සමාජවාදී සමානතා පක්ෂය ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරනය තරග කරයි:යුද්ධයට එරෙහිව සටන් වැදීමට සමාජවාදී වැඩ පිලිවෙලක්

Socialist Equality Party to contest Australian federal election: A socialist program to fight the drive to war

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2013 අපේ‍්‍රල් 26

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඕස්ටේ‍්‍රලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), සැප්තැම්බර් 14 දා පැවැත්වීමට නියමිත සමස්ත ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරනයේ දී ප‍්‍රාන්ත පහක් තුල සෙනෙට් මන්ත‍්‍රී මන්ඩලවල අසුන් සඳහා අපේක්ෂකයින් කන්ඩායමක් ඉදිරිපත් කරනු ඇත.

ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ මෙම මැතිවරන මෙහෙයුම වනාහි වැඩෙන යුද තර්ජනයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝකය පුරාම එහි ශාඛා ඕස්ටේ‍්‍රලියාවේ ද ආසියා පැසිෆික් කලාපයේ ද අප‍්‍රිකාවේ ද මැද පෙරදිග ද ඇමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ම ද කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා ගෙන යන්නා වූ ඒකාබද්ධ ව්‍යායාමයක කොටසකි. 1930ස් ගනන්වල මහා අවපාතයෙන් පසුව පැනනැගි ධනවාදයේ අති බරපතලතම ආර්ථික බිඳ වැටීම මධ්‍යයේ තුන් වන ලෝක යුද්ධයේ බීජයන් වපුරනු ලැබ ඇතුවා පමනක් නොව, ඒවා දැනට ම දලු ලමින් චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ ස්වරූපය ගෙන තිබේ.

අපගේ ව්‍යායාමයේ කේන්ද්‍රීය අරමුන වන්නේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක‍්‍රියා මාර්ගයක් මත කම්කරුවන් හා තරුන ජනයා අතර පුලූල් ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගත වූ විසිවසර තුල සිය ඓතිහාසික ආර්ථික පරිහානිය වලක්වා ගැනීම සඳහා - බෝල්කන් අර්ධද්වීපයේ, ඇෆ්ඝනිස්ථානයේ, මැද පෙරදිග සහ අප‍්‍රිකාවේ - අඛන්ඩ ආක‍්‍රමනකාරී යුද මාලාවක නිරත විය. දැන් එය චීනයේ වැඩෙන ආර්ථික බලය පරාජය කල යුතු තර්ජනයක්ය යන ගනන්බැලීම උඩ තම යුද බලය ආසියා-පැසිෆික් ප‍්‍රදේශයට ගොනු කරමින් සිටියි. වොෂිංටනයේ න්‍යාය පත‍්‍රයේ අනිවාරනීය තර්කනය වනාහි න්‍යෂ්ටික සංග‍්‍රාමයක් දක්වා වේගයෙන් උග‍්‍ර වෙමින් මානව ශිෂ්ටාචාරයේ අනාගත පැවැත්ම ම තර්ජනයට ලක් කිරීම යි. ඕස්ටේ‍්‍රලියානු මූලෝපායික ප‍්‍රතිපත්ති ආයතනය (ASPI) විසින් එක්සත් ජනපදයේ අලූත් ගුවන්-මුහුදු යුද සැලැස්ම පිලිබඳව 2013 අපේ‍්‍රල් මාසයේ නිකුත් කරන ලද අධ්‍යයනයක් කෙලින්ම කියා සිටියේ ”සිතා ගන්නටවත් බැරි දෙය, එනම් චීනයට එරෙහිව ඇතිවිය හැකි යුද්ධයක දී සටන් කිරීමේ හා දිනීමේ මිලිටරි මූලෝපායන් ගැන සිතන්නට පෙන්ටගනය අරඹා ඇති” බවය.

ගිලාර්ඩ්ගේ ලේබර් ආන්ඩුව හරිතයන්ගේ ද ලිබරල් සහ නැෂනල් පක්ෂවල ද පූර්න ආධාරය ඇතිව ඕස්ටේ‍්‍රලියාව ඉහත කී යුද සැකසුම්වල පෙරමුනේ ම පිහිටුවාගෙන සිටියි. ඔබාමාගේ ආසියා "පිම්මට” කොන්දේසි විරහිතව සහය පුදා සිටින ගිලාර්ඩ් ඔබාමා සමග යුද ගිවිසුම් අත්සන් කර ඇති අතර මහ සංගත විසින් දුවවනු ලබන මාධ්‍යයන් සමග එක්ව එම ගිවිසුම්වල විනාශකාරිත්වය මහජනතාවගෙන් වසන් කොට ගෙන සිටියි.

ඉදිරි මැතිවරනය පැවැත්වෙනු ඇත්තේ මුලුමනින් ම වංචා සහගත පදනමක ය. මාධ්‍යවල සහය ලබන නිල මැතිවරන ව්‍යායාමය තුල එකදු සැබෑ ප‍්‍රශ්නයක් වත් මතු කෙරෙන්නේ නැත. සසපය මැතිවරනයට මැදිහත් වන්නේ කම්කරුවන්ට සහ තරුනයින්ට සත්‍යය පැහැදිලි කර දෙමින්, ඔවුන් මුහුන දී සිටින ජීවිතය සහ මරනය පිලිබඳ ප‍්‍රශ්න මතු කිරීමට ය. අපි, අන් සියල්ලටමත් වඩා, යුද්ධය කරා ලූහුටා යාම එන්න එන්නම වේගවත් වන අන්දම එලිදරව් කරමින් රහසි ගත ගනුදෙනු සහ ගිවිසුම් එලියට දමන මෙන් බල කර සිටිමු. ධනපති පාලක පන්තීහු විසිවන ශතවර්ෂය තුල දෙවරක් ම මානව වර්ගයා භයංකර විපාක සහගත ලෝක යුද්ධ තුලට ඇද දැමූහ. යලිත්නම් එවැන්නක් කිරීමට ඔවුන්ට ඉඩ නොදිය යුතු ය!

කම්කරු පන්තිය ප‍්‍රානසම ප‍්‍රශ්න මතු කර ගත යුතුය, ඒවාට උත්තර ලබා ගත යුතුය. ගිලාර්ඩ් ඇතුලූවී ඇත්තේ කුමන රහස් ගිවිසුම්වලට ද? ඕස්ටේ‍්‍රලියානු මිලිටරිය එක්සත් ජනපද මිලිටරියට දී ඇත්තේ කුමන පොරොන්දු ද? දැනට ඕස්ටේ‍්‍රලියාව තුල පිහිටුවා තිබෙන කඳවුරුවල සැබෑ අරමුන කුමක් ද? ඕස්ටේ‍්‍රලියාව තුල අලූතින් පිහිටුවීමට නියම කරගෙන තිබෙන යුද කඳවුරු සහ යුද සේනාංක මොනවා ද? චීනයට විරුද්ධව යුද්ධ සැලසුම් මේ වන විට කොතරම් ඉදිරියට ගෙන ගොස් ඇති ද?

ලේබර් ආන්ඩුවේ ආරක්ෂක ඇමති ස්ටීෆන් ස්මිත්, " ඕස්ටේ‍්‍රලියාවේ එක්සත් ජනපද යුද කඳවුරු නැතැ යි” කියා තිබේ. එය බොරුවකි. සීතල යුද සමයේ පිහිටුවන ලද පයින් ගැප් සහ නොර්ත් වෙස්ට් කේප් යුද කඳවුරු එක්සත් ජනපදයේ මෑත මැද පෙරදිග යුද්ධවල දී වැදගත් භූමිකාවක් ඉටු කර ඇත. දැන් එක්සත් ජනපදය සැලසුම් කරමින් සිටින චීනයට විරුද්ධ යුද්ධයට ඒවා සහමුලින්ම ඒකාග‍්‍ර කොට ගෙන ඇත.

2011 වර්ෂයේ දී ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව අමතා ඔබාමා කල කතාවේ දී ප‍්‍රකාශයට පත්කරන ලද ඩාවින් හි පිහිටි එක්සත් ජනපද මුහුදුගත භට කඳවුර, චීන විරෝධී හැරීමේ යුදවාදී අරමුන අවධාරනය කරයි. එම කඳවුර මුලුමනින්ම ක‍්‍රියාත්මක වූ කල මැද පෙරදිග සහ අප‍්‍රිකාවේ සිට චීනයට ඉන්ධන, අමු ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරනු ලබන ප‍්‍රාන නාලිකා වන මුහුදු මාර්ග හිර කර දැමීම සඳහා නාවුක, ගොඩබිම් සහ ගුවන් හමුදා ඒකක ඕස්ටේ‍්‍රලියාවේ උතුරේ රඳවා තැබීම ට යොදාගනු ලබනු ඇත.

ඩ්‍රෝන් යානා ද වෙනත් යුද ගුවන් යානා ද රඳවා තබන කඳවුරක් ලෙස කොකෝස් දිවයින් වල දැනට ම තිබෙන කඳවුර තර කර ගැනීමට ද බටහිර ඕස්ටේ‍්‍රලියා වෙරලේ ස්ටර්ලිං නාවුක කඳවුර එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගත් යුද නැවු සහ සබ්මැරීන් සඳහා මූල කඳවුරක් ලෙස යොදාගැනීමට ද සැලසුම් සකස් කර ගෙන යනු ලබමින් පවතී.

ඔබාමා පාලනාධිකාරය දැනටමත්, ආසියා-පැසිෆික් ප‍්‍රදේශයේ ඝට්ටන ස්ථාන මාලාවක් ම නිර්මානය කර ඇත. මින් ඕනෑම එකක් යුද ගැටුමකට දොරහැර ඕස්ටේ‍්‍රලියාව යුද්ධයට ඇද දැමිය හැකි ය.

* එක්සත් ජනපද ප‍්‍රකෝපකාරිත්වය, චීනය විසින් ඓතිහාසිකව මූලෝපායාත්මක බෆරයක් ලෙස සලකනු ලබන උතුරු කොරියානු පාලන තන්ත‍්‍රය ට එරෙහිව කොරියානු අර්ධද්වීපයේ උග‍්‍ර ආතතියක් අවුලුචා ඇත.

* චීනය සහ ජපානය අතර ගැටුමට තුඩුදී ඇති දූපත් පිලිබඳව ජපානයට යුදමය සහය දීමට එක්සත් ජනපදය සහතික වී සිටී.

* චීනයට එරෙහිව බිම්කඩ වලට අයිතිවාසිකම් කියාපෑමට ඇමරිකාව වියට්නාමයට සහ පිලිපීනයට දිරිදී තිබේ.

* චීනයට ප‍්‍රතිවිරුද්ධ බලයක් ලෙස ඉන්දියාව සමග සමීප සම්බන්ධකම් වගා කරන එක්සත් ජනපදය චීනයට ආසන්නව මූලෝපායික වැදගත් කමක් දරන බුරුමය සහ මොන්ගෝලියාව තම පිලට ගැනීම සඳහා උත්සාහ දරමින් සිටී.

මෙම වැඩෙන ඇමරිකානු සන්ධාන ද යුදමය සහ රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා ජාලාව ද වනාහී චීනය වටා තද කෙරෙන මලපුඩුවකි.

මහා බලවතුන්ගේ ආසක්තයන් සමග ප‍්‍රාදේශීය ඝට්ටනයන් සම්මුඛ වන ආසියාවේ තත්වය පලමුවන ලෝක යුද්ධය අවුලුවා ලූ ගිනිපුපුර සැපයූ, 1914ට පෙර බෝල්කන් අර්ධද්වීපයේ තත්වයට බෙහෙවින් සමාන ය. චීනයේ ආර්ථික ප‍්‍රසාරනයට එක්සත් ජනපදයේ එන්න එන්නම උග‍්‍ර වන සතුරු බව එවන් ගිනිජාලාවකට තෙල් දමයි. චීනය වනාහී ගෝලීය ආධිපත්‍යය සොයන අධිරාජ්‍යවාදී බලවතෙක් නො වේ. ප‍්‍රධාන අධිරාජ්‍ය බලවතුන් විසින් තහවුරු කර ඇති භූ-දේශපාලන රාමුව තුල චීනය දරන්නේ දෙවෙනි තැනක් පමනි. එහෙත් ලෝක ධනවාදයේ ලාභ ශ‍්‍රම වේදිකාව ලෙස මුල්තැන ගෙන සිටින චීනය, අප‍්‍රිකාවේ ද ලෝකයේ වෙනත් රටවල ද ප‍්‍රමුඛ සම්පත් නිධි සියතට ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දක්වන අධිෂ්ඨානය හා ගැටෙන තත්වයක් පැන නැග තිබේ.

යුද්ධය කෙරේ ගැඹුරු විරෝධයක් කම්කරු පන්තිය ද පලල් මහජනතාව ද විශේෂයෙන්ම තරුනයන් ද අතරේ පැතිර පවතී. 2003 වර්ෂයේ ඉරාක යුද්ධයට එරහිව ස්වයංසිද්ධව පැන නැගී ඓතිහාසික භූගෝල පරිමාන යුද විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙස ඕස්ටේ‍්‍රලියාවේ ඉතිහාසයේ විශාලතම පෙලපාලි විසින් ද මෙය පෙන්නුම් කැරිනි. එම යුද විරෝධී හැඟීම තවමත් පවතී. එහෙත් එයට නිල පාර්ලිමේන්තු රාමුව තුලින් ප‍්‍රකාශනයක් අත්පත් කර ගත නොහැකි ය. සසපයේ මැතිවරන ව්‍යායාමය යුදවාදයට එරෙහි පෘථුල විරුද්ධත්වයට බලගතු හඬක් ද එහි දේශපාලන ප‍්‍රකාශනයට මාධ්‍යයක් ද ලබාදෙමින් යුද්ධයට එරෙහි අරගලයේ දී ඕස්ටේ‍්‍රලියාව, චීනය සහ ආසියාව පුරාම වැඩකරන ජනතාවට තීරනාත්මක නායකත්වය සම්පාදනය කරනු ඇත.

සෑම පාර්ලිමේන්තු පක්ෂයක් ම ඔබාමාගේ යුද සැලසුම්වලට සහය දෙනවා පමනක් නොවේ, ඔවුහු එක්සත් ජනපදයේ යුද සැලසුම් ද, ඕස්ටේ‍්‍රලියාව එයට සම්බන්ධ කිරීම ද ගැන කුමන්ත‍්‍රනකාරී ලෙස නිශ්ශබ්දව සිටිති. සත්තකින්ම, වත්මන් ලේබර් ආන්ඩුව ගොඩනගනු ලැබුවේ කුමන්ත‍්‍රනයකිනි. 2010 ජුනි 23-24 කුමන්ත‍්‍රනය මගින් අගමැති රඞ් ඉවත් කිරීම පිලිබඳව කිසිදු පැහැදිලි කිරීමක් ගිලාර්ඩ් කර නැත.

රඩ් ඉවත් කරනු ලැබුවේ ඔහුගේ "කලමනාකරන ශෛලිය” නිසා හෝ ජනමත විමසීම්වල දී ඔහු ලත් සහය වැටුන නිසා හෝ නො වේ. ඔබාමා පාලනය, තම චීන-විරෝධී හැරීමෙන් බින්දුවක් හෝ ඈත්වීමට ඉඩදෙන්නට සූදානම් නොවූ නිසා ය. රඞ් ඇමරිකාව සමග ඕස්ටේ‍්‍රලියාවේ සන්ධානය පවත්වාගෙන යාමට මුලූමනින් ම කැපවූ අතර ම චීනය සහ ඇමරිකාව අතර සංහිඳියාවක් සඳහා කපුකම් කිරීමට ප‍්‍රත්නයක් ද දැරී ය. මෙය වොෂිංටනයේ යුදවාදී න්‍යාය පත‍්‍රය සමග නොපෑහුනි. වොෂිංටනයේ "ලේබර් අත්ගෙඩි” යොදා ගෙන කරන ලද මෙහෙයුමක් මගින් රඞඩ් ඉවත් කරනු ලැබුවේ ඕස්ටේ‍්‍රලියාවේ ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමට පවා නොදන්වා ය. ඕස්ටේ‍්‍රලියානු මහජනතාව ගැන කියනුම කවරේ ද? අගමැති වූ වහාම ඕස්ටේ‍්‍රලියාවේ ඇමරිකානු තානාපති සමග එක්ව මාධ්‍යය ඉදිරිපිට ප‍්‍රසිද්ධියේ පෙනී සිටි ගිලාර්ඞ් සිය ආන්ඩුව ඇමරිකාවේ ඔබාමා පාලනාධිකාරයේ පදයට ම නටන බව ඇති තරම් දැනට පෙන්නුම් කර තිබේ.

සසප ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ සියලු ප‍්‍රානසම අත් දැකීම් මත පදනම් වන අතර විශේෂයෙන් ම ගිය දස වසරේ මූලෝපායික පාඩම් කෙරේ අවධානය යොමු කරයි. දශකයකට පෙර දී යුද්ධ විරෝධී පෙලපාලි ඉරාක ආක‍්‍රමනය වලක්වා ගැනීමට අසමත් වීම විදහා දක්වන්නේ හුදෙක් මහජන මතයේ පීඩනය පමනක් ම අධිරාජ්‍යවාදී ජගත්නාශකය වලක්වා ලීමට අසමත් බව ය. ව්‍යාපාරය අසාර්ථක වුයේ එයට සහාය නොතිබුනු නිසා නො වේ. එහි නායකත්වය එක්සත් ජාතීන්ගේ මන්ඩලයට හෝ දේශපාලන සංස්ථාපිතයේ ඒ හෝ මේ අංශයට පීඩනය දැමීම මගින් එක්සත් ජනපදයට එහි ගමන් මග වෙනස් කරගැනීමට බල කල හැකිය යන මතය පතුරුවමින්, එම ව්‍යාපාරය පවත්නා දේශපාලන රාමුවට යටත් කල නිසාය.

එවක් පටන් මේ වන විට යුද විරෝධී ව්‍යාපාරය මත ආධිපාත්‍යය දැරූ දේශපාලන බලවේග දැන් තව තවත් දකුනට පැද කෙලින් ම එක්සත් ජනපද යුද වාදය සමග පෙලගැසී සිටිති. මෙම මාරුව, අන් සියල්ලටමත් වඩා සලකුනු වන්නේ 2011 වර්ෂයේ දී ලිබියාවේ සාපරාධී එක්සත් ජනපද - නැටෝ ආක‍්‍රමනයට ආධාර කොට, දැන් සිරියාවේ "පාලනය මාරු කිරීම ට” එක්සත් ජනපදය කරගෙන යන මෙහෙයුම පිටුපසින් පෙල ගැසී සිටින විවිධාකාර ව්‍යාජ -වම්මුන් විසිනි.

මේ ව්‍යාජ වම්මුන්ගේ ආස්ථානය වඩාත්ම විචිත‍්‍ර ව සාරාංශ ගත කරන සෝශලිස්ට් ඕල්ටර්නේටිව් යන අනුචිත නමින් පෙනීසිටින සංවිධානය, දැන් ඉතින් "ඉවබව නැති අධිරාජ්‍ය විරෝධයෙන්” වෙන් වී ගැනීමට කාලය එලඹ ඇතැ යි අවධාරනය කර සිටි යුද-විරෝධීන් ලෙස පෙර දින පෙනී සිටි මොවුහු අද දින අධිරාජ්‍යවාදයේ කැපවූ වන්දිභට්ටයන් බවට පත්ව සිටිති. මැද පෙරදිග දී එක්සත් ජනපද සහ සෙසු අධිරාජ්‍ය බලවතුන් කරන ආක‍්‍රමනයන්ට සහය දීමෙන් ද, ආසියා-පැසිපික් ප‍්‍රදේශයේ ඇමරිකානු යුද සැලසුම් ගැන දක්වන නිශ්ශබ්ද තාවයෙන් ද පෙන්නුම් කරන්නේ චීනයට එරෙහි ප‍්‍රහාරය සඳහා සැරසෙන අධිරාජ්‍යවාදීන් පසු-පස මොවුන් දැනටමත් පෙල ගැසෙන සැටිය.

මෙම ප‍්‍රවනතාවයන්ගේ විකාශනය මුල්බැස ඇත්තේ ගැඹුරු සමාජ සහ ආර්ථික සන්තතීන් තුල ය. ඔවුන් කථා කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නොව ඉහල මධ්‍යම පන්තියේ සමෘධිමත් ස්ථරයන් වෙනුවෙනි. මොවුන්ගේ ආසක්තයන් බැඳී පවත්නේ ගත වූ සමයේ සමාජයේ ඉහල තට්ටු අත ඒකරාශීව පවත්නා දැවැන්ත ධන උල්පත් වන මුල්‍ය පරපුටු භාවය ද, එම ධනය අන්තිමේ දී රඳා පවත්නා වූ අමුද්‍රව්‍ය සහ ලාභ ශ‍්‍රමය පාලනය කිරීම තමන් අතට ගැනීමට අධිරාජ්‍යවාදය තුල පවත්නා උවමනාව ද සමග වේ.

ගිය සියවසේ මූඛ්‍ය පාඩම නම් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ට ඉදිරියට යා හැක්කේ, යුද්ධයේ උල්පත වූ ලාභ ගරන ධනේශ්වර පද්ධතිය පෙරලාදමා දේශපාලන බලය සියතට ගැනීමේ විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් උඩ කම්කරු පන්තිය බලමුලූගන්වන්නේ නම් පමනක් ය යන්නයි.

සැබෑ යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය සඳහා කම්කරු පන්තිය දේශසීමා හරහා ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. සමාජවාදී සමානතා පක්ෂය සකල රූපාකාරයේ ම ජාතිකවාදය, ජාත්‍යෝත්තමවාදය සහ වර්ගවාදයට එරෙහි අරගලය සිය මැතිවරන ව්‍යායාමයේ හරි මැද තබන්නේ එනිසා ය. ගිලාර්ඞ් විසින් මෙහෙයවුනු ලේබර් ආන්ඩුව මූලිකත්වය දරන සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඕස්ටේ‍්‍රලියාව කරා එන සරනාගතයන්ට එරෙහි උමතුව අවුස්සාලන අතර ම ගිලාර්ඩ් ද ඇගේ ඇමතිවරු ද වෘත්තීය සමිති නිලධරය තුල ඇගේ සහකරුවෝ ද "විදේශීය කම්කරුවන්” හෙලාදකිමින් "ඔසී රැුකියා” රැකගත යුතු යයි ඉල්ලා සිටිති. ලේබර් ව්‍යාපාරයේ කුජීත "වයිට් (සුදු) ඕස්ටේ‍්‍රලියා” පිලිවෙත මෙසේ යලි අවුලුවා ලීම සේවය කරන්නේ අතිශයින්ම ප‍්‍රතිගාමී දේශපාලන අරමුනකට ය. එනම් ලෝකය පුරා විවිධ රටවලින් පැමින සිටින කම්කරුවන්ගෙන් සමන්විත වූ ඕස්ටේ‍්‍රලියානු කම්කරු පන්තිය ආසියා-පැසිෆික්, ප‍්‍රදේශයේ ද ලෝකය පුරාම ද සිය සහෝදරයන්ගෙන් බෙදා ලීම ය.

දෙවන ලෝක යුද්ධයේ පුපුරා යාම අද්දර දී, ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: "ධනවාදය මානව වර්ගයා හෙම්බත් කොට ලේ ගංගාවක ගිල්වා දැමීමට පෙරාතුව ලෝක වාතාවරනය ජාතික සහ වාර්ගික විස දුමින් මත් කර දමයි.” මෙම අනතුරු හැඟවීමේ අදාල බව බිඳක් වත් හීන වී නැත. "ලෝකයේ කම්කරුවනි එක්වව්!” යන සමාජවාදී ව්‍යාපාරයේ කාහල නාදය වනාහී යුද්ධයට එරෙහිව අරගලය සාර්ථකව කල හැකි වන එකම පදනම වේ. අධිරාජ්‍යවාදය වනාහි භූගෝල පරිමාන විනාශයක් ඇති කිරීමට තර්ජනය කර සිටින්නාවූ භයංකර බලවේගයකි. එය පරාජය කල හැක්කේ එයට ද වඩා බලගතු බලවේගයකට පමනි. එම බලවේගය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී ව්‍යාපාරයයි.

සමාජ ප‍්‍රතිවිප්ලවයක්

අධිරාජ්‍යවාදීන් විදේශ රටවලට එරෙහිව සැලසුම් කරන යුද්ධය සමග ඔවුන් සිය රට තුල කම්කරු පන්තියට එරෙහිව කරන යුද්ධය අත්වැල් බැඳගනී. 2008 ගෝලීය මූල්‍ය අර්බුදය සමග සෑම රටක් ම පාසා පනවන ලද මෘග කප්පාදු පියවර වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේ කම්කරු පන්තිය අත්පත් කරගත් සමාජ ජයග‍්‍රහනයන්ට එරෙහි සමාජමය ප‍්‍රතිවිප්ලවයකි. ග‍්‍රීසියේ ද, සයිප‍්‍රසයේ ද, ස්පාඤ්ඤයේ ද කම්කරු පන්තිය 1930 ගනන් වල තත්වයට ඇද දමනු ලබමින් පවතී. බි‍්‍රතාන්‍යයේ, පශ්චාත් යුද කාලීන සුභ සාධක රාජ්‍යයෙන් ඉතුරුපහදු වී ඇති ටිකත් ක‍්‍රමානුකුලව බිඳ දමමින් තිබෙන අතර අද දින ඇමරිකානු කම්කරුවන්ට මුහුන දෙන්නට සිදුවී තිබෙන්නේ මහා අවපාතයේ නරක ම සමාජ සහ ආර්ථික කොන්දේසිවලට ය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ පරපෝෂිතයන්ට ඩොලර් ටි‍්‍රලියන ගනන් දන් දුන් පාලක ප‍්‍රභූව අත ඇත්තේ එකම පිලිවෙතකි. එනම්, ලාභ ගරන ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික අර්බුදයේ වියදම කම්කරු පන්තියේ කරපිටින් යැවීම ය.

බොහෝ පාරට්ටු කරන ලද "පතල් උත්පාතය” විසින් ඕස්ටේ‍්‍රලියාව ගලවා ගනු ලැබිනැයි යන්න කීතු කර දමනු ලැබ ඇත.

ඉහල ඛනිජ අපනයන මිලෙහි ද ලෝකයේ ප‍්‍රමුඛ බැංකු විසින් ඩොලර් ටි‍්‍රලියන ගනන් අච්චුගැසීමේ විපාකය වූ ගෝලීය මූල්‍ය උච්චාවචනයන්හි ද ප‍්‍රතිඵලයක් ලෙස ඕස්ටේ‍්‍රලියානු ඩොලරයේ අගය ඉහල යාම පාලක ප‍්‍රභූව විසින් යොදාගනු ලැබ ඇත්තේ කම්කරු පන්තියට එරෙහි නව ප‍්‍රහාර රැල්ලක් ලිහා හැරීමට ය. දිනපතා ම අප වෙත එන්නේ තවත් කම්හල් වැසීමක් හෝ අලුතින් කම්කරුවන් දොට්ට දැමීම් මාලාවක් හෝ රැකියා සහ සේවා තත්වයන් කප්පාදු කිරීම ඉලක්ක කරගත් ආර්ථික "ප‍්‍රතිව්‍යුහකරනයක්” පිලිබඳ ආරංචි ය.

පාලක ප‍්‍රභූවේ සියලු කොටස්වල ද ඔවුන්ගේ ගේ මාධ්‍ය හොරනෑවල ද නිරන්තර ඉල්ලීම නම් කම්කරු පන්තිය සුරාකෑම උග‍්‍ර කොට නිෂ්පාදන ඵලදායීතාව ඉහල දැමීම මගින් ඕස්ටේ‍්‍රලියානු ධනවාදය "ජාත්‍යන්තරව තරගකාරී” තත්වයක තබා ගත යුතු බව ය. මූල්‍ය ප‍්‍රාග්ධනය තව තවත් වැඩි ලාභ සොයමින් සංසරනය වන තතු තුල මුලුමහත් කර්මාන්ත තර්ජනයට ලක් ව ඇත.

සමාජ අසමානතාවය ගැඹුරු වත් ම පොදු වැඩ කරන ජනතාවගේ අති මහත් බහුතරයේ සමාජතත්වයන් ඉමහත් වේගයෙන් පිරිහෙමින් තිබේ. දැනට ම බොහෝ දෙනෙකුගේ නිවාස වියදම් දැරිය නොහැකි ලෙස ඉහල ගොස් ඇත. කුටුම්බයන්හි නය 2000 දී සියයට 94 සිට අද සියයට 150 දක්වා ඉහල ගොසිනි. මෙහි වාසිය ලබාගෙන ඇත්තේ ප‍්‍රමුඛ බැංකු ය. ඔවුහු 2012 දී ඩොලර් බිලියන 25ක් ම ලාභ ගරා ගත්තෝය.

මූල්‍ය ප‍්‍රාග්ධනය වාර්තා ගත ලාභ ගොඩගසා ගන්නා තතු තුල සමාජ සේවා, සෞඛ්‍යය, සහ අධ්‍යාපනය ඉරාදමනු ලැබේ. පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳී යන තරම් ආතතියකට පත්ව තිබේ. සෑම ප‍්‍රාන්ත රාජ්‍යයක් තුල ම ඊනියා ස්වච්ඡන්ද (හදිසි නැති යයි තීන්දු කරන ලද - ශල්‍ය කර්ම සඳහා පොරොත්තු ලැයිස්තු ඉහල යමින් පවතී. සේවක මන්ඩල සංඛ්‍යා කප්පාදු කෙරේ. තම ලමයින් "සම්පත් හිඟ ඌන ක‍්‍රියාකාරී” පොදු පාසල්වලින් පෞද්ගලික පාසල් පද්ධතියට මාරු කර ගැනීමට දෙමව්පියන්ට බල කිරීම ඉලක්ක කර ගත් ගිලාර්ඩ්ගේ "අධ්‍යාපන විප්ලවය” නිසා එන්න එන්නම වැඩිවන සංඛ්‍යාවක් ගුරුවරු තාවකාලික කොන්ත‍්‍රාත් තත්වයන්ට ඇද දමනු ලැබෙති. ජීවන වියදම උපයාගැනීමට වැඩිවැඩියෙන් පැය ගනන් වැඩ කිරීමට සිදුව ඇති සරසවි ශිෂ්‍යයනට උගැනීමට සිදුව ඇත්තේ ඉඩ කඩ නැති තද බද වූ දේශනාගාර තුලය.

සැප්තැම්බර් 14 දා කොයි යම් ආන්ඩුවක් බලයට පත් වුවත් කම්කරු පන්තිය මතට කඩාපාත් කරනු ඇත්තේ, දැන් එල්ල කර ඇති ප‍්‍රහාර කොතරම් දරුනු වුවද ඒවා සාපේක්ෂව නොවැදගත් යයි සිතවන තරම් මෘග ප‍්‍රහාර බවට සසපය අනතුරු හඟවා සිටියි. විපක්ෂ ලිබරල් පක්ෂයේ අනාගත මුදල් ඇමති ලෙස සැලකෙන, ජෝ හොකී ලන්ඩනයේ දී කල දේශනයක දී මහ සංගත කුලකය විසින් ඉල්ලනු ලබන න්‍යාය පත‍්‍රය කුමක් දැයි පැහැදිලි කලේ ය: එනම්, "අයිතිවාසිකම් තහවුරු කල යුගය” අවසන් කරමින් සමාන්‍ය වැඩකරන ජනයාට අත්‍යාවශ්‍ය වූ සුභ සාධක රාජ්‍යයේ ඉතුරු සහන ද අහෝසි කරමින් අය වැය හිඟය අතිරික්තයක් බවට පරිවර්තනය කිරීම ය.

ඒකාධිපති තර්ජනය

මෙවන් පියවරයන්ට මහජන සහයෝගයක් ඇත්තේ නැත. නිල දේශපාලන පර්යාය කෙරේ පවතින්නේ පෙර නුවූවිරු විරෝධයක් හා කෝපයකි. ලේබර්, ලිබරල්-නැෂනල්, සහ හරිත යනාදී පාර්ලිමේන්තු පක්ෂ සියල්ල පවතින්නේ ආන්තික අර්බුදයක ය. තම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම අපහසු වන තත්වයකට මුහුන දී සිටින පාලක ප‍්‍රභූව එම සැලසුම් මහජනතාව මත පැටවීම සඳහා එන්න එන්නම වැඩිවැඩියෙන් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට උග‍්‍ර පහර එල්ල කරමින් පාර්ලිමේන්තුවෙන් බැහැර, ඒකාධිපති පියවරයන් ගනු නිසැක ය.

ඕස්ටේ‍්‍රලියානු ධනේශ්වරය පාර්ලිමේන්තු සලු උනාලීමට සූදානම් බව 1975 නොවැම්බර් 11, කැන්බරා කුමන්ත‍්‍රනයෙන් විදහා දැක්විනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත් කරගනු ලැබ තිබුනු විට්ලම් ආන්ඩුව සීඅයිඒ ද ඇතුලු බලකන්ඩායම් විසින් බලයෙන් පහකර දැමීමේ ද, එයට විට්ලම් ම තුච්ච ලෙස යටත් වීමේ ද අර්ථ භාරය ඉන් ඉක්බිති සමයේ ලේබර් පක්ෂය භාජන වූ අති මුලික පරිවර්තනයෙන් පැහැදිලි විය. හෝක් සහ කිටින්ග් ගේ ඊලඟ ලේබර් ආන්ඩුව සමාජ ප‍්‍රතිසංස්කරන කෙරේ කුමන යෙදීමක් වුව ඇන හිට වූ අතර ඒ වෙනුවට මහා සංගත ප‍්‍රභූවට උවමනා පරිදි ඕස්ටේ‍්‍රලියානු ධනවාදය බරපතල "ප‍්‍රතිව්‍යුහගත කිරීමක්” මගින් කම්කරු පන්තියට එරෙහිව පෙර නුවූ විරූ ප‍්‍රහාරයක් දියත් කලේ ය.

සසපය පමනක් ම අනතුරු හඟවා ඇති පරිදි 2010 ජුනි 23-24 කුමන්ත‍්‍රනය විසින් කල්තබා ම අනතුරු හැඟවෙන්නේ සමාජ, ආර්ථික සහ දේශපාලන ආතතීන් ඉහල යත් යත් පාලක පන්තිය සිය පන්ති අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අධිපතිවාදී පියවරයන්ට බැස ගන්නා බව ය. මේ සඳහා සුදානම් පියවර දැනටම ගනු ලැබ ඇත. 2007 පටන් ම ලේබර් ආන්ඩුව ද එහි පුර්වගාමිකයා වූ හොවාර්ඩ්ගේ ලිබරල් ආන්ඩුව ද, "ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” ව්‍යාජ ධජය යටතේ අති මූලික නීතිමය සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අහෝසි කර ලමින් පොලිස් රාජ්‍යයක සැකිල්ල තර කර තිබේ.

යුද්ධයේ, සමාජ ප‍්‍රති-විප්ලවයේ සහ ඒකාධිපතිත්වයේ ක‍්‍රියා මාර්ගයට එරෙහිව කම්කරු පන්තියේ ආන්ඩුවක් ගොඩනගා සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම ට සසප මැතිවරන ව්‍යායාමය සටන් වදිනු ඇත.

එවන් ව්‍යාපාරයක ප‍්‍රාථමික කාර්යය වන්නේ ධනේශ්වර ද්විපක්ෂ ක‍්‍රමයෙන් ද හරිතයන්ගෙන් ද එහි ව්‍යාජ වාම ක්ෂමාලාපකයන්ගෙන් ද බිඳී කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය පිහිටුවා ගැනීම ය. ලිබරලුන්ට එරෙහි "අඩු නපුරක්” ලෙස ලේබර් පක්ෂයට සහය දිය යුතු යයි ව්‍යාජ-වම්මු වංචනිකව කියාපාති. අන් සියලු බොරු සේ ම, මෙයද නිශ්චිත දේශපාලන කටයුත්තක් ඉටු කරයි. එය නම් කම්කරු පන්තිය පක්ෂාඝාත කොට එහි අරගලය ලේබර් පක්ෂයේ සහ වෘත්තීය සමිතිවල ග‍්‍රහනයෙන් බිඳීම වලක්වා ලීමයි.

කම්කරුවන්ට සිය අවශ්‍යතා සඳහා සටන්වැදිය හැක්කේ වෘත්තීය සමිතිවල අනුග‍්‍රහයෙන් පමනක්ය යන ව්‍යාජ වම්මුන්ගේ කියාපෑම ද එසේම ව්‍යසනකාරීය. යථාර්තය නම් වෘත්තීය සමිති කිසිසේත්ම කම්කරුවන්ගේ සංවිධාන නොවන බවයි. ගිය දසක තුන තිස්සේ නිෂ්පාදනයේ භූගෝලීකරනය විසින් ජාතික පරිපාලනය මත පදනම් වූ, සීමා සහිත, ප‍්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග මුලුමනින්ම බිඳ දමා වෘත්තීය සමිති වනාහි ප‍්‍රමුඛ මහා සංගතවල, බැංකුවල සහ මූල්‍ය ප‍්‍රාග්ධනයේ අන ක‍්‍රියාත්මක කරන කාර්මික පොලිසියක් බව තහවුරු කර තිබේ. ලේබර් පක්ෂය ද වෘත්තීය සමිති ද කෙලින් ම සේවය කරන්නේ ඕස්ටේ‍්‍රලියානු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට ය.

කම්කරු පන්තියට තම ස්වාධීන පන්ති අවශ්‍යතා දිනාගත හැක්කේ පෘථුල සමාජ සහ දේශපාලන අරගලයක් තුලින් පමනි. කර්මාන්ත ශාලාවල ද වැඩ පලවල ද නිල නොලත් සාමාන්‍ය සාමාජිකයන්ගේ නව සංවිධාන - වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ද වෘත්තීය සමිතිවලට ප‍්‍රතිවිරුද්ධව ද ගොඩ නැගිය යුතු ය. එවන් සංවිධාන රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීමට සටන් වදිනු ඇත. රට පුරා නිවාස ප‍්‍රදේශ තුල, පුලුල් සමාජ සහ දේශපාලන අරගල වර්ධනය කිරීමට ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගාගන්නා ලෙස අපි කියා සිටිමු. එවන් කමිටු පාසල්, සරසවි, සුවසේවා සහ වෙනත් සමාජ සේවාවන් මහා ධනපති පක්ෂ විසින් කප්පාදු කිරීමට එරෙහිව සටන් වදිනු ඇත.

සිය මැතිවරන ව්‍යායාමයට උපරිම සහය දෙන ලෙස සසප සියලු කම්කරුවන්, ශිෂ්‍යයන්, සමාජවාදයට හිතැති බුද්ධිමතුන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටී. හැකි තාක් ඉහල ඡන්ද සංඛ්‍යාවක් සඳහා සටන් වදින අතර ම අපගේ මුඛ්‍ය අරමුන වන්නේ ඡන්ද පෙට්ටිවල ලබන ජයග‍්‍රනය නො වේ. අපගේ ඉලක්කය වන්නේ කම්කරු පන්තියේ නව ද්ශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම ය. එම ව්‍යාපාරය තුලට විද්‍යාත්මක සමාජවාදී විඥානය එනම්, ලාභ ගරන ධනේශ්වර පද්ධතිය පෙරලා දමා ලෝක සමාජවාදය පිහිටුවාලීමෙන් මොබ ලෝක යුද්ධය, සමාජ ව්‍යසනය සහ ඒකාධිපතිත්වයේ තර්ජනය අවසන් කල නොහැකිය යන වැටහීම කාවැද්දීම ය.

මේ සඳහා අන් සියල්ලටමත් වඩා අවශ්‍ය වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ද ජාත්‍යන්තර පරිමානව ම ද කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම ය. එය වනාහි 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩනගන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය යි. ලෙනින් සමග රුසියානු විප්ලවයේ සහ-නායකයා වූ ට්‍රොට්ස්කි විසින් ස්ටැලින්වාදයට සහ සෙසු සකල ජාතික අවස්ථාවාදයන්ට එරෙහිව කරන ලද අරගලය අති බලගතු ලෙස දේහගත කරගත් මාක්ස් වාදයේ ශ්‍රේෂ්ඨ මූලධර්ම සහ ක‍්‍රියාමාර්ගය මත සිය දේශපාලන වැඩ කටයුතු දැනුවත්ව පදනම් කරගන්නාවූ ලොව එකම පක්ෂය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. සමාජවාදයේ එනම්, සමාජ සමානතාවය සඳහා ද දිලිඳු බව, සුරා කෑම, පීඩනය සහ යුද්ධය අහෝසි කිරීමේ ද අවශ්‍යතාවය ගැන එකඟවන සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ: සසපයේ මැතිවරන ව්‍යායාමය සමග එක්වන්න. සමාජවාදී සමානතා පක්ෂයේ අන්තර් ජාල ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිරන්තර පාඨකයෙකු වන්න. අපගේ ඉතිහාසය, ක‍්‍රියාමාර්ගය සහ මූලධර්ම හදාරා අපගේ සාමාජිකත්වය ලබාගන්න.

Share this article: