හිටපු ආඥාදායක මුෂාරෆ් රඳවා තැබීම පකිස්ථානයේ ආතතීන් උග්‍ර කරයි

Detention of ex-dictator Musharraf adds to tensions in Pakistan

විලානි පීරිස් විසිනි , 2013 මැයි 8

එක්සත් ජනපදයේ පිටුබලය සහිතව බලයේ සිටි හිටපු ආඥාදායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ් රාජද්‍රෝහී චෝදනා මත රඳවාගෙන සිටින අතර ඉස්ලමාබාදයේ ත‍්‍රස්ත විරෝධී අධිකරනය විසින් එම කාලය මැයි 18 දා දක්වා දීර්ඝ කර ඇත.

කෙසේ වෙතත්, රටේ මැතිවරනය පැවැත්වෙන කාලයට පත්ව සිටින භාරකාර ආන්ඩුව, මුෂාරෆ්ට එරෙහි චෝදනාවන්ට සහාය දීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ, තමන් පත්ව ඇත්තේ, ව්‍යවස්ථානුකූලව ”මතභේදයට තුඩු දෙන කිසිදු පියවරක් ගැනීමෙන්” වලකින බවට දුන් පොරොන්දුවක් මත යයි පවසමිනි. පකිස්ථානු නීතියට අනුව රාජ්‍ය ද්‍රෝහී චෝදනා නැගිය හැක්කේ ආන්ඩුවට පමනි.

මුෂාරෆ් 2007 නොවැම්බර් මාසයේ හදිසි නීති පාලනය ඇටවීම හා පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරනයේ අග විනිසුරු හා අනෙකුත් ප‍්‍රමුඛ විනිසුරුවන් තනතුරු වලින් පහකොට, අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තැබීම මත, පසුගිය අපේ‍්‍රල් 19 දා අත්අඩංගුවට ගන්නා ලදී.

මුෂාරෆ් තවත් ඉහල මට්ටමේ කරුනු ගනනාවක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා සිටියි. 2007 දෙසැම්බරයේ හිටපු අගමැති හා පකිස්ථාන ජනතා පක්ෂයේ (පීපීපී) ජීවිත කාලීන සභාපති වූ බෙනාසිර් භූටෝ ඝාතනය හා 2006 අගෝස්තුවේ හිටපු බලුකිස්ථාන ආන්ඩුකාර හා ගෝත‍්‍රික නායකයෙක් වූ නවාබ් අක්බාර් බුග්ටි මරාදැමූ මිලිටරි ප‍්‍රහාරයට මුෂාරෆ්ගේ සම්බන්ධය ඊට ඇතුලත්ය. පකිස්ථාන රාජ්‍යයට එරෙහිව බලුකිස්ථාන ජාතිකවාදී කැරැල්ලක් මෙහෙයවීම පිලිබඳව ආන්ඩුව බුග්ටිට චෝදනා කොට තිබුනි.

මුෂාරෆ් වසර හතරක් ස්වයං පිටුවහලේ සිටීමෙන් පසුව මාර්තු මාසයේ යලි පකිස්ථානයට පැමිනියේ, 2010දී ඔහු විසින් පිහිටුවාගත් පක්ෂය වන සමස්ත පකිස්ථානු මුස්ලිම් ලීගයේ නායකයා ලෙස මැයි 11 ජාතික සභාවේ මැතිවරනයට තරග වැදීමේ සිය බලාපොරොත්තුව පල කරමිනි. එහෙත් මැතිවරන බලධාරීන් හා අධිකරනය, ඔහුට එරෙහිව ඇති අපරාධ චෝදනා ගනනාවක් ගැන සඳහන් කරමින්, මැතිවරන කොට්ඨාශ හතරකට තරග වැදීම සඳහා ඔහු ඉදිරිපත්කල ඉල්ලුම්පත් ප‍්‍රතික්ෂේප කලේය.

පකිස්ථානයේ ෆෙඩරල් පරීක්ෂන ඒජන්සියේ ප‍්‍රධාන අභිචෝදකයා වූ චෞද්රි සුල්ෆිකාර් අලි, පසුගිය සිකුරාදා ඉස්ලමාබාදයේ සිය කාර්යාලය බලා යන අතරතුර නොහඳුනන තුවක්කුකරුවන් විසින් මග රැක සිට මරා දමා ඇත. අලි වැදගත් නඩු ගනනාවක්ම භාරව කටයුතු කල අතර භූටෝ ඝාතනයට සම්බන්ධ නඩු ද පකිස්ථානු ජාතික ආරක්ෂක යාන්ත‍්‍රනයේ කොටස් සමග සම්බන්ධකම් පවත්වන 2008 නොවැම්බරයේ ඉන්දියාවේ මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින ඉස්ලාමීය කන්ඩායමක් වන ලෂ්කා ඊ ටයිබාහි සාමාජිකයින් හත් දෙනෙක් සම්බන්ධ නඩු ද ඒ අතර වේ.

ප‍්‍රමානවත් ආරක්ෂාවක් සැලසීමට අපොහොසත් වීමෙන් භූටෝගේ ඝාතනයට ආධාර හා අනුබල දුන් බවට මුෂාරෆ් හා තවත් විශ‍්‍රාමලත් ජෙනරාල්වරු ගනනාවකට චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මරන තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් පසුගිය මාසයේ අලි තමන්ගේ ආරක්ෂාව තරකරන ලෙස ඉල්ලා තිබුනි. බීබීසී පුවත් සේවයට අනුව, භූටෝගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට අලිගේ මූලිකත්වය ගැනීම ගැන ”මිලිටරියේ සමහර කොටස් කෝපයට පත්ව සිටියහ.”

මැයි 11 දා පැවැත්වීමට නියමිත ජාතික සභා හා පලාත් පාලන මැතිවරන ව්‍යාපාරය ගෙන යන්නේ ආන්තික දේශපාලන අර්බුදයක් හා නැගී යන ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ගේ කොන්දේසි යටතේය. වයඹදිග පකිස්ථානය තුලට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් එල්ල කරන මාරක ඩ්‍රෝන් ප‍්‍රහාර හා එහි ඇෆ්පැක් යුද්ධයේ බරෙන් වැඩි කොටසට කර ගසන ලෙසට පකිස්ථානයට කෙරෙන අතොරක් නැති බලපෑම හමුවේ, දුගී භාවයේ ගිලී සිටින රටේ වැඩි කොටසක් සිවිල් යුද්ධය තුලට ඇද වැටී ඇත.

ඇෆ්ගනිස්ථාන තලිබාන්වරු සමග සම්බන්ධකම් ඇති පකිස්ථාන ටෙහ්රික් ඊ තලිබාන් (ටීටීපී) සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද යුද්ධයට සහයෝගය දී ඇති පරන පාලක සභාගයේ කොටස්කාර, අවාමි ජාතික පක්ෂය ද මුටොහිඩා කුවොමි ව්‍යාපාරය හා පීපීපීය ද ඉලක්ක කරමින් ප‍්‍රහාර එල්ල කරති. එහි ප‍්‍රතිපල වශයෙන් මෙම පක්ෂ, බොහෝ රැස්වීම් හා අනෙකුත් විශාල මැතිවරන ප‍්‍රචාරක කටයුතු අවලංගු කර තිබේ. බලුකිස්ථානයේදී වාර්ගික බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්, මැතිවරන කාර්යාලවලට හා අපේක්ෂකයින්ට පහරදී ඇත.

මධ්‍යම ආන්ඩුවේ පාලනය යටතේ පවතින එක් ගෝත‍්‍රික ප‍්‍රදේශයක දී 6 දා, ඉස්ලාම් මූලධර්මවාදී ජමියාට් උලෙමා ඊ ඉස්ලාම් (ජේයූඅයි) විසින් සංවිධානය කල මැතිවරන රැස්වීමකට සහභාගී වූ 24 දෙනෙකුට මරු කැඳවූ බෝම්බ පිපිරවීමක් කුරාම්හි දී සිදුවිය. ටීටීපීය ප‍්‍රහාරයේ වගකීම භාරගනිමින් කියා සිටියේ, ජේයූඅයි ප‍්‍රාදේශීය අපේක්ෂකයා සිය සාමාජිකයින් එක්සත් ජනපදයේ ඒජන්තයින් වන පකිස්ථාන ආරක්ෂක හමුදාවට පාවාදී ඇති බවයි. ප‍්‍රධාන කොට ම පකිස්ථානයේ කයිබර් පක්ටුන්ක්වා පලාතේ දී 17 දා බෝම්බ දෙකක් පිපිරී ගියේය. තවත් ඉස්ලාම් මූලධර්මවාදී පක්ෂයක් වන ජමයිට් උලෙමා අයි ඉස්ලාම් සංවිධානය කල රැුස්වීමකට සහභාගී වූ පුද්ගලයින් 10 දෙනෙක් ද පීපීපීයේ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගී වූ හය දෙනෙක් ද ඉන් මිය ගියේය. දැනට මුෂාරෆ් නිවාස අඩස්සියේ රඳවා සිටින්නේ ඔහුට අයත් අක්කර 6,000ක ගොවිපලක් තුලය.

භාරකාර ආන්ඩුව මුෂාරෆ්ට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී චෝදනා ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කරන්නේ, දැවැන්ත දේශපාලන හා ආර්ථික බලයක් දරා සිටින හා රටේ ජාතික ආරක්ෂක හා විදේශ ප‍්‍රතිපත්ති එක එල්ලේ පාලනය කරන මිලිටරිය, නව වසරක් එරට සන්නද්ධ හමුදාවන්ට නායකත්වය දුන් පුද්ගලයෙකුට චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇත් ද යන බිය නිසාය.

ඩෝන් යන පකිස්ථානයේ ප‍්‍රධාන දිනපතා පුවත්පතක් අපේ‍්‍රල් 27දා වර්තා කලේ, කුඑටාහි මිලිටරි විද්‍යාලයේ නිලධාරීන් 75 දෙනෙකුගෙන් යුත් නියෝජිත කන්ඩායමක් ආරක්ෂාව පිලිබඳ සෙනේට් ස්ථාවර කමිටුවේ සභාපති මුෂාහිඞ් සායෙඞ් හමුවී මුෂාරෆ් අත්අඩංගුවට ගැනීම හා දේශපාලඥයින් මැතිවරන රැස්වීම්වල දී මිලිටරිය ”විවේචනය” කිරීම කෙරෙහි තම විරුද්ධත්වය පල කලහ.

සියලූ වාර්තාවලට අනුව මුෂාරෆ්, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඬීම, ආර්ථික අනාරක්ෂිත භාවය හා දුප්පත්කම උග‍්‍රවීමට තුඩුදුන්නාවූ වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති සඳහා මූලිකත්වය ගැනීම, ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට හා පකිස්ථානය තුල එක්සත් ජනපද ඩ්‍රෝන් ප‍්‍රහාරයන්ට පහසුකම් සැපයීමේ දී ඔහු ඉෂ්ට කල ක‍්‍රියා කලාපය, ඇෆ්ගනිස්ථානයට මායිම් වන ගෝත‍්‍රික තීරුවේ බලුකිස්ථාන ජාතිකවාදී ත‍්‍රස්තවාදීන්ට හා තලිබාන් සමග සම්බන්ධ කන්ඩායම් වලට එරෙහිව රුදුරු මිලිටරි මෙහෙයුම් වලට අන දීම පිලිබඳව පුලූල් වශයෙන් අපකීර්තියට පත්, බලයෙන් පහවූ අයෙකු ලෙස මනාව හඳුනාගෙන සිටින මිලිටරිය, පකිස්ථානයට යලි නොපැමිනෙන ලෙස මුෂාරෆ් ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත.

කෙසේ වෙතත්, මිලිටරියේ ඉහල නිලධරයට, තමන්ගේ ම කීර්තිය හා බලය පරදුවට තැබීමෙන් තොරව, මුෂාරෆ්ගේ ඉරනම පිලිබඳව නිහඬව සිටිය නොහැක. වත්මන් හමුදා නායක ජෙනරාල් කියානි හා අඩුම තරමින් තවත් සේනාංක ආඥාපතීන් නව දෙනෙකු ද ඇතුලු වත්මන් නායකත්වයේ බොහොමයක්, ඉහල තනතුරුවලට උසස් කරන ලද්දේ මුෂාරෆ් විසිනි. පකිස්ථානයේ ”ප‍්‍රධාන විධායකයා” හා ජනාධිපති ලෙස ඔහු සේවය කල අට වසරක කාලය තුල මිලිටරිය, සිය ආර්ථික බලය බෙහෙවින් පුලුල් කර ගත්තේය.

පකිස්ථානයේ දේශපාලන පක්ෂ සියල්ලම, පුලූල් ජනතා සහායක් ලැබිය හැකි බව හොඳින්ම දන්නා බැවින් මුෂාරෆ්ට නඩු පැවරීම සඳහා සිය සහයෝගය පල කරති.

එහෙත් දේශපාලන සංස්ථාපිතය හා අධිකරනය යන සියල්ලෝම, ධනේශ්වරයේ පන්ති පාලනයෙහි ආරක්ෂක පවුර ලෙස මිලිටරිය හා ප‍්‍රතිගාමී පකිස්ථාන-එක්සත් ජනපද මිලිටරි මූලෝපායික සන්ධානය පිලිගන්නා අතර ඔහුගේ අපරාධ පිලිබඳව දක්වන්නේ නොතකන ප‍්‍රතිචාරයකි.

පීපීපීය හා ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන ටෙය්රීක් ඊ ඉන්සාෆ්, 1999 මුෂාරෆ්ගේ කුමන්ත‍්‍රනයට ශුභ පැතූහ. බුෂ් පාලනය යටතේ කපුකම් කරන ලද ගිවිසුමකට අනුව ව්‍යාජ ලෙස මුෂාරෆ් ජනාධිපති ලෙස යලි තේරී පත්වීමට බෙනාසිර් භූටෝ හා ඇගේ පීපීපීය උදව් දුන්නේය. මුෂාරෆ් හා ඔහු වටා සිටි කල්ලිය මොනම ආකාරයකින් හෝ බලය බෙදාගැනීම මගහැර, ඔහුගේ තන්ත‍්‍රය නගාසිටුවීමේ හා ඇෆ්ගන් යුද්ධය සඳහා පකිස්ථානයේ සහයෝගය පුලුල් කිරීම අරමුනු කරගෙන භූටෝ ජෙනරාල්ගේ අගමැති ලෙස සේවය කල යුතු බව කියා සිටීමත් සමග ගිවිසුමේ ස්වභාවය පසුව හෙලිදරව් විය.

පකිස්ථාන මුස්ලිම් ලීගයේ (නවාස්) නායක නවාස් ෂරීෆ්, 1999දී තමා බලයෙන් පහකිරීම සම්බන්ධව මුෂාරෆ්ට කිසි විටෙකත් සමාව නොදෙයි. එහෙත් ඔහු ද, කලින් හිටපු මිලිටරි නායකයා හා ප‍්‍රතිගාමී ”ඉස්ලාමීයකරන” පිලිවෙතේ නිර්මාතෘ වූ ජෙනරාල් සියා උල්හක්ගේ දේශපාලන හෙංචයියෙක් විය.

මුෂාරෆ් තන්ත‍්‍රයේ අටවන වසරේදී ඔහු සමග භේද වූ ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කල මුහමඞ් ඉෆ්ටිකාර් චෞද්රි, ඊට කලින් මුෂාරෆ්ගේ කුමන්ත‍්‍රනයට ව්‍යවස්ථාමය පැලැස්තරයක් ගැසීම සඳහා අනෙකුත් ඉහල පෙලේ විනිසුරුවන් සමග එක්ව තිබුනි. ඔහු අග‍්‍ර විනිශ්චයකරු ලෙස උසස් කරන ලද්දේ ද අන් කවරෙකුවත් නොව ජෙනරාල් විසින් ම ය.

නිල වශයෙන් මිලිටරිය මුෂාරෆ් අත්අඩංගුවට ගැනීම පිලිබඳව කිසිවක් කියා නැත. එහෙත් පකිස්ථානයේ මිලිටරි ”විරුවන්” සැමරීමට අපේ‍්‍රල් 30දා පැවති උත්සවයක දී කථාකරමින් කියානි මෙසේ පැවසීය. ”අප ඡුන්දය දීමේදී තනිකරම කුසලතාවය හා නිපුනත්වයේ පදනම මත, සියලූ වාර්ගික, භාෂාමය හා නිකායික පක්ෂපාතිත්වයන්ට ඉහලින් නැගී සිටීමට සමත් වන්නේ නම්, ආඥාදායකත්වයන් පිලිබඳව බියවීමට කිසිදු හේතුවක් ඇත්තේ නැත.” මිලිටරිය පුරුද්දක් වශයෙන් සිවිල් ආන්ඩුවල අදක්ෂතාවය හා දූෂනය, බලය අල්ලා ගැනීම යුක්තිසහගත කිරීම පිනිස යොදාගෙන තිබේ.

එක්සත් ජනපද සෙනේට් සභික ජෝ මැක්ඩොනල්ඞ් හා පක්ස්ථානයේ තානාපති රිචඞ් ඔල්සෙන්ටෝ විසින් මෙහෙයවන ලද සමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් කොන්ග‍්‍රස් නියෝජිත කන්ඩායමක් මුෂාරෆ් අර්ධ වශයෙන් සිරගතකොට සිටින ඔහුගේ නිවසේදී ඔහු සමග රහසිගත රැුස්වීමක් පැවැත්වූ බවට විශ්වාස කටයුතු මූලාශ‍්‍රයන්ගෙන් ලබාගත් තොරතුරු මත මැයි 02 දා පකිස්ථානයේ ද නේෂන් පුවත්පත වාර්තා කලේය. වාර්තාවට අනුව මුෂාරෆ්ට, පකිස්ථානයෙන් "ගෞරවනීය” පිටව යාමක් අවශ්‍ය විය. පසුව නියෝජිත කන්ඬායම ආන්ඩුවේ නායකයින් හා ජෙනරාල් කියානි ද හමුවූ බව සඳහන් වේ.

මුසාරෆ් සමග කිසිදු හමුවක් සිදුවූයේ නැති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටින නමුත්, පුවත්පත සිය වාර්තාව නිවැරදි යයි තහවුරු කරයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට, මුෂාරෆ්ගේ ඉක්මන් හා සුරක්ෂිත පිටවීමක් අවශ්‍ය කෙරෙන හේතු බොහොමයක් ඇත. ඔහු, පකිස්ථානය රටින් පිට සීඅයිඒ වධකාගාරයක් ලෙස යොදාගැනීමට ඉඩ දීම ද ඇතුලූව, එක්සත් ජනපදයට බොහෝ සේවාවන් සපයා ඇත. ඊටත් වඩා වැදගත් කාරනය නම්, ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින හමුදා ආපසු කැඳවීමත්, කාබුල්හි රූකඩ තන්ත‍්‍රය යලි සම්බන්ධ කිරීමත් සමග වොෂින්ටනය, ඇෆ්පැක් යුද්ධයේ ප‍්‍රමුඛ මාරුවක් සිදුකිරීමට උත්සාහ කරන හා අර්බුදයෙන් පකිස්ථානය වෙලාගෙන තිබෙන අවස්ථාවේ, පකිස්ථාන මිලිටරිය සමග සිය දශක ගනනාවක් දිග හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට අධිෂ්ඨානශීලීව සිටීමයි.

Share this article: