තවත් ප්‍රධාන බැංකු 16ක් විමර්ශනය කෙරෙමින් පවතී.

එස්ඇන්ඩ්පී සිද්ධිය මධ්‍යයේ පවතින්නේ ද වංචනික ලෙස ලිබෝ අනුපාත සකස් කිරීමේ හදවතෙහි ම පවතින උත්සුකයන් මුල්කරගත් ගැටුම් ය.

එස්ඇන්ඩ්පී හා අනෙකුත් ප්‍රධාන ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිවලට ඔවුන් ම ශ්‍රේනිගත කරන ලද බැදුම්කර නිකුත් කරන්නන්, මෙම කාරනයේ දී නම් නේවාසික උකස්-අනුග්‍රහ බැඳුම්කර සතු බැංකු විසින්, ගෙවීම් කරන ලදි. එස්අන්ඩ්පීය නය ශ්‍රේනිගත කල සෑම ගනදෙනුවකට ම ඩොලර් 7,50000 දක්වා මුදල් අය කලේ ය. අනෙකුත් නය ශ්‍රේනිගත කිරීම් ආයතනවල තරඟයට මුහුන දුන් කල එය, සිය තරඟකරුවන් හමුවේ ව්‍යාපාරික කටයුතුවලින් පසු නොබැසී ම සඳහා නම් පුම්බන ලද අනුපාතයක් පිරිනැමීම එහි අවශ්‍යතාවන්ට අනුකූල විය. විමර්ශන ක්‍රියාමාර්ගය ඔස්සේ එකතු කල සාක්ෂි අනුව, එස්ඇන්ඩ්පී වානිජ උකස්-අනුග්‍රහ සුරැකුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ''සිදුවෙමින් තිබෙන ගනුදෙනු අහිමිවීමේ තර්ජනය නිසා" ගැලපීමේ උපමාන සාකච්ඡා කිරීමට රැස්වීමක් සැලැසුම් කර ඇතැයි සඳහන් කල විද්‍යුත් ලිපියක් ගනුදෙනු කරුවන් වෙත යැව්වා ය.

දිගට ම සිදුවන මගඩි පිලිබඳව නියාමනය මගින් ඉල්ලා සිටිනු ඇත්තේ, බැංකු, නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සි හා මූල්‍ය ආයතනවල මෙහෙයුම් සමීපව පරීක්ෂා කිරීමක් බව නිසැක ය. එහෙත් එවැනි ඉල්ලීම්, මූල්‍ය ආයතන හා ඒවායේ ක්‍රියාකාරකම් අධීක්ෂනය කරනු ඇතැයි අපේක්ෂිත නියාමකයන් අතර ඇති අසම්මත සම්බන්ධය නොසලකා හරියි.

නිවාස හිමියන්ගේ දේපල අත්පත්කර ගැනීමේ දී සිදුව ඇති ප්‍රෝඩාවන් හා අනීතිකත්වය පිලිබඳ එක්සත් ජනපද මුදල් පාලකයාගේ කාර්යාලය හා ප්‍රධාන බැංකු දහයක් අතර මෑත දී ඇතිකරගත් අන්‍යෝන්‍ය ගිවිසුම ද සැලකිල්ලට බඳුන්වන කාරනයකි. 2011 දී, නයගැතියන් වංචනික ලෙස පන්නා හැරියේ දැයි සොයාබැලීමට බැංකු උපදේශකයන් පත් කල යුතු යයි නියාමකයෝ යෝජනා කලහ. උපදේශකයන් මාස 14ක කාලයක් තුල ගාස්තු වශයෙන් ඩොලර් බිලියන දෙකක් එකතු කල අතර, එය බැංකු සමග දේපොල අත්පත්කර ගැනීම පිලිබඳ බේරුම් කිරීමේ එකඟත්වයන් ඇතිකර ගැනීමට නිවාස හිමියන් ගෙවූ ඩොලර් බිලියන 3.3න් අඩකට ආසන්න ය.

බැංකුවලට සමීපව ගැටගැසුන පෞද්ගලික උපදේශක සමාගම්වලට, ඔවුන් විමර්ශනය කිරීමට අපේක්ෂා කරන බැංකු විසින් ම ගෙවීම් කරනු ලබන අතර, එය හරියට ම බැංකු සතු සුරැකුම් නය ශ්‍රේනිගත කරන ඒජන්සිවලට, එම බැංකු විසින්ම ගෙවීම් කරන්නාක් මෙනි.

දූෂනය කොතරම් විස්තීර්න ද කියතොත් එය ලිබරල් ලේඛකයන්ගේ පවා වැඩිවන හා සමහර විට තියුනුවන විවේචනයන්ට පාත්‍ර වී ඇත. උදාහරනයක් ලෙස, ආන්ඩුව වෝල් වීදියට මුදල් ඇප දුන්නා පමනක් නොව, දුබල බැංකු සාර්ථක යයි පවසමින්, ඔවුන් රහසේ කොතරම් මුදලක් ගත්තාදැයි වසංකිරීම සඳහා බැංකුවලට උදව් කරමින්, වෝල් වීදිය වෙනුවෙන් බොරු කීවේ කෙසේ දැ යි රෝලින්ග් ස්ටෝන් සඟරාවේ මැට් ටායිබ්බි ලේඛන ගත කර ඇත.

හිටපු එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමොති ගීත්නර්ගේ අවුරුදු හතරක කාලය පිලිබඳ පුනරීක්ෂනයක් කරමින් නිව් යෝක් ටයිම්ස් මාධ්‍යවේදී ග්‍රේෂන් මෝගෙන්සන් නොකැමැත්තෙන් වුවත් සටහන් කලේ, "එක්සත් ජනපදයේ ආධිපත්‍යය දරන මූල්‍ය ආයතන ගීත්නර්ගේ කාලයේ දී පාඩු විඳින තත්වයේ පැවතියේ කලාතුරකිනි" යනුවෙනි.

කරදරයට පත් වත්කම් සඳහා සහන වැඩසටහනේ(ටාර්ප්) හිටපු ප්‍රධාන පරීක්ෂක නීල් බරොෆ්ස්කි එක්තරා ආකාරයකට වඩා නිර්දය ලෙස කතාකරයි. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට ලියමින් ඔහු පැවසුවේ, ප්‍රතිවිපාක මොනවා දැ යි නොසලකා යෝධ බැංකු ආරක්ෂා කිරීමේ "ගීත්නර් ප්‍රවාදය, එක්සත් ජනපද අපරාධ අධිකරන පද්ධතියේ විකෘතියකට" සහ "අතොරක් නැතිව වඩාත් දැඩි අවදානම් දැරීම, වඩා වඩා අපරාධ හා අර්බුද දිරි ගන්වන, අධිකරනයේ දෙපේලි පද්ධතියකට ගමන් කර ඇති බව" යි.

එවැනි විවේචනයන් පෙන්වනවා ඇත්තේ කොල්ලකෑමේ හා වංචාවේ වඩාත් භයංකර උදාහරනවලින් සමහරක් පමනි. එහෙත් ලිබරල් විවේචකයෝ කිසිවිටෙකත් අත්‍යවශ්‍ය කාරනය අවධාරනය නොකරති. ගෝලීය බැංකු හා මූල්‍ය පද්ධතිය සංලක්ෂිත වන දූෂන හා අනීතිකත්වය සම්මතයෙන් බැහරවීම් නො වේ. ඊට විපරීතව ඒවා ලාභ සමුච්චයනයට අත්‍යාවශ්‍ය ය.

කාල් මාක්ස් සටහන් කලේ, ප්‍රාග්ධනය අර්බුදයක් හා ලාභ රේට්ටු වැටීම අත්විඳින විට, අර්බුදය ජය ගැනීමට උත්සාහ කිරීමේ නාමයෙන්, ''අන්තරාදායක ව්‍යවසායන්ගේ පිලිසරන සොයා යද්දී, රැවටිල්ල හා රැවටිල්ලේ පොදු ප්‍රචාරය පැමිනේ" යනුවෙනි.

කෙසේ නමුත් මාක්ස් ඒ වන විට ඇඟිල්ල දිගු කලේ එක්තරා ආකාරයක සුවිශේෂී තත්වයකට ය. එහෙත් දැන් මෙම සුවිශේෂත්වය නියාමය බවට පත් වී ඇත. පශ්චාත් යුදකාලීන ධනේශ්වර උත්පාතයේ අවසානයෙන් පසු, පසුගිය වසර 30 සංලක්ෂිත වන්නේ, මූල්‍යකරනයේ නැගීම හා නිෂ්පාදනයේ සැබෑ ක්‍රියාදාමයෙන් ලාභ සමුච්චයනය කවර දා වත් නො වූ තරම් විශාල ලෙස වෙන් වී ගැනීම මගිනි.

මූල්‍ය වත්කම්වල තක්සේරුව, සංකීර්න ගනිතමය රටා සමුදායක් මත වඩ වඩා පදනම් කෙරෙන්නාවූ, යටින් පවතින උපකල්පනයන්හි වෙනස්කම් අනුව විභව අලාභ, ලාභ බවට පරිවර්තනය කරන, අවසාන ප්‍රතිඵලය තුල ප්‍රධාන වෙනස්කම් ඇතිවිය හැකි තත්වයන් යටතේ, උපාමාරු හා වංචාවන්ට මාර්ගය විවෘත වේ. සැබවින් ම එස්ඇන්ඩ්පී සිද්ධිය පෙන්වන පරිදි, එකෙකුගේ තරඟකරුවන් තමන් පරයා යාම පිලිබඳව හැමදා පවතින අනතුර විසින් බල කරන්නේ, පන බේරාගැනීමේ එවන් දූෂිත මගක් ගැනීමට ය.

මූල්‍ය ක්‍රමය වෙතින් හමායන දුර්ගන්ධය, සමස්ත ලාභ පද්ධතිය ම ජරපත්වීමේ නිමැවුමකි. එම පද්ධතිය, ලෝක කම්කරු පන්තියේ සාමුහික ශ්‍රමය මගින් නිර්මිත අසීමිත ධනස්කන්ධය, මානව වර්ගයේ අවශ්‍යතා සපුරාලීම පිනිස යොදවන, උසස් සමාජ-ආර්ථික පර්යායක් මගින් විස්ථාපනය කල යුතු ය. බැංකු හා මූල්‍ය ආයතන අත්පත්කර ගනිමින්, ඒවා පොදු අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කිරීම, එවන් ක්‍රියාමාර්ගයක් දියත් කිරීමේ පලමු පියවර යි.

නික් බීම්ස්

Share this article: