මූල්‍ය බුබුලු නව කඩාවැටීමක කොන්දේසි නිර්මානය කරයි

Financial bubbles creating conditions for new crash

2013 මැයි 21

අර්බුදයක් වැලැක්වීම පිනිස දරන ලද උත්සාහයේ දී ගනු ලැබූ එම පියවරයන් ම, 2008 පරිමානය පවා ඉක්මවා යන මූල්‍ය උනුවීමක කොන්දේසි නිර්මානය කිරීමෙන් සලකුනු කරන්නේ, ගෝලීය ධනේශ්වර ක්‍රමයේ පද්ධතිමය බිඳවැටීම පිලිබඳ නොවරදින සලකුනකි.

වසර පහක තරම් කාලය තුල ලෝකයේ ප්‍රමුඛ මහ බැංකු, ආර්ථික ප්‍රකෘතියක් ඇතිකර ගැනීමේ උත්සාහයක් ලෙස ප්‍රකාශිත අරමුන ඇතිව, ගනන් බලා ඇති පරිදි ඩොලර් ට්‍රිලියන 7ක අරමුදල් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කර තිබේ. ලෝකය පුරාම හෙලිදක්වන ආර්ථික දත්ත ඇඟවුම් කරන්නේ, එය පැහැදිලිවම අසාර්ථක වී ඇති බව යි.

ඒ අතරින් වඩාත් ම වැදගත් වන්නේ මිල මට්ටම් පිලිබඳ සංඛ්‍යලේඛන යි. ඊනියා "සාමාන්‍ය" තත්වයන්හි දී ප්‍රකෘතියේ සලකුනක් ලෙස ගන්නා මිල මට්ටම්වල වැඩිවීමක් නො ව මේවායින් පෙන්වන්නේ, අවධමනකාරී පිඩනයන් උග්‍ර අතට හැරෙන බව යි.

එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකය මැයි මාසයේ දී සියයට 0.4න් පහත වැටුනි. ඒ පෙන්වා ඇත්තේ, 2008න් පසු වාර්තාවුනු ලොකු ම පහත වැටීම යි. එසේ සලකුනු වූයේ අප්‍රේල් මාසයේ සියයට 0.2ක පහත යාමකින් පසුව ය. යුරෝපයේ ආහාර හා ඉන්ධන පිරිවැය අත්හල විට, පාරිභෝගික මිල ගනන්, සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් යුරෝ කලාපයේ දී, වසරකට පෙර පැවතියාට වඩා අප්‍රේල් මාසයේ දී යන්තම් සියයට එකකින් ඉහල ගියේ ය.

පහතට නැඹුරුව දුරදිග යන ඇඟවුම් සහිත ය. සිය නිෂ්පාදනයන්හි පහත වැටෙන මිල ගනන් හමුවේ ප්‍රමුඛ ව්‍යාපාර හා සංගත ලාභ ඉපැයීමට උත්සාහ කරන්නේ, ප්‍රකෘතියක් සිදුවෙමින් පවතින්නේ නම් ඔවුන් ක්‍රියා කරනු ඇති පරිදි, නිෂ්පාදනය ප්‍රසාරනය කිරීම හා ආයෝජන මගින් නො ව, දරුනු වියදම් කප්පාදු හාබැඳුනු මූල්‍ය සමපේක්ෂනයෙනි. වැටුප් හා රැකියා කප්පාදුවේ ප්‍රතිපල වශයෙන්, පාරිභෝගික ඉල්ලුම පහත වැටී අවධමනාත්මක නැඹුරුව තවදුරටත් උග්‍ර කරයි.

අනෙකුත් ආර්ථික දත්ත මේ ක්‍රියාවලිය ඉස්මතු කරයි. පසුගිය මාසයේ දී එක්සත් ජනපද කාර්මික නිෂ්පාදනය සියයට 0.5න් පහත වැටුනි. කලින් බලාපොරොත්තු වූයේ එය සියයට 0.2ක් වනු ඇති බවට යි. එක්සත් ජනපද ආර්ථිකය කිසිදු ප්‍රසාරනයක් නො පෙන්වන තතු තුල දෙවන කාර්තුවේ ප්‍රතිපලය, 2012 අවසන් කාර්තුවටත් වඩා නරක් වනු ඇතැයි යන පුරෝකථන එමගින් තවත් යථාර්ථවත් කරයි.

යුරෝ කලාපයේ විරැකියාව එක දිගට 23 වන මාසයේත් ඉහල නැඟ ඇත. එය දැන් පවතින්නේ වසරකට පෙර පැවති මට්ටමට වඩා සියයට 1.1කින් ඉහලින් සියයට 12.1 මට්ටමේ ය. යුරෝ කලාපයේ ආර්ථිකය පලමු කාර්තුවේ දී සියයට 0.2න් හැකිලුනි. එහි අර්ථය වත්මන් හැකිලීම 2008-09 අත්දුටුවාට ද වඩා කල් අල්ලන බව යි.

2008 වසරේ කඩාවැටීම ආරම්භයේ පටන් චීනයට, ගෝලීය ආර්ථිකයේ දිගුකාලීන ප්‍රසාරනයක් සඳහා පදනම සම්පාදනය කල හැකි බවට බලාපොරොත්තු පලව තිබුනි. එහෙත් මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 7.5ක් පමන වනු ඇති බව පෙන්නුම් කරමින් පසුගිය මාසයේ කාර්මික නිෂ්පාදනය හා සිල්ලර වෙලඳාම යන දෙකෙහි ම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කල ද මෙම බලාපොරොත්තු දැන් බිඳවැටී ඇත.

ගෝලීය ආර්ථිකයේ කොතැනක‍ හෝ "ඉල්ලුමේ වර්ධනයක් පිලිබඳ පැහැදිලි සලකුනු" නොමැති බව පෙන්නුම් කරමින් මෑතක දී ෆිනෑන්ෂල් ටයිම්ස් ලිපියක් සඳහන් කලේ, චීන ආර්ථිකය පිලිබඳ "කනස්සල්ල පුලුල් ලෙස පැතිර" තිබෙන බව යි. දිගු කාලයේ දී පසුගිය දශකයේ පැවති අංක දෙකේ වර්ධනය අතීතයේ දෙයක් බව පැහැදිලි කරයි. කෙටි කාලයේ දී නයෙහි ප්‍රසාරනය මගින් දල දේශීය නිෂ්පාදිතයේ නැඟීමක් ඇති කල ද මෙම නය සම්පාදනය දැන් පවතින්නේ දශකයක් තුල අවම මට්ටමේ ය.

සමස්ත ආර්ථිකයේ ප්‍රවනතාවන්ට සපුරා වෙනස් අයුරින්, මූල්‍ය වෙලඳපොලවල් පෙර නොවූ විරූ උත්පාතයක් අත් විඳියි. පසුගිය සැප්තැම්බරයේ දී ෆෙඩරල් මහ බැංකුව සිය තෙවන ප්‍රමානාත්මක ලිහිල් කිරීම දියත් කිරීමේ තැන් පටන් ඩව් ජෝන්ස් සාමාන්‍ය කාර්මික දර්ශකය සියයට 15න් ඉහල ගියේ ය. ජපානයේ මුදල් සැපයුම පිම්බිය යුතු බව කියා සිටි ආබේගේ ආන්ඩුව බලයට පත්වීමත් සමග පසුගිය දෙසැම්බරයේ පටන් නිකේ දර්ශකය සියයට 44න් ඉහල නැඟුනි. යුරෝපීය කොටස් වෙලඳපොලවල් පසුගිය ජූලියේ පටන් සියයට 30ක වර්ධනයක් පෙන්වද්දී බ්‍රිතාන්‍යයේ "ප්‍රකෘතිය," මහා අවපාතය අවධියේ අත්දුටුවාටත් වඩා දුබලව තිබිය දී පවා, එංගලන්ත මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ පිටුබලය සහිතව ෆුට්සි දර්ශකය, පසුගිය සය මාසය තුල සියයට 20ක වර්ධනයක් අත්කර ගත්තේ ය.

මෙම වර්ධනයන් මුලුමනින් ම දහනය කලේ, ප්‍රධාන මහ බැංකු විසින් මූල්‍ය ක්‍රමය තුලට මුදාහල ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් මගිනි.

එහෙත් "ප්‍රකෘතියක්" වෙනුවට පිම්බුනු කොටස් වෙලඳපොලවල් සලකුනු කරන්නේ, ධනේශ්වර ක්‍රමයේ ගැඹුරුවන අර්බුදය පිලිබඳ උන රෝගී ප්‍රස්ථාරයකි. මූල්‍ය වෙලඳපොලවල්, යටින් දිවෙන ආර්ථික ක්‍රියාවලියෙන් මෙතරම් නම් අපසරනය වීමක් ලෝක ධනවාදයේ ඉතිහාසය තුල දක්නට ලැබී නැත.

ගෝලීය වෙලඳපොලවල මෙම පෙර නොවූ විරූ නැඟීම, කඩාවැටීමක් සඳහා කොන්දේසි නිර්මානය කරන බවට කනස්සල්ලක් දල්වා ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස්හි ගිලියන් ටෙට් සඳහන් කල පරිදි, "මහ බැංකුවල දෝරේ ගලන ද්‍රවශීලතාව, පද්ධතියට සුලු කම්පනයන් උරාගැනීමේ හැකියාව ඇති කර තිබෙන නමුත්, කම්පනයක් පහර දෙන්නේ නම් එය, අනාගතයේ ප්‍රචන්ඩ අස්ථාවරත්වයන් ක්ෂනිකව නැගී ඒමේ විභවය සහිතව මතුපිටට කඩා වැදිය හැකි, අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් හා බිඳීම් රොත්තක් වසං කරන්නේ ද වෙයි."

කුමන හෝ තාර්කික විශ්ලේෂනයක්, වත්මන් කොන්දේසි ව්‍යසනයක් සඳහා මඟ පාදන්නේය යන කාරනය පෙන්නුම් කරන අතර සමපේක්ෂනයේ උමතුව එහි ම මුග්ධ තර්කයට අනුව දිගට ම පවතින්නේ ය. එක්සත් ජනපදයේ යෝධ සිටි ගෲප් බැංකුවේ එවක සිටි ප්‍රධාන විධායකයා වූ චක් ප්‍රින්ස් 2007 ජූලියේ දී කල සඳහන ප්‍රකට ය: "සංගීතය වාදනය වනතාක් දුරට ඔබ කල යුත්තේ, නැගී සිට නැටීම යි." යාන්තම් වසරකට පසුව, ගෝලීය මූල්‍ය පද්ධතිය 1930 ගනන් වලින් මෙපිට එය මුහුන පෑ දරුනු ම අර්බුදයට ඇද වැටුනි.

අද දිනයේ ඒ සඳහා පවතින තත්වයේ විභවය, පස් වසරකට පෙර පැවතියාට වඩා බෙහෙවින් පුපුරන සුලු ය. මක්නිසා ද යත්, 2008 දී මෙන් නොව, ආන්ඩු නය හා අනෙකුත් මූල්‍ය වත්කම් ඩොලර් ට්‍රිලියන ගනනින් ගොඩගසාගෙන සිටින මහ බැංකු, වෙලඳපොලවල ප්‍රධාන ක්‍රීඩකයින් බවට පත්ව සිටින අතර මූල්‍ය වෙලඳපොලවල කඩාවැටීමක දී එහි සෘජු බලපෑමට මුහුන දී සිටීම නිසා ය.

එම බැංකු තමන්ගේ ම කටයුතු තුලින් එන්ට එන්ට ම උගුලක සිරවෙමින් සිටියි. මූල්‍ය දිරිගැන්වීම් අත්හිටුවීමක් බුබුල බිඳවැටීමේ තර්ජනය ගෙන එයි. ඒ සමග ම, තව තවත් මුදල් පොම්ප කිරීමෙන් ඒවා, ගොහොරුවේ වඩාත් ගැඹුරට එරී යයි.

පසුගිය සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථශාස්ත්‍රඥයෝ, ලාභ මුදල් ප්‍රතිපත්ති අවසන් කිරීම, පොලී අනුපාතික ඉහල යෑමේ හා බැඳුම්කරයන්ගේ මිල පහත වැටීමේ හැකියාව ඇති කරමින්, මහ බැංකු දැවැන්ත අලාභ අත්විඳීමේ තත්වයකට ඇද දමනු ඇති බවට අනතුරු අඟවන විශ්ලේෂනයක් ඉදිරිපත් කලහ. එවැනි තත්වයක දී ෆෙඩරල් මහ බැංකුව දල ජාතික නිෂ්පාදයෙන් (දදේනි) සියයට 4ක් තරම් වන ඩොලර් බිලියන 628ක් ද ජපාන මහ බැංකුව දදේනි සියයට 7.5ක් ද එංගලන්ත මහ බැංකුව සියයට 6ක් තරම් ද අලාභ ලබනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, නව මූල්‍ය කම්පනයක්, මහ බැංකුවලම ස්ථාවරභාවය ප්‍රශ්නයට බඳුන් කල හැකි ය. 2008-09 දී මෙන් නො ව ඒවා ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට අසමත් වනු ඇත.

ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදයට බොහෝ දුර දිවෙන දේශපාලන ඇඟවුම් ඇත.

ජනගහනයේ වඩ වඩාත් පුලුල් කොටස් අතොරක් නැතිව දුප්පත්කමට ඇද වැටෙද්දී, බැංකු හා සමපේක්ෂකයින්ගේ සේප්පුවලට ඩොලර් බිලියන සිය ගනන් පුදකරන අතර මූල්‍ය ප්‍රභූව ඔවුන්ගේ කටයුතු තුලින් වාසි ලබන ආකාරය පසුගිය පස් වසර තුල දැක ගන්නට ලැබුනි. මෙම පියවර ආර්ථික "ප්‍රකෘතියක්" ඇතිකරනවා වෙනුවට සූදානම් කර ඇත්තේ, ඊටත් වැඩි විනාශයන් කරා ඇද වැටෙන මාවතකි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ප්‍රතිචාරය දැනවීමට සූදානම් විය යුතු ය. එනම්, අසාර්ථක ධනේශ්වර ක්‍රමය විප්ලවවාදී අරගලයකින් පෙරලා දැමීම සඳහා දේශපාලන බලය අල්ලා ගන්නා අරගලයකට ය. එමගින් සමාජය සමාජවාදී පදනම් මත ප්‍රතිනිර්මානය කිරීමට ය.

නික් බීම්ස්

Share this article: