යූඇන්පී නායකයා රාජපක්ෂ ආන්ඩුව සමඟ දේශපාලනික හවුලකට සැරසේ

වසන්ත රූපසිංහ විසිනි, 2013 මාර්තු 28

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වන ලෙස ජාත්‍යන්තරව බලපෑම් නැගෙමින් තිබුන තත්වයක් තුල ධනේෂ්වර එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී), එහි නායක රනිල් වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් පසුගිය මාර්තු 12 වෙනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූවේ ය. එහි දී ආන්ඩුව වෙත සිය සහය එලිපිට ප‍්‍රදානය කල වික‍්‍රමසිංහ, ''රටත්-ජනතාවත් බේරා ගැනීම සඳහා අනුගමනය කල යුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් එකඟතා ගිවිසුමකට අත්සන් කිරීමට" තමන් සූදානම් බව රාජපක්ෂ ආන්ඩුව වෙත දන්වා සිටියේ ය.

වික‍්‍රමසිහංගේ මෙම යෝජනාව පැමිනියේ, ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය (යූඑන්එච්ආර්සී) සාකච්ඡා කරමින් සිටි තත්වයක් තුල මෙන් ම රාජපක්ෂ ආන්ඩුව එයට එරෙහිව අධිරාජ්‍ය-විරෝධී වාචාල කියමින් ස්වෝත්තමවාදයට උඩගෙඩි දෙමින් සිටින තත්වයක් තුල ය. එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර බලයන්ගේත්, මෙරට ධනපති පංතියේ සැලකිය යුතු කොටසගේත් අවශ්‍යතාවන් නියෝජනය කරන වික‍්‍රමසිංහ, මෙම මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ ප‍්‍රශ්නයේ දී අධිරාජ්‍යවාදීන් සමඟ එකට වැඩ කිරීම පිනිස රාජපක්ෂ එකඟ කරවා ගැනීමට වෑයම් කරයි.

රාජපක්ෂ ආන්ඩුව 2009 වසරේ යූඑන්එච්ආර්සී වෙත ගෙන ආ යෝජනාව මඟින්, මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඊනියා ''ජාත්‍යන්තර ප‍්‍රජාව" වෙත ලබා දී තිබෙන "පොරොන්දු" ඉටු කරන්නැයි ද අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වන, උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ (එල්එල්ආර්සී) යෝජනා ක‍්‍රියාත්මක කරන්නැයි ද වික‍්‍රමසිංහ එම පුවත්පත් සාකච්ඡාවේ දී ඉල්ලා සිටියේ ය. මේ කාරනයේ දී රාජපක්ෂ සමඟ ගැලතී ගැනීමේ අරමුනින් යූඇන්පී නායකයා යෝජනා කලේ, "ආන්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ එක සමාන නියෝජිත පිරිසකගෙන් යුතු කමිටුවක් පත් කර.. [එල්එල්ආර්සී] නිර්දේශ අතරින් අන්ඩුවට පිලිගත හැකි සහ පිලිගත නොහැකි නිර්දේශ කවරේද යන්න පෙන්වා දිය යුතු බව" යි.

වික‍්‍රමසිංහ බලයට ගෙන ඒම ප‍්‍රමුඛ අරමුන කරගත් නව සමාසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇතුලු ව්‍යාජ වම්මුන් මෙන් ම හෙලත්තාඩු සිංහල හා දෙමල වර්ගවාදී පක්ෂ හා සංවිධාන කීපයක් පෙලගැසී ගොඩනඟා ගත් "විපක්ෂයේ විරෝධය," මාර්තු 14 වෙනි දින විශේෂ යෝජනාවක් හරහා මෙය නිල වසයෙන් ආන්ඩුව වෙත ඉදිරිපත් කරමින් ඒ සඳහා "සර්ව පාක්ෂික සම්මේලනයක්" කැඳවන්නැයි යෝජනා කලේ ය. ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී හා කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන මහජන වෛරය ඊනියා "සර්ව පාක්ෂික සම්මේලනයක්" තුල දියකර හැරීම මෙම යෝජනාවේ අරමුන යි.

කෙසේ නමුත්, දැරිය නොහැකි ජීවන වියදම් බර හේතුවෙන් මහජනයා අතර ආන්ඩුවට එරෙහිව නැගෙන වෛරය පීලි පැන්නවීමට, යූඑන්එච්ආර්සී යෝජනාව පාදක කරගනිමින් ස්වෝත්තමවාදී මෙහෙයුමක් ආරම්භ කර තිබෙන රාජපක්ෂ ආන්ඩුව යූඇන්පීයේ යෝජනාවට මේ මොහොතේ දී එකඟවීම ප‍්‍රතික්ෂේප කලේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ද වන ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මාර්තු 16 දින ඩේලිමිරර් පුවත්පතට කීවේ, "අවබෝධතා ගිවිසුමක් පිලිබඳව යෝජනා කිරීමට හා යූඑන්එච්ආර්සීහිදී රට වෙනුවෙන් පෙනී සිටීමට [වික‍්‍රමසිංහට] සදාචාරාත්මක අයිතියක් නැත"යි යනුවෙනි. මෙලෙස ඔහු වික‍්‍රමසිංහට පාච්චල් කලේ, ''රට වෙනුවෙන් පෙනී සිටින දේශපේ‍්‍රමීන්" රාජපක්ෂවරුන් ම පමනක් බව ඇඟවීමට ය.

එහෙත් තමන් නියෝජනය කරන ධනපති පන්තික කොටසේ අවශ්‍යතා වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින වික‍්‍රමසිංහ, ආන්ඩුව සමඟ හවුල්කෑමේ අදහස අත්හැර දැමීමට සූදානම් නැත. පසුගියදා කුරුනෑගල දිස්ත‍්‍රික්කයේ එක්සත් නීතිඥ සංගමය රැස්කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට (යූඇන්පීයේ නිල වෙබ් අඩවිය මාර්තු 19 වෙනිදා මෙය වාර්තා කර තිබින) එක්වෙමින් යූඇන්පී නායකයා එකඟතා ගිවිසුමක් සඳහා ආන්ඩුවට යලිත් කනි පින්දම් ගැසුවේ ය.

''මේ ප‍්‍රශ්නය [මානව හිමිකම් ප‍්‍රශ්නය] ප‍්‍රයෝජනයට ගනිමින් දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක් නැත"යි කී වික‍්‍රමසිංහ තවදුරටත් මෙසේ කීවේ යඃ "..මට ආන්ඩුව අමාරුවේ දැමීමට අවශ්‍ය වුනානම් මීට පෙර ම ජිනීවා ගොස් සාක්ෂි ලබා දීමට හැකියාව තිබුනා. එක්සත් ජාතික පක්ෂය ගිය වසරේ සහ මේ වසරේ ජිනීවා සම්මේලනයට සහභාගි වුනේ නැහැ...යුරෝපයේ සංචාරය කිරීමෙන් වැලකී සිටීමට මම තීරනය කලේ ඒ රටවල සංචාරය කලහොත් රනිල් වික‍්‍රමසිංහ ඒ රටවලට කරුනු කියනවා යැයි චෝදනා කරන නිසයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට 2012 දී කතා කල අප ඔහුට කියා සිටියේ ද ඔහු ජිනීවා නොයා යුතු බව යි. එතුමා එදා ජිනීවා නොයාම සම්බන්ධයෙන් එතුමාට අප ස්තුතිවන්ත වන අතර අපේ ස්ථාවරය වූයේ මේ ප‍්‍රශ්නය රට අභ්‍යන්තරයේ ම විසඳා ගත යුතු බව යි."

කෙතරම් නම් අවංක ලෙස කතා කිරීමක් ද! වචනයක් වචනයක් පාසා එලියට එන්නේ වික‍්‍රමසිංහට රාජපක්ෂ ආන්ඩුවට හා එහි ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත් සම්බන්ධයෙන් මොනයම් ම හෝ විරුද්ධත්වයක් නැතිවා පමනක් නොව, ආන්ඩුව හා එහි අපරාධ වෙනුවෙන් පෙනී සිටීමට යූඇන්පීය සැමවිට ම කටයුතු කර ඇති බව යි. එබැවින් යූඇන්පීය, රාජපක්ෂ ආන්ඩුවේ "දූෂනය හා වංචාව" හා "අක‍්‍රමවත් පාලනය" යනාදිය කරන දෙඩවිලි හුදෙක් ම මහජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට නගන හිස් ගෝසාවන් පමනි.

සැබැවින් ම වික‍්‍රමසිංහට රාජපක්ෂගේ ආර්ථික හා දේශපාලනික පිලිවෙත්වලට වඩා වෙනස් මූලෝපායාත්මක පිලිවෙතක් ඇත්තේ නැත. රාජපක්ෂ ආන්ඩුවත් සමඟ යූඇන්පීයට යම් උපායාත්මක වෙනසක් පවතී නම් ඒ, විදෙස් පිලිවෙතේ දී රාජපක්ෂ වඩාත් චීනය දෙසට නැඹුරු වී තිබීමේ කාරනාව පමනි. යූඇන්පීයේ උපසභාපති ලක්ෂමන් කිරිඇල්ල මාර්තු 25 දින ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, "ඇමෙරිකාවට ලංකාව තුල අතපෙවීමට ඇති අයිතිය කුමක්ද?" යනුවෙන් නැඟූ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් මෙය පැහැදිලිව වරනැගුවේ යඃ "...ලංකාවේ අපනයනවලින් 60%ක් යන්නේ ඇමෙරිකාවට හා යුරෝපා රටවලට යි. චීනයට යන්නේ අපේ අපනයනවලින් සියයට එකකටත් අඩුවෙන්. චීනය කරන්නේ අපිට ලොකු පොලියකට නය දෙන එක විතරයි. අනික ලංකාවේ කොටස්වෙලඳ පොලේ [ආයෝජනය කර ඇති] සල්ලිවලින් 70%ක් ඇමෙරිකන් යුරෝපා සමාගම්වල සල්ලි යි. මේ ආන්ඩුව ඒවා අමතක කරලා උඩුගං බලා යන්න හැදීම ඔවුන්ගේ නොදැනුවත්කම පෙන්නුම් කිරීමක්."

"විපක්ෂයේ විරෝධය" දැන් තමන්ගේ ම සටන් පාඨයක් ලෙස කරේ එල්ලා ගෙන සිටින ''එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාත්මක කරනු!" යන්න අධිරාජ්‍යවාදීන්ගේ ඉල්ලීමම සමඟ පෙල ගැසීමකි.

2011 දෙසැම්බර්වලදී එලි දැක් වූ, එල්එල්ආර්සී වාර්තාව ම සම්බන්ධයෙන් සැලකූ කල, එය සකස් කලේ, මානව හිමිකම් රැකීම නොව ඒවා උල්ලංඝනය කිරීමට උඩගෙඩි දීම පිලිබඳ කුප‍්‍රකට වාර්තාවක් සතු එමෙන් ම රාජපක්ෂ ගැති හිටපු විනිසුරන් කීප දෙනෙකු විසිනි. එහි මූලික අරමුන වූයේ, මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව ජාත්‍යන්තරව පැන නැඟෙමින් පැවැති පීඩනය කපා දමමින් යුද අපරාධවලට සුදුහුනු ගෑම යි. වර්ගවාදී යුද්ධයට පාර කැපූ පිලිවෙලින් බලයට පත් කොලඹ පාලන තන්ත‍්‍රවල දෙමල-විරෝධී පිලිවෙත් පිලිබඳව වචනයක් හෝ සඳහන් නොකල එල්එල්ආර්සී වාර්තාව සියලු අපරාධවල වගකීම එල්ටීටීඊය වෙත ම පැවරීය. මානව හිමිකම් උල්ලංඝනය කලවුන්ට නඩු පැවැරීමට හෝ දඬුවම් කිරීමට හෝ බලයක් නැති වඳ කොමිසමක් වූ එයට තිබූ එක ම බලය වූයේ යුද්ධයෙන් අසරනවූවන්ට වන්දි පිරිනැමීමට නිර්දේශ කිරීමේ ''බලය" පමනි.

වාර්තාවට පලිප්පුලෑමේ අරමුනින් ''රජය සුලුතර ජනවර්ගයා වෙත සමීප විය යුතු"යැයි නිර්දේශ කල එල්එල්ආර්සී වාර්තාව, සුලු වාර්ගිකයන් කෙරෙහි ''සැක කිරීම, භීතිය, අවිස්වාසය හා ප‍්‍රචන්ඩත්වය" නවතා දැමීමට කැඳවුම් කලේ ය. දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කල ආන්ඩුවක් වෙත කෙරුන එවැනි කන්කෙඳරි ගෑම් මොනයම් ම ප‍්‍රතිලාභයක් යුද්ධයෙන් අසරනභාවයට පත් කලවුන්ට නොලැබෙන බව එහි කතුවරු හොඳින් ම දැන සිටියෝ ය.

මෙවැනි මෘත වාර්තාවක ''නිර්දේශ" ක‍්‍රියාත්මක කරන්නැයි බලකිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් පිටුපස ගාල්වන ධනේෂ්වර යූඇන්පීය හා ව්‍යාජ වාම නසසප, එසප වැනි පක්ෂවලට දෙමල පීඩිත මහජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සුරක්ෂිත කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මෙයින් පැහැදිලි ය. යූඑන්එච්ආර්සී යෝජනාවේ ඇත්ත අරමුන මානව හිමිකම් කඩතුරාව යොදා ගනිමින් රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් ඈත් කිරීමට පීඩනය යෙදීම බවත් මෙහි කේන්ද්‍රයේ ඇත්තේ එක්සත් ජනපද බැරැක් ඔබාමා විසින් චීනය වටලෑම ඉලක්ක කරගනිමින් දියත් කර ඇති ''ආසියාවට හැරීම" නම් ආක‍්‍රමකාරී පිලිවෙත බවත් මෙම අවස්ථාවාදී දේශපාලන පක්ෂ කම්කරු පීඩිත මහජනයාගෙන් වසන් කරති.

මාර්තු 21 වෙනි දා සම්මත කල යූඑන්එච්ආර්සී යෝජනාවේ උනුසුම නිවී යාමටත් කලින් ම, ආන්ඩුවට එරෙහිව කොතෙකුත් යෝජනාවන් ගෙනාව ද ලංකාවට ''සම්බාධක පැනවීමේ අදහසක් නැත"යි එක්සත් ජනපදය ප‍්‍රකාශ කිරීමෙන් ම පැහැදිලි වන්නේ, එහි මූලිකත්වයෙන් දියත් කර තිබෙන ඊනියා මානව හිමිකම් රැකීමේ උද්ඝෝෂනයේ ඇති දෙපිටකාට්ටුකම යි. අනෙක් අතට අවම වසයෙන් මෙකී අවම ''නිර්දේශවත්" ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුව දක්වන අශමනීය විරුද්ධත්වය පෙන්නුම් කරන්නේ, තමන් දායක වූ අපරාධවලට වගවීමකට හෝ සුලුතර දෙමල වාර්ගිකයන්ට ලේෂමාත‍්‍ර වූ හෝ සහනයක් දීමට ආන්ඩුව සූදානම් නැති බව යි. ප‍්‍රතිවාදී මහා බලවතුන් කලාපයේ ආධිපත්‍ය සඳහා කරගෙන යන බල අරගලයක හරි මැදට ලංකාව ඇද ගෙන යාමෙන් රාජපක්ෂ පාලනය සෘජුව ම රටේ මහජනතාව අනතුරේ හෙලා ඇත.

යුද්ධයෙන් බැට කෑ දෙමල ජනතාවට වේවා, රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අනවන ලද කොන්දේසිවලින් පහර කන සමස්ත කම්කරු පීඩිත මහජනතාවට මොන ම සහනයක්වත් යූඇන්පීය ඇතුලු ධනපති පක්ෂවලින් ලැබෙන්නේ නැත. ආන්ඩුවට එරෙහිව සැබෑ මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට මෙම පක්ෂය හා එය ඔසවා තැබීමට වලිකන නසසප හා එසපය වැනි ව්‍යාජ වම්මුන් සෘජුව ම සතුරුව පිහිටා සිටිති. මොවුහු මෙහිදී සෘජුව ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිති.

රූපිකව මේවාට පිටතින් සිටිමින් ආන්ඩුව කෙරේ හිස් විවේචන ඉදිරිපත් කරන ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන සහ එයින් බිඳී වෙන්වුන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ස්වාධීන කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩ නැඟීමට එකහෙලා ම සතුරුවූවන් ය. කම්කරු පන්තිය මෙම සියලු පක්ෂ ප‍්‍රතික්ෂේප කල යුතු ය.

සංස්ථාපිතයේ මෙම සියලු ම ධනපති හා සුලු ධනපති පක්ෂවලට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ම පමනි. සසපට බැඳී එය ගොඩ නඟන්න.

Share this article: