යුරෝපයේ සංචාරය කරන චීන අගමැති ජපානය "සොරාගත්” භූමි ප‍්‍රදේශ ආපසු දියයුතු බව කියා සිටියි

Visiting Europe, Chinese premier demands Japan return “stolen” territories

ජෝන් චැන් විසිනි, 2013 මැයි 29

ජපානය සෙන්කාකු නමින් හඳුන්වන නැගෙනහිර චීන මුහුදේ පිහිටි ඩියා ඕවු දිවයිනට ජපානයේ හිමිකම් පෑම පෙර නුවූ විරූ පරිදි අභියෝගයට ලක් කරමින් චීන අගමැති ලී කෙකියාං සිය පලමු ජර්මානු සංචාරයේ දී දූපත් අර්බුදය පොට්ස්ඩෑම්හිදී මතු කලේ ය.

දෙවන ලෝක යුද්ධයේ දී නාසි ජර්මනිය පරාජය වීමෙන් පසුව පශ්චාත් යුද සමථය නීර්නය කිරීමට හා අධිරාජ්‍යවාදී ජපානයට එරෙහි අවසන් යුද ප‍්‍රයත්නය සාකච්ඡා කිරීමට 1945 ජූලි-අගෝස්තු සමයේ මිත‍්‍ර පාක්ෂික නායකයෝ පොට්ස්ඩෑම්හි දී සම්මේලනයක් පැවැත්වූහ.

මැයි 26 දා පොට්ස්ඩෑම් සම්මේලන භූමියේ දී කතා කරමින් ලී ප‍්‍රකාශ කලේ, මිත‍්‍ර පාර්ශවය "ජපාන ෆැසිස්ට්වාදීන්ට” අවසාන නිවේදනයක් නිකුත් කිරීමෙන් දින 20කට පසුව ඔවුන් (ජපානය) යටත් වූ අතර එය "චීන හා ලෝක ජනතාවට ජයග‍්‍රහනයක් වූ” බව යි.

ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනය විසින් නිකුත් කරන ලද 1943 කයිරෝ ප‍්‍රකාශනනය ක‍්‍රියාත්මක කරමින් පලමු ලෝක යුද්ධයෙන් පසුව ජපානය බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුනු භූමි ප‍්‍රදේශ ආපසු ගත යුතු යයි - එනම්, "සොරාගෙන” තිබුනු මැන්චූරියා, තායිවානය හා පෙන්ගු දිවයින් චීනයට යලි පවරා, ටෝකියෝවට අයත් භූමිය ජපාන කොදෙවු දූපත්වලට සීමා කල යුතු යයි- සඳහන් කල පොට්ස්ඩෑම්ප‍්‍රකාශනයේ 8වන වගන්තිය ලී අවධාරනය කලේය.

"ජීවිත දස මිලියන ගනනක් කැපකොට ලඟාකරගත් සාමය හා පශ්චාත් යුද පර්යාය අප සෑම විට ම ආරක්ෂා කරගත යුතු” යයි ලී කීවේ ය.

"සාමය" පිලිබඳ නරුම සඳහන තිබිය දී ම මෙය, හුදෙක් ඩියා ඕයු/සෙන්කාකු දිවයින්වලට පමනක් නොව ඔකිනාවා දූපතට පවා ජපානයේ හිමිකම් පෑම කෙරෙහි එල්ල කරන විවෘත තර්ජනයකට සමාන වේ. මෙයින් සිදුවනු ඇත්තේ, චින-ජපාන ආතතීන් තවදුරටත් ඇවිලවීම පමනකි.

ලීගේ තර්කය, චීන කොමියුනිස්ට් පක්ෂයේ හොරනෑව වන පීපල්ස් ඬේලි පුවත්පතේ ඔකිනාවා පිලිබඳ ජපාන හිමිකම ප‍්‍රශ්නයට බඳුන් කරමින් චීන ශ‍්‍රාස්තාලිකයන් දෙදෙනෙක් ඉදිරිපත්කල ආස්ථානය ප‍්‍රතිරාවය කරයි.

"එහි දී චීන ආන්ඩුව ටෝකියෝවේ විරෝධය පෑම පසෙකට දැම්මේ, එය ශ‍්‍රාස්තාලික අධ්‍යයනයක් පමනක් යයි තර්ක කරමිනි. එහෙත් දැන් එය චීනයේ නිල ආස්ථානය බව ලී විවෘතව ප‍්‍රකාශ කර ඇත.

"අගමැති ලී කෙකියාං, ජපානය සොරාගත් භූමි ප‍්‍රදේශ ආපසු දෙන ලෙස බල කරයි” යන උද්ධෘතයෙන් යුතුව ලීගේ කතාව ක්ෂනිකව වාර්තා කිරීමට චීන රජයට අයත් ෂින්හුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය පියවර ගත්තේ ය. ජර්මනියේ හා ඔස්ටි‍්‍රයාවේ පුවත්පත් ඒ හා සමාන ආකාරයකින් -එනම් දැන් මෙම දිවයින් ආපසු දෙන ලෙස බීජිනය ජපානයට බල කරන බව- ලීගේ පනිවුඩය නිර්වචනය කලේ ය.

ජපානය තමන් සිදු කල යුද අපරාධ ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳව ද ලී අගමැති ෂින්සෝ අබේ නම් නො කර, ජපාන නායකයන් විවේචනය කලේ ය. "යුදකාලීන ආක‍්‍රමනකාරීත්වය ප‍්‍රතික්ෂේප කිරීමට හෝ උත්කර්ෂයට නැංවීමට දරන ඕනෑ ම ප‍්‍රයත්නයක් ජාත්‍යන්තර නීතියට අභියෝගයක් පමනක් බව හා චීන ජනතාව එය නොඉවසනු ඇති අතර සමස්ත ලෝකය පුරා ජනතාව විසින් එය හෙලා දැකෙනු ඇතැ”යි ද ලී පැවසී ය.

ජපාන ආන්ඩුව මෙයට කෝපයෙන් යුතුව ප‍්‍රතිචාර දැක්වී ය. ලීගේ අදහස් "ඉතිහාසය මුලුමනින් ම නොතකා හලේ” යයි ප‍්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිදා සුගා ප‍්‍රකාශ කලේ ය.

"ඉතිහාසයේ හා ජාත්‍යන්තර නීතියේ කොන්දේසි වලට අනුව, සෙන්කාකු දූපත් අපගේ භූමිය වන අතර ඒවායේ පරිපාලනය ඇත්තේ අපට” යයි ඔහු අවධාරනය කලේ ය. පලමුව චීනය හා ජපානය අතර මුහුදු සීමා වෙන් කිරීම හේතුවෙන් පසුගිය දශකය පුරා ගල්පර සහිත සෙන්කාකු දූපත් පිලිබඳ අර්බුදය කැකෑරෙමින් තිබේ. එම අර්බුදය, මූලෝපායිකව වැදගත් නැගෙනහිර චීන මුහුදු පත්ලේ ඇති තෙල් හා ගෑස් සම්පත් බෙදා ගන්නේ කෙසේදැ’යි යන්න පිලිබඳව ඍජු ඇඟවුම් සහිතය.

චීනයට එරෙහිව රාජ්‍යතාන්ත‍්‍රික හා මූලෝපායික පීඩනය යොදන සිය "ආසියාවට හැරීමේ” මූලෝපායේ කොටසක් ලෙස ඔබාමා පාලනය, එය ආසියාවේ නව ගිනි පුපුරක් බවට හැරවීමට තීරනය කලේ ය. 2010 දී ජපාන වෙරලාරක්ෂකයින් චීන ධීවර බෝට්ටුවක කපිතාන් කෙනෙක් අල්ලාගත් විට දෙරට අතර කෝලාහලය තීව‍්‍ර විය.

ඩියා ඕයු/සෙන්කාකු දූපත්වල අවසන් හිමිකාරීත්වය පිලිබඳ ගැටලුවේ දී තමන් පැත්තක් නො ගන්නා බව ඔබාමාගේ ධවල මන්දිරය යලි යලිත් අවධාරනය කොට තිබුනත්, එක්සත් ජනපද-ජපාන ආරක්ෂක ගිවිසුම ට අනුව මෙම ගල්පර දූපත් තුන අරභයා යුද්ධයක් පුපුරා ගියහොත්, චීනයට එරෙහිව මිලිටරි මැදිහත් වීමක සූදානම ද සැලකිල්ලට ගැනීම වටනේ ය.

සිය මූලෝපායික කේන්ද්‍රය උතුරේ හොකයිඩෝ සිට ඩියා ඕයු/සෙන්කාකු දූපත් හා ඔකිනාවා ඇතුලු "නිරිතදිග දූපත් සමූහය” දක්වා යලි විහිදුවන, නව "ආරක්ෂක පිලිවෙතක්” සකස් කිරීමට 2010 දී එක්සත් ජනපදය ටෝකියෝව උනන්දු කලේ ය.

හිටපු ටෝකියෝ ආන්ඩුකාර ෂින්තාරෝ ඉෂිහාරා විසින් මෙහෙයවූ අන්ත-ජාතිකවාදී බලවේගයන් විසින් මුල දී ගෙන යන ලද උද්ඝෝෂනයක් තුලින් එම දූපත් ඒවායේ පෞද්ගලික හිමිකරුවන්ගෙන් "මිලට ගනිමින්” පසුගිය වසරේ සැප්තැම්බරයේ ජපාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ අගමැති යොෂිහිකෝ නෝඩා ප‍්‍රකෝපකාරී පියවරක් ගත්තේ, එක්සත් ජනපදයෙන් ලැබෙන එවන් පිටුබලයක් ද ඇතිව ය.

මෙම දූපත් මත ජපානයේ පාලනයට අභියෝග කිරීමට විටින් විට නාවික පොලිස් බෝට්ටු හා යුද ගුවන් යානා පවා යවමින් චීනය එයට ප‍්‍රතිචාර දැක්වූයේ රට තුල ජපාන විරෝධී විරෝධතා ද අවුලුවාලමිනි.

ලී පොට්ස්ඩෑම්දී එවන් ප‍්‍රකාශ කරද්දී ඩියා ඕයු/සෙන්කාකු දූපත්වල සැබෑ ගැටුමක් ඇති විය. ජපාන වෙරලාරක්ෂක නැව්වල තර්ජන නො තකා චීන නාවික නිරීක්ෂන නැව් සෙන්කාකුහි අවට මුහුදේ නාවික සැතපුම් 12ක් ඇතුලත යාත‍්‍රා කලේ, දූපත් මත ගොඩබැසීමට ගිය ජපාන දක්ෂිනාංශික විරෝධතාකරුවන් කන්ඩායමක් "නෙරපීමට” ය. ජපානයේ චීන තානාපති කාර්යාලය වෙත ටෝකියෝව "දැඩි විරෝධය” පලකලේ ය.

තවත් පෙරමුනක දී චීනය, දකුනු චීන මුහුදේ ස්ප‍්‍රැට්ල් දිවයින්හි දෙවන තෝමස් ෂෝල් දූපත් මුල්කරගෙන ෆිලිපීනය සමග නව ආරෝවක පැටලී ඇත්තේ, එහි නවතා ඇති ෆිලිපීන නැව් 12කට ආහාර සැපයීමට මැනිලාව ගත් උත්සාහය වලක්වමිනි.

එක්සත් ජනපදය, ෆිලිපීනයට ලබාදෙන පිටුබලය ප‍්‍රදර්ශනය කිරීමට "කොරල් ආරක්ෂක” අභ්‍යාස සඳහා න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන යූඑස්එස් නිමිට්ස් ගුවන්යානා හාරක නෞකාව ඇතුලු හමුදා කන්ඩායමක් යවා ඇතැයි වාර්තා වේ. එයට ප‍්‍රතිචාර ලෙස චීනය නැව්, සබ්මැරීන් හා යුද ගුවන් යානා ඇතුලු සිය නාවික හමුදා තුන යොදා ගනිමින් දුර්ලභ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කලේ, 2010 දී එක්සත් ජනපදය කහ මුහුදට යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් නෞකාව යැවීමෙන් පසුව සිදු කල එවැනි පලමුවැන්න ලෙස ය.

ජපානය හා ෆිලිපීනය කෙරේ ලීගේ දෘඪ ස්ථාවරය පිටුපසින් ඇත්තේ, භූමිභාගයන් පිලිබඳ අර්බුදවල නිරත සියලු පාර්ශව ඒ මත ස්වෝත්තමවාදය අවුලුවා කම්කරු පන්තිය බෙදීමේ යෙදී සිටින්නේය යන කාරනයයි.

ලීගේ යුරෝපා සංචාරයට පෙර චීන තන්ත‍්‍රය පූර්න පරිමාන නිදහස් වෙලඳපොල ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නිවේදනය කලේ, ආර්ථිකයේ රජය සතු ක්ෂේත‍්‍ර පුද්ගලික ප‍්‍රාග්ධනයට විවෘත කිරීමේ එල්ලය ඇතිව ය. අංක එකේ "විදෙස් ආක‍්‍රමනිකයා” ලෙස ජපානය හෙලා දකිමින් ලී, චීන ජාතිකවාදය අවුලුවමින් සිටින්නේ, ජීවන තත්ත්වයන් පහත හෙලීමේ හා රැකියා විනාශ කිරීමේ වැඩපිලිවෙල වෙතින් අවධානය ඉවතට හැරවීමට ය.

Share this article: