ශී‍්‍ර ලාංකික රැඳවියන්ට එරෙහි ලිංගික වධහිංසාවන් එච්ආර්ඩබ්ලිව් වාර්තාවෙන් අනාවරනය කෙරෙයි

Report exposes sexual torture of Sri Lankan detainees

පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 මාර්තු 9

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට සම්බන්ධිත යැයි සැකකරනු ලැබූවන්ට එරෙහිව ආරක්ෂක හමුදාවන් සිදුකල දූෂනයන් හා අනෙකුත් ආකාර ලිංගික වධ හිංසනයන් පිලිබඳව අනාවරනය කරමින්, ශී‍්‍ර ලාංකික රැඳවුම් මධ්‍යස්ථානවල සිදුකල වධහිංසන සිදුවීම් 75 ක් හියුමන් රයිට් වොච් (එච්ආර්ඩබ්ලිව්) වාර්තාවක ලේඛන ගත කොට ඇත.

නිව් යෝර්ක්හි පදනම් වූ සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය "අපි නුඹලාට පාඩමක් උගන්වන්නෙමු - ශී‍්‍ර ලාංකික දෙමල ජනතාවට එරෙහි ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන්ගේ ලිංගික ප‍්‍රචන්ඩත්වය” යන මැයෙන් ඉදිරිපත් කල, පිටු 141 කින් යුත් සිය වාර්තාව තුල පිරිමින් 31 ක්, ගැහැනුන් 41 ක් සහ පිරිමි ලමුන් 3 දෙනෙකු සම්බන්ධිත සිදුවීම් විමර්ශනයට භාජනය කරයි.

2009 දී පරාජය කෙරුනු එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් සති කීපය තුල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනයට ලක් කෙරුනු බවත් රාජ්‍ය නිලධාරීන් සහ සන්නද්ධ අනදෙන නිලධාරීන්, ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමට වගකිව යුතු බවත්, ඇතැම් ඒවා යුද අපරාධ ගනයට අයත් වන බවත්, එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කලින් ප‍්‍රකාශ කර තිබින. එම වාර්තාව, ලිංගික ප‍්‍රචන්ඩත්වය පිලිබඳ පැමිනිලි ද ගෙන හැර දැක්වීය.

ආන්ඩුව සහ මිලිටරිය වගකිව යුතු, සිවිල් යුද්ධය අතරතුර සහ ඉන්පසු සිදු කරන ලද අපරාධ හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් දරුනු ලෙස උල්ලංඝනය කිරීම් පිලිබඳ එක් අංශයක් එච්ආර්ඩබ්ලිව් වාර්තාව විමර්ශනය කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිවිල් යුද්ධය අලූත් වටයකින් ඇරැඹූ 2006 සිට 2012 දක්වා එනම් යුද්ධයෙන් පසු ගතවූ අවුරුදු 3 ක සිදුවූ අපචාරයන් වාර්තාව තුල විභාග කරයි. ඇතැම් රැඳවියන් බොහෝ විට විවිධ මිලිටරි, පොලිස් සහ පැරා මිලිටරි අංශවල පුද්ගලයන් විසින් දින ගනනක් තිස්සේ දූෂනය කොට තිබුනි.

"ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සිරභාරයේ දී කිව නොහැකි තරම් දමිල කාන්තාවන් සහ පුරුෂයන් දූෂනය කොට ඇත” යනුවෙන් ආසියාව සඳහා එච්ආර්ඩබ්ලිව් අධ්‍යක්ෂ බ‍්‍රෑඩ් ඇඩම්ස්, වාර්තාව එලි දක්වමින් පෙබරවාරි 26 වන දින ලන්ඩනයේ දී ප‍්‍රකාශ කලේ ය. "මේවා හුදෙක් යුද කාලීන දාමරිකකම් පමනක් නොව, එල්ටීටීඊයට සම්බන්ධිත යැයි සැක කරමින් අත්අඩංගුවට ගත් සෑම දෙමල ස්ති‍්‍රයක ම සහ පුරුෂයෙකු ම බරපතල අනතුරක හෙලමින් මේවා අදටත් කි‍්‍රයාත්මක වේ” යනුවෙන් ඔහු තව දුරටත් පැවසීය.

එච්ආර්ඩබ්ලිව් හට ශ‍්‍රී ලංකාව තුල විවෘතව ම සිය විමර්ශන කටයුතු සිදු කිරීමට සහ තවමත් සිරභාරයේ සිටින රැඳවියන් සමග සම්මුඛ සාකච්ඡා ලබා ගැනීමට නොහැකි විය. එහි ප‍්‍රතිපලයක් ලෙස වාර්තාව දේශපාලන සිද්ධි මත සිර භාරයේ පසුවූවන්ට සිදු කල දූෂනයන් පිලිබඳ සුලූ කොටසක් පමනක් ආවරනය කරයි. එල්ටීටීඊයට සම්බන්ධිතය යනුවෙන් කෙරෙන පාපෝච්චාරනයක් ලබාගැනීමට ලිංගික ප‍්‍රචන්ඩත්වය මූලික අංගයක් ලෙස යොදා ගෙන තිබෙන බැව් වාර්තාව සඳහන් කරයි.

බොහෝ සිදුවීම් තුල දී, නාඳුනන පුද්ගලයන් විසින් දෙමල ජාතිකයන් සිය නිවෙස්වලින් පැහැර ගෙන, රැඳවුම් මධ්‍යස්ථාන වලට ගෙන ගොස් චෝදිත කි‍්‍රයාකාරකම් පිලිබඳ කුරිරු ලෙස ප‍්‍රශ්න කොට ඇති බව වාර්තාව ප‍්‍රකාශ කරයි. හිංසනයට ලක්වූවන් බොහෝමයක් දෙනා තම ප‍්‍රකාශයන් වෛද්‍ය සහ නීතිමය වාර්තා මගින් සනාථ කලහ.

23 වියැති පුද්ගලයෙකු පැවසුවේ, පාපොච්චාරන ලියවිල්ලට අත්සන් කරන තුරු එක දිගට දින 3 ක් ඔහුව දූෂනය කල බව යි.

කාන්තාවක් ඇයව නිරුවත් කොට ඡාායාරූප ගත් බව ප‍්‍රකාශ කලා ය. "ඔවුන් මට කීවා සෑම දෙයක් ම පාපොච්චාරනය කරන්න කියලා. ඔවුන් මා මරාවි යැයි සිතූ නිසා මම පාපොච්චාරනය කලේ නෑ. මට දිගට ම පහර දෙමින් වධ දුන්නා. දෙවනි දවසේ එක මිනිහෙක් මගේ කාමරයට ඇවිත් මාව දූෂනය කලා. දවස් තුනක් තිස්සේ මම විවිධ මිනිසුන් අතින් දූෂනයට ලක්වුනා. කොපමන සැරයක් ද කියලා මට මතක නෑ.”

තවත් සිද්ධියක දී, යුද කලාපයෙන් පලා ආ 300,000කට ආසන්න දෙමල සිවිල් වැසියන් සිරකොට මිලිටරිය මගින් පාලනය කරනු ලැබූ --මැනික් ෆාම් කඳවුරු සංකීර්නයේ ම කොටසක් වූ-- අරුනාචලම් කඳවුරේ රැඳවූ යූඑම් නම් 25 වියැති කාන්තාවක් සොල්දාදුවන් විසින් වෙනත් හමුදා කඳවුරකට ගෙන ගොස් එල්ටීටීඊය සමග සම්බන්ධකම් ගැන ප‍්‍රශ්න කරනු ලැබ ඇත.

"මම කිව්වා එල්ටීටීඊයට වැඩකරන්න මට බල කෙරුනා කියලා සහ මම කිසිවක් දැන සිටියේ නැහැ කියලා. ඔවුන් මාව විශ්වාස කලේ නැහැ. ඔවුන් මට පහර දුන්නා, මගේ කොන්ඩෙන් ඇද්දා, මගේ ඔලූව බිත්තියක හැප්පුවා... එක සොල්දාදුවෙක් කිව්වා අපි උඹට පාඩමක් උගන්වන්නම් කියලා. එදා මට සිහිය නැතිවුනා. මට සිහිය එනකොට තේරුනා මාව දූෂනය කරලා බව. මේක දවස් කීපයක් ම සිදුවුනා,” ඇය එච්ආර්ඩබ්ලිව් වෙත කීවා ය.

මැනික් ෆාම් කඳවුරේ 12,000 ක් පමන රැඳවියන් - මොවුන්ගෙන් බහුතරයක් තරුනයින් සහ ස්තී‍්‍රන් ය- මිලිටරිය විසින් රහස් රැඳවුම් කඳවුරුවලට ගෙන යනු ලැබී ය.

වාර්තාව, වසර 26 ක යුද්ධය පුරා ම සිදුවූ ලිංගික වධහිංසනයන් පිලිබඳ දිගු ලැයිස්තුවකට අවධානය යොමු කරයි. ඉස්මතුව පෙනෙන සිදුවීමක් වනුයේ 1996 සැප්තැම්බර් මාසයේ දී, යාපනයේ හමුදා මුරපොලක දී කි‍්‍රෂාන්ති කුමාරස්වාමි නම් 17 වියැති පාසල් ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගැනීම යි. ඇය සොයා ගිය, ඇයගේ මව, බාල සොහොයුරා සහ තවත් ඥාතියෙකු හමුදා අත් අඩංගුවට ගෙන ඝාතනය කල අතර හමුදා භටයන් කි‍්‍රෂාන්තිව දූෂනය කිරීමෙන් පසු ඇය ද මරාදමා සිරුර අනෙක් තිදෙනාගේ සිරුරු ද සමග වල දැමී ය.

මෙම අපරාධය මහජන ප‍්‍රකෝපකරනයකට තුඩු දුන් විට සොල්දාදුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට උපදෙස් දීමට ආන්ඩුවට බල කෙරුනි. පසුව නඩු විභාග කොට චූදිතයන්ට මරන දඬුවම පැමිනවීය. නමුත් පොලීසිය සහ ආරක්ෂක අංශ චෝදනාවලින් ගලවා යැවුනු බොහෝ සිදුවීම් පවතී. ඇතැම් සිදුවීම්වල දී පොලිස් විමර්ශන සහ නඩු වසර ගනන් ඇදී ගියේ ය.

ආන්ඩුව සහ මිලිටරිය, එච්ආර්ඩබ්ලිව් වාර්තාව වංචාවක් ලෙස නිශ්ප‍්‍රභ කිරීමට යත්න දරා තිබේ. පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී කැබිනට් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වාර්තාව සම්පූර්න අසත්‍යයක් ලෙස වර්ග කල අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපයට හානි කිරීම පිලිබඳ එච්ආර්ඩබ්ලිව් වෙත චෝදනා කලේ ය. ”ඔවුන් චෝදනා කරන්නේ නම් අපට විමර්ශනයට ලක්කල හැකි වන පරිදි ඔවුන් අපට වෛද්‍ය සාක්ෂි ලබා දිය යුතු ය,” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කලේ ය.

හමුදා ප‍්‍රකාශක රුවන් වනිගසූරිය කියා සිටියේ, වාර්තාව "ගොතන ලද්දක්” බව යි. "රට තුල අපට ශක්තිමත් නීති රීතී පද්ධතියක් තිබේ. එබඳු චෝදනා සඳහා සාක්ෂි තිබේ නම්, එය පොලීසියට වාර්තා කල යුතු අතර එවිට විමර්ශන සිදුවනු ඇත,” ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වුවද, එම යුද අපරාධ ඇතුලු සියලු චෝදනා ආන්ඩුව විසින් පැත්තකට අතුගා දමද්දී ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන් නීතිය නොතකා හිතුමතේ කටයුතු කරයි. හිංසනයට පත්වූවන් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටී. කුප‍්‍රකට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකය වධ හිංසනය මගින් ව්‍යාජ පාපොච්චාරන ලබා ගන්නා අතර බොහෝ දෙමල ජනවාර්ගිකයන්ට අවබෝධ කර ගත නොහැකි සිංහල භාෂාවෙන් ලියූ ප‍්‍රකාශන හෝ හිස් කඩදාසිවලට අත්සන් කිරීමට සිරකරුවන්ට බල කෙරෙයි.

එච්ආර්ඩබ්ලිව් වාර්තාව නිකුත් කරනුයේ, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව බටහිර බලවතුන් විසින් රාජපක්ෂ ආන්ඩුව මත වඩවඩාත් පීඩනය යොදන තතු මධ්‍යයේ ය. එය නිකුත් කිරීම ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම සමග සමපාත වේ. එමෙන් ම ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වූ එච්ආර්ඩබ්ලිව් කැඳවීම එක්සත් ජනපදයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ වුවමනා එපාකම් මත පෙල ගැසී ඇත. රාජපක්ෂගේ යුද්ධයට සහාය දුන් ප‍්‍රධාන බලවතුන්, යුද කාලය අතරතුර ශී‍්‍ර ලංකාව තුල බලපෑම වැඩිකරගත් චීනයෙන් ශී‍්‍ර ලංකාවට ඈත් වෙන්නැයි අවධාරනය කිරීමට මානව හිමිකම් ප‍්‍රශ්නය නරුම ලෙස භාවිතා කරයි.

කෙසේ වුව ද, එච්ආර්ඩබ්ලිව් වාර්තාව, රට තුල දෙමල සුලුතර ජනවර්ගයට එරෙහිව එල්ල කෙරුනු නිරන්තර කෙනහිලිකම් සහ මර්දනය නොකඩවා සිදු කෙරෙන බව අවධාරනය කරමින් දෙමල සිරකරුවන්ට එරෙහි හිංසනයන් පිලිබඳ නොබිඳිය හැකි සාක්ෂි සම්පාදනය කරයි.

Share this article: