බැංකුවල, බැංකු විසින් හා බැංකු සඳහා ආන්ඩුව

Government of, by, and for the banks

2013 මැයි 25

2008 මූල්‍ය උනුවී යාමේ සිට වසර පහකට පසු බිඳ වැටීමට හේතු වූ සමපේක්ෂන හා වංචා සම්පූර්න බලයෙන් යුක්තව එක්සත් ජනපදයට නැවත පැමිනේ. ෆෙඩරල් මහ බැංකුව විසින් සෑම මාසයක ම අච්චු ගසා බැංකවලට පුද කරනු ලබන මුදලින් ඩොලර් බිලියන 85ක වාසිය ද ලබාගනිමින් වෝල් වීදියේ කැසිනෝ ව්‍යාපාරය සරුවෙමින් තිබේ. පහත වැටෙන වැටුප් හා මහජන දරිද්‍රතාව මධ්‍යයේ කොටස් වටිනාකම් වාර්තාගත මට්ටම් කරා නැගී ඇති අතර බැංකුවල ලාභ ද එසේ ම ය.

මෙම තතු යටතේ, ආන්ඩුවේ මුදල් ඇප දීමේ නීතිවල පරාසය පුලුල් කර, මූල්‍යම සමපේක්ෂනය මත පැනවී ඇති පටු සීමාවන් පවා බිඳ දමන ලෙස බැංකු බල කරමින් සිටියි. එල්ලය සරල ය: බුබුල පිපිරුවහොත් එවිට, බැංකුවලට ආන්ඩුවේ උපරිම සහාය ඇතිව බාධාවකින් තොර ව සමපේක්ෂන කටයුතුවල යෙදීමට උපරිම හැකියාව ලබාදීම යි.

නීති සකස් කරන දේශපාලකයන් මුදලට ගෙන ගෙවීම් කිරීම තවදුරටත් අවශ්‍ය නොවන හා බැංකු විසින් ම ඒ දේ කරගන්නා තැනට බැංකු, ආන්ඩුවේ නාස් ලනුව ඇදීමට තරම් සිය ග්‍රහනය දැඩිකර ඇත.

ෆෙඩරල් තැන්පතු රක්ෂන සංස්ථාව (එෆ්ඩීඅයිසී ) මගින් ආපදා රක්ෂන ආවරනය සඳහා සුදුසුකම් ඇති මූල්‍ය ආයතන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පුලුල් කරන, පාර්ලිමේන්තු මූල්‍ය සේවා කමිටුව විසින් මේ මාසයේ සම්මත කල එච්ආර් 992 පනතේ තත්වය මෙය යි. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපක්ෂයේ ම බහුතරය සහිතව සම්මත වූ කෙටුම්පත මගින්, අන්තරායකාරී හා බොහෝකොට ම නියාමනය නොකරන ලද ව්‍යුත්පන්නයන්, එනම් හුවමාරු, වෙලඳාමේ යෙදී සිටින මූල්‍ය ආයතන, එෆ්ඩීඅයිසී මගින් ආවරනය කිරීමට වැට බඳින ලද පූර්වයෙන් පැවති නීතිය සංශෝධනය කෙරේ.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය සිකුරාදා වාර්තා කලේ, එය පරීක්ෂා කල විද්‍යුත් ලිපි අනුව, කෙටුම්පතේ පේලි 85න් 70ක් ම පදනම් වූයේ එක්සත් ජනපදයේ විශාල ම බැංකුවලින් එකක් වන සිටිගෲප් බැංකුවේ නිර්දේශ මත ය යන්න යි. ආසන්න වශයෙන් ඡේද දෙකකට, බැංකුව විසින් නීති සම්පාදකයින්ට ලියන ලද විද්‍යුත් ලිපියකින් ගෙන වචනයෙන් වචනය ඇතුලත් කෙරිනි.

2010 ජූලි මාසයේ දී අත්සන් කෙරුනු ඩොඩ්-ෆ්‍රෑන්ක් පනත මගින්, වෝල් වීදියේ ප්‍රතිසංස්කරන හා පාරිභෝගික ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන් සීමා කර ඇත. බොහෝ කොටම මෙම නීතිය, ඔබාමා පාලනයේ ප්‍රචාරක පියවරකි. මූල්‍ය සමපේක්ෂන මත කඩාපැනීමක් ලෙස පෙන්නුම් කෙරුන ද යතාර්ථයේ දී එය, සුපුරුදු පරිදි බැංකුවලට ව්‍යාපාර කර ගෙන යාමට ඉඩ දෙයි.

නීති සැකසීම වෙනුවට ඩොඩ්-ෆ්‍රෑන්ක් පනත, නියාමකයන් විසින් අනාගතයේ යම් අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබෙන නීති මාලාවක් සඳහා හුදෙක් වරපත්‍රය දී ඇතුවා පමනි. ආසන්න වශයෙන් පනත ක්‍රියාත්මකව පැවති වසර තුනකට පසු ද මෙම නීතිවලින් අති බහුතරය බල ගන්වා නැත.

ඩොඩ්- ෆ්‍රෑන්ක් පනත නියෝග කල නියාමන නීති 135න් ක්‍රියාත්මක කෙරී ඇත්තේ 40ක් පමනි. තැන්පතු භාර ගන්නා ආයතන මූල්‍ය සමපේක්ෂන ක්‍රියාත්මක කිරීම වලක්වන "වොල්කර් නීතියක්" සැකසීම සඳහා පනතේ පුරසාරමට ලක් වූ නියෝගය හිස් කඩදාසියක්ව පවතී. (වොල්කර් නීතිය යනු ඇමරිකානු අර්ථශාස්ත්‍රඥයෙකු හා එක්සත් ජනපදයේ ෆෙඩරල් මහබැංකුවේ හිටපු සභාපතියෙකු වන පෝල් වොල්කර් විසින් මුලින් ම යෝජනා කරන ලද නීතියකි.)

තව ද, ඩොඩ් - ෆ්‍රෑන්ක් පනතේ ප්‍රතිපාදන බොහොමයක්, විය යුතු පරිද්දෙන් ම බල රහිත වන අතර, ඉහත විස්තර කෙරුනු එච්ආර් 992 වැනි, කොන්ග්‍රසය ඊට පසු පනවන ලද පනත් මගින් පතුරු යවමින් තිබේ.

බැංකුවල ඉල්ලීම්වලට අනුකූලව ක්‍රියා කරන නියාමකයන් විසින් ක්‍රිමක කෙරී ඇති ප්‍රතිපාදනයන් පවා තවදුරටත් දුර්වල කොට ඇත. පසු ගිය සතියේ දී, අනාගත භාන්ඩ වෙලඳාම පිලිබඳ කොමිසම, අනෙකුත් වත්කම් වටිනාකම් මත පාදක සමපේක්ෂන මූල්‍ය ගනුදෙනුවල යෙදී සිටින්නන්ගේ ව්‍යුත්පන්න මත රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අනුමත කලේ ය. මෙම රෙගුලාසි මගින් ඩොඩ්-ෆ්‍රෑන්ක් යටතේ යෝජිත කරුනු සැලකිය යුතු ලෙස බෙලහීන කෙරුනි.

කොමිසම ආරම්භයේ දී යෝජනා කර තිබුනේ, ව්‍යුත්පන්න මිල දී ගන්නන්, කොන්ත්‍රාත්තුවක මිල නියම කිරීමට බලාපොරොත්තු වන විට බැංකු පහක් සම්බන්ධ කර ගැනීමට අවශ්‍යය යි යනුවෙනි. නව නීතිය යටතේ, මිල දී ගන්නන්ට අවශ්‍ය වන්නේ බැංකු දෙකක් සම්බන්ධ කර ගැනීම පමනි. එමගින් නියාමනය නොකල ඩොලර් ප්‍රකෝටි ගනනක ව්‍යුත්පන්න වෙලඳපොලේ බෙහෙවින් ආධිපත්‍යය දරන අතලොස්සක් ආයතනවල ඒකාධිකාරය තවදුරටත් දැඩි කරයි.

කොටස් නිකුත් කරන්නන් විසින් කරන මිල උලුප්පාලීම වඩාත් අමාරු කරන, ගැනුම්කරුවන්ට වෙලඳපොලේ මිල ගනන් ගැන මනා වැටහීමක් ඇතිකරගත හැකි වන පරිදි, ව්‍යුත්පන්න වෙලඳාම කොටස් වෙලඳපොලවලදී මෙන් ඉලෙක්ට්‍රොනික් මෙවලම් යොදාගෙන කල යුතු යයි පනතෙහි මුලින් යෝජනා කෙරී තිබුනි. එහෙත් අවසන් නීති මගින් ව්‍යුත්පන්න වෙලඳාමෙන් බොහෝ කොටසක් දුරකථන මාධ්‍ය කරගෙන සිදුකිරීමට ඉඩ ලබා දීම නිසා ඒවා නියාමනය කල නොහැකි දෙයක් බවට පත් විය.

2008 මූල්‍ය බිඳවැටීම වෝල් වීදිය විසින් ඉවබව නැතිව නීති කැඩීම සමග ඍජුව ඈඳී තිබීමේ තතු පිලිබඳව විමර්ශනයෙහි යෙදුන සෙනේට් සභා ස්ථාවර උපකමිටුවේ 2011 වර්ෂයේ වෙලුම් ගනනාවක වාර්තාව ඇතුළු ව සාක්ෂි කන්දරාවක් තිබියදීත්, ප්‍රධාන බැංකුවක එක විධායකයෙකුට හෝ සාපරාධී නඩු පවරා නොමත. හිරේ වැටුනු කිසිවෙකු ද නැත.

වෝල් වීදියේ යෝධයන් මූල්‍ය අර්බුදයෙන් මතුවූයේ කවදාවත් නොවූ තරම් විශාලව හා වඩා බලගතුව ය. පසු ගිය වසරේ ජේපීමෝගන් හි ඩොලර් බිලියන 6ක ගනුදෙනු පාඩුව පිලිබඳ ආන්ඩුවේ විමර්ශනය පෙන්වන ලද පරිදි, කඩා වැටීමට කලින් පැවතුනාක් මෙන්ම ඔවුන්ගේ කටයුතු දැනුත් සමපේක්ෂනාත්මක මෙන් ම පරපුටු ය.

මහ බැංකු විසින් මූල්‍ය වෙලඳපොලට පොම්ප කරනු ලබන විශාල මුදල් කන්දරාව සමග ගත් කල, මෙම සාධක, නව මූල්‍ය කඩාවැටීමක් අනිවාර්ය බව පෙන්නුම් කරයි.

මේ සියල්ල හමුවේ ආන්ඩුවේ කාර්යභාරය වී ඇත්තේ, රෙගුලාසි තිබෙන බව මවාපෑමට උත්සාහ දරමින්, වෝල් වීදියට හිතුමතේ වැඩ කිරීමට අවසර දෙන අතර බැංකුවල අපරාධ වසං කිරීම හා ඒවාට වරදාන පිලිගැන්වීම යි.

බැංකු හා ආන්ඩුව අතර ප්‍රධාන බැම්ම ඔබාමා පාලනය ම වන අතර සිදු කරන සෑම නව පත්කිරීමක් සමගම එය, පෙර නොවූ විරූ අකාරයකට, බැංකු හා මූල්‍ය කතිපයාධිකාර‍යේ, ඒවා විසින් හා ඒ සඳහා ආන්ඩුව බවට පත් වෙයි.

ජනාවාරි මාසයේ දී ඔබාමා, භාන්ඩාගාර ලේකම් ලෙස, නිවාස වෙලඳපොල කඩාවැටෙද්දී එය වසං කර ඔට්ටු ඇල්ලූ සිටි ගෲප්හි විකල්ප ආයෝජන ඒකකයේ ප්‍රධාන කාර්යධරයා වශයෙන් කටයුතු කරමින් ඩොලර් මිලියන ගනනින් උපයා ගත් ජැකොබ් ලෙව් පත් කලේ ය.

මේ මාසයේ දී ඔහු, හෝටල් හිමිකාරිනියක හා පෞද්ගලික ව්‍යාපාරික වස්තු සමාගමක් මෙහෙයවන පෙනී ප්‍රිට්ස්කර් වානිජ්‍ය ලේකම් ලෙස පත් කලේය. ඩොලර් බිලියන 1.85 ශුද්ධ වත්කමක් සහිත ප්‍රිට්ස්කර්, එක්සත් ජනපද ඉතිහාසයේ ජනාධිපතිගේ කැබිනට්ටුව තුල සේවය කරන පොහොසත් ම කෙනා ය.

මෙම වර්ධනයන් පෙන්වන්නේ, වර්තමාන දේශපාලන ක්‍රමය තුල මූල්‍ය අපරාධකරුවන් පාලනය කිරීමේ නොහැකියාව යි. ආන්ඩුව හා පක්ෂ දෙක සේවය කරන්නේ, එක්සත් ජනපද දේශපාලන ජීවිතය මත ඒකාධිපතිත්වයක් පවත්වා ගෙන යන බැංකුකරුවන්ගේ පනිවුඩකරුවන්ට මදක් ඉහලින් ය.

ආන්ද්‍රෙ ඩැමෝන්

Share this article: