රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකයන්ට එරෙහි දඩයමක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 මාර්තු 15

ආන්ඩුව සමග කරබදු වී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්තනෝමතික මාරුකිරීමේ තීරනයකට විරෝධය පෑ කොලඹ ජාතික රෝහලේ සංගමයේ ශාඛව විසුරුවා හැර ඇත. මෙම දඩයම දියත් කර ඇත්තේ වාර්ෂික මාරුවීම් ලැයිස්තුවේ අක‍්‍රමිකතා නිවැරදි කරන ලෙස හා දින ඉකුත් වූ 2012 වාර්ෂික මාරුවීම් ලැයිස්තුව මත පදනම්ව වෛද්‍යවරුන් මුදා හැරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් මාර්තු 1 දා එක්දින වර්ජනයක යෙදීම නිමිති කරගෙන ය.

2012 මාරුවීම් ලැයිස්තුවට අනුව රජයේ රෝහල්වලින් මාරුවීම් ලැබීමට නියමිතව සිටි වෛද්‍යවරුන් 450 පමන දෙනා අතර කොලඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 60ක් වූහ. වර්ජනයෙන් පසුව ඉන් 20ක් දැනටමත් මාරු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශ තීරනයේ අත්තනෝමතික බව පෙන්වාදෙමින් ජාතික රෝහල් සමිති නායකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ, තාවකාලිකව රෝහල්වල කටයුතු අඩපන වුනත් ලැයිස්තුගත මාරුවීම් සිදුකරන බවත් ඒ අනුව කටයුතු නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත් හිටුවන බවත් අමාත්‍යාශ ලේකම් විසින් නිකුත්කල චක‍්‍රලේඛයකින් දැනුම් දී ඇති බවයි.

වර්ජනය පැවති මාර්තු 1 දා රාති‍්‍රයේ ම රැස්වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව කොලඹ ජාතික රෝහලේ සමිති ශාඛාව වහාම විසුරුවා හැරීමට පියවර ගත්තේය. මාර්තු 3 දා රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව විධායක කමිටුවේ තීන්දුව අනුමත කර ඇත.

කෙසේ වුව ද ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල කොලඹ ජාතික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකුම ප‍්‍රකාශ කලේ මධ්‍යම කාරක සභාචේ බහුතරයක් සංගමයේ තීන්දුවට එරෙහිව රැස්වීමෙන් ඉවත්ව ගිය බවත් ජාතික රෝහල් ශාඛාව විසුරුවා හැරීම සංගමයේ ලේකම් චන්දිත එපිටකඩුව හා සභාපති අනුරුද්ධ පාදෙනිය ඇතුලූ නිලධාරීන් කිහිපදෙනෙකුගේ හිතුවක්කාර තීන්දුවක් බව ය. සංගමයේ තීන්දුව නීති විරෝධී බව ද එනිසා ශාඛාවේ කටයුතු දිගටම කරගෙන යන බව ද ඔවුහු කීහ.

වෛද්‍යවරුන් ප‍්‍රකාශ කල ආකාරයට මාරුවීම් සඳහා අයදුම්පත් වාර්ෂිකව කැඳවනු ලබයි. එහෙත් මෙම මාරුවීම් ලැයිස්තුව පිලියෙල කර ඇත්තේ 2012 සඳහා 2011 කැඳවුම් කල ඉල්ලුම්පත්වලට අනුව බව වෛද්‍යවරු කියති. 2011 කැඳවුම් කල ඉල්ලුම් පත් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩප‍්‍රස්ථා ලබාදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කියතත් එම අභියාචනා අමාත්‍යංශ බලධාරීන් විසින් පිලිගෙන නැත. එමෙන් ම ක‍්‍රියා පටිපාටියට අනුව වාර්ෂික මාරුවීම් සෑම වසරක ම ජනවාරි මාසයේ දී සිදු කෙරුනත් මෙවර එය උල්ලංඝනය කර ඇති බව ද ඔව්හු කීහ.

වසර 4ක් එක රෝහලක සේවය කිරීමෙන් පසුව අවශ්‍යතාවයන් අනුව වෙනත් රෝහල් කරා මාරු කිරීම සාමාන්‍ය පටිපාටිය වන අතර ජ්‍යෙෂ්ඨ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා මාරුවීම්වල දී වෛද්‍යවරුන් නිදහස් කිරීමට රෝහල් ප‍්‍රධානීන් අකමැති ය. එම නිසා වසර 4 ඉක්මවා එකම රෝහලක සේවය කරන වෛද්‍යචරු සිටිති. මෙවර මාරුවීම් කෙරී ඇත්තේ එම තත්වයන් ගැන කිසිදු සැලකිල්ලකට නොගෙන බව අප සමග කතාකල වෛද්‍යවරු ප‍්‍රකාශ කලහ. සෞඛ්‍ය ලේකම්ගේ උක්ත චක‍්‍රලේඛය ද ඊට නිදසුනකි.

වෛද්‍ය නිලධාරීන්ගේ මව් සංගමය අනුගමනය කර ඇති පිලිවෙත සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුවලට අවනත නොවන සංගමයේ සාමාජිකයන් දඩයම් කිරීමට ඍජුව ම සහයෝගය දීමකි. වර්ජනය කඩාකප්පල් කරමින් හා කොලඹ ජාතික රෝහල් ශාඛාව විසුරුවා හරිමින් තමන් කල ප‍්‍රතිගාමී කි‍්‍රයාව "ගුනාත්මක සෞඛ්‍ය සේවාව සැමට එකසේ සැලසීම සඳහා” කල එකක් බව කියා පෑමට මාර්තු 4 දා නිකුත් කල මාධ්‍ය නිවේදනයකින් මව් සංගමයේ නායකයන් නිෂ්පල උත්සාහයක් දරා තිබේ.

කොලඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පමනක් නොව සියලු ම වෛද්‍යවරුන් මෙය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

සැමට "ගුනාත්මක සෞඛ්‍ය සේවාවක් සදහා” යන පූච්චානම දෙසාබමින් සෞඛ්‍ය සේවාව කපා දැමීම ආවරනය කරගෙන ඇත්තේ ආන්ඩුවයි. වෛද්‍යවරුන්ගේ සංගමය එම සුත‍්‍රයට මුවාවී ඇත.

සැමට "ගුනාත්මක සෞඛ්‍ය සේවාවක්” ආන්ඩුව සපයන්නේ නැත. එනිසා වෛද්‍යවරුන්ට ද එවැනි සේවාවක් සැපයීමට ආන්ඩුව ඉඩ තබා නැත. පසුගිය දසක තුන තුල බලයට පත් වූ හැම ආන්ඩුවක් ම කි‍්‍රයාත්මක වී ඇත්තේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ කෙරෙන රාජ්‍ය සුබසාදන කප්පාදු කිරීමේ කොටසක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවය වැනසීමට ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වර්තමාන ආන්ඩුව යටතේ එය වඩා වේගවත් කර ඇත.

මෙම කප්පාදුව නිසා වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මන්ඩලයේ බරපතල හිඟයක් රජයේ රෝහල්වල නිර්මානය වී තිබේ. අත්‍යවශ්‍ය උපකරන, ඖෂධ සහ කාර්ය මන්ඩලයට මෙන්ම රෝගීන්ට අවශ්‍ය වෙනත් පහසුකම් ප‍්‍රමානවත් තරම් රෝහල්වල නැත. විශේෂඥ වෛද්‍ය හා උපකරන හිඟය නිසා සැත්කම් කල යුතු හෘද රෝගීන් 8,000 පමන කොලඹ ජාතික රෝහලේ පොරොත්තු ලැයිස්තුවේ සිටින බව සෞඛ්‍ය ඇමති ම මාස කිහිපයකට පෙර කියා තිබුනි. බොහෝ පරීක්ෂන රෝගීන් විසින් පිටතින් කර ගත යුතු අතර එන්නත් කටුව, බැන්ඬේජ් පටිය පවා පිටතින් මිල දී ගත යුතුය.

වෛද්‍යවරුන්ට සහ සෙසු කාර්ය මන්ඩලයට අවශ්‍ය නේවාසිකාගාර සහ නිල නිවාස ද ප‍්‍රමානවත් තරම් නැත. රජයේ රෝහල් පරයා යමින් පුද්ගලික රෝහල් ව්‍යාප්ත වී ඇති අතර ඒවා මුලුමනින් ම රෝගීන් ගසා කන ලාබ ගරන ආයතන ය. "සැමට ගුනාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා” කැප වී සිටින බව කියන වෛද්‍ය නිලධාරීන්ගේ මව් සංගමය මේ සියල්ල ගැන මුනිවත රකී.

එමෙන් ම සෞඛ්‍ය සහ රාජ්‍ය අංශයේ සෙසු සමිති මෙන් ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කට්ටිවාදී කා කෙටවීම්වලට නම් දරාපු සංවිධානයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයේ දී ඔවුන්ගේ වැටුප් ඉල්ලීමට කට්ටිවාදී පදනමක් මත වෛද්‍යවරුන්ගේ සංගමය විරුද්ධ වීම මෑතම උදාහරනයයි. දැන් තමන්ගේ ම සාමාජිකයන්ට විරුද්ධව ආන්ඩුවේ අත්ගෙඩියක් ලෙස වැඩට බැස ඇත.

සංගමය කොලඹ ජාතික රෝහල් ශාඛාවට එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ මාර්තු 1 දා වර්ජනය දේශපාලන උවමනාකම් සහිත අතලොස්සකගේ කඩාකප්පල්කාරී වැඩක් ලෙසය. මෙය ද අරගලයේ යෙදෙන කම්කරුවන්ට විරුද්ධව රාජපක්ෂ ආන්ඩුව නිරන්තරව ඉදිරිපත් කරන චෝදනාවකි. ආන්ඩුව ඒ චෝදනාව ඉදිරිපත් කරන්නේ කම්කරු පන්තියේ අරගල මැඩීම යුක්ති සහගත කිරීමට ය.

දේශපාලන පිලිවෙතක් උඩ ස්වකීය අයිතීන් සඳහා සටන් කිරීම වෛද්‍යවරුන්ට මෙන්ම පොදුවේ කම්කරු පන්තියට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. කෙසේවෙතත්, තමන්ගේ ම සේවා ප‍්‍රශ්න ගැන ක‍්‍රියා කිරීමට සාමාජිකයන්ට ඇති මූලික අයිතිය පවා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් උදුරාගෙන ඇත. මෙය යලිත් පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති පාලකයන්ගේ උවමනාව අනුව කාර්මික පොලීසියක් ලෙස ක‍්‍රියා කරන තත්වයට මාරුවී ඇති බවයි.

වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලු ශී‍්‍ර ලංකාවේ සියලුම වෘත්තීය සමිති නිලධරය "වෘත්තීය සමිතිවලට දේශපාලනය එපා” යන ප‍්‍රතිගාමී පිලිවෙතක් උඩ කම්කරු පන්තිය තුල ස්වකීය අයිතීන් සඳහා අරගලයට මග පෙන්වන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැලැක්වීමට නිරතුරුව වැඩ කරති. කම්කරුවන් හා අනෙකුත් සේවකයන් තම අයිතීන් සඳහා සටන් කිරීමට නම් වෘත්තීය සමිතිවලින් කැඞී තමන්ගේම ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතුය.

වෛද්‍යවරුන් වෘත්තික කන්ඩායමකට අයත් වුවත් වත්මන් ලෝක අර්බුදයේ බලපෑමෙන් තවත් ඔද්දල්වී ඇති ලංකාවේ ධනපති අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් ඇතුලලු මහජනයා මත පැටවීමේ ආන්ඩුවේ ප‍්‍රහාරවලින් ඔවුන්ට ද ගැලවී ගත නොහැකිය. නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුලු අයිතීන් රැක ගැනීමේ සමාජවාදී වැඩ පිලිවෙලට සටන් කිරීම එකම විකල්පයයි.

Share this article: